Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කෙටිම කාලයක් පැවති යුද්ධය – බ්‍රිතාන්‍ය – සැන්සිබාර් ගැටුම

ලෝක යුද ඉතිහාසය දෙස සුපරික්ෂාකාරී ව බලන විට වසර ගණන් පැවති යුද ගැටුම් මෙන්ම දින කිහිපයකින් අවසන් වූ යුද්ධයන් ද දකින්න පුළුවන්. ඒ අතරින් ඉතා ම කුඩා කාලයක් පැවති යුද්ධය පිළිබඳ ව අවධානය යොමු කරන විට එය විනාඩි 38ක් පමණ කාලයක ගැටුමක් බව තහවුරු වෙනවා. (ඇතැම් මුලාශ්‍රවල මෙම කාලය තරමක් වෙනස් වන අතර එය විනාඩි 38 – 45 ත් අගයක් බව ස්ථිරව ම ප්‍රකාශ කරන්න පුළුවන්)

බ්‍රිතාන්‍ය හා සැන්සිබාර් රාජ්‍ය අතර පැවති මෙම යුද්ධය පැයකටත් වඩා අඩු කාලයකින් නිම වෙන්නේ සැන්සිබාර් රාජ්‍යය බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමෙන් අනතුරුව යි. ඉතින් අද ලිපිය ලෝකයේ කෙටි ම කාලයක් පැවති මේ යුද්ධය පිළිබඳව යි.

බ්‍රිතාන්‍ය – සැන්සිබාර් යුද්ධයට මුල පිරීම

සැන්සිබාර් හි පිහිටීම (Style Hi Club)

වර්තමානයේ ටැන්සානියාවට අයත් සැන්සිබාර් දිවයින අතීතයේ පාලනය කරන ලද්දේ නැගෙනහිර අප්‍රිකානු සුල්තාන්වරු විසින්. සැන්සිබාර් දිවයින එම කාලය තුළ සම්පූර්ණයෙන් ම බ්‍රිතාන්‍ය පාලනයට නතු වී තිබුණු අතර බ්‍රිතාන්‍යයට හිතවත් සුල්තාන්වරයෙක් පාලනය සඳහා පත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය විය.

1893 වසරේ බ්‍රිතාන්‍ය අනුදැනුම මත සැන්සිබාරයේ පාලකයා ලෙස පත් වෙන්නේ සුල්තාන් හමාඩ් බින් තුවායිනි යි. බ්‍රිතාන්‍ය කිරීටයට ඉතාමත් පක්ෂපාති පාලකයෙක් ලෙස මොහු සැන්සිබාරය පාලනය කිරීම සිදු කරනවා.

1896 අගෝස්තු 25 වන දා එවකට පාලකයා වූ හමාඩ් බින් තුවායිනිගේ හදීසි මරණයත් සමග 29 හැවිරිදි කාලිඩ් බින් බර්ගාෂ් සැන්සිබාරයේ බලය අල්ලා ගන්නවා. (හමාඩ්ගේ මරණය ඝාතනයක් බවත්, ඊට වගකිව යුත්තේ කාලිඩ් බවත් බ්‍රිතාන්‍ය විසින් පසු ව ප්‍රකාශ කරනවා).

නමුත් කාලිඩ්ගේ බලයට පත් වීමේ ක්‍රියාවලිය නීතිමය වශයෙන් අනුමත කළ නොහැකි බව යි බ්‍රිතාන්‍ය විසින් පවසන්නේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ බ්‍රිතාන්‍යයට වඩාත් හිතවත් වූ හමුද් බින් මුහම්මඩ් සැන්සිබාරයේ පාලකයා ලෙසින් පත්වීම යි.

1886 දී බ්‍රිතාන්‍ය හා සැන්සිබාරය එක් වී අත්සන් කළ සම්මුතියකට අනුව බ්‍රිතාන්‍ය කිරීටයේ නිර්දේශය නොමැති ව සැන්සිබාරය සඳහා නව පාලකයෙක් පත් කළ නොහැකි විය. නව පාලක කාලිඩ් බින් බර්ගාෂ් යනු බ්‍රිතාන්‍ය හිතවාදියෙක් නොවූ අතර ඔහු විසින් බලය අල්ලා ගැනීම දෙරට අතර සම්මුතිය උල්ලංඝණය කිරීමක් විය.

බ්‍රිතාන්‍ය, සැන්සිබාරයට විරුද්ධ ව යුද ප්‍රකාශ කරයි

සැන්සිබාර් මාළිගාව (www.historic-uk.com)

නව පාලකයා වූ කාලිඩ් බින් බර්ගාෂ්ට වහා ම නායකත්වයෙන් ඉවත් වී සැන්සිබාරයෙන් පිටත් වන ලෙස බ්‍රිතාන්‍ය විසින් නියෝග කරනවා. එසේ නොවුණහොත් සැන්සිබාර් රාජ්‍යට විරුද්ධව යුද ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා. නමුත් එම නියෝගය පිළිපැදීම ඔහු ප්‍රතික්ෂේප කරනවා.

ඉවත් වී යාම වෙනුවට සැන්සිබාර් මාළිගාව වටා ආරක්ෂක භටයන් යොදා ආරක්ෂාව තර කිරීමටත් සැන්සිබාරය සතු සියලු යුද අවි මාළිගාව වටා ස්ථානගත කරවීමටත් ඔහු විසින් උපදෙස් දෙනවා.

තුවක්කු සහිත 2800ක පමණ භට හමුදාවක් මාළිගාව ආරක්ෂා කිරීම සඳහා යොදවන නමුත් ඉන් වැඩි හරියක්ම සිවිල් වැසියන් විය. සැන්සිබාර් හමුදා භටයන් ප්‍රමාණය 700කට පමණ සීමා වෙනවා. ඔවුන් සතු කාලතුවක්කු කිහිපයක් ද වරාය ඉලක්ක කර ගනිමින් ස්ථානාගත කරන්නේ පැමිණෙන බ්‍රිතාන්‍ය නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට යි. මේ වන විට සැන්සිබාරය තුළ බ්‍රිතාන්‍ය පාබල හමුදා ස්ථානගත ව සිටි අතර ඔවුන්ගේ සහය පිණිස බ්‍රිතාන්‍ය නාවික හමුදා භට කණ්ඩායමක් ද සාගරය හරහා දිවයින වෙත ළඟා වෙනවා.

බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ අද්මිරාල් හැරී රෝසන්ගේ හා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා නිලධාරී ලොයිඩ් මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් 1000කට අධික භට කණ්ඩායමක් අගෝස්තු මස 27 වන දින මාළිගාව වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා සුදානම් වෙනවා.

යුද්ධය ඇරඹේ

ප්‍රහාර හමුවේ විනාශ වී ගිය මාළිගාව (www.historic-uk.com)

බ්‍රිතාන්‍ය සේනාංක විසින් නව නායකයාට පිට ව යාමට 27 වන දා උදෑසන 9 වන තුරු වේලාව ලබාදෙනවා. නමුත් මේ කාලය අවසන් වන තුරු සුල්තාන්වරයා මාළිගාවෙන් ඉවත්ව නොගිය බැවින් හරියට ම නවය පසු වී විනාඩි 2 කට පසු ව බ්‍රිතාන්‍ය හමුදා විසින් සිය පහරදීම ආරම්භ කරනවා.

බ්‍රිතාන්‍ය හමුදා සාගරයේ සිට ද, ගොඩ බිමේ සිට ද එල්ල කළ දැවැන්ත ප්‍රහාර හමුවේ සැන්සිබාර් සුල්තාන්වරයාගේ හමුදාවට දැඩි අලාභහානි සිදුවෙනවා. සාගරයේ සිට ප්‍රහාර එල්ල කරන ලද රෙකූන් හා ශාන්ත ජෝර්ජ් නෞකා විසින් සැන්සිබාරයට අයත් ග්ලාස්ගෝ නෞකාව ගිල්ලවා දමනවා. බ්‍රිතාන්‍යන් තවත් නෞකා හා බෝට්ටු කිහිපයකට දැඩි අලාභ හානි සිදු කරනවා.

යුද්ධය ආරම්භ වී ඉතා ස්වල්ප වෙලාවකින් පසු ව බ්‍රිතාන්‍ය හමුදා භට පිරිස් මාළිගාව දෙසට ගමන් කිරීම ආරම්භ කරනවා. දරුණු ප්‍රහාර හේතුවෙන්  මාළිගාවේ බිත්ති කඩා වැටෙන අතර ඔවුන්ගේ කාලතුවක්කු බොහෝ ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය ප්‍රහාර හමුවේ විනාශ වෙනවා. ඉතිරි වූ ඒවා බ්‍රිතාන්‍යන් විසින් අල්ලා ගන්නවා.

සුල්තාන්වරයා පැන යයි

අල්ලාගත් කාලතුවක්කු සමග බ්‍රිතාන්‍ය හමුදාව (www.historic-uk.com)

ප්‍රහාරය ආරම්භ වී ඉතා සුළු වේලාවකින් පසු ව සුල්තාන්වර්යා ජර්මානුවන්ගේ සහාය පතා ඔවුන් කරා පලා යන අතර සැන්සිබාර් මාළිගාව යටත් කර පාලනය සියතට ගැනීමට බ්‍රිතාන්‍ය හමුදාවට ගත වෙන්නේ තත්පර 40කට වඩා අඩු කාලයක්. මේ කාලය තුළ සැන්සිබාර් හමුදාවේ 500කට අධික ප්‍රමාණයක් මරණයට පත් වී හෝ බරපතල තුවාල ලබා තිබූ අතර බ්‍රිතාන්‍ය හමුදාවේ එක් භටයෙක් පමණක් තුවාල ලබා සිටිනවා.

යුද්ධය අවසන් කර විනාශ වී ගිය මාළිගාවේ බලය අල්ලා ගන්නා බ්‍රිතාන්‍ය හමුදාව ඒ බව බ්‍රිතාන්‍ය කිරීටයට දන්වා සිටිනවා. එම ජයග්‍රහණයත් සමඟ බ්‍රිතාන්‍යයට හිතවත් පාලනයක් නැවතත් ස්ථාපිත කරන අතර නව සුල්තාන්වරයා ලෙස බ්‍රිතාන්‍යයට හිතවත් හමුද් බින් මුහමඩ් ව පත් කරනවා.

කවරයේ ඡායාරූපය: Today in History

මූලාශ්‍රයයන්:

historic-uk.com/HistoryUK/HistoryofBritain/The-Shortest-War-in-History/

britannica.com/event/Anglo-Zanzibar-War

sahistory.org.za/article/anglo-zanzibar-war-1896

Related Articles