Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිදහස් පක්ෂයට අවාසි ම මොහොතේ පැවති ලංකාවේ පළමු ජනාධිපතිවරණය

ශ්‍රී ලංකාවේ පළමු වතාවට ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ 1982 වසරේ දී යි. ඒ ශ්‍රී ලංකාවට විධායක ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට යි. නමුත් ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීමටත් පෙර ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරයා, මැතිවරණයක් නොපවත්වා ම 1978 දී බලයට පත් වී තිබෙනවා.

ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් 1977 පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළ හයෙන් පහක බලයක් හිමිකර ගන්නා අතර, එතෙක් විපක්ෂ නායක ව සිටි ජේ. ආර්. ජයවර්ධන, අගමැතිවරයා ලෙස දිවුරුම් දෙනවා. පසු ව 1972 ජනරජ ව්‍යවස්ථාව වෙනස් කර, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර විධායක ජනාධිපති ධූරයක් ඇති කරනවා. 1978 වසරේ දී එම ධූරයේ තමා ම දිවුරුම් දෙනවා.

1982 වසරේ දී පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අතර, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ද ප්‍රධාන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වෙන අතර, ඉන් ජයග්‍රහණය කරන්නේ ජේ. ආර්. ජයවර්ධන යි.

1977 මහා මැතිවරණය

පළමු විධායක ජනාධිපතිවරයා – ජේ.ආර් (Famous People)

1970 මහා මැතිවරණයෙන් බලයට පත්වෙන සිරිමාවෝ රජය එතෙක් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම ඉවත් කර 1972 ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙන අතර, එතෙක් සිලෝන් ලෙස භාවිතා වූ නම ශ්‍රී ලංකා ලෙස වෙනස් කරනු ලබනවා.

මෙතෙක් පැවති ඩොමීනියන් තත්ත්වයේ නිදහස සම්පූර්ණ නිදහසක් බවට පත්වෙන අතර, බ්‍රිතාන්‍ය කොලනියක් ලෙස පැවති ලංකාව සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙනවා.

නමුත් 1977 මහ මැතිවරණය සිරිමාවෝ ආණ්ඩුව අන්ත පරාජයක් ලබන අතර, ජේ. ආර් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ හයෙන් පහක බහුතර බලය හිමිකර ගන්නවා.

එම හිමිවීමත් සමග 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම ඉවත් කරන ජේ. ආර්. අගමැතිවරයා දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙනවා. ඒ 1978 වසරේ දී යි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන ඔහු එයට විධායක බලතල සහිත ජනාධිපති ධූරයක් ඇතුළත් කරන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන දා සිට, සිටින අගමැතිවරයා විධායක බලතල සහිත ජනාධිපතිවරයා බවට පත්වෙන බවට සඳහන් සංශෝධනයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගන්නවා.

ඒ අනුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1978 පෙබරවාරි 04 වන දා ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනවා. ඒ ඉදිරි වසර හය සඳහා යි. ඒ අනුව ඔහුට 1984 දක්වා ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට අවශ්‍ය බලය ලැබෙනවා.

කල දුටු කල වළ ඉහ ගැනීම

1980 ඔක්‌තෝබර් 16 දින සිරිමාවෝ බණ්‌ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා (Famous People)

1977 මහමැතිවරණයෙන් බලයට පත්වෙන ජේ. ආර් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ඉන් වසර දෙකහමාරකට පසු ව එනම්, 1980 ඔක්‌තෝබර් 16 දින සිරිමාවෝ බණ්‌ඩාරනායකගේ ප්‍රජා අයිතිය වසර 7කට අහෝසි කිරීම සඳහා යෝජනාවක් සම්මත කරගැනීමට සමත් වෙනවා.

මේ අතරවාරයේ නිදහස් පෙරමුණේ විවිධ බෙදී යාම් ඇති වන අතර, මෛත්‍රීපාල සේනානායක හා පක්ෂයේ තවත් මන්ත්‍රී කණ්ඩායමක් සිරිමාවෝට විරුද්ධ ව කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සිරිමාවෝ බණ්ඩාරනායක විසින් කටයුතු කරනවා. අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වෙන අතර, පක්ෂයේ නියම අයිතිය ඇත්තේ කුමන කණ්ඩායමට ද යන්න තීරණය කිරීම සඳහා නීතියේ පිහිට ලබා ගැනීමට පවා සිදුවෙනවා.

අවසානයේ අධිකරණය විසින් අත ලකුණ සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියම හිමිකාරීත්වය ඇත්තේ සිරිමාවෝ ප්‍රමුඛ කණ්ඩායමට බව පවසා සිටිනවා.

මේ අවුල් වියවුල් අතරතුර 1984 වන තුරු නොයි ද ජනාධිපතිවරණයකට යෑම තමාට හා එක්සත් ජාතික පක්ෂයට වාසි බව දකින ජේ. ආර් ජනාධිපතිවරයා තම විධායක බලතල භාවිතා කරමින් නියමිත වසරට වසර දෙකකට කලින් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරනවා.

අපේක්ෂකයෙක් නොමැති ව අර්බුදයකට ලක් වූ නිදහස් පක්ෂය

හෙක්ටර් කොබ්බෑකඩුව (ThreeBlindMen Photography)

මේ වන විට විපක්ෂ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබූ බැවින් නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් තෝරාගැනීම අර්බුදයකට ලක් වෙනවා.

මේ සඳහා මුලින්ම එවකට නියෝජ්‍ය නායකයා වූ ටී. බි. ඉලංගරත්න යෝජනා වෙන නමුත් එය ස්ථිර වන්නේ නෑ. ඉන් අනතුරුව අපේක්ෂකයා ලෙස යෝජනා වෙන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව යි. නීතිඥයෙක් වන ඔහු 70–77 සිරිමාවෝ රජයේ ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.

නිදහස් පක්ෂය විසින් ලංකා සමසමාජ පක්ෂය ජනාධිපතිවරණය සඳහා තරග කිරීම නැවැත්වීමට උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නෑ.

ප්‍රථම ජනාධිපති මැතිවරණයේ ජය එජාපයට

ජේ.ආර්, හෙක්ටර් කොබ්බෑකඩුව, හා විජේවීර (Colombo Telegraph)

ජනාධිපතිවරණය සඳහා 1982 වසරේ සැප්තැම්බර් 17 වැනි දා නාම යෝජනා කැඳවන අතර, මැතිවරණය පැවැත්වෙන්නේ එම වසරේ ඔක්තෝම්බර් මස 20 වන දා යි. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට අමතර ව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක රෝහණ විජේවීර, සමසමාජ පක්ෂය නියෝජනය කරමින් කොල්වින් ආර්. ද සිල්වා, හා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කරමින් කුමාර් පොන්නම්බලම් යන අපේක්ෂකයන් ජනාධිපතිවරණය සඳහා තරග වදිනවා.

මැතිවරණයේ ප්‍රතිඵල අනුව 52.91%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයා සමත්වෙන අතර, හෙක්ටර් කොබ්බෑකඩුව ලබා ගන්නේ 39.07%ක ඡන්ද ප්‍රතිශතයක්. ඒ අනුව ප්‍රථම ජනාධිපති මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජේ. ආර් ජයවර්ධන යි.

ජේ. ආර්, ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම (static.ft.lk)

රෝහණ විජේවීර 4.19%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගන්නා අතර, කුමාර් පොන්නම්බලම් 2.67%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නවා. නව සමසමාජ පක්ෂය නියෝජනය කරමින් වාසුදේව නානායක්කාර ද ඉදිරිපත්වෙන නමුත්, ඔහු ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 1%ටත් වඩා අඩු අගයක් ලෙස සටහන් වෙනවා.

1983 වසරේ පෙබරවාරි 04 දින ජේ. ආර්. ජයවර්ධන දෙවන ධූර කාලය සඳහා දිවුරුම් දෙන අතර, ඔහු 1989 වසරේ ජනවාරි දක්වා ජනාධිපති ලෙස කටයුතු කරනවා.

කවරයේ පින්තූරය: Colombo Telegraph

මූලාශ්‍රයයන්:

dailymirror.lk

parliament.lk

divaina.com

Related Articles