Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කුරුණෑගල ටැම්පිට විහාර වන්දනාව

වයඹ පළාතට අයත් කුරුණෑගල උඩරට රාජධානි සමයේ හත්කෝරළය පැතිර තිබූ  ප්‍රදේශය යි. සෙංකඩගල නුවරට යා යුතු වුණේ මෙහි සිට ගලගෙදර කපොල්ල ඔස්සේ යි. අගනුවරට යාබදව තිබූ නිසා මේ ප්‍රදේශයේ විහාරවලට උඩරට ප්‍රභූන්ගේ අනුග්‍රහය බහුලව ලැබුණා. ඒ නිසා කුඩා ටැම්පිට විහාර රාශියක් හත්කෝරළයේ ඉදිවී තිබෙනවා.

බිහල්පොළ ටැම්පිට විහාරයේ ප්‍රතිමා මන්දිරය- කුසුම්සිරි විජයවර්ධන

ලංකාවේ වැඩිම ටැම්පිට විහාර පිහිටි දිස්ත්‍රික්ක අතරින් දෙවැනි තැන හිමිකර ගන්නේ කුරුණෑගල යි. එහි ටැම්පිට විහාර 28ක් අපට හමුවුණා. ඒ අතර ලංකාවේ විශාලම ටැම්පිට විහාරය ලෙස සැලකිය හැකි බිංගිරිය ද පිහිටා තිබෙනවා.

කෝඳුරුවාපොළ විහාරයේ මූර්ති- කුසුම්සිරි විජයවර්ධන

කුරුණෑගල ටැම්පිට විහාර හඳුනා ගනිමු.

දඹදෙනිය විජයසුන්දරාමය, දීකිරිකෑව, බිහල්පොල, බිංගිරිය, කෝඳුරුවාපොළ, ඉඟුරුවත්ත, වංගුතැන්න වටරැක, දිගම්පිටිය, කෝන්ගහගෙදර, දැතව, පලුවැල්ල, කණුගල, කෝන්ගොඩ, දොරබාවිල, දඹදෙනිය ගල්ගමුව, පඬුවස්නුවර, බිබිලදෙනිය, උඩුබද්දාව, වතුවත්ත, ගලයාය, උයනේගම, නක්කාවත්ත, වේරහැර, යටත්තාවෙල, කළුහෙන්දිවෙල, ගණන්ගමුව, බයව කුරුණෑගල පිහිටි ටැම්පිට විහාර වෙනවා.

මේ අතරින් කිහිපයකට අපි චාරිකා කරමු. එය ඔබට අපූරු අත්දැකීමක් වේවි.

බිංගිරිය

ටැම්පිට විහාරය- කුසුම්සිරි විජයවර්ධන

හලාවත, කුරුණෑගල මාර්ගයේ බිංගිරිය නගරාසන්නයේ පන්සල් හන්දියේ සිට කිලෝ මීටරයක්‌ අතුරු පාරක  යන විට තුරු වදුලින් වැසුණු පරිසරයක බිංගිරිය ශ්‍රී දේවගිරි රජමහා විහාරස්‌ථානය දැකගැනීමට ලැබෙනවා. මෙය ලංකාවේ විශාලම ටැම්පිට විහාරයයි.

ටැම්පිට විහාරය පසුබිමේ පිහිටි දාගැබ- කුසුම්සිරි විජයවර්ධන

අනුරාධපුර යුගයට අයත් ප්‍රාකාරයක්, විහාරාරාමවල නටබුන්, සහ දාගැබක්ද මෙහි තිබෙනවා. ටැම්පිට විහාරය ඉදිකර තිබෙන්නේ අඩි 6ක් උස ගල්ටැම් 22ක් මතයි. එයට පිවිසීමට දැව තරප්පු පෙළක් තිබෙනවා. ටැම්පිට විහාරය ඉදිකළ බව පැවසෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ, එනම් 18 වැනි සියවසේ යි.

සූවිසි විවරණය- කුසුම්සිරි විජයවර්ධන

මෙහි කුලුණු වල දක්‌නට ලැබෙන අගනා ලී කැටයම්, විහාරයේ බිතු සිතුවම්, සහ ප්‍රතිමා මහනුවර යුගයේ කලා ශිල්පීන්ගේ හැකියාව මනාව පෙන්නුම් කරනවා. මෙහි ප්‍රදක්ෂිණා පථයේ පිටත බිත්තියේ සහ දැව සිවිලිමේ දක්නට ලැබෙන සිතුවම් උඩරට සිතුවම් කලාවට කදිම උදහරණ සපයනවා.

දැව කැටයම්- කුසුම්සිරි විජයවර්ධන

දේවානම්පියතිස්‌ස රජ සමයේ රජුගේ සොහොයුරකු වූ මහානාග යුව රජු විසින් මෙම විහාර දාගැබ ඉදිකරන ලද බවට ජනප්‍රවාද සඳහන් කරනවා.

කෝඳුරුවාපොල

ටැම්පිට විහාරය- කුසුම්සිරි විජයවර්ධන

මේ විහාරයට යාමට කුරුණෑගල සිට කුලියාපිටිය මාර්ගයේ පැමිණ නාරම්මල සිට කි.මී. 10 ක් පමණ ගොස් ගණන්ගමුව හන්දියෙන් වමට හැරී තවත් කි.මී. 2ක් ගමන් කළ යුතු යි. මෙය ඉදිකරවූ බව සඳහන් වන්නේ මීගස්තැන්නේ අදිකාරම (දුම්බර නිලමේ) විසින්. කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) රජ දවස විසූ මෙම අදිකාරම විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හත් කෝරළේ ටැම්පිට විහාර රාශියක් ඉදිකරවන ලද බව හෝ පිළිසකර කරවන ලද බව සඳහන් වෙනවා.

බුද්ධ ප්‍රතිමාව- කුසුම්සිරි විජයවර්ධන

විහාරය ඉදිකර තිබෙන්නේ ගල් පර්වතයත් මතයි. පර්වතය මත සිටවූ අඩි 2ක් පමණ උස ගල්ටැම් 11ක් එයට යොදාගෙන තිබෙනවා. පර්වතයේ ස්වරූපය අනුව ගල්ටැම්වල උස වෙනස් වෙනවා. ඒවායේ ඝනකම ද එකිනෙකට වෙනස්. විහාරයට පිවිසීමට ඉදිරිපසින් කළුගල් කුට්ටි යොදා පියගැට පෙළක් නිර්මාණය කර තිබෙනවා.

‍ප්‍රතිමාගෘහය තුළ දක්නට ලැබෙන සිරස්පත සහිත හිඳි බුද්ධ ප්‍රතිමාව ආසනය ද සමඟ උසින් අඩි 7 අඟල් 3 ක්. එහි සිවුරු රැළි දියරැළි ආකාරයෙන් යුක්ත යි. හිඳි ප්‍රතිමාව දෙපසින් ඇත්තේ බොහෝ ටැම්පිට විහාරවල මෙන් හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් දැකගත හැකියි. පහන් දැලි බැඳීම නිසා මෙහි බිතුසිතුවම් සිතුවම් දුර්වර්ණ වී ගොසින්. මේ විහාරය කිහිප වරක්ම නිදන්හොරුන්ගේ අතවරයට පත් ස්ථානයක්.

හුලුගල්ල

ටැම්පිට විහාරය-Ashan Geeganage, Amazing lanka.com

නිකවැරටිය මහව මාර්ගයේ කිලෝ මීටර් 03 ක්‌ පමණ ගිය පසු වමට හැරි අඹන්පොල මාර්ගයේ කිලෝ මීටර් 03 ක්‌ පමණ ගොස් මධ්‍ය මහා විද්‍යාලය අසලිස්‌ වමට හැරී තවත් කිලෝ මීටර් 1 1/2 ක්‌ පමණ පමණ ගිය විට විහාරයට පිවිසිය හැකියි. පුරාණ ස්වරූපය ආරක්ෂාවී තිබෙන ටැම්පිට විහාරයක්.

මෙම විහාරය පිහිටා ඇත්තේ මහසෙන් රජු විසින් ඉදිකළායෑයි සඳහන් වන හුළුගල්ල වැව හෙවත් සුගුළුව වැව පාමුලය.

ටැම්පිට විහාරය ඉදිකර තිබෙන්නේ  අඩි 4 ක්‌ උස්‌ වූ ගල් කණු 16 ක්‌ මතයි. උඩරට සම්ප්‍රදායේ පසුකාලීන ලක්ෂණ පෙන්වන චිත්‍ර හා මූර්තිවලින් විහාරය අලංකාර කර තිබෙනවා. මෙහි විශේෂත්වය නම් පියස්ස කොටස් දෙකකින් යුක්තව ඉදිකර තිබීමයි.

විහාර ගර්භ ගෘහය වටා අඩි 01 අඟල් 03ක් අවම පළලකින් යුතු ප්‍රදක්‌ෂිණා පථයක්‌ දක්‌නට ලැබනවා. ඒ වටා අලංකාර ගරාදි වැටක්‌ද දක්‌නට පුලුවන්. බුද්ධ ප්‍රතිමාවලට අමතරව බිත්තිවල සූවිසි විවරණය, රහත් රූප ඇඳ තිබෙනවා. සම්ප්‍රදායික මල් මෝස්තරත් ඒ අතර දක්නට පුලුවන්.

බිහල්පොළ

ටැම්පිට විහාරය සහ ධාතු මන්දිරය- කුසුම්සිරි විජයවර්ධන

කුරුණෑගල, කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ කුලියාපිටිය දෙසට ගමන් කරනවිට 16 – 17 සැතපුම් කණු අතර දකුණු පසට ඇති මාර්ගයේ මී. 300ක් පමණ ගමන් කරන විට බිහල්පොළ වෙහෙරගල ශ්‍රී පාදස්ථාන රජමහා විහාරය හමුවෙනවා.

විහාර ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා ඇදී යනවා. ටැම්පිට විහාරය මහනුවර යුගයේ දී ඉදිකළ එකක්. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි නෂ්ටාවශේෂ, පුරාණ ගොඩනැගිලි මෙන්ම පුරාවස්තු ද විහාර භූමිය ආශ්‍රිතව විසිරී තිබෙනවා. ඒ අතර ගල් පුවරු, කණු පාදම් ගල්, සඳකඩපහන් ආදිය දැකගත හැකියි.

පහළ මළුවේ දක්නට ලැබෙන පැරැණිතම ඉදිකිරීම ලෙස මහනුවර යුගයට අයත් යැයි සැලකෙන සංඝාවාසය හඳුනාගත හැකියි. සංඝාවාසය අසලම පැරණි ධර්මශාලාවක් ද තිබෙනවා. දැව කණු ආශ්‍රිතව පනේලයන්හි ධර්මචක්‍රය, නෙළුම් මල වැනි කැටයම් දැකිය හැකියි.

විහාර බිතුසිතුවම්- කුසුම්සිරි විජයවර්ධන

ටැම්පිට විහාරය ඉදිකර තිබෙන්නේ ගල්පර්වතය මතයි. එයට පිවිසීමට පියගැට තරණය කළ යුතු වෙනවා. පර්වතය මත ගල් කුට්ටි 9ක් මත ටැම්පිට විහාරය ඉදිකර තිබෙනවා. මෙය තරමක් විශාල ටැම්පිට විහාරයක්. එයට ප්‍රවේශ වීමට දකුණින් හා බටහිරින් දොරටු 2ක් පිහිටා තිබෙනවා. එය වටා යන සේ ප්‍රදක්ෂිණා පථයක් විහාරය ඇතුළතින් දැකගත හැකියි. හිඳි පිළිම වහන්සේ නමක් හා හිටි බුද්ධ ප්‍රතිමා සහ දේව පිළිමවලින් ද පිළිම ගෙය සමන්විතයි. ටැම්පිට විහාරයේ පැරණි බිතුසිතුවම්  පුරාවිද්‍යා සරංක්ෂණයේ දී මතුකර තිබෙනවා. අපායේ ජවනිකා, වෙස්සන්තර ජාතකය මෙහි කැපී පෙනෙන සිතුවම් වෙනවා.

මේ අසලම දාගැබක් ද දක්නට පුලුවන්. පර්වතට මතට අවට වයඹ තැනිතලාවේ අලංකාර දර්ශනයක් දිස්වෙනවා.

උඩමළුවෙහි පිහිටි ප්‍රතිමා ගෘහයට යාබදව ඉදිකරන ලද දෙමහල් ධාතු මන්දිරය ද උඩරට සම්ප්‍රදායට අයත් සුවිශේෂී නිර්මාණයක්. ධාතු මන්දිරය ද මහනුවර යුගයේ අගනා බිතුසිතුවම්වලින් අලංකාර වූ ස්ථානයක්. එහි දොරටුව ද අලංකාර ලියවැල් රටාවලින් සරසා තිබෙනවා. වෙස්සන්තර ජාතකය, සස ජාතකය, සොළොස්මස්ථාන සිතුවම් එහි දැකගත හැකියි.  පංචනාරී පල්ලැක්කිය මෙහි ඇති සුවිශේෂී සිතුවමක්.

පඩුවස්නුවර

ටැම්පිට විහාරය- Wikipedia.org

පඩුවස්නුවර නටබුන් බිමේ ඇතුළුනුවර නැගෙනහිර දොරටුවෙන් නික්ම  රජ මහා විහාරය දෙසට යන විට  විහාර සංකීර්ණය තුළ ටැම්පිට විහාරය දැකගත හැකියි.   පොළොන්නරු යුගයේ නටබුන් බහුල මේ බිමේ මහනුවර යුගයට අයත් ටැම්පිට විහාරයෙන් පෙනෙන්නේ සියවස් ගණනාවක් තිස්සේ පූජනීයත්වයට පත් බිමක් ලෙස පැවතුණු බවයි.

අඩි 3ක් උස ගල් කණු 16 ක් මත ඉදිකළ ටැම්පිට විහාරය ඉදිරිපසින් විවෘත මණ්ඩපයක් පිහිටා තිබෙනවා. එහි පියස්ස දරා සිටින්නේ කළුගල් කුලුනු 6ක් මගින්. මෙම පිළිම ගෙයට පිවිසීමට ඇති ලී තරප්පු පෙළ මෙන්ම විහාර ගෙයි පාදම සහ වහලය ද පසුව ප්‍රතිසංස්කරණ කළ බව පේනවා. විහාරයට පිවිසෙන උළුවස්ස කැටයම් රහිතයි. දොරපියන්වල සරල මල් මෝස්තරයක් ඇඳ තිබෙනවා. ඒ දෙපස දොරටුපාල සිතුවම් දැකගත හැකියි.

පිළිමගෙය හිඳි බුද්ධ ප්‍රතිමාවක් සහ හිටි බුදු පිළිම දෙකක් සහිතයි. වියනේ නෙලුම් මල් මෝස්තරය මෙන්ම වෙනත් ලියවැල් රටා ද චිත්‍රගත කර තිබෙනවා. මේ විහාරයට සම්බන්ධ වන සේ පසුකාලීනව (ඉංග්‍රීසි යටත්විජිත සමයේ) තවත් විහාර මන්දිරයක් ඉදිකර තිබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍ර-

ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර- කුසුම්සිරි විජයවර්ධන

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්මාරක- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

 Cover- බිහල්පොල සිතුවම්- කුසුම්සිරි විජයවර්ධන

Related Articles