සිය පෙළපතෙහි ‘පාරිශුද්ධභාවය’ ආරක්ෂා කරගනු වස් සිය පරම්පරාව තුළම ආවාහ විවාහ කටයුතු සිදුකරගැනීම නිසා ජානගත රෝගවලට ගොදුරු වූ රාජකීයයන් තිදෙනෙකු පිළිබඳ තොරතුරු මේ ලිපි ද්විත්වයෙහි පළමුවන ලිපියෙන් අප ඔබ වෙත ගෙන ආවා. මේ ලිපියෙන් තවත් එවැනිම රාජකීයයන් තිදෙනෙකු පිළිබඳව තොරතුරු ඔබ වෙත ලබා දෙන්නට අප අදහස් කළා.
මායා ලෝකයක ජීවත් වූ දෙවන ලුඩ්විග් රජු
බැවේරියානු රජෙකු වූ දෙවන ලුඩ්විග් කුඩා කාලයේ සිටම ජීවත් වූයේ මනෝ ලෝකයක යි. විට්ල්ස්බාක් රජ පවුලේ සාමාජිකයෙකු වූ ඔහුගේ මෙම මනෝභාවයට හේතු වී තිබුණේ, ඔහු අයත් රජ පෙළපතේ සාමාජිකයින් සියළුම දෙනා පාහේ කාලාන්තරයක් තිස්සේ සිය ලේ ඥාතීන් සමග පමණක් ආවාහ විවාහ සිදුකර ගැනීම නිසා ඇති වූ ජානමය දුර්වලතා යි.
ලුඩ්විග් රජු කුඩා කාලයේ පටන් සුරංගනා කතාවල එන පන්නයේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසීමට හා, ඒ පන්නයට සෑදූ මැදුරුවල වසන්නට ප්‍රිය කළා. මේ මානසික ගැටළුව කෙතරම් ප්‍රබල වී ද යත් ඔහුට කිසිසේත්ම වටපිටාවේ සිදුවන දේ පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. මෙය කුඩා කාලයේ දීම ඔහුගේ මව හට වැටහී ගියත්, ඔහු ඔටුන්න හිමි කුමරු වීම නිසාවෙන් එම තත්ත්වය අන්‍යයන්ගෙන් වසන් කරන්නට ඇය කටයුතු කළා.
18 වියැතිව සිටිය දී ලුඩ්විග් කුමරු බැවේරියාවේ රජු බවට පත් වෙනවා. මේ වන විටත් ඔහු හට කිසිදු දේශපාලනික ඥානයක් නොතොබූ අතර, බුද්ධි මට්ටමෙන් ද සිටියේ කුඩා දරුවෙකුගේ මට්ටමක යි. ඔහු රජ වූ දා පටන් භාණ්ඩාගාරයේ සියළුම මුදල් රජ මාලිග තනන්නට හා ඇඳුම් ආයිත්තම් නිර්මාණයට වැය කළා. මේ නිසා ක්‍රම ක්‍රමයෙන් බැවේරියාවේ ආර්ථික තත්ත්වය කඩා වැටුණා.
දෙවැනි ලුඩ්විග් රජු වසර 22ක පමණ කාලයක් බැවේරියාවේ රජකම හෙබවූවා. අවසානයේ ඔහු සිහසුනෙන් පහ කර ඝාතනය කෙරුණා. ඔහුගෙන් අනතුරුව රජකමට පත් වූයේ ඔහුගේ සොයුරු ඔටෝ යි. කෙසේ නමුත් ඔටෝ අවසානයේ ලුඩ්විග්ටත් වඩා මානසික තත්ත්වයෙන් පිරිහුණු අයෙකු වුණා.
බෙදුණු තල්ලක් හා දිගින් වැඩි හිස්කබලක් තිබූ ටූටන්කාමන්
රජ පවුල්වල සාමාජිකයින් තමන්ගේ ඥාතීන්ව පමණක් විවාහ කරගැනීම යුරෝපීය රජ පෙළපත්වලට පමණක් සීමා වී තිබූ දෙයක් නොවේ. ඊට බොහෝ කාලයකට පෙර ඊජිප්තුවේ පාරාවෝ රජ පෙළපත්වලත් මේ ලක්ෂණය දක්නට ලැබුණා. ඊජිප්තු දේවතාවියක වන අයිසිස් සිය පෙළපත පිරිසිදුව තබාගනු වස් සිය සොයුරු ඔසයිරිස් හා විවාහ වූ බව ඉපැරණි ඊජිප්තු පුරාවෘත්තවල දැක්වෙනවා.
ඊජිප්තු රජ ටූටන්කාමන් ගේ දෙමව්පියන්ද ළඟම ඥාතීත්වයක් තිබූ දෙදෙනෙක් වෙනවා. මේ නිසා ස්වභාවිකවම ඔවුන්ගෙන් පසු පරම්පරාව ජානමය වශයෙන් දුර්වල වීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා. ටූටන්කාමන් කුඩා කාලයේ පටන් ඉතා දුර්වල ශරීරයක් තිබූ, ශක්තිය හීන අයෙකු වුණා. ඔහුගේ මමීකෘත ශරීරයේ සිදුකළ ස්කෑන් පරීක්ෂණවලින් තහවුරු වී තිබෙන්නේ ඔහුගේ උඩු තල්ල විකෘති වී, දෙකට වෙන් වී ඇති බව යි. එමෙන්ම ඔහුගේ හිස්කබල ද දිගින් වැඩි එකක් බැව් පෙනී ගොස් තිබෙනවා. තව ද ඔහුගේ එක් කකුලක බකලයක් ද පැවතී තිබෙනවා. ඔහුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ද දුර්වලව තිබෙන්නට ඇති බැව් සනාථ වන්නේ ඔහු නිතරම මැලේරියාව ගොදුරු වී ඇති බැව් සොයාගැනීම නිසා යි. මේ නිසා ඔහු ගැටවර වියේ දීත්, වයසක පෙනුමක් තිබූ, ආධාරකයක් උපයෝගී කරගෙන ඔබ මොබ ඇවිදින්නට ඇති අයෙකු බැව් අනුමාන කෙරෙනවා.
ටූටන්කාමන්ගේ මමියේ තිබූ පටකවලින් උකහාගත් ඩී.එන්.ඒ, පරීක්ෂණවලට බඳුන් කිරීමෙන් සොයාගෙන ඇත්තේ බොහෝ විට මුලින් අනුමාන කළ පරිදි ඔහුගේ මව නෙෆර්ටිටි රැජිණ විය නොහැකි බව යි. ඔහුගේ මව, ඔහුගේ පියා වන අකෙනතෙන් රජුගේ සොයුරියක වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බැව් ඒවායින් පෙනී ගොස් තිබෙනවා. එමෙන්ම ඇත්තෙන්ම ඔහු ඝාතනය කළා නොව, දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතිය හේතුවෙන් නිතර නිතර මැලේරියාව වැළඳීමේ ප්‍රතිඵලයක් ලෙස දුර්වල වී මිය ගිය බවටත් නවතම මතයක් ප්‍රකාශ වී තිබෙනවා.
ටූටන්කාමන්ද විවාහ වී ඇත්තේ සිය සොයුරියක සමග යි. මේ නිසා ඔවුන්ගේ දරුවන් ද අතිශය දුර්වලයන් වී ඉක්මණින් මියගොස් තිබෙනවා.
ස්ථුලත්වය හා ක්ලියෝපැට්‍රා
ඉතිහාසයේ ලියැවී තිබෙන බොහෝ පුරාවෘතවල මිසර අධිරාජිණී ක්ලියෝපැට්‍රා පිළිබඳව සටහන් වී තිබෙන්නේ ලොව විසූ සුරූපීම කාන්තාවක් හැටියට යි. මේ සුරූපී බව ප්‍රයෝජනයට ගෙන ඇය විසින් ජුලියස් සීසර් රෝම අධිරාජ්‍යයා වසඟයට ගැනීමට සමත් වූ බව වැඩිදුරටත් ඒවායේ සඳහන්. කෙසේ නමුත් මිනිස් ජානවල ක්‍රියාකාරීත්වය පිළිබඳව පර්යේෂණ කරන විද්වතුන් සමහරකගේ මතය වන්නේ ඇය පිළිබඳ වූ කරුණු බොහෝමයක් හුදු අතිශ්‍යොක්තීන් බව යි. ඇගේ යථා ස්වරූපය ඊට වඩා බොහෝ සෙයින් වෙනස් බැව් ඔවුන් මත පල කරනවා.
ක්ලියෝපැට්‍රා අයත් වන්නේ ටොලමි රජ පෙළපතට යි. එම රජ පෙළපතේ ද බොහෝ දෙනා සිය සොහොයුරා හෝ සොයුරිය විවාහ කරගත්තා. ක්ලියෝපැට්‍රා ද 18 හැවිරිදිව සිටිය දී සිය දස හැවිරිදි සොයුරා විවාහ කරගෙන තිබුණා. අනතුරුව ඇය සිය අනෙක් සොයුරාව ද විවාහ කරගත්තා.
ලේ ඥාතී විවාහය නිසා ඇති වන ජානමය ගැටළුවල ප්‍රතිඵලයක් ලෙස ස්ථුලතාවය ඇති වන බැව් සොයාගෙන තිබෙනවා. ඉතිහාසඥයින් සොයාගෙන ඇති අන්දමට ඊජිප්තුවේ පැරණි රජ දරුවන් බොහෝ දෙනා අධික ස්ථුලතාවයෙන් පීඩා විඳ තිබෙනවා. මීට ඔවුන්ගේ ආහාර රටාව මෙන්ම ජානමය තත්ත්වයන් ද හේතු වන්නට ඇති බැව් සමහරෙක් අනුමාන කරනවා. මේ අනුව ක්ලියෝපැට්‍රා ද වක් වූ නාසයක් හා රවුම් මුහුණක් සහිත ස්ථුල අයෙකු වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බැව් අනුමාන කෙරෙනවා. අනෙක් අතට එකල රෝම අධිරාජ්‍යයේ මිනිසුන් සුරූපීයැ යි සලකන ලද්දේ මදක් ස්ථුල කාන්තාවන්ව යි.