සෝවියට් දේශපාලන උපහාස කතා: ලෝකයම කොමියුනිස්ට් වුණාම වෙන දේ

ඕනම රටක දේශපාලන උපහාස​ කතා ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් සෝවියට් දේශයෙ උපහාස​ කතාවලින් පාලකයන් සමච්චලයට ලක් කරන අයත් බලධාරීන්ගේ කෝපයට ලක්වෙන්න ඉඩ තිබ්බා. සෝවියට් දේශය කියන්නෙ තනි පක්ෂ පාලනයක් තිබ්බ රටක්. ඉතින් මේ රටේ පාලකයන්ව සාමාන්‍ය ජනමාධ්‍ය ඔස්සේ විවේචනය කරන්න හැකියාවක් තිබ්බෙ නැහැ. එම නිසා උපහාස​ කතා යනු විරෝධාකල්පය දක්වන ප්‍රබල මාධ්‍යයක් වුණා.

පාලකයින්ගෙන් එල්ල වෙච්ච තර්ජන තිබියදීත් සෝවියට් මිනිස්සු මේ වගේ උපහාස​ කතාවලින් සතුටක් ලැබුවා. මෙම කතා බෙහෙවින් ජනප්‍රිය වූ කාලයක් ලෙස 1964 සිට 1982 දක්වා වූ ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්ගේ පාලන කාලය සඳහන් ව‍ෙනවා. බ්‍රෙෂ්නෙව් ගැන බොහෝ උපහාස කතා නිර්මාණය වුණා. මේ එයින් සමහරක්.

චැනල් මාරු කිරීම

සෝවියට් වැසියෙක් දවසක් රූපවාහිනිය නරඹන්න පටන් ගත්තා. පළමු නාලිකාවේ වූයේ බ්‍රෙෂ්නෙව්ගේ කතාවක්. ඉතින් ඔහු දෙවැනි නාලිකාවකට මාරු වුණා. එහි ද වූයේ බ්‍රෙෂ්නෙව්. මෙවර ඔහු තුන්වන නාලිකාවකට මාරු වුණා. නැවතත් බ්‍රෙෂ්නෙව්. මෙවර ඔහු සිව්වන නාලිකාවට මාරු වූ අතර එහි වූයේ කේ.ජී.බී. රහස් ඔත්තු සේවා නිලධාරියෙක්.

“ඔය චැනල් මාරු කිරිල්ල නැවැත්තුවොත් හොඳයි !” ඔහු තර්ජනාත්මකව කියා සිටියා.

බ්‍රෙෂ්නෙව් 1973 වසරේ ක්‍රිමියාවේ නිවාඩුවක් ගත කරමින් (TASS)

“කවුද ඔතන​?”

බ්‍රෙෂ්නෙව් කියන්නෙ සිය කතාවන් දෙස ම බලාගෙන​ කතා කරන කෙනෙක්. වතාවක් ඔහුගේ කාර්යාලයේ දොරට කවුරුන් හෝ තට්ටු කළා. බ්‍රෙෂ්නෙව් තමුන්ගේ ආසනෙන් නැගිටලා, දොර අසලට ඇවිදගෙන ආවා.

ඔහුගේ කබා සාක්කුවෙන් කඩදාසියක් අතට ගත්තු බ්‍රෙෂ්නෙව් කණ්ණාඩි කුට්ටම දමාගෙන ඒ දෙස බලා, “කවුද ඔතන​?”යැ යි ඇසුවා.

ලෝකයම කොමියුනිස්ට් වුණාම

දිනක් රාත්‍රියේ බ්‍රෙෂ්නෙව් සහ ඔහුගේ බිරිඳ වික්ටෝරියා නින්දේ සිටිය දී, එක්වරම බ්‍රෙෂ්නෙව් සිහිනෙන් බිය වී ඇහැරුණා.

“මොකද වුණේ?” වික්ටෝරියා බ්‍රෙෂ්නෝවා විමසා සිටියා.

“මම බය වුණා හොඳටම​. මම හීනෙන් දැක්කා මුළු ලෝකෙම කොමියුනිස්ට් වෙනවා”

“ඉතින් හොඳයිනේ? ඇයි බය වෙන්නේ?” වික්ටෝරියාට ප්‍රශ්නයක්.

“ඇයි තේරෙන්නෙ නැද්ද​? ලෝකෙම කොමියුනිස්ට් වුණාම අපි කන්න හොයාගන්නෙ කොහෙන් ද​?”

ඔලිම්පික් සමාරම්භක උළෙල

1980 ඔලිම්පික් උළෙල පවත්වන ලද්දේ මොස්කව් නගරයේ දි යි. මෙහි සමාරම්භක උත්සවයේ දි බ්‍රෙෂ්නෙව්ට කතාවක් කිරීමට තිබුණා.

ඔලිම්පික් උළෙලට පෙර වූ ප්‍රචාරක පුවරු මොස්කව් ඔලිම්පික් උළෙලේ නිල ලාංඡනයට වඩා විශාලව බ්‍රෙෂ්නෙව්ගේ රුව (AP)

බ්‍රෙෂ්නෙව් මයික්‍රෆෝනය අසලට පැමිණ කතාව ආරම්භ කළා.

“ඕ!”

ජනතාව අත්පොළසන් දුන්නා.

“ඕ!”

ජනතාව වඩා තීව්‍ර ව අත්පොළසන් දුන්නා.

“ඕ!”

ජනතාව අසුන්වලින් නැගිට අත්පොළසන් දුන්නා.

මේ අවස්ථාවේ ඔහුගේ උපදේශකය‍ෙකු බ්‍රෙෂ්නෙව් අසලට පැමිණියා.

“ලියොනිඩ් ඉලීච්,” ඔහු බ්‍රෙෂ්නෙව් ඇමතුවා. “ඔබ ඔය කියවන්නෙ ඔලිම්පික් ධජයේ තියෙන රවුම් නේද​? ඒ කතාවක් නෙවේ. ඔලිම්පික් ලාංඡනය.”

විනාඩි 15

එක් වතාවක් දේශපාලන කතාවක් නිම කරපු බ්‍රෙෂ්නෙව් කෝපයෙන් සිය කතා ලියන ලේඛකයාට කතා කළා.

“මොකක්ද මේ නටපු නාඩගම​? මම කීවෙ විනාඩි 15ක කතාවක් ලියලා දෙන්න කියලා​. අර කතාවට විනාඩි හතලිස් පහක් ම ගියා.”

කතා රචකයා පුදුමයෙන් බලා හිටියා.

“ඉතින් ලියොනිඩ් ඉලීච් සහෝදරයා. මම ඒ කතාවෙ පිටපත් තුනක් ඔබට දෙනවා කිව්වානේ.”

කකුල් හතළිහයි දත් හතරයි

බ්‍රෙෂ්නෙව්ගෙ පාලන සමයේ දි තරුණ නායකයන්ට අවස්ථාව ලැබුණේ නැහැ. මේ නිසා එහි අවසන් සමය වෙද්දී සෝවියට් දේශයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ වූයේ වයස්ගත වූවන් පිරිසක්. මේ ගැන පහත වූ උපහාසාත්මක කතාව නිර්මාණය වුණා.

වමේ සිට දකුණට​: අන්ද්‍රේයි කොසිජින්, බ්‍රෙෂ්නෙව් සහ නිකොලායි පොඩ්ගොර්නි. 1972 නොවැම්බර් 7 වන දා බෝල්ශවික් විප්ලවයේ 55 වන සංවත්සරය අවස්ථාවේ දී (Getty Images)

දෙදෙනෙක් අතර වන පිළිසඳරක දී එක් අයෙක් මෙහෙම අහනවා.

“දත් හතළිහක් සහ කකුල් හතරක් ඇත්තේ කාට ද​?”

“කිඹුලාට​”

“දත් හතරක් සහ කකුල් හතළිහක් ඇත්තේ කාට ද​?”

“බ්‍රෙෂ්නෙව්ගේ දේශපාලන මණ්ඩලයට​.”

අවුරුදු 15 සිර දඬුවම

සෝවියට් පුරවැසියෙක් රතු චතුරශ්‍රයට​ පැමිණ හඬ නගා කෑගැසුවා.

“බ්‍රෙෂ්නෙව් කියන්නෙ මෝඩයෙක් !”

ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයක් ඉදිරියට පමුණුවනු ලැබුණා.

“වසර 15ක සිර දඬුවමක්. සෝවියට් නායකයාට අපහාස කිරීමට වසර 5 යි. රාජ්‍ය රහසක් හෙළි කිරීමට වසර 10 යි.”

බ්‍රෙෂ්නෙව් නම් යුද විරුවා

බ්‍රෙෂ්නෙව් දෙවන ලෝක යුද්ධයේ දී සටන් වැදුණු අතර කර්නල් තනතුරක් දක්වා උසස් වුණා. ඔහු සහභාගී වූ වැදගත්ම සටන වූයේ නොවොරොසික් ප්‍රදේශයේ මලායා සෙම්ලියා සටන යි. එය එතරම් වැදගත් සටනක් ලෙස සැලකුණේ නැහැ.

නමුත් බ්‍රෙෂ්නෙව් බලයට පැමිණ කලක් යද්දී ඔහුගෙ ස්වයං චරිතාපදානය පළවුණා. එහි දී මලායා සෙම්ලියා යනු අතිශයින් වැදගත් සටනක් ලෙස හැඳින්වුණා. සෝවියට් ජනයා අතර මෙම පොත පිළිගැනීමකට ලක්නොවූ අතර මලායා සෙම්ලියා සටන පිළිබඳ විස්තරය උපහාසයට ලක්වුණා. මේ එවන් උපහාස කතා දෙකක්.

දෙවන ලෝක යුද්ධයේ දි සටන් කළ දෙදෙන‍ෙකු මුණ ගැසෙනවා. එක් අයෙකු අනෙක් පැරණි සෙබළාට මෙසේ පවසනවා.

“තමුසෙ මොනවද ඕයි යුද්දෙ දී කළේ? මම මලායා සෙම්ලියාවල සටන් කරද්දි තමුසෙ ස්ටාලින්ග්‍රාද්වලට වෙලා අයිස් ගහ ගහ හිටියානේ.”

(ස්ටාලින්ග්‍රාද් යනු ජර්මනියේ පරාජයට වැදගත්ම දායකත්වයක් දැක්වූ සටනක් බව බොහෝදෙනා දන්නවා)

අනික් කතාව​:

බර්ලින් නගරයට එල්ල කරන අවසන් ප්‍රහාරය සැලසුම් කරන මාර්ෂල් සුකොව් ස්ටාලින් මුණ ගැසෙන්නට පැමිණ එය පෙන්වනවා.

“මේ සැලැස්ම හොඳයි මාර්ෂල් සුකොව්. ඒත් මම මගේ තීරණය දෙන්න කලින් කර්නල් බ්‍රෙෂ්නෙව්ගෙන් අහන්න ඕන​.”

ශල්‍යකර්මය

වරක් ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් ශල්‍යකර්මයක් සඳහා යොමු කෙරුණා.

“මොකක්ද මේ ශල්‍යකර්මය​?” අයෙක් තවත් කෙනෙකුගෙන් විමසා සිටියා.

“ලියොනිඩ් ඉලීච් සහෝදරයාගේ පපුව ප්‍රදේශයේ ශල්‍යකර්මයක්.”

“ආහ්. හදවත් රෝගයක් ද​?”

“නැහැ. පපුව විශාල කරනවා.”

“ඒ කිව්වෙ?” පුදුමයෙන් පළමුවැන්නා ඇසුවා.

“ලියොනිඩ් ඉලීච් සහෝදරයාට තව පදක්කමක් ලැබෙන්න තියෙනවා​. එතකොට ඔහුගේ සේරම පදක්කම් පළඳන්න පපුව පළල් මදි. ඒ නිසා පපුව පළල් කරන්න ශල්‍යකර්මයක් කරනවා.” අනෙකා ඇඟටපතට නොදැනී කිව්වා.

(ඇත්ත වශයෙන්ම බ්‍රෙෂ්නෙව්ට විවිධ අවස්ථාවල අඳින ජැකට් හතරක් වූ අතර ඒවාට වෙනමම පදක්කම් ද තිබුණා)

මූලාශ්‍රයයන්:

Breaking with Moscow – Arkady N. Shevchenko

‘Dear Leonid Ilyich’: jokes about Soviet leader Leonid Brezhnev (Russia beyond)

Soviet Era Dark Humor Makes a Comeback (Public Radio International)

Medallion men: The peacetime decorations awarded by the Soviets (Russia Beyond)

Cover Image: වැලන්ටිනා තෙරෙස්කෝවා සහ තවත් අජටාකාශගාමීන් කිහිපදෙනෙකු සමග ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් (TASS)

Related Articles

Exit mobile version