ඔසාමා බින් ලාඩ්න්ගේ අල්-කයිඩා සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ සෝවියට් විරෝධී යුද්ධය තුළින් මතු වූ එක් සංවිධානයක්. කෙසේ නමුත් එය ඉස්ලාමීය සංවිධාන අතර තවත් එකක් විනා, සුවිශේෂී සංවිධානයක් වූයේ නැහැ. මෙම තත්ත්වය 1998 අගෝස්තු 7 වන දා සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ අප්‍රිකාවේ නගර දෙකක දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සමග යි.
එදින නැගෙනහිර අප්‍රිකාවේ යාබද රාජ්‍යයන් දෙකක් වන කෙන්යාවේ සහ ටැන්සානියාවේ අගනුවරවල් වන නයිරෝබි සහ ඩාර් එස් සලාම් නගරවල දී දෙරටෙහි ඇමරිකානු තානාපති කාර්යාල ඉලක්ක කරගෙන ප්‍රහාරයන් දෙකක් එල්ල වුණා. (ටැන්සානියාවේ නිල අගනුවර ඩොඩෝමා වුව ද ආර්ථික අගනගරය ඩාර් එස් සලාම් වන අතර බොහෝ තානාපති කාර්යාල ද ඩොඩෝමා වෙත ගෙන යනු ලැබුණේ නැහැ). දෙරටේ වෙලාවෙන් උදෑසන 10.30ට පමණ එල්ල වූ එම ප්‍රහාරයන් දෙක තුළින් ජීවිත 224ක් බිලි ගන්නා ලද අතර, නයිරෝබියේ දී 213ක් ද ටැන්සානියාවේ දී 11ක් ද මිය ගියා. මරණයට පත්වූවන් අතර ඇමෙරිකානුවන් සිටියේ 12 දෙනෙකු පමණ යි.
මෙම ප්‍රහාරයට ආසන්නතම හේතුව කුමක්දැ යි පැහැදිලි නොවූ අතර, ඇතැම් වාර්තා අනුව ඊජිප්තු ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ සාමාජිකයන් සිව් දෙනෙකු ඇල්බේනියාව විසින් ඇමරිකානු සහය ඇතිව ඊජිප්තුවට එවීම සම්බන්ධව පළිගැනීමට මෙම ප්‍රහාරය එල්ල කළ බව කියැවුණා. නමුත් බොහෝ වාර්තා සඳහන් කළේ අල්-කයිඩා සංවිධානය විසින් ඊට පෙර සිටම මෙම ප්‍රහාරය සැලසුම් කළ බව යි.
ප්‍රහාරය එල්ල වූ අගෝස්තු 7 වන දා ඔසාමා බින් ලාඩ්න්ට වැදගත් දිනයක් වීම ද එම අදහස තහවුරු වීමට හේතුවක් වුණා. 1990 දී සෞදි අරාබිය වෙත පළමු ඇමෙරිකානු හමුදා ළඟා වුණේ අගෝස්තු 7 වන දා යි. සෞදි අරාබිය සමග ඔසාමා බින් ලාඩ්න් උරණ වීමට හේතු වූයේ ද එය යි.
අල්-කයිඩා සංවිධානය
සෞදි අරාබියානුවෙකු වූ ඔසාමා බින් ලාඩ්න් විසින් අල්-කයිඩා සංවිධානය අරඹන ලද්දේ 1988 දී යි. 1970 අගභාගයේ පටන් සෝවියට් හමුදාවලට එරෙහිව ඇෆ්ඝනිස්ථානයේ දී ඉස්ලාමීය සටන්කාමීන් විසින් ගෙනයන යුද්ධය මේ වනවිට අවසාන අදියර කරා පැමිණෙමින් තිබුණා. මෙම යුද්ධය සඳහා විදෙස් රටවලින් ද විශාල සටන්කාමීන් පිරිසක් ළඟා වුණා. 1990 දශකයේ මුල් කාලයේ රටවල් කිහිපයකම ඉස්ලාමීය ත්‍රස්ත ව්‍යාපාර සඳහා සාමාජිකයන් නිර්මාණය වුණේ ඇෆ්ඝනිස්ථානයේ යුද්ධයෙන් බව ප්‍රකට කරුණක්. අල්-කයිඩා සංවිධානය ද මෙසේ පිහිටුවන ලද්දේ වහාබිවාදී, ඉස්ලාමීය අන්තවාදී පාලනයන් ලොව පුරා පිහිටුවීමේ අදහස සහිතව යි. මුල පටන් ම ඔසාමා සමග තවත් සංවිධාන කිහිපයක් ද සබඳතා පවත්වාගත් අතර ඊජිප්තු ඉස්ලාමීය ජිහාඩය ඉන් ප්‍රධාන වුණා.
සෞදි අරාබි පාලනය සමග ඇති වූ විරසකයෙන් පසු 1992 දී ඔසාමා බින් ලාඩ්න් සුඩානයට පැමිණියා. ඔහු 1996 වනතුරු රැඳී සිටියේ සුඩානයේ යි. පසුව සුඩානය ද ඔහුට එරටින් පිටවන ලෙස කියා සිටියා. 1996 දී ඔසාමා ඇෆ්ඝනිස්ථානය වෙත ළඟා වුණා. ඒ වනවිට එරට පාලනය කළේ තලේබාන් සංවිධානය විසින්.
නැගෙනහිර අප්‍රිකාවේ ඇමරිකානු තානාපති කාර්යාල ප්‍රහාරයන් එල්ල කෙරුණේ ඔසාමා ඇෆ්ඝනිස්ථානයේ රැඳී සිටිය දී යි.
ප්‍රහාරයන්
1998 අගෝස්තු 7 වනදා උදෑසන 10.30ට පමණ නයිරෝබි නගරයේ ඇමරිකානු තානාපති කාර්යාලය අසලට ට්‍රක් රථයක් පැමිණියා. එහි වූ ආරක්ෂක නිලධාරියා ට්‍රක් රථය නැවැත්වූ අවස්ථාවේ ඔහු වෙතට ප්‍රහාරයක් එල්ල වුණා. ඔහු ආධාර ඉල්ලා පණිවිඩයක් දීමට සැරසෙද්දීම ට්‍රක් රථය පුපුරා ගියා. ආසන්න වශයෙන් මෙම අවස්ථාවේම ටැන්සානියාවේ ඩාර් එස් සලාම්හි ද ඇමරිකානු තානාපති කාර්යාලය අසල ට්‍රක් රථයක් පුපුරා ගියා.
කෙන්යාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටියේ කාර්යබහුල ප්‍රදේශයක යි. එය 1983 දී නව රෙගුලාසි හඳුන්වාදීමට පෙර ඉදිකෙරුණු ගොඩනැගිල්ලක් වූ අතර යාබද ගොඩනැගිලි සහ එම ගොඩනැගිල්ල අතර වැඩි ඉඩකඩක් තිබුණේ නැහැ. මේ හේතුවෙන් අසල වූ ගොඩනැගිල්ලක් ද එම ප්‍රහාරයෙන් හානියට පත් වූ අතර විශාල ජීවිත හානියක් සිදු වූයේ එහි සහ අසල වීථිවල දී යි. ප්‍රහාරයන් දෙකේ දී තුවාල ලැබූවන් සංඛ්‍යාව 5000ක් පමණ වූ අතර ඉන් වැඩි පිරිසක් තුවාල ලැබුවේ නයිරෝබියේ දී යි. මෙවන් ප්‍රහාරයකට සූදානමක් නොමැති වූ කෙන්යාව තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීමේ දී සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ දී ඉතාම අසීරු තත්ත්වයකට පත් වුණා.
ටැන්සානියාවේ ඇමරිකානු තානාපති කාර්යාලය වඩා ආරක්ෂිත ස්ථානයක පිහිටි අතර එම හේතුව නිසා එම ප්‍රහාරයෙන් 11 දෙනෙකු මිය යද්දී තුවාල ලද්දේ 85 දෙනකු පමණ යි. එම ප්‍රහාරයේ දී කිසිඳු ඇමෙරිකානුවෙකු මිය ගියේ නැහැ.
ප්‍රහාරයන්හි ප්‍රතිඵල
මෙම ප්‍රහාරයන් හේතුවෙන් අල්-කයිඩා සංවිධානය සහ ඔසාමා බින් ලාඩ්න් පිළිබඳ ලෝකයේ අවධානය ඉහළ ගියා. ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ඇතැම් රටවල් ඔහු තමන්ට අත්‍යවශ්‍යය අයෙකු ලෙස හඳුනාගත්තා. නමුත් ඉස්ලාමීය අන්තවාදී සංවිධාන අතර අල් කයිඩා සංවිධානයේ ප්‍රසිද්ධිය සහ කීර්තිය ඉහළ යාමට මෙම ප්‍රහාරය හේතු වුණා. තවදුරටත් එය තවත් එක් ඉස්ලාමීය සංවිධානයක් වූයේ නැහැ. මේ අනුව ලෝකය පුරා පැතිර ගිය සුන්නි මුස්ලිම්, වහාබි අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් බිහි කිරීම සඳහා ඔසාමා සතු වූ අදහසට මෙම ප්‍රහාරය විශාල අනුබලයක් ලබා දුන්නා.
අගෝස්තු මස අවසානයේ දී ඇමරිකානු හමුදා විසින් සුඩානයේ සහ ඇෆ්ඝනිස්ථානයේ හඳුනාගත් අල්-කයිඩා ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ නමුත් එම ප්‍රහාර එතරම් සාර්ථක නොවූ බවට විශ්වාස කෙරෙනවා.
මේ අතර ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයන්හි තර්ජනය පිළිබඳ අප්‍රිකානු රටවල් වඩා විමසිලිමත් වීමට මෙම ප්‍රහාරය හේතු වුණා. විශේෂයෙන්ම කෙන්යාව මේ පිළිබඳ විශාල අවධානයක් යොමු කිරීමට පටන් ගත්තා.
අනෙක් අතින්, අප්‍රිකාව වැනි අස්ථාවර රාජ්‍යයන් රැසක් පිහිටි ප්‍රදේශයක ත්‍රස්ත සංවිධාන පැළපදියම් වීම පහසුවෙන් සිදු වනවා. විශේෂයෙන් නැගෙනහිර අප්‍රිකාව සැලකීමේ දී ඊට බලපෑවේ සෝමාලියාවේ පැවති අස්ථාවර දේශපාලන තත්ත්වය යි. 1998ට පෙර එහි ඉස්ලාමීය අන්තවාදී සංවිධාන එතරම් ප්‍රමුඛව නැගී නොසිටියත්, ඉන්පසුව අල්-කයිඩාහි සහය ද සහිතව ඉස්ලාමීය අන්තවාදීන් හිස එසවූවා. මෙය යාබද රටවලට තර්ජනයක් බවට පත් වුණා. කෙන්යාව මෙම අන්තවාදීන් පරාජය කිරීමට සිදු කරන ලද හමුදාමය මැදිහත් වීමට ද සහය දුන් අතර එම හේතුව නිසා එරට 2013 දී සහ 2015 දී තවත් බරපතල ත්‍රස්ත ප්‍රහාරයන් දෙකක ඉලක්ක බවට පත් වුණා.
මේ අතර 2003 දී වඩා ආරක්ෂිත වූ ස්ථානයක ඇමරිකාවේ කෙන්යානු තානාපති කාර්යාලය විවෘත කරනු ලැබුණා. පැරණි ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහි කිරීමට ස්මාරකයක් ද ඉදිකෙරුණා. කෙසේ නමුත් එම ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත්, අන්ධ වුණු, සහ පවුලේ අයගේ වියෝවෙන් අසරණ වූ කෙන්යානුවන්ට වන්දි ප්‍රදානයක් නම් සිදු වූයේ නැහැ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අනුන්ගේ යුද්ධයක පීඩිතයන් බවට පත්ව අදටත් ජීවත් වෙනවා.
මූලාශ්‍රයයන්:
Cover Image: සහන සේවකයෙක් (දකුණේ) නයිරෝබිහි ඇමෙරිකානු තානාපති කාර්යාල ගොඩනැගිල්ලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ගලවා ගැනීමේ මෙහෙයුම් අතරතුර දී (Getty Images)