පිටත සිට ඉරානය නිරීක්ෂණය කරන බොහෝ දෙනෙකුට අමතක වන කරුණක් නම්, එරට බහු වාර්ගික රාජ්‍යයක් බව යි. එහි අරාබි, කුර්දි මෙන්ම අසර්බයිජාන් ජාතිකයන් වාසය කරනවා. මෙම කරුණ දෙවන ලෝක යුධ සමයේ දී සහ ඉන් අනතුරුව ගත වූ කෙටි කාලයක් තුළ දී, ඉරානයේ කොටසක් ඈඳා ගැනීමට සෝවියට් දේශය විසින් ගන්නා ලද උත්සාහයකට හේතු වුණා.
රුසියානු අධිරාජ්‍යය දකුණු දෙසට ව්‍යාප්ත වෙද්දී පර්සියානු අධිරාජ්‍යය සමග යුද්ධ කිහිපයකටම පැටලුණා. ඒවා හේතුවෙන් ඓතිහාසික අසර්බයිජාන බිම් ප්‍රදේශ මෙම රටවල් දෙක අතර බෙදී ගියා. දෙවන ලෝක යුද්ධය ඇරඹෙන අවස්ථාව වන විට ද තත්ත්වය වූයේ ඒ ආකාරයෙන්.
දෙවන ලෝක යුද්ධය ඇදීගෙන යන විට, 1941 අගෝස්තු මාසයේ දී බ්‍රිතාන්‍ය සහ සෝවියට් හමුදා ඉරානය ආක්‍රමණය කළා. ඉරානය සිය මධ්‍යස්ථභාවය ප්‍රකාශ කර තිබුණ ද, එහි ජර්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳ මිත්‍ර පාක්ෂිකයන් තුළ සැක මතු වීම ඊට හේතු වුණා. ජර්මන් බුද්ධි නිලධාරීන් ඉරානය තුළ කටයුතු කිරීම සහ ඉරානයේ තෙල් සම්පත ජර්මනිය අතට පත් වීම පිළිබඳ වූ බිය, මිත්‍ර පාක්ෂික ආක්‍රමණයට මූලිකව බලපෑ බව කිව හැකියි. ඉරානය වැඩි සටනක් නොමැතිව යටත් වුණා. ජර්මන් ජාතිකයන් එරටින් පිටමං කරනු ලැබුණා. දෙවන ලෝක යුද්ධය අවසන් වනතුරු එරට උතුරුදිග ප්‍රදේශයන් හි සෝවියට් හමුදා ද, දකුණුදිග ප්‍රදේශයන් හි බ්‍රිතාන්‍ය හමුදා ද රැඳී සිටියා. නිල වශයෙන් මෙම ප්‍රදේශ දිගටම ඉරාන ෂාවරයාගේ (අධිරාජයා) පාලනයට යටත් වූ නමුත්, සත්‍ය ලෙසම එම ප්‍රදේශයන් හි බලය තිබුණේ විදේශීය හමුදාවන්ට යි.
දකුණු අසර්බයිජාන ජාතිකත්වය
ඉරානයට අයත් දකුණු අසර්බයිජානය මේ අනුව සෝවියට් බලපෑමට යටත් වුණා. ඒ සමගම සෝවියට් දේශය එම ප්‍රදේශයෙහි අසර්බයිජාන් ජනයා දිනාගැනීමේ ආර්ථික, සංස්කෘතික, දේශපාලනික සහ මතවාදීමය ව්‍යාපෘතියකට මුල පිරුවා. ඉරාන පාලනය යටතේ අසෙරි ජනයා පීඩනයට ලක් වීම මෙම කටයුතුවල දී සෝවියට් දේශයට වාසියක් වුණා. මෙහි දී සෝවියට් දේශය විසින් එවන ලද විශේෂඥයන් සැලකිය යුතු පිරිසක් පැමිණියේ සෝවියට් අසර්බයිජානයෙන්.
අදාළ ප්‍රදේශයේ ජනජීවිතය නගා සිටුවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සෝවියට් දේශය විසින් මුලින්ම ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල යි. ඉන් අනතුරුව දේශපාලනික ප්‍රචාරක ව්‍යාපෘති ඇරඹුණා. කොමියුනිස්ට් දර්ශනය සහ සෝවියට් දේශය ප්‍රචලිත කිරීම සඳහා පුවත්පත් පළ වූ අතර, පොත් පත් පළ කිරීමට ප්‍රකාශන ආයතනයක් ද ස්ථාපිත කරනු ලැබුණා. මේ අතර, නාට්‍ය සහ වෙනත් සංස්කෘතිකාංග ද ප්‍රචලිත කෙරුණා.
සෝවියට් දේශයෙහි නිල ස්ථාවරය වූයේ, තමන් පැමිණ සිටින්නේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට මිස මෙම ප්‍රදේශ බලහත්කාරයෙන් අල්ලාගැනීමට නොවන බව යි. නමුත්, ඉරානය යටතේ ජීවත් වීමට වඩා සෝවියට් දේශයෙහි කොටසක් වීම යහපත් බව දකුණු අසර්බයිජාන ජනයා වෙත අඟවනු ලැබුණා.
අසර්බයිජානය “එක්සත් කිරීම”
දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් මාස කිහිපයක් තුළ විදේශීය හමුදා ඉවත් කරගැනීමට ඉරානයේ ෂාවරයා සමග මිත්‍ර පාක්ෂිකයන් එකඟ වී තිබුණා. බ්‍රිතාන්‍යය මේ අනුව සිය හමුදා ඉවත් කරගත්තා. එහෙත්, සෝවියට් දේශය සිය හමුදා ඉවාත් කරගැනීම ප්‍රමාද කරන්නට වුණා.
සෝවියට් බලය ඒ වන විට දකුණු අසර්බයිජානයේ තදබල ලෙස ස්ථාපිතව තිබුණා. සෝවියට් අසර්බයිජානයේ නායකයා වූ මීර් ජෆාර් බගිරොෆ් අසර්බයිජානය එක්සත් කළ නායකයා ලෙස ප්‍රසිද්ධ වීමේ ආශාවකින් පෙලුණා. එමෙන්ම ඔහු සිය ව්‍යාප්තිවාදී අදහස් දකුණු අසර්බයිජානයෙන් ද එපිට ටෙහෙරානය වෙත ද යොමු කළා. ඉරාන අගනුවර වූ ටෙහෙරානය ද ඓතිහාසික අසර්බයිජාන නගරයක් බව ඔහු කියා සිටින්නට වුණා.
මේ අතර දකුණු අසර්බයිජානයේ ආර්ථිකය සෝවියට් දේශයේ ආර්ථිකය හා සම්බන්ධ කරනු ලැබුණා. සෝවියට් පාක්ෂික වූ ඉරාන අසර්බයිජානයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට සම්බන්ධ සන්නද්ධ මිලීෂියා කණ්ඩායම් 1945 නොවැම්බරයේ දී එම ප්‍රදේශයේ වැදගත් ස්ථානවල බලය තහවුරු කරගත්තා.
මෙහි දී නිරීක්ෂණය කළ හැකි වැදගත් කරුණක් වූයේ, සෝවියට් දේශය දකුණු අසර්බයිජානය වෙත සිය බලපෑම ව්‍යාප්ත කිරීමේ දී කොමියුනිස්ට්වාදය මෙන්ම අසර්බයිජාන් ජාතිකත්වය ද ප්‍රයෝජනයට ගත් බව යි.
මෙහි උච්චතම අවස්ථාව වූයේ 1945 දෙසැම්බර් 12 වනදා අසර්බයිජාන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ප්‍රකාශයට පත් කිරීම යි. නාමිකව මෙය ඉරානයේ ස්වතන්ත්‍ර පාලන ප්‍රදේශයක් ලෙස සැලකුන ද සත්‍ය වශයෙන්ම එය සෝවියට් පරිවාර රාජ්‍යයක් වුණා.
කුර්දි රාජ්‍යය
මේ අතරතුර ඉරානයේ කුර්දි ජනයා වාසය කරන ප්‍රදේශයෙහි ද කුර්දි රාජ්‍යයක් නිර්මාණය කිරීමට කටයුතු කෙරුණා. මහාබාද් නගරය කේන්ද්‍ර කර ගත් මෙම ප්‍රදේශය මහාබාද් ජනරජය ලෙස හඳුන්වනු ලැබුණා. කුර්දි ප්‍රදේශයන් ද 1941 සිටම සෝවියට් පාලනයට යටත්ව තිබුණු නමුත්, ඉරාන අසර්බයිජානය තරම් අවධානයක් ඔවුන් විසින් කුර්දි ප්‍රදේශ වෙත ලබා දුන්නේ නැහැ.
මහාබාද් ජනරජය ස්ථාපිත කරන ලද්දේ 1946 ජනවාරි 22 දා යි. එහෙත් අසර්බයිජාන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ දී මෙන් නොව, මහාබාද් ජනරජයේ දී සෝවියට් සහාය ලැබූ රජයට විශාල ජනතා සහයෝගයක් ලැබුණේ නැහැ.
ඉරාන ප්‍රතික්‍රියාව
මෙම ප්‍රදේශයන්ට හමුදා එවීමට නොහැකි තත්ත්වයක් වූයෙන් ඉරානය රාජ්‍යතාන්ත්‍රික මාර්ගවලින් සිය විරෝධතාව දක්වන්නට පටන් ගත්තා. සෝවියට් දේශයේ ව්‍යාප්තිවාදී වැඩපිළිවෙල පිළිබඳ ඉරානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පැමිණිලි කළා. මෙය ආරක්ෂක මණ්ඩලය වෙත ලැබුණ පළමු පැමිණිල්ල ලෙස වාර්තා වනවා. එමෙන්ම ඊට බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියාකාරීව සහාය දුන්නා.
මෙම අවස්ථාවේ ඉරාන ප්‍රශ්නය අරබයා ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිරෝධයකට මුහුණ දීමේ අවශ්‍යතාවයක් සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින්ට වූයේ නැහැ. එහෙයින් ඔහු සාකච්ඡා කිරීමට කැමැති වුණා. මාස කිහිපයක් පැවති සාකච්ඡාවලින් පසු, උතුරු ඉරානයේ තෙල් ළිං සංවර්ධනය කිරීමට සෝවියට් දේශයට අවස්ථාව ලබාදීමේ එකඟතාව මත හමුදා ඉවත් කරගැනීමට ඔහු කැමැත්ත පළ කළා. ඒ අනුව ඔහු අසර්බයිජාන සහ කුර්දි රාජ්‍යයන්ට හමුදා සහාය දැක්වීම නතර කළා.
1946 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ඉරාන හමුදා මෙම ප්‍රදේශයන් නැවත අත්පත් කරගත්තා. කුර්දි රාජ්‍යයේ නායකයින් කිහිපදෙනකු අල්ලාගත් ඉරානය 1947 මුල දී ඔවුනට මරණ දඬුවම ලබා දුන්නා. අසර්බයිජාන රාජ්‍යයෙහි නායකයින් සෝවියට් දේශය වෙත පලා ගියා.
නමුත් ඔවුනට එහි දී බලාපොරොත්තු වූ පිළිගැනීම ලැබුණේ නැහැ. ඇතැමුන් ඔත්තු බැලීමේ චෝදනාව මත සිර කඳවුරුවලට යවනු ලැබුණා. අසර්බයිජාන රාජ්‍යයේ නායකයා වූ සයෙද් ජෆාර් පිෂේවාරි, මෝටර් රථ අනතුරකින් මියගිය අතර එය සෝවියට් රහස් පොලිසියේ ක්‍රියාවක් බව සැලකෙනවා.