“තිලකරත්න ස්ටෝර්ස් හි හොඳ මුදලාලි
කඳුළැලි සලනවා වහගෙන දොරලෑලි”
1984 අප්‍රේල් මාසයේ බස්වල, දුම්රියවල, සති පොළවල විකුණු කවි කොළයක සඳහන් කවි දෙපදයක් තමයි ඒ. මේ කවිකොළ ඒ කාලෙ උණු කැවුම් වගේ විකුණුනා. ඒ වගේම මේ සිද්ධිය ඇතුළත් ගීතයක් ද එකල බයිලා ගායක ඇන්ටන් ජෝන්ස් ගායනා කළා. හුඟදෙනෙක් කඳුළු සලමින් තමයි ඒවා ඇහුවේ. කියෙව්වේ. එම කවි කොළවලට මුල් වූයේ ඒ කාලේ රටම හැඩවූ මතුගම සමන් කුමාර නම් සිසුවා ඝාතනය කළ සිද්ධිය යි. ලංකාවේ කප්පමක් සඳහා පාසල් සිසුවකු මරා දැමූ මුල්ම අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්වෙනවා. ඒ කාලේ අද වගේ රූපවාහිනී මාධ්‍යය ප්‍රචලිත වෙලා තිබුණේ නැහැ. මේ නිසා පුවත්පත්වලින් මේ ඝාතනයට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා.
තිලකරත්න මුදලාලි
මතුගම නගරයේ පිහිටා තිබූ කවුරුත් දන්නා කියන වෙළෙඳසැලක් තමයි තිලකරත්න ස්ටෝර්ස්. මෙම වෙළෙඳ සැල සිල්ලර බඩු අලෙවි කළ තොග කඩයක්. වෙළඳසල හිමි තිලකරත්න මුදලාලි ධනවත් ව්‍යාපාරිකයෙක් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියා. පිරිමි දරුවන් තිදෙනකු සහ දියණියන් දෙදෙනකුගෙන් සමන්විත තිලකරත්න පවුලේ බාල පුතා වූයේ සමන් කුමාර යි. සමන් කුමාරට තිලකරත්න මුදලාලි දැඩි සේ ආදරය කළා. ඔහුගේ ලොරි හතරකම සටහන් කර තිබුණේ ද සමන් කුමාර යන නම යි. තිලකරත්න මුදලාලිගේ ව්‍යාපාරික වැඩවලට වැඩිමහල් පිරිමි සහෝදරයන් උදව් කළා. ඒ අතරින් වැඩිපුර ව්‍යාපාරික වැඩවලට හවුල්වුණේ වැඩිමල් පුතා වූ සරත්. සරත්ගේ මිතුරෙක් තමයි ධර්මසිරි කියන්නේ.
ධර්මසිරි
ධර්මසිරි මේ පවුලට ලොකු හිතවත්කමක් දැක්වූ තරුණයෙක්. මතුගම නගරයට ආසන්නයේ කුඩා වෙළඳසැලක් පවත්වාගෙන ගිය ධර්මසිරි ඊට අවශ්‍ය බඩු බාහිරාදිය ලබාගත්තේ තිලකරත්න මුදලාලිගේ තොග කඩයෙන්. තිලකරත්න නිවසෙන් ලැබෙන ආහාර පාන සහ වෙනත් උවමනා එපාකම් ඔහු භුක්ති වින්දේ පවුලේ අයෙකු ලෙස යි. සමන් ඔහු ඇමතුවේ මාමා කියලයි. ධර්මසිරි සිය හිතවතුන්ට කියා තිබුණේ අලුත් අවුරුද්දෙන් පසු තමා බස් හිමියකු වන බව යි. “මතුගම කොළඹ බස් එකකුත් දාලයි මම නවතින්නේ”, ඔහු මිතුරන්ට පවසා තිබුණා. කුඩා කඩයක් පවත්වාගෙන යන ධර්මසිරි බස් හිමියෙක් වන්නේ කෙසේදැ යි මිතුරන්ට සිතුණා.
සමන් කුමාර
තිලකරත්න පවුලේ බාලයා තමයි සමන් කුමාර. 1970 උපන් සමන් පාසල් ගියේ මතුගම සී. ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයට යි. එය පිහිටා තිබුණේ ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානය වූ තිලකරත්න ස්ටෝර්ස් සිට පයින් යන දුරකින්. පාන්තියේ පිහිටි නිවසේ සිට පාපැදියෙන් පැමිණ තිලකරත්න ස්ටෝර්ස් එකේ බයිසිකලය තබා එහි පිට පයින් පාසලට යාම සමන් කුමාරගේ පුරුද්දක් වුණා. 9 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හැදෑරු සමන් කුමාර පන්තියේ දක්ෂ සිසුවෙක් ද වුණා. ගුරුවරු ද ඔහුට දැක්වූයේ ආදරයක්. ඔහු අරපිරිමැස්මෙන් යුත් දරුවෙක් වුණා. කවකටු පෙට්ටිය කැඩුණු විට ඔහු එය රබර් පටියකින් බැඳගෙන පාචිච්චි කළා. ඔහු පාසල් යාමට කම්මැලි දරුවෙක් නෙවෙයි. අධික වැසි දිනවල පවා සමන් පාසල් ගියා. ඒ බව ඇන්ටන් ජෝන්ස් ගැයූ ගීයක මෙලෙස සඳහන්:
පන්තියෙ පළවෙනියා වුණේ සමන් කුමාර
මොනිටර්කම දැරුවෙත් පොඩි සමන් කුමාර
මුලු පාසල බැබලුව සිසු සමන් කුමාර
අද පාසල් නාවෙ ඇයි ද සමන් කුමාර
ඒ 1984 අප්‍රේල් 5 වැනි දා යි. පාසල් අවුරුදු නිවාඩුව පටන් ගැනීමට නියමිතව තිබුණේ එදින යි. තිලකරත්න නිවසට පැමිණි ධර්මසිරි ගමනක් යාමට තිබෙන බව කියා සමන්ගේ අය්යා වූ සරත්ගෙන් බයිසිකලය ඉල්ලා ගත්තා. ඊට පසු ඔහු එය පැදගෙන පා ගමනින් පාසල් යන සමන් අසලට ගියා. පොඩි ගමනක් යන්න තියෙනවා. සමන් අපට උදව්වට පොඩ්ඩක් එන්න යයි කියූ විට ඔහු පොත් බෑගයත් අරගෙන පාපැදියට නැගුණා. පාපැදිය රැගෙන ධර්මසිරි එය පැද්දේ බෝපිටිය කන්ද පැත්තට යි. ඒ රබර් වතු, කැලෑ මන්ඩි සහිත කිසිවෙක් නොපැමිණෙන පාලු පැත්තක්. ඔහුගේ ඥාතියෙක් වන පුද්ගලයෙක් ද එහි පැමිණ සිටියා. කඳු මුදුනට ගිය විට කුඩා සමන්ට තම පවුලේ හිතවතා ගැන සැකයක් උපන්නා. මේ අතර ධර්මසිරි එදිනම දවල් 11.00ට පමණ රැගෙන ගිය බසිසිකලය සරත්ට නැවත ගෙනත් දී තිබෙනවා.
කප්පම
එදිනම දවල් 12.00ට අසල්වැසි නිවසක සිටි ද්‍රවිඩ මෙහෙකාරියකට නාඳුනන කිසිවකු ලියුමක් ගෙනත් දී තිබුණේ තිලකත්න මුදලාලිට දෙන ලෙස පවසමින්. ලියුම් කවරයේ ලිපි දෙකක් තිබුණා. එකක සමන් කුමාර අත්අකුරින් ලියා තිබුණේ ඉල්ලන අයට මුදල් දී මා බේරාගන්න කියල යි. අනෙක් ලිපියේ වූයේ සමන් නිදහස් කර ගැනීමට නම් ලක්ෂ එකහමාරක කප්පමක් අවශ්‍ය බව යි. කප්පම නොගෙව්වොත් සමන් මරා දමන බව ද එය කලවාන නාවලකන්ද විදුහලේ 2 ශ්‍රේණියේ පන්තියේ තබන ලෙස ද ලියා තිබුණා. තිලකරත්න මුදලාලි කලබලයට පත්ව පාසලෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ සමන් එදින පාසල් නොපැමිණි බව යි. ඔහු මේ ගැන පොලීසියට කිව්වේ නැහැ. නමුත් සිද්ධිය පොලිසියට ආරංචි වී තිබුණා. මතුගම එවකට මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිව සිටි පියල් බරණගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සමන් කුමාර සිසුවාගේ අබිරහස් අතුරුදන්වීම සම්බන්ධව පරීක්ෂණ ආරම්භකරනු ලැබුවේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ඉන්ද්‍රජිත් අමරසිංහ ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින්.
කප්පම ගෙවීමට කැමති බව මුදලාලි ඇඟවූවා. ඒ ලිපියේ සඳහන් ලෙස වෙළෙඳසලේ පිටත ලයිට් එක දල්වා තැබීමෙන්. ඒ අතර තවත් පිරිසක් නාවලකන්ද විදුහලට ගොස් දරුවාට හිරිහැර නොකරන ලෙස පියා ලියූ ලිපියක් තබා ආවා. ජනමාධ්‍යවලින් මේ පුවත පුන පුනා ප්‍රචාර කළා. සමන් කුමාර ගැන දෙමව්පියන්, ඥාතින් පමණක් නොව රටම කම්පා වුණා.
මේ ලියුම ලැබී තවත් දිනකට පසු තවත් ලියුමක් තැපෑලෙන් ලැබී තිබුණා. එම ලියුම තැපැල් කර තිබුණේ මතුගම නගරයේ තැපැල් කන්තෝරුවෙන්. කප්පම් මුදල් ඉල්ලීම ගැන පොලිසියට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් තර්ජනය කර තිබූ අතර කප්පම් මුදල තැබිය යුතු තැන පසුව දැනුම් දෙන බවත්, මේ ගැන ආයෙත් පොලිසියට කිව්වොත් දරුවා මරා දමන බවටත් එම ලියුම මඟින් තර්ජනය කර තිබුණා.
පැහැරගෙන දින හතර යි
මුදල් ලබාදීමට තිලකරත්න මුදලාලි එකඟ වුව ද සමන් කුමාර සිටින බවට තොරතුරක් කප්පම්කරුවන්ගෙන් ලැබුණේ නැහැ. පොලීසිය ධර්මසිරි ගැන සැක කළා. පවුලේ අය කිව්වේ ඔහු ගැන සැකයක් නැති බව යි. එහෙත් මුදල් ගනුදෙනුවක් සම්බන්ධව ඔහු එම පවුල සමග හිත යටින් අමනාපව සිටි බව පොලීසිය සොයා ගත්තා. ඊට පසු පොලිසිය ඔහු ගැන උකුසු ඇස යොමු කළා.
පොලිසියට ධර්මසිරි මතුගම තැපැල් කන්තෝරුවේ සිටි බවට ඔත්තුවක් ලැබුණා. තැපැල් කන්තෝරුවට ගිය පොලීසිය එදින තැපැල් කළ ලියුම් පරීක්ෂා කර බැලුවා. තිලකරත්න මුදලාලිට යැවූ ලිපියක් ද එහි තිබුණා. සැකය නිවැරදි බව පොලිස් පරීක්ෂක බරණගේට වැටහුණා. තිලකරත්න මුදලාලිගේ නමට තැපැල්කර තිබූ ලියුම කඩා බලද්දී එහි සඳහන් කර තිබී ඇත්තේ කප්පම් මුදල රැගෙනවිත් තැබිය යුතු ස්ථානය ගැන යි.
පොලිස් පරීක්ෂක පියල් බරණගේ, උපපොලිස් පරීක්ෂක අමරසිංහ සහ උප පොලිස් පරීක්ෂක ජයන්ත වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් වහා ගොස් මතුගම පාන්තිය ප‍්‍රදේශයේ පදිංචි බී. ධර්මසිරි පීරිස් (24) නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු කීවේ තම මස්සිනා කෙනකු වන නාවලකන්දේ පේමරත්න ළඟ සමන් රඳවා සිටින බව යි. පොලිසිය ඊළඟට අත්අඩංගුවට ගත්තේ පේ‍්‍රමරත්න (23) නමැත්තා යි. මේ අප්‍රෙල් 8 වැනි දා යි. යළිත් ධර්මසිරි පොලීසියට පවසන්නේ සමන් පාන්තියේ බෝපිටිය කන්දේ රඳවා සිටින බවයි. දරුවා නැති සොවින් කඳුළු සලමින් සිටි සමන් කුමාරගේ දෙමාපියන් තුළ බලාපොරොත්තු දැල්වුණා.
පැහැර ගැනීමේ සුලමුල
ධර්මසිරි විසින් පාසල් යමින් සිටි සමන් කුමාර බෝපිටිය කන්දට රැගෙන ගොස් ඔහුට කියා ඇත්තේ තමන් බේරා ගැනීමට අවශ්‍ය නම් මුදල් දෙන ලෙස කියා ලියුම් හතරක් ලියා දෙන ලෙස යි. මේ අවස්ථාවේ ධර්මසිරි සමග ඔහුගේ මස්සිනා වූ පේමරත්නත් පැමිණ තිබෙනවා. පොත් බෑගයේ තිබූ කොපි පොතකින් කඩාගත් කොළවල ලියුම් තුනක් සමන් ලියා දුන්නත් ඉතිරි ලියුම ලියා නැහැ. මේ නිසා කේන්තිගත් ධර්මසිරි කළේ කුඩා සමන් කුමාරට පහරදීම යි. පහරදීමෙන් සහ බෙල්ල මිරිකීමෙන් සමන් සිහිසුන් වෙනවා. ඊට පසු ධර්මසිරි සහ පේමරත්න සමන්ගේ පාසල් බෑගයත් රැගෙන බයිසිකල්වල නැගී පාන්තියේ පිහිටි ධර්මසිරිගේ නිවසට එනවා. පාසල් බෑගය එම ඉඩමේ වළලනවා. යළිත් නැවත කන්දට යන ඔවුන් සිහිසුන්ව සිටි සමන් පැළඳ සිටි සපත්තු ගලවා එහි ලේස් පටියකින් ඔහුගේ බෙල්ල හිර කරනවා. ඊට පසු මළ සිරුර රබර් ගස් ගැලවීමෙන් ඇතිවූ වළකට තල්ලු කරනවා. තිලකරත්න මුදලාලිට සමන්ට කියා ලියවාගත් ලියුම් ද සහිතව කප්පම් ඉල්ලා ලිපි යවන්නේ ඉන් පසුව යි. ඒ අතර සැකයක් ඇති නොවන සේ සමන් සෙවීමේ කටයුතුවලට ද ධර්මසිරි එකතු වෙනවා.
ඝාතනය
දෑතට විලංගු දැමූ ධර්මසිරි සහ පේමරත්න ද සමග පොලීසිය, ඥාතීන් සහ හිතවතුන් ද සමන් කුමාර සොයා මහ රෑ පාන්තිය බෝපිටිය කන්ද නගිනවා. අවසානයේ ධර්මසිරි සමන් සිටින තැන පෙන්වනවා. වළකට දමා තිබූ, ම්ලේච්ඡ ලෙස වධ දී ඝාතනය කර ඇති නරක වී ගිය සිරුරක් තමයි ඔවුන්ට දැකගත හැකි වන්නේ.
එවකට මතුගම උප පොලිස් පරීක්ෂක වශයෙන් සිටි විශ්‍රාමික පොලිස් අධිකාරී ඉන්ද්‍රජිත් අමරසිංහට තම රාජකාරි ජීවිතයේ දී මුහුණදීමට සිදු වූ අමිහිරිම මතකයක් පසුගිය දිනෙක ලංකාදීප පුවත්පතට පවසා ඇත්තේ මේ අයුරින්.
“ඝාතනය කළ සමන් කුමාරගේ සිරුර හමුවුණේ අප්‍රේල් දහ වැනි දා. සැකකරුවන් ද සමග අප එම ස්‌ථානයට යන විට පාන්දර 2.00 විතර ඇති. ඝන අන්ධකාරයේ මා ඇතුළු පිරිස ඝාතනය සිදුකළ ස්‌ථානයට ගියා. විදුලි පන්දමක ආධාරයෙන් තමයි සිරුර සොයා ගත්තේ. අපි සමන් කුමාරගේ මළ සිරුර සොයා ගන්නා විටත් සිරුරේ සමහර කොටස් සත්තු කාලයි තිබුණේ. ප්‍රදේශයෙන් ලොකු දුගඳක් වහනය වුණා. සිරුර හඳුනාගත්තට පස්‌සේ එතැනට පොලිස් ආරක්‍ෂාව දාල තමයි ඉතිරි පරීක්‍ෂණ කටයුතු සැලසුම් කළේ”.
පොලිතින්වලින් එතූ මළ සිරුර සමන් කුමාර නැමැති නම ගැසූ තිලකරත්න මුදලාලිගේ ලොරියෙන්ම බොරැල්ල මෘත ශරීරාගාරය වෙත ගෙන එද්දී මතුගම අවට දහස් සංඛ්‍යාත ජනතාව මඟ දෙපස රැදී සිටියේ දැඩි කම්පාවෙන්. අපරාධකරුවා දැක බලා ගැනීමට මතුගම උසාවිය අසලටත් මහ සෙනග එක් රොක් වී සිටියා.
දෙදෙනාටම මරණ දඬුවම
සමන් කුමාර සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ එවකට කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාව සිටි අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්. එම්. සල්ගාදු යි. ගෙල මිරිකීම නිසා හුස්ම හිරවීමෙන් මෙම මරණය සිදුවී ඇති බව ඔහුගේ නිගමනය වුණා.
විත්තිකරුවන්ගේ ඉල්ලීමක් මත මෙහි වැඩිදුර නඩු විභාගය පවත්වා ඇත්තේ ගාල්ල මහාධිකරණයේ දී යි. ගාල්ල මහාධිකරණ විනිසුරුවරයාව සිටි එදිස්සූරිය විසින් මේ සම්බන්ධව නඩු විභාගයක් පවත්වනු ලැබ විත්තිකරුවන් දෙදෙනාටම මරණීය දණ්ඩනය නියම කළා. ධර්මසිරි සහ පේමරත්න යන විත්තිකරුවන් දෙදෙනාට මරණීය දණ්ඩනය නියමකර ඇත්තේ 1987 වසරේ දී යි.