1991 දී සෝවියට් දේශය බිඳ වැටුණ අවස්ථාවේ එහි පැවති සමූහාණ්ඩු 15 ස්වාධීන රාජ්‍යයන් බවට පත් වුණා. රුසියාව, යුක්රේනය, බෙලාරස්, කසාක්ස්ථානය ආදී මෙම රටවල් 15 අද වන විට ස්වෛරී රාජ්‍යයන් ලෙස පවතිනවා.
නමුත් 1940 සිට 1956 දක්වා සෝවියට් සමූහාණ්ඩුවේ තවත් සමූහාණ්ඩුවක් තිබුණ අතර එය 1956 දී රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී සමූහාණ්ඩුවේ කොටසක් බවට පත් වුණා. යම් කිසි ආකාරයකින් එම සමූහාණ්ඩුව 1991 තෙක් පැවතිණි නම් අද රුසියාවට අයත් තවත් ප්‍රදේශයක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පවතින්නට ඉඩ තිබුණා. මෙය කරේලෝ-ෆින්ලන්ත සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව ලෙස යි නිල වශයෙන් හඳුන්වන ලද්දේ. සාමාන්‍ය ව්‍යවහාරයේ දී සෝවියට් කරේලියාව ලෙස මෙය හඳුන්වනු ලැබුණා.
සෝවියට් කරේලියාව බිහිවීම
සෝවියට් දේශය නිර්මාණය වූයේ 1922 දී යි. 1917 දී පිහිටුවන ලද සෝවියට් රුසියාව සමග සෝවියට් යුක්රේනය, සෝවියට් බෙලෝරුසියාව, සහ සෝවියට් ට්රාන්ස්කොකේසියාව එක් වීමෙන් සෝවියට් දේශය බිහි වුණා. 1923 දී සෝවියට් රුසියාව තුළ වූ, ෆින්ලන්තයට නැගෙනහිරින් පිහිටියා වූ, කරේලියානු ජනයා වාසය කළ ප්‍රදේශය කරේලියානු ස්වතන්ත්‍ර සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව ලෙස වෙන් කෙරුණා. එකල මෙම ප්‍රදේශය සෝවියට් කරේලියාව යයි සාමාන්‍යයෙන් හැඳින්වුණා. (ස්වතන්ත්‍ර සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවක් යනු සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු තුළ ජීවත් වූ සුළු ජන කණ්ඩායම් සඳහා නිර්මාණය කළ ස්වතන්ත්‍ර ප්‍රදේශ යි).
1939 අවසන් කාලයේ සහ 1940 මුල දී සෝවියට් දේශය සහ ෆින්ලන්තය යුධ වැදුණ බව ඔබ අසා ඇති. මෙකල සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් විසින් දේශපාලනික අවශ්‍යතාව මත ෆින්ලන්ත ප්‍රජාතන්ත්‍රික සමූහාණ්ඩුව නම් රාජ්‍යයක් පිහිටවූවා. එහි අරමුණ වූයේ එය කේන්ද්‍ර කරගෙන ෆින්ලන්ත සෝවියට් රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. මෙම උත්සාහය අසාර්ථක වූ පසු ස්ටාලින් කළේ එම ප්‍රදේශය කරේලියානු ස්වතන්ත්‍ර ප්‍රදේශයට එක් කර නව සෝවියට් සමූහාණ්ඩුවක් පිහිටුවීම යි. මෙම සමූහාණ්ඩුව 1940 මාර්තු 31 වනදා නිල වශයෙන් පිහිටුවනු ලැබුණා.
දෙවන ලෝක යුද්ධය
1941 දී නට්සි ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කෙරුණා. මෙම අවස්ථාවේ දී ෆින්ලන්තය ද ජර්මනියට සහාය දුන්නා. ෆින්ලන්ත හමුදා කරේලියාවේ බොහෝ ප්‍රදේශ අල්ලාගත්තා. ඒ අතර එම ප්‍රදේශයේ අගනුවර වූ පෙට්රොසවොද්ස්ක් නගරය ද වුණා. 1940 දී ප්‍රදේශය හැරගිය ෆින්ලන්ත සහ කරේලියානු ජාතිකයන් සමහරුන් යළි එම ප්‍රදේශ බලා පැමිණියා.
1944 වන විට මෙම ප්‍රදේශයන්හි බලය යලිත් වරක් සෝවියට් හමුදා විසින් අත්පත් කරගනු ලැබුණා. ඒ සමගම යලිත් වරක් ෆින්ලන්ත සහ කරේලියානු ජනයා බොහෝ දෙනා ෆින්ලන්තය වෙත පළා ගියා.
සමූහාණ්ඩුව විසිරුවා හැරීම
කරේලියානු-ෆින්ලන්ත සෝවියට් සමූහාණ්ඩුව ද අනෙකුත් සෝවියට් සමූහාණ්ඩු මෙන්ම ක්‍රියාත්මක වුණා. එහි ව්‍යවස්ථාදායකය වූයේ කරේලියානු-ෆින්ලන්ත සෝවියට් සමූහාණ්ඩුවේ උත්තරීතර සෝවියට් සභාව යි. එය විසින් සභාපති මණ්ඩලයක් තෝරාගනු ලැබුණා. නාමිකව කෙසේ වෙතත්, සත්‍ය වශයෙන්ම මෙම සියළු ආයතන සෝවියට් කොමියුනිස්ට් පක්ෂයට සහ විශේෂයෙන්ම එහි මහලේකම් ජෝසෆ් ස්ටාලින්ට අවනත වූ ආයතන වුණා.
මෙම සමූහාණ්ඩුව පැවතීම ෆින්ලන්තය දුටුවේ තමන්ට කෙරෙන බලපෑමක් ලෙස යි. දෙවන ලෝක යුද්ධය අවසානයේදී ෆින්ලන්තය සැලකිය යුතු සෝවියට් බලපෑමකට යටත් වුණා. සෝවියට් දේශය විසින් පොර්ක්කාලා නාවික කඳවුර ප්‍රදේශය ෆින්ලන්තයෙන් බද්දට ගෙන තිබුණා. සෝවියට් දේශය සතුටින් තබන අතර ම තම ස්වාධීනතාව ආරක්ෂා කරගැනීමේ අර්බුදයක ෆින්ලන්තය සිටියා.
1953 දී ස්ටාලින් මියගියා. ඉන්පසු මෙම තත්ත්වය තරමක් වෙනස් වූ අතර 1956 දී සෝවියට් හමුදා පොර්ක්කාලා නාවික කඳවුර යළි ෆින්ලන්තයට පවරා දුන්නා. එමෙන්ම එම වසර මැද දී ඔවුන් කරේලෝ-ෆින්ලන්ත සෝචියට් සමාජවාදී සමූහාණ්ඩුව අහෝසි කර දැමුවේ ෆින්ලන්තයට තමන්ගේ තර්ජනයක් නොමැති බව පෙන්වීම ද අරමුණු කරගෙන යි.
මේ අනුව 1956 දී යළිදු වරක් කරේලියානු ස්වතන්ත්‍ර සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව පිහිටුවනු ලැබුණා.
සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු
සෝවියට් දේශය බිඳ වැටෙන සමයේ අවසන් සතිවල දී මෙම ප්‍රදේශය කරේලියානු සමූහාණ්ඩුව ලෙස ප්‍රතිසංවිධානය වුණා. මෙම ප්‍රදේශය ඒ අයුරින් අදටත් රුසියානු ෆෙඩරේශනයේ එක් සමූහාණ්ඩුවක් ලෙස පවතිනවා. අද මෙම ප්‍රදේශයේ ජනගහනය 650,000ක් පමණ වන අතර ඉන් සියයට 80ක් පමණ රුසියානුවන් වනවා. 1920 දී පමණ මෙහි වූ ජනගහනයෙන් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් කරේලියානුවන් වූ නමුත් ඔවුන් වැඩි දෙනා ප්‍රදේශය හැරදමා ගිය හෙයින් මේ වන විට ප්‍රදේශයේ කරේලියානු ජනගහනය සියයට 10කට ද අඩු යි.
කාලාන්තරයක් තිස්සේ කරේලියාවේ ප්‍රධාන ආර්ථික කටයුත්ත ලෙස සැලකිය හැක්කේ දැව සහ ඒ ආශ්රිත කර්මාන්තයන්. විශේෂයෙන්ම කඩදාසි සහ පල්ප කර්මාන්තය මෙයින් ප්‍රධාන වනවා. සෝවියට් සමයේ දී මෙන්ම අදට ද මෙම කර්මාන්තය එහි වැදගත්ම ආර්ථික කටයුත්ත ලෙස සැලකීමට පිළිවන්.