ලංකාවේ මුතු වෙළඳාම සඳහා නොඉවසිලිමත් නගරය

ශ්‍රී ලංකාව “ඉන්දියන් සාගරයේ මුතු ඇටය” ලෙසින් විරුදාවලි ලබන්නේ එහි සුන්දරත්වය නිසාම නම් නොවේ. වසර තුන් දහසකට වඩා වැඩි කාලයක් “ලොවට හොඳම මුතු ලබා දුන් රට” යන අදහස ද එහි ගැබ් වී තිබේ. මන්නාරමේ මරිච්චි කට්ටි, සිලාවතුර, අරිප්පු වැනි ප්‍රදේශවල මුතු බෙල්ලන් කැඩීමේ කර්මාන්තයක පවත්වාගෙන ගොස් ඇති බවට අතීත තොරතුරුවලින් අනාවරණය වේ. ශ්‍රී ලංකාවේ මුතු වගාව වඩාත් ප්‍රචලිතව පැවති අරිප්පු නගරයේ මුතු වගාව සිදු වූ අන්දම ගැන තොරතුරුයි මේ.

අරිප්පු මුහුදු තීරය

brightsrilanka.com

අරිප්පුව ලංකාවේ සුන්දරම මුහුදු තීරයක්. කලෙක මුතු බෙල්ලන්ගේ රජ දහනක් වී තිබුණු මෙහි අද දක්නට ඇත්තේ බොහෝ කාලයක් තිස්සේ මුතු කැඩූ බවට සාක්ෂි දක්වන ලක්ෂ ගණනින් වූ බෙලි කටු සහ “ඩොරික් බලකොටුව” නම් වූ යෝධ ප්‍රාසාදයක් පමණි. මෙය ගොඩනංවා ඇත්තේ ලංකාවේ ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ ෆ්‍රෙඩ්රික් නොර්ත් ය. යටත් විජිත සමයේ විශාල වශයෙන් මේ මුහුදු තීරයේ මුතු කඩා ඇති බවට වාර්තා වන අතර මේ කාලය පැරණි ලක්දිවට ඉහළ ආදායමක් උපයා දුන් කාලයක් ලෙස මූලාශ්‍රවල  සඳහන් වේ.

අරිප්පුවේ මුතු කිමිදූ හැටි ජේම්ස් ස්ටුවට්ගේ ඇසින්

ජේම්ස් ස්ටුවට් නම් වූ ඉංග්‍රීසි ජාතිකයා pearl fisheries of Ceylon නම් තම කෘතිය  මගින් අරිප්පු මුහුදු තීරයේ මුතු කැඩූ හැටි විස්තරාත්මකව පැහැදිලි කරනු ලබයි.

ඔහුගේ පැහැදිලි කිරීම් වලට අනුව ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුවේ මුලාදෑනින් මුතු වාරයට මාසයකට පමණ පෙර සිට අරිප්පු වෙරළ වෙත එක්රැස් වෙති. එමෙන්ම මුතු බෙල්ලන් පොකුරු පිටින් අරිප්පු වෙරළෙන් හමුවන බවට වන ආරංචිය නිසා තමිල්නාඩුවේ සිට, ටුට්‍රිකොන් සිට, මෙන්ම අන්දමන් දූපත් වල සිට ද මුතු වෙළෙන්දෝ එකල අරිප්පුවට පැමිණ තිබේ. ඒ එක් දහස් අටසිය ගණන් වලදී ය.

ඔහු තවදුරටත් සඳහන් කර ඇති ආකාරයට බෙල්ලන් අල්ලාගෙන ඒමෙන් පසු බෙල්ලන්ගේ මස් කුණු වන තුරු ගොඩගසා තබන අතර එසේ ගොඩගසා තබන ආවරණ “කොඩ්ඩු” නැත්නම් “කොටුව” යන නමින් හඳුන්වයි.

ඉංග්‍රීසි නිලධාරීන් මුතු කඩන වෙළෙන්දන්ගේ ලන්සු වලින් වැඩි මිල ලන්සු තෝරාගෙන ඔවුන් හට මුතු බදු දෙන්නේ පසු දිනයි. එදිනෙන් පසු මන්නාරම උත්සවශ්‍රීයක් ගනී. මෙම කාලය තුළදී මන්නාරම දහස් ගණන් ජනතාවගේ පා පහස ලබයි. දුර බැහැර සිට පැමිණෙන ජනයා මේ ප්‍රදේශයේ පැල්පත් සාදාගෙන සිටීම හේතුවෙන් ආලෝකමත් වී තිබෙන අරිප්පුව නගරය අගනුවරක සිරි ගන්නා බවයි ජේම්ස් ස්ටුවර්ට් විස්තර කරන්නේ.

bandi42.wordpress.com (මුතු කිමිදීමට යන කිමිදුම්කරුවන්)

“ජිවිතේ කවරදාක හෝ “මුතු නගරයේ” කුලීකාරකමට ආ තැනැත්තෙකු හෝ ඔහුගේ පවුලේ අයෙකු හැරෙන්නට නගරය ගැන දැන සිටියෝ අල්පය. යාල්පානමින්, හලාවතින්, පුත්තලමෙන් ආ කුලීකරුවෙකු හැර රට මැද ගම් වලින් මේ නගරයට ආ අයෙකු නැත. මේ නිසා හැම අවුරුද්දකම තුන් මාසයකට පමණක් ඉදි වන “මුතු නගරය” බාහිර ලෝකයෙන් දුරස්ව පැවතියේය. ඉංගිරිසින් මේ නගරයට කීවේ “මුතු අගනුවර” කියාය. එයට පෙර ලන්දේසි ද, පරංගි ද, එතැන මුතු අගනුවර ලෙස හැඳින්වූහ. ලෝකයටම මුතු බෙදන තැන මුතු අගනුවර නොවී තිබෙන්නේ කෙලෙස ද?”

මුතු ‍කිමිදීම ගැන ආණ්ඩුවේ දැන්වීම්

අරිප්පු වෙරළ තීරයේ මුතු කිමිදීම ආරම්භ වන බවට ආණ්ඩුවේ දැන්වීම් ද පල කර තිබේ. මුතු ව්‍යාපාරය පිළිබඳව දැන්වීම්වල සඳහන්ව තිබුණේ මෙසේයි.

“මුතු වාරය පටන් ගැනීම සඳහා යාත්‍රා වුවමනා කර තිබේ.”

1829 පෙබරවාරි 25 හෝ ඊට ආසන්න දිනෙක අරිප්පු උතුරු සහ දකුණු ප්‍රදේශ වලදී විශාල වශයෙන් මුතු ඇල්ලීම සිදු වේ.

සිලාවතුර උතුරට යාත්‍රා සියයක්, සිලාවතුර දකුණට යාත්‍රා සියයක්, මෝදරගම්ආරු අසලට යාත්‍රා සියයක්, එම ස්ථාන සඳහා යාත්‍රා සැපයිය හැකි ඕනර්ස්ලා පෙබරවාරි විස්සට පෙර අයදුම් කරනු. දින 117 ක කාලයක් වැඩ කිරීමට හැකි කුලීකරුවන් ද සමඟ මෙම බෝට්ටු සැපයිය යුතුය. මේ සඳහා ලන්සු තබන්නන් මදුරාසි රුපියල් 75 ක මුදලක් තැන්පත් කළ යුතුය.

මෙයට අණ පරිදි,

මාස්ටර් ඇටෙන්ඩන්ට්,

ක්‍රි:ව 1829 ජනවාරි

අරිප්පුවේදී ය.

හදිසියේ ඉදිවන මුතු නගරය

නගරයට පැමිණෙන ආගන්තුකයෝ තම තමන්ගේ රාජකාරි ආරම්භ කිරීමට මුතු නගරයේ ඉදි කරගන්නා කුඩා පැල්පත් වල පදිංචි වෙති. නගරයේ නැට්ටුක්කාරයන්ගෙන්  ද, මැජික්කාරයන්ගෙන් ද, අත බලා සාස්තර කියන ගැහැණුන්ගෙන් ද අඩුවක් නම් නොවේ. තුන් මාසයක් පුරාවට පැවතගෙන යන මේ නගරය වෙත නීතිය රකිනා පොලිස් නිලධාරින් ද පැමිණෙනු දැකගත හැකිව ඇත. මදුරාසි රුපියල්, තාරකා පගෝදි, බොම්බේ රුපියල් සහ සුරත් රුපියල් මේ කාලයේ මේ නගරයේ හුවමාරු වූ කාසි වේ.

කය වෙහෙසා වැඩ කරන්නන්ගෙන්ම ගහණ වූ මේ නගරයේ කාන්තාවන් සිට ඇත්තේ පන්සියයකටත් අඩු ප්‍රමාණයකි. ඔවුන් ද එහි පැමිණ ඇත්තේ කුමක් හෝ කාර්යයක නිරත වීමටයි. ඉංග්‍රීසි නිලධාරීන්ගේ අශ්වයන්ට තණකොළ කපා කීයක් හෝ හම්බ කරගන්නා කොලු කුරුට්ටෝ ද නැතුවාම නොවේ. මේ නගරයේ ජීවත් වන මිනිසුන්ගේ බත එහිම ඉදිවන තාවකාලික ‍කඩ කිහිපයක ඉදෙයි. කඩකාරයෝ ද මාස තුනෙන් පසු නගරයෙන් නික්ම යන්නෝ ය.

මුතු නගරයේ මුතු භාරව සියලු කටයුතු සිදු කරන්නේ ඉංග්‍රීසි නිලධාරීන් ය. “කලෙක්ටර්” යන නමින් හඳුනා ගන්නා ආදායම් පාලකයා විසින් මුතුපර බදු දීම ද, එයින් එන ආදායම් එකතු කිරීම ද, පිටරටින් එන යාත්‍රා වලට බදු පැනවීම ද සිදු කරයි.  “මහ වීදිය” නම් වූ වීදියේ රජයේ කාර්යාල සියල්ලක්ම ගොඩනැඟෙයි. මහ වීදිය තවත් අතුරු වීදි කිහිපයකටම බෙදී යන අතර ඒවායේ පිටරටින් එන මුතු ගැනුම්කරුවෝ වෙති. කොඩ්ඩු නමින් හඳුනා ගන්නා කොටුව අක්කර දෙක තුනක වපසරියක විහිදෙන අතර එය උණ බම්බු වලින් වට කරයි. මෙම කොටුව නිරන්තරයෙන් සෙබළුන්ගේ ආරක්ෂාව යටතේ පවතී. එනම් මුර සෙබළුන්ගේ ආරක්ෂාව යටතේ මුතු ගනුදෙනු සිදු වෙයි.

මේ සියල්ලක්ම හමාර වන විට සියල්ලෝම යලිත් තම ගම බිම් කරා, රටවල් කරා යති. හිස් වූ අරිප්පුව නැවත මුතු වාරය එන තෙක් බලා සිටියි.

කවරයේ කතාව – amazinglanka.com

මුලාශ්‍ර

amazinglanka.com

bandi42.wordpress.com

www.sundaytimes.lk

www.tripadvisor.com

Related Articles

Exit mobile version