ඈත අතීතයේ සිට ම ලංකාවේ වරායයන් ලෝකයේ ප්‍රචලිත ව තිබූ අතර ඉන් ප්‍රධාන ස්ථානයක් දකුණු පළාතෙහි ගාල්ලේ පිහිටි වරායට හිමි වේ. ස්වාභාවික ව පිහිටි බොක්කක් තුළ මෙම වරාය පිහිටා තිබේ. එහි එක් පසක රූමස්සල කඳු පන්තිය ද, අනෙක් පස ගාලු කොටුව ද පිහිටා තිබේ.
ගාලු කොටුව ගොඩනැඟීමට පෙර එම පෙදෙසෙහි විශාල ගල් කුලක් තිබූ බව අතීත වාර්තාවලින් පෙනී යයි. මුහුදු සේද මාවතට ආසන්නයේ පිහිටීමත්, ස්වාභාව සෞන්දර්යෙන් අනූන වීමත්, පහසුකම් හා වෙළෙඳ ද්‍රව්‍ය සපයා ගැනීමේ පහසුවත් නිසා මෙම වරාය විදෙස් වෙළෙන්දන් අතර වඩා ප්‍රසිද්ධියට පත් විය.
ගාල්ල වරාය පිළිබඳ ඓතිහාසික තොරතුරු
අනුරාධපුර යුගයේ දී මෙම ප්‍රදේශය ‘ගිම්හතිත්ථ’ ලෙස හඳුන්වා ඇත. ඒ පිළිබඳ ව චූලවංශයෙහි ද සඳහන් වේ. එම යුගයේ දී බටහිර නාවිකයන් ටාර්ෂිස් හා කලා යන නම්වලින් ද ගාලු වරාය හඳුන්වා තිබේ. බැග්බෑඩ් නුවර හැරුන් අල්රාස්චිඩ් (කාලිෆ්) රජතුමන්ගේ සමයේ දී අරාබි ජාතිකයන් ගාල්ලට ‘කලා’ යන නාමය භාවිත කළ බව පෙනී යයි. පුරාණයේ සිට ම වෙළෙඳ නගරයක් ලෙස ප්‍රසිද්ධ ගාල්ල පැරැණි බයිබලයේ සඳහන් වන දකුණු ආසියාවේ මහා වෙළෙඳ නගරය වන ‘ටර්ෂීෂ්’ විය හැකි බව ඇතැම් විද්වතුන්ගේ මතයයි.
ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රජාව සමඟ පැවැති සබඳතා
ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ ගාල්ල හා ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රජාව අතර තිබූ සබඳතාව පිළිබඳ ව අනගි සාක්ෂියක් පුරාවිද්‍යාඥ එච්. සී. පී. බෙල් මහතාට ලැබිණි. ඒ 1888 වසරේ දී ගාලු වරායේ තිබූ රෝම කාසි 300ක් පමණ සොයා ගැනීම යි. යුරෝපීය රටවලින් පවා සොයා ගැනීමට අපහසු මෙම කාසි ශ්‍රී ලංකාවේ දී සොයා ගැනීමට හැකි වීම විශේෂ සිද්ධියක් ලෙස සැලකේ.
මෙම කාසිවලින් 200ක පමණක සටහන් පැහැදිලි නොවූ ඒවා අතර ඇතැම් ඒවායේ පැහැදිලි සටහන් දක්නට තිබිණි. ක්‍රිස්තු වර්ෂ 317 සිට 326 දක්වා කාලය තුළ රජ කළ ප්ලේවියස් ජුලියස් ක්‍රිස්පස් අධිරාජ්‍යයාගේ කාලයේ සිට,ක්‍රිස්තු වර්ෂ ක්‍රි.ව 423 දක්වා රජ කළ රජවරුන්ගේ, රැජිනියන්ගේ සහ තරුණ අග රජවරුන්ගේ රූ සටහන් මෙම නොමැකුණු කාසිවල විය.
ක්‍රිස්තු වර්ෂ 540 දී ඊජිප්තු ජාතික ගවේශකයකු වූ කොස්මස් ඉන්ඩිකෝප්ලස්ට්ස් නමැත්තකු ද ගාල්ල නගරය ගැන සඳහන් කරයි. එවකට විවිධ රටවල් ඇත් දළ, මොනරුන් හා වෙනත් වටිනා භාණ්ඩ ගෙන්වා ගත් ඓතිහාසික ‘තර්ෂිෂ්’ වරාය ගාලු වරාය බව සමහරුන් විශ්වාස කරයි. මිසරය, අරාබිය සහ පර්සියාව යන රටවල් එක් පසෙකින් ද ඉන්දියාව, චීනය සහ ජාවා දූපත් ආදී රටවල් තවත් පසෙකින් ද ගාල්ලට විත් යම් යම් දෑ මිලට ගත් බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.
පුරාවිද්‍යාඥයන් සිදු කළ කැණීම්වල දී ගාල්ල වරායේ තිබී ගල් නැංගුරමක් ද හමු විය. එවැනි ගල් නැංගුරම් පරිහරණය ක්‍රිස්තු වර්ෂ 1000 ආසන්න කාලයේ දී සිදු කළ බව පුරාවිද්‍යාඥයන්ගේ මතය යි. මෙවැනි නැංගුරමක් මෙයට පෙර ඕමාන් රටේ වරායක තිබී සොයාගෙන ඇති බවද වාර්තා වේ.
නිරිත දිග රාජධානි සමයේ ගාලු වරාය
අතීතයේ සිට පැවත ආ ගාලු වරාය 14, 15 සහ 16 වන ශතවර්ෂ වන විට සැණකෙළි සහිත වරාය නගරයක් බවට පත් වී තිබූ අයුරු අපේ පැරැණි සංදේශ කාව්‍ය තහවුරු කරයි.
මයුර සංදේශකරුවා,
“බාල්ලේ පුරුදු කව් නළු සියල්ලේ
ඊල්ලේ වදන් දෙන ලදුනු දූල්ලේ
නෑල්ලේ කොතනකත් ලොව මුලුල්ලේ
ගාල්ලේ සිරි ද දකු නොම පැකිල්ලේ,”
කියා ද,
පරෙවි සංදේශකරුවා
“සරා සොඳින් මහ සරුරත මුලුල්ලේ
පෙරා රැගෙන රන් මිණිමුතු සියල්ලේ
සරා තිබූ මෙන් සල්පිල් උදුල්ලේ
පුරා මෙසිරි දැක යාගන් ගාල්ලේ,”
කියා ද ගාල්ල දැක ඇත. තිසර සංදේශකරුවා ගාල්ල පිළිබඳ ව සිය දූතයා වූ තිසරාට දෙන්නේ කදිම අවවාදයකි. එම සංදේශකරුවා තිසරාට පවසන්නේ ගාල්ලේ විදීවල කාන්තාවන්ගේ මිහිරි වචනවලට වශී වී, ඇසිපිය නොහෙළා, රති කෙළිය පිළිබඳ ආසාවෙන් සිටින සල්ලාලයන් දෙස නොබලා, ඉක්මනින් ඒ හරහා ගමන් කරන ලෙස ය.
මේ අනුව පෙනී යන්නේ ලෝකයේ අනෙකුත් සුප්‍රසිද්ධ වරාය ආශ්‍රිත ව පැවතුණු සමාජ රටා එම යුගය වන විට ගාල්ල වරාය ආශ්‍රිතව ද පැවති බව යි. ක්‍රිස්තු වර්ෂ 1411 දී චීන ජාතික අද්මිරාල් කෙනකු වන ෂැන් හේ ගේ ශ්‍රී ලංකාවෙහි දෙවන සංචාරය නිමිත්තෙන් චීන, දෙමළ සහ පර්සියානු භාෂා තුනෙන් ම පිහිට වූ ගාල්ල ත්‍රෛභාෂික ලේඛනය ද ඉතා වැදගත් වේ.
පෘතුගීසි හා ලන්දේසි යුගයේ තොරතුරු
අරාබි ජාතිකයන් හා සතුරු ව සිටි ගෝවේ පෘතුගිසි ආණ්ඩුකාර ප්‍රැන්සිස්කු ද අල්මේදාගේ නියමය පිට ඔහුගේ පුත් ලොරෙන්සෝ ද අල්මේදා අරාබීන්ගේ නැව් අල්ලා ගැනීම පිණිස පිටත් විය. එම අවස්ථාවේ දී විරුද්ධ සුළං වේගය නිසා මග වැරදී, එළි වන යාමයේ ඇසුණු කුකුළන්ගේ හඬ නැඟීම ඔස්සේ ඔහු අහම්‌බෙන් ගොඩ බිමක් සොයා පැමිණීයේ ය. ඔහු එසේ පැමිණ ඇත්තේ ගාල්ල වරායට යි. මේ පිළිබඳ ව බරෝස් හා කූටෝ වැනි ඉතිහාසඥයන්ගේ ලේඛනවල ද සඳහන් වේ. ඉන් අනතුරුව පෘතුගීසීහු මෙහි ස්ථිර වශයෙන් සිය බලය තහවුරු කර ගත්හ.
පෘතුගීසින්ගෙන් අනතුරුව ගාලු වරාය ලන්දේසීන් අතට පත් වන අතර 1640 වසරේ දී ගාලු වරාය දිනූ ලන්දේසි ආණ්ඩුකාර විලම් ජේකොබ්ස්කොස්ටර්, දෙවැනි රාජසිංහ රජුට එය බාර දුන් සන්දේශයක මෙසේ සඳහන් වේ.
“දැනට අපට ලැබෙන්නේ දිසාවේ විසින් දෙන දෙයක් පමණි. යුද ගිවිසුමේ හැටියට අපේ කාලතුවක්කු උණ්ඩය වදින තෙක් මානයේ ගස් කොළන්වල පලදාව ද අපට ලැබිය යුතු බව සලකා ඔබවහන්සේගේ ගාල්ලේ කොටුවේ සමීපයෙහි වූ වතු පිටි ටිකත් අපට පවරා දී, ඒවායේ පලදාව අපේ ආරක්ෂක භට මණ්ඩලයටත්, වරායට පැමිණෙන නැව්වලටත් ප්‍රයෝජන ගන්නට ඉඩ සලසා වදාරන සේ ඉතා ගෞරවයෙන් ආයාචනා කරම්හ,”
ගාල්ලට 1647 වසරේ ඔක්තෝම්බර් 6 වැනි දා පැමිණි ජොහැන් ජේකොබ්ස්සාර් නම් ලේඛකයා ගාලු වරාය පිළිබඳ ව මෙසේ සඳහන් කරයි.
“මෙහි ඉතා හොද වරායක් තිබේ. මුලු අවුරුද්දක් වුවත් එහි නැව් නවතා තැබිය හැකිය. නමුත් එහි භයානක ගල් තිබේ. එබැවින් අමුතු (අලුත්) නැව් එන විට වෙඩි තුනක් තැබිය යුතුය. ඊට ඉස්සර එහි පැමිණි නැවක් නම් එක වෙඩිල්ලක් තබන්නේ ය. ඒ වෙඩිලි සංඥාවට උත්තර වෙඩිල්ලක් ලැබුණොත් වරායෙන් නියමුවෙකු නැවට එනතුරු නවතා ගෙන සිටිය යුතුය. නියමුවා ස්වකීය සහකාර සේවකයන් සමග නගරයෙන් සැතපුමක් පමණ දුර කන්දක නැවතී රාජකාරිය කරයි. වරාය ලග පෘතුගීසින් පලමු කොට තැනූ කලුකොටුව නමැති කොටුවක් තිබේ. මේ කොටුව පෘතුගීසින් විසින් තනන ලද්දේ මහනුවර රජු රවටා ව්‍යාජ උපක්‍රමයකින් ය,”
මෙම වාර්තාවලින් පෙනෙන පරිදි ඒ යුගයේ ලංකාවේ ප්‍රධාන වරාය බවට පත් ව තිබී ඇත්තේ ගාලු වරාය යි. එම යුගයේ දී වෙළෙඳාම් කටයුතු සදහා නෞකා රාශියක් වාර්ෂිකව වරාය වෙත ඇදී ආවේ ය. ඇතැම් අවස්ථාවලදී ගාලු වරාය පතුලේ ඇති ගල්පරවල හැපීමෙන් සහ කුණාටුවලට හසු වීමෙන් නෞකා අනතුරටත් පත් වූවා සේ ම ඉන් සමහර ඒවා මුහුදුබත් ද වී ඇත.
බ්‍රිතාන්‍ය යුගයේ දී ගාලු වරාය
බ්‍රිතාන්‍යයන් මෙරට අත්පත් කර ගත් යුගයේ දී ද ගාලු වරාය මෙරට වරාය අතර ප්‍රමුඛස්ථානයේ පසු වුවත් කල් යත් ම ඒ ප්‍රමුඛස්ථානය කොළඹ වරායට හිමි විය. එයට ප්‍රධානතම හේතුව වුයේ 1872 වසරේ දී උඩරට දුම්රිය මාර්ගය නිම වීමත්, ඒ හරහා තේ ඇතුළු නිශ්පාදන භාණ්ඩ පහසුවෙන් කොළඹ වරායට ප්‍රවාහනය කළ හැකි වීමත් ය. එකල ගාලු වරායේ කීර්ති නාමයට කැලළක් වූ ‘කප්පරගල’ හා ‘මත්තමඩේ ගල’ නම් වූ ගල්පර ද එයට හේතු විය.
ගාලු නගරයේ වෙළෙඳ සමාගම් ඇතුළු විවිධ ව්‍යාපාරික ප්‍රබලයන්, ගාලු වරායේ වැදගත්කම මෙන්ම එහි දියුණු කළ යුතු අංශ පිළිබඳව සඳහන් කොට බ්‍රිතාන්‍ය රජය වෙත 1879 වසරේ දී සන්දේශයක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව 1899 ආසන්න කාලයේ දී සිලාක් හෙවත් මුහුදු ලිහිණියා නම් වරාය පරීක්ෂක බ්‍රිතාන්‍ය නෞකාව ගාලු වරායේ නැවැතී සිටිමින් වරාය මැන බැලීම හා මුහුදු පත්ලේ ගල් සෙවීමේ කාර්යය සිදු කර ඇත.
සිලාක් ගල්පරය
එම කාලය තුළ එතෙක් අනාවරණය නොවූ ගල්පරයක් ද හමු වූ අතර එය සිලාක් නමින් නම් කෙරිණි. මේ පර්යේෂණ අවසානයේ ‘සිලාක් රිපෝට්’ නමින් වාර්තාවක් ද එළි දැක්වුනු අතර මෙම ගවේෂණය 1907 වසරේ දී අවසාන විය. එහිදී යෝජනා වූ බොහෝ කරුණු ගාලු වරාය වෙනුවෙන් ඉටු නොවූ නිසා ගාලු වරායට වඩා කොළඹ වරාය නාවිකයන් අතර ප්‍රචලිත වන්නට විය.
1956 වසරේ දී නැවැත වරක් මේ සම්බන්ධ ඉංජිනේරු සැලසුමක් ප්‍රකාශයට පත් විය. එයට අනුව ගාලු වරායේ දියකඩන ඉදි කිරීමේ දී වරායට ඇතුළුවීමට අඩි 900ක පමණ දොරටුවක් පමණක් ඉතිරි කොට නව ප්‍රදීපාගාරය අසල සිට අඩි 1,600ක පමණ දිගින් යුතු බැම්මක් සහ තවත් බැම් තුනක් බැඳීමට යෝජනා විය.
වර්තමානය
ක්ලෝසම්බර්ග් තුඩුව දෙසට වන්නට නව ජැටියේ කටයුතු 1959 වසරේ දී ආරම්භ වූ අතර 70 දශකයේ දී එය තවත් සංවර්ධනය විය. වර්තමානය වන විට මෙම වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ව පවතියි. භාණ්ඩ ප්‍රවාහනය මෙන් ම සංචාරක වරායක් ලෙසට ද මෙය භාවිත වේ.
සංචාරක රුවල් බෝට්ටු සඳහා ශ්‍රී ලංකාවේ විවෘත එක ම වරාය වූ මෙම වරායට 80 දශකයේ සිට එම කටයුත්ත උදෙසා ලෝක ප්‍රසිද්ධියක් හිමි ව ඇත. 1990 දශකයේ දී මෙන් ම 2000 දශකයේ මුල් භාගයේ ද වසරේ අවසාන කාලයේ සිය ගණන් සංචාරක රුවල් බෝට්ටු ගාලු වාරය තුළ නවතා තිබීම සුලබ දසුනක් විය.
2004 වර්ෂයේ ඇති වූ සුනාමි ව්‍යසනය හා සංචාරකයන්ට අවශ්‍යය පහසුකම් නිසි ලෙස සම්පාදනය නොකිරීම නිසා එම පැමිණීම් අවම වන්නට විය. ඉදිරියේ දී නැවත ගාලු වරාය සංචාරක රුවල් බෝට්ටු සඳහා හිතකාමී වරායක් ලෙස සංවර්ධනය කිරීමට යෝජනා සකස් වී ඇත. එහි එක් අංගයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය වසරේ දී ලංකාවේ ප්‍රථම දිය යට කෞතුකාගාරය ගාලු වරාය පතුලේ දී විවෘත කරන්නට උත්සුක විය.