ක්‍රි. ව 1967 වසරේ ඊශ්‍රායලයට එරෙහිව ඊජිප්තුව වැනි අරාබි ලීගයට අයත් රටවල් දියත් කළ සය දින යුද්ධය අවසානයේ අරාබි ලීගයටම පාරාවළල්ලක් වූයේ ලෝක ඉතිහාසයේ යුදෙව් ජාතියක් ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයක් ඊශ්‍රායලයට ලබා දෙමින්.මේ ලිපි පෙළෙහි පළමු ලිපි තුනෙන් සය දින යුද්ධයට පසුබිම් වූ කාරණා ගැනත්, එම යුද්ධය සඳහා ඊශ්‍රායලය හා අරාබි ලීගය සූදානම් වූ අයුරුත් අවසානයේ ඉතා අනපේක්ෂිත ලෙස සය දින යුද්ධය ඇරඹු අයුරුත් ගැන අපි ඔබ වෙත ගෙන ආවා. ඊශ්‍රායලය ජයග්‍රාහී ලෙස සතුරු බලමුළු බිඳ ඓතිහාසික ජග්‍රහණයකට මංපෙත් විවර කරගත් හැටි මේ කොටසින් කියවමු.
ජෙරුසලමත් ඊශ්‍රායලය අතට
සය දින යුද්ධය ආරම්භයේදී ඊශ්‍රායලය බටහිර ඉවුර අත්පත් කරගැනීමට සැළසුම් සකස් කළේ නැහැ. ජෝර්දානය දෙසින් එල්ල වන ප්‍රහාර වල ස්වභාවය අනුව බටහිර ඉවුර අවට යුධ කටයුතු සැළසුම් කිරීමට ඔවුන් ඉටාගන්නවා. ක්‍රි.ව 1967 ජුනි 5 වනදා හෙවත් යුධ ගැටුම් ඇවිලී ගිය පළමු දිනයේම ජෝර්දානයේ හුසේන් රජුට ලිපියක් යවමින් ඊශ්‍රායල අගාමැති ලෙවි එශ්කොල් දන්වා සිටියේ ජෝර්දානය ඔවුනට පහර නොදේනම් ඔවුනුත් ජෝර්දානයට පහර නොදෙන බවයි. මේ අතර ජෝර්දාන රේඩාර වලට ඊජිප්තුවේ සිට ඊශ්‍රායලය දෙසට පියාසර කරන ප්‍රහාරක යානා කිහිපයක් හසු වන අතර ඒත් ස්මඟම ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන ලෙස ඊජිප්තුවෙන් ඔහුට ඉල්ලීමක් කෙරෙනවා. එම යානා ඊජිප්තුවේ සිට ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්නට යන ඒවා යැයි අනුමාන කළ හුසේන් රජු වහාම බටහිර ජෙරුසලමට පහර දෙන ලෙස සිය බළමුළු වලට අණ කරනවා. ඇත්තෙන්ම් එම යානා ඊජිප්තුවට පහර දී නැවත ඊශ්‍රායලය බලා යන ඊශ්‍රායල ප්‍රහාරක යානා වූ අතර ජෝර්දාන පහරදීම් නිසා ජෙරුසලම හා බටහිර ඉවුර අත්පත් කර ගැනීමේ මෙහෙයුම් ඇරඹීමට ඊශ්‍රායල ආරක්ෂක ඇමති මෝෂේ දයාන් තීරණය කරනවා.
පනස් පස් වන බලකායේ අණදෙන නිලධාරී කර්නල් මොත්තා ගුර් කැඳවූ මොෂේ දයාන් පැය 12ක් තුළ ජෙරුසලමට පහර දෙන්නට සූදානම් වන ලෙසත් ශක්තිමත් ජෝර්දාන හමුදාව හමුවේ ප්‍රවේශමෙන් ක්‍රියා කරන ලෙසත් උපදෙස් දෙනවා. ඒ අනුව ඉක්මණින්ම නැඟෙනහිර ජෙරුසලමේ ස්කෝපස් කන්දට ඊශ්‍රායල භට කණ්ඩායමක් යැවෙන අතර ඔවුනට අවවාද ලැබී තිබුණේ පෞරාණික නගරයට හා එහි ඓතිහාසික ස්ථාන වලට කිසිදු හානියක් නොවීමට වග බලාගන්නා ලෙසයි.
ජුනි 6 වැනිදා පාන්දර 2 වන විට ජෙරුසලමේ යුධ ගැටුම ඇවිළී ගිය අතර එහිදී සිදු වූ සටන් ඉතාම මාරාන්තික වුණා. මේ ගැටුම් වලින් ජෝර්දාන හා ඊශ්‍රායල් යන බලමුළු දෙකටම දැඩි හානි සිදු වුණා. ඒ කෙසේ වෙතත් සටන් වල වැඩි ගෞරව අත් වූයේ ඊශ්‍රායලයටයි. මෙහිදී වඩාත් තීරණාත්මක කාරණය වූයේ පෞරාණික නගරය අත්පත් කරගැනීමයි. ජුනි මස 7 වනදා උදෑසන 6.15 වන විට පෞරාණික නගරය වට කරන ලෙස මෝෂේ දයාන් අණ කරන අතර මේ වන විටත් ජෝර්දාන බළමුළු පසුබා ගොස් සිටි නිසා සටනකින් තොරවම එය අත්පත් කරගැනීමට ඊශ්‍රායලයට හැකි වෙනවා. එය එසේ සිදු වූවත් එයට පෙර සිදු වූ සටන් වලින් ඊශ්‍රායලයට සොල්දාදුවන් 97 දෙනෙක් අහිමිව තිබූ අතර 430 දෙනෙක් තුවාල ලබා තිබුණා.
අති විශිෂ්ට ජයග්‍රහණයක්
ඊශ්‍රායල බලමුළු වලින් බහුතරයක් ඊජිප්තු හා ජෙර්දාන හමුදා සමඟ සටන් කරමින් සිටින විට ඊශ්‍රායලයේ උතුරු පෙදෙසේ දේශ සීමාව සිරියානු බලමුළු වලින් ආරක්ෂා කරගැනීමට සුළු එහෙත් නිර්භීත භට පිරිසක් දිවි හිමියෙන් සටන් කරමින් සිටියා. විශේෂයෙන් ගෝලාන් උස්බිම් යුධ උපක්‍රමිකව සිරියානුවන්ට වඩා වාසි ඇති කර තිබුණු අතර ඊශ්‍රායල හමුදාවට ආරාක්ෂාකාරී වීමත් ඉතා අභියෝගාත්මක වී තිබුණා. ඉතා අසීරු සටන් වලින් අනතුරුව ජුනි 9 වැනි දින සිරියානු ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ ඉදිරියට යාමට අවසානයේ ඊශ්‍රායල හමුදාවට හැකි වෙනවා.
දින සයක දරුණු යුධ ගැටුම් අවසානයේ වැඩි ගෞරව දිනා සිටි ඊශ්‍රායල හමුදාව ඇත්තෙන්ම ජුනි 9 වනදා සවස් වරුව වන් විට ඊජිප්තුවේ කයිරෝ, ජෝර්දානයේ අම්මාන් හා සිරියාවේ ඩැමස්කස් යන නගර කරා වුවත් තර්ජන එල්ල කළ හැකි තරමට සාර්ථක වී සිටියා. මේ වන විට මේ සටනේ මර්මස්ථාන වූ සයිනයි කතර හා ගෝලාන් උස්බිම් ඊශ්‍රායලය විසින් යටත් කරගෙන සිටියා. ඒ කෙසේ නමුත් ඊශ්‍රායලයට ඊජිප්තු, සිරියා හා ජෝර්දාන අගනුවරවල් ආක්‍රමණය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මේ වන විටත් ඔවුන්ගේ සාර්ථකත්වය නිසා රුසියාව සලිත වී සිටි අතර අවසානයේ ජුනි 10 වනදා ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ගෙන් සටන අතහැර එකඟතාවයකට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා. එය පිළිගන්නා ඔවුන් සටන අත්හැර දමනවා.
ඊශ්‍රායලය සයදින යුද්ධය එලෙස ජයග්‍රාහී ලීලාවෙන් අවසන් කළත් ඒ වන විට එම කෙටි කාලය තුල ඔවුනටත් දැඩි හානි සිදු වී තිබුණා. විශේෂයෙන්ම ඉතා අවාසිදායක භූ විෂමතාවයක් සහිත ගෝලාන් උස්බිම අත්පත් කරගැනීමේ සටනේදී පමණක් 115 දෙනෙකු මිය ගිය අතර සම්පූර්ණ යුද්ධය තුළදී 777 ක් ගේ දිවි අහිමි වී තිබුණා. 2,586 දෙනෙක් තුවාල වී තිබුණු අතර ඔවුන් සතුව තිබූ ප්‍රහාරක ගුවන් යානා 200න් 46 කුත් අහිමි වී තිබුණා. සතුරු හමුදා වල තත්ත්වය මීට වඩා ඉතා ශෝචනීය වුණු අතර ඊජිප්තු හමුදා වල 15,000 ක් සිරියාවේ 2,500ක් හා ජෝර්දානයේ සෙබළුන් 800 කගේ ජීවිත බිලි වී තිබුණා.
1967 වසරේ ජුනි 5-10 අතර දින 6 ක කාලය මැදපෙරදිග දේශපාලනික සිතියම සහමුලින්ම කණපිට හරවා තිබුණා. යුද්ධයට පෙර ඊශ්‍රායලය විසින් පාලනය කළ භූමිය වර්ග සැතපුම් 8,000 ක පමණ විශාලත්වයකින් යුතු වූ අතර එය අවසන ව. සැ 26000 ක ප්‍රදේශයක් ඊශ්‍රායල අණසකට යටත් වී තිබුණා. මේ ජයග්‍රහණයත් සමඟ මෙතෙක් කල් දෙකඩ වී තිබුණු ජෙරුසලම එක් කොඩියක් යටට වුණු අතර සයිනයි අර්ධද්වීපය, ගෝලාන් උස්බිම්, ගාසා තීරය හා බටහිර ඉවුර යන ප්‍රදේශත් ඊශ්‍රායලය අත්පත් කරගෙන තිබුණා.
මේ පරාජය මෙතෙක් කල් ප්‍රභල නායකයෙක් ලෙස අරාබි ලීගයේම ගෞරවය දිනා සිටි ගමාල් අබ්දුල් නසාර්ට එල්ල වුණු අතුල් පහරක් මෙන් වුණා. සිත් තැවුලට පත් වූ ඔහු ජනපති කමින් ඉල්ලා අස් වීමට පවා සූදානම් වුණා. අනෙක් අතින් අති විශාල ජයග්‍රහණයක් ලැබුවත් ඊශ්‍රායල නායක ලෙවි එශ්කොල් එතරම් උද්දාමයට පත් නොවුණේ ඔවුන් යුධ වැදුණේ ගැලවීමට මිස කිසිවක් දිනීමට නොවෙන නිසායි. තම බළමුළුවලට අනුයුක්තව සිටි විශාල තරුණ ප්‍රජාවක් අකාලයේ මිය යාම හා ආබාධිත වීම ගැන ඔහු දුක් වුණා.
සය දින යුද්ධය අති විශේෂ යුධ ජයග්‍රහණයක් ඊශ්‍රායලයට ගෙනාවත් ඒ නිසා මැදපෙරදිග සදාකාලික සාමය නම් ඇති වුණේ නැහැ. එය සිදුවී වසට 50 ක් ගත වන මේ මොහොත වන විටත් වරින් වර අළු යට සැඟවුණු ගිණි පුපුරු මෙන් මැද පෙරදිග යුධ ගැටුම් ඇති වෙනවා.
කවරයේ පින්තූරය -Government Press Office/Flickr