නෙවාඩෝ ඩෙල් රුයීස් යනු කොළොම්බියාවේ අන්දීස් කඳු පංතියේ පිහිටි හිමෙන් වැසීගිය ගිනි කන්දකි. එය කොළොම්බියාවේ අගනුවරින් කිලෝමීටර 130ක් පමණ ඈතින් පිහිටියේ ය. ආර්මෙරෝ ගම්මානය පිහිටා තිබුණේ ද මෙම ගිනිකන්ද පාමුල සිට කිලෝමීටර හතළිස් අටක් පමණ ඈතට වන්නට ය.
නෙවාඩෝ ඩෙල් රුයීස්
පසුගිය වසර 11 000 තුළ දොළොස්වරක් සක්‍රීය වී ඇති මේ ගිනි කන්ද 1845 දී සක්‍රීය වූ අවස්ථාවේ මිනිසුන් 1000ක් පමණ මරා දමන්නට සමත්විය. එය 1984 වසරේ අගභාගයේ දී නැවතත් සක්‍රීයවීමට පටන්ගත්තේ අසල ගම්බිම්වල ජනයාගේ ජීවිත අවදානමකට ලක්කරමිනි. නෙවාඩෝ ගිනිකන්ද අවට ගම්වල ජීවත්වූ ජනයා ගිනිකන්ද සක්‍රීයවීම පිළිබඳව වැඩි තැකීමක් නොකළහා. භූ විද්‍යාඥයින් ළඟ එන පිපිරීම පිළිබඳ රජයට දැනුම් දුන් අතර, 1985 සැප්තැම්බර් මස වනවිට ප්‍රාදේශීය බලධාරීහු ප්‍රදේශයේ වැසියන් ඉවත්කිරීම පිළිබඳ සැලසුම් කරමින් සිටියෝ ය. ඔක්තෝබර් වෙද්දී ගිනි කන්දෙන් හානි පැමිණිය හැකි ප්‍රදේශ සිතියම්ගත කෙරිණි. නමුත් ඔවුන්ගේ නොසැලකිල්ල නිසා එම ප්‍රදේශයන්හි ජනතාව වෙත අනතුරු ඇඟවීම හරිහැටි සිදු නොවිය. සිතියම ද පුවත්පත්වල පළකෙරුනා මිස සංවිධානාත්මක දැනුම්දීම් සිදුනොවුනි. 1985 නොවැම්බර් මස 13 වන දින ආර්මෙරෝ ගිනි කන්ද පුපුරා යෑමේ සලකුණු පෙන්නුම් කරමින් අහසට අළු විදින්නට පටන්ගත්තේ ය.
ගිනි කන්ද පුපුරා යයි
සවස 3:00ට පමණ ගිනිකන්දේ පළමු පිපිරුම වාර්තා වූ අතර, සවස 5 සිට 7 දක්වා කාලයේ ගිනි කඳු අළු වැටීම නතර වී තත්ත්වය මඳක් සන්සුන් විය. මේ වෙද්දී ප්‍රදේශයෙන් පිටව යෑමේ හැකියාව තිබුණ ද, ප්‍රාදේශීය බලධාරීන් සහ ආර්මෙරෝහි පල්ලියේ පූජකවරයා පවා ගම්වාසීන්ට උපදෙස් දුන්නේ නිවෙස්වලට වී සන්සුන්ව සිටින ලෙස ය. සවස 7:00 පමණ වනවිට බලධාරීන් රැස්වීමක් කැඳවා, රතුකුරුස හමුදාව සහ සහන කණ්ඩායම්වලට දැනුම් දී, අවට ගම්වල ජීවත්වූ ජනයා ආරක්ෂාකාරී ස්ථාන වෙත රැගෙන යෑමට සැලසුම් කරමින් සිටියේ ය. කෙසේ නමුත් රතු කුරුසයට ජනයා මුදාගැනීම කළ නොහැකි වූයේ ප්‍රදේශයේ පැවති විදුලිය බිඳවැටීමේ තත්ත්වය හේතුවෙනි. ආර්මෙරෝහි ජනතාව ළඟ එන විපත්තිය ගැන දැන සිටියේ නැත.
රාත්‍රී 9:45ට පමණ ගිනි කන්ද පුපුරා ගියේ ය. මෙට්‍රික් ටොන් මිලියන 35ක පමණ ලාවා මිශ්‍ර පාෂාණ කොටස්, කන්දේ ඉහළ වූ හිමත් සමග මිශ්‍රවීමෙන් ඇතිවූ මඩ තට්ටුව කන්දෙන් පහළට ගලා ආවේ පැයට කිලෝමීටර 30ක වේගයෙනි. ආර්මෙරෝ ගම්මානය සහ ඒ අසලම පිහිටි තවත් ගම්මාන දෙකක් ද විනාශ කරමින් මීටර 30ක් උස මද තට්ටුව වේගයෙන් ගලා ගියේ ය. මෙම ඛේදවාචකයෙන් ආර්මෙරෝ ගම්මානයේ පමණක් 21000ක් වැසියන්ට ජීවිත අහිමි වූ අතර මුළු ජීවිත හානි ප්‍රමාණය 23000කට අධික විය.
ඔමේරා
ඔමේරා සැන්චෙස් ආර්මෙරෝ ගම්මානයේ ජීවත්වූ අවුරුදු 13ක දැරියකි. ගිනිකන්ද සමග ගලා ආ මඩ තට්ටුව ඇගේ පියාගෙ සහ පියාගේ සහෝදරියගේ ජීවිත උදුරාගත් අතර ඔමේරා සුන්බුන් අතර සිරවූවා ය. සහන කණ්ඩායම් ඇය සොයාගන්නා විට ඔවුන්ට දැකගැනීමට හැකිවූයේ ඔමේරා ගෙල දක්වා වූ මඩ තට්ටුවක් තුළ සිරවී ඇති ආකාරය සහ ඇගේ ඉඟටියෙන් පහළ කොටස ඇය ජීවත්වූ නිවසේම බිත්තියකට යටවී ඇති ආකාරය යි. ඇය ගිලීමෙන් වැළකීමට ඇගේ ශරීරය වටා ටයරයක් සිරකර, මඩ තට්ටුව තුළින් ඉහළට ඇදගැනීමට කළ උත්සාහය ද ව්‍යර්ථ වූයේ ඇගේ දෙපා ගඩොලින් බැඳි බිත්තියට සහ ඇගේ නැන්දාගේ දේහය සමග සිරවී තිබූ නිසා ය. සහන කණ්ඩායම් ඔමේරාගේ ගෙලේ සිට ඉන දක්වා වූ කොටස යටකරමින් තිබූ සුන්බුන් ඉවත්කර ඇය ඉහළට එසවීමට උත්සාහ කළත්, ඇගේ දෙපා කපා වෙන්නොකර ඇය මුදවාගැනීම කළ නොහැක්කක් බව ඔවුන්ට පසක්වුනි.
පැය කිහිපයක උත්සාහයෙන් පසුව සහන කණ්ඩායම් සමග සිටි වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ පාද ඉවත්කර ඔමේරා බේරාගැනීම ද ඉතා අවදානම් සහගත ක්‍රියාවක් බව යි. ඒ හේතුවෙන් වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ ඔමේරා එම ආකාරයෙන්ම මියයෑමට සැලැස්වීම ඇයට වේදනාව අවම කරන සහ උචිතම ක්‍රියාව බව යි. දින තුනකට ආසන්න කාලයක් ජලය මිශ්‍ර මඩ තට්ටුව තුළ සිරව සිටි ඔමේරා එම කාලය තුළ ඇයගේ මානසික මට්ටම යහපත්ව පවත්වාගෙන යෑම සඳහා සහන කණ්ඩායම් සමග එක්ව සුහදව කතාකිරීමට සහ ගීත ගායනා කිරීමට පවා ඉදිරිපත්ව තිබුණි. ඔමේරා කොතෙක් උත්සාහ කළ ද, එම දින තුන තුළ ඇය විටින් විට කඳුලු සැලූ අතර යම් අවස්ථාවන්වල දී සිහිවිකල්ව දෙඩවීම ද කළා ය. ඇය කෙමෙන් මරණය කරා ලංවන බව දැනගත් නමුදු සහන කණ්ඩායම් ඇය ඉල්ලූ පැණිරස කැවිලි පවා ලබාදෙමින් ඇය අසලින්ම සිටීමට කටයුතු කළේ ඇගේ ජීවිත බලාපොරොත්තු ඉහළ නංවමිනි. නමුත් ඇය වටකරගෙන සිටි පිරිසට සිදුවූයේ එම දැරිය කෙමෙන් කෙමෙන් මියැදෙන ආකාරය බලාසිටීම පමණකි. අවසාන කාලය වෙද්දී ඔමේරා භ්‍රාන්ති තත්ත්වයකට පත්වූ අතර පාසැල් යෑම ගැනත්, ගණිතය පරීක්ෂණයක් ගැනත් දෙඩවූවා ය. පැය හැටකට ආසන්න කාලයක් දුක්විඳි ඇය නොවැම්බර් 16 දා උදෑසන 10ට පමණ, ඇය වටා සිටි පිරිස සංවේගයට පත්කරමින් අවසන් හුස්ම හෙලුවා ය.
ෆ්‍රෑන්ක් ෆෝනියර් නැමැති ප්‍රංශ ජාතික වාර්තාකරුවෙකු ඔමේරාගේ අවසන් හෝරා කිහිපය තුළ ඡායාරූප කීපයක් ලබාගන්නට සමත්විය. ඔහු ලබාගත් ඡායාරූප අතරින් “The agony of Omayra Sanchez” (ඔමේරා සැන්චෙස්ගේ දුක්ඛ වේදනාව) නමින් නම්කෙරුණු පින්තූරය ජාත්‍යන්තර අවධානය දිනාගන්නට සමත්විය. එය 1986 වසර සඳහා වූ “ලෝකයේ හොඳම වාර්තාමය ඡායාරූපය” යන සම්මානය ද දිනාගත්තේ ය.
අද වනවිට ඇගේ සොහොන දේශීය සහ විදේශීය සංචාරකයන් අතර ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත්ව ඇත. ආර්මෙරෝ ගම්මානය පසු කලෙක කිලෝමීටර් ගණනාවක් ඈතට වන්නට පිහිටි ස්ථානයකට ගෙනයන ලදී.