Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවමත් නොවිසඳුණු ‘අයිස් පෙට්ටියේ’ මිනිමැරුම්

1960 වසරේ සිට 1970 වසර අතරතුර කාලයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි සිදු වූ මිනිමැරුම් කිහිපයක් පිළිබඳව ලෝකයම කතා වුණා. ඒවා විසඳීමට අපහසු අභිරහස් ලෙස පෙනීයාම ඊට හේතුව යි. මින් සමහරක් පසුකාලීනව විසඳුණු අතර, තවත් සමහරක් අද දිනය වන විටත් නිසියාකාරව විසඳී නැහැ. 1960 දශකයේ මැද භාගයේ සිදු වූ ‘අයිස් පෙට්ටියේ මිනී මැරුම්’ ලෙස ප්‍රසිද්ධ වූ ද්විත්ව ඝාතන සිද්ධියත් එවැන්නක්.

පොලිස් ස්ථානයට ලැබුණු හදිසි ඇමතුම

1965 වසරේ ජූනි මාසයේ 23 වන දා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයට හිරු උදා වුණා. මීට වසර එක හමාරකට පමණ පෙර සිදුවූ ජනපති කෙනඩි ඝාතනයෙන් කම්පනයට පත්ව සිටි එහි වැසියන් ක්‍රමයෙන් සිය සාමකාමී දිවි පෙවෙතට හුරු වෙමින් සිටියා. ඒ වසරේ ග්‍රීෂ්ම ඍතුවේ උදාව ඉතා සාමකාමී ලෙස සිදුවූ අතර බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ ඉතා යහපත් ග්‍රීෂ්මයක පහස විඳින්නට යි. කෙසේ නමුත් ජුනි මස 23 වනදා හ්‍යූස්ටන් නුවර පොලිස් ස්ථානයට හදිසියේ ලැබුණු ඇමතුමක් නිසා ඔවුන්ගේ සිහින උඩු යටිකුරු වුණා.

හ්‍යූස්ටන් නුවර පොලිස් ස්ථානයට හදිසියේ ලැබුණු ඇමතුම ගෙන තිබුණේ මර්වින් මාටින් නම් අයෙක්. ඔහු පවසා සිටියේ තම මාමා හා නැන්දණිය වන 81 වියැති ෆ්‍රෙඩ් ක්‍රිස්ටොෆර් රොජර්ස් හා 79 වියැති එඩ්විනා දුරකථනයට පිළිතුරු නොදෙන බව යි. මෙය අසාමාන්‍ය තත්ත්වයක් නිසා ඔවුන්ගේ නිවසට ගොස් පරීක්ෂා කර බලන මෙන් ඔහු ඉල්ලා සිටියා.

රොජර්ස් යුවල- Courtesy/The Houston Chronicle

මාටින් ගේ ඉල්ලීමට කන් දුන් හ්‍යූස්ටන් පොලිසිය රොජර්ස් යුවල පදිංචි වී සිටින්නේයැ යි පැවසුණු නිවස වෙත පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පිටත් කර හරිනවා. ඔවුන් දෙදෙනා විසින් එම නිවසේ වසා දමා තිබූ ඉදිරිපස දොරට කිහිප විටක්ම තට්ටු කළත් ප්‍රතිචාරයක් නොලද බැවින් අවසන දොර කඩා දමනු ලබනවා. නිවසට ඇතුළු වූ ඔවුන් දෙදෙනා දකින්නේ කෑම මේසය මත දින දෙකකට වත් පෙර පිළියෙල කරන ලද ආහාර තබා ඇති අයුරු යි. කෙසේ නමුත් යුවල පිළිබඳ කිසිදු හෝඩුවාවක් ඔවුනට එක් වරම ලැබුණේ නැහැ.

ශීතකරණයෙන් හමුවූ යුවල

නිවසෙහි සෑම තැනක්ම පොලිස් නිලධාරීන් විසින් සෑහෙන වේලාවක් පරීක්ෂා කරනු ලැබුව ද රොජර්ස් යුවල පිළිබඳ කිසිදු හෝඩුවාවක් හමු වූයේ නැහැ. කෙසේ නමුත් නිවසේ ශීතකරණය දෙසින් දුගඳක් වහනය වන බැව් එක් පොලිස් නිලධරයෙකුට නිරීක්ෂණය වෙනවා. වහාම ඒ වෙත ගිය ඔහු එය විවර කරන අතර දකින්නේ ඉතා අප්‍රසන්න හා භයානක දසුනක්. ශීතකරණයේ ඉහළ කොටසේ වූයේ කඳින් වෙන් කරන ලද රොජර්ස් යුවලගේ හිස දෙක යි! ෆ්‍රෙඩ්ගේ හිසට මොට ආයුධයකින් පහර දී තිබූ අතර, එඩ්විනාගේ හිසට වෙඩි තබා තිබුණා. ශීතකරණය තුළ මොවුන් දෙදෙනාගේ සිරුරු කොටස් සීරුවෙන් අසුරා තිබුණේ කැබලිවලට කැපීමෙන් අනතුරුව යි. ෆ්‍රෙඩ්ගේ ලිංගේන්ද්‍රිය හා ඇස් එහි වූයේ නැහැ.

අපරාධ ස්ථානයට වහාම විශේෂඥයින් කැඳවුණු අතර, වැඩිදුර පර්යේෂණවලින් අනාවරණය වූයේ ඝාතකයා විසින් ඔවුන් ඝාතනය කර උඩු මහලේ නිදන කාමරයේ දී සිරුරුවල රුධිරය ඉවත් කොට කැබලිවලට කපා ඇති බව යි. අනතුරුව ඉතා ප්‍රවේශමෙන් අපරාධකරු ලේ පැල්ලම් වැනි දේ සෝදා ඉවත් කොට තිබුණා.

මළසිරුරු කොටස් හා පරිශ්‍රය පරීක්ෂා කිරීමෙන් පසු අනාවරණය වූයේ ඒවා ඉතා සූක්ෂ්ම හා සුහුරු ලෙස කැබලිවලට කපා ඇති බව යි. මොවුන් ඝාතනය කර තිබුණේ පොලිස් නිලධරයින්ට හමුවන්නට දින තුනකට පමණ මත්තෙනුයි. නිවස අවට ප්‍රදේශය පරීක්ෂා කිරීමේ දී තවත් සිරුරු කොටස් කිහිපයක්ම අසල වූ වැසිකිලිවලක තිබී හමු වූ අතර, ඝාතකයා ඒවා වැසිකිලි පෝච්චියට දමා වතුර ගසා තිබුණා.

සිරුරු කැබලි කොට දමා තිබූ ශීතකරණය- Bill Goodwin, Houston Chronicle

ඝාතකයා ලුහුබැඳ

රොජර්ස් යුවල ඝාතනය කිරීම පිළිබඳ චෝදනාව මුලින්ම එල්ල වූයේ ඔවුන්ගේ 43 හැවිරිදි චාල්ස් ෆ්‍රෙඩ්‍රික්ට යි. මේ නිවසේම ජීවත් වෙමින් සිටි ඔහු ඝාතන සිද්ධියෙන් පසු අතුරුදන්ව සිටියා. ෆ්‍රෙඩ්‍රික් ඇමෙරිකානු නාවුක හමුදාවේ කාලයක් සේවය කළ අයෙකු වූ අතර, පරමාණුක භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් තිබූ, භාෂා 7ක් කතා කළ හැකි බුද්ධිමත් අයෙක් වුණා. විශේෂයෙන් දෙවන ලෝක යුධ සමයේ ඇමෙරිකානු නාවුක හමුදාවේ බුද්ධි අංශයට අනුයුක්තව ඔහු කටයුතු කර තිබුණා. පසුකාලීනව ‘ෂෙල් ඔයිල්’ සමාගමේ තනතුරක් දැරූ ඔහු 1957 වසරේ දී ඉන් ද ඉවත් වී තිබුණා.

1950 දශකයේ ෆ්‍රෙඩ්‍රික් හට ඩේවිඩ් ෆෙරී නම් මිතුරෙක් හමුවනවා. ඔහු අකටයුතුකම්වලට සම්බන්ධ අයෙකු වූ අතර, ජනපති කෙනඩි ඝාතනයටත් පසුකාලීනව සම්බන්ධව සිටියා. රැකියාව අහිමි වීමෙන් පසු ෆ්‍රෙඩ්‍රික් සිය දෙමව්පියන් සමග ජීවත් වන්නට පටන්ගත් මුත් ඔවුන් අතර එතරම් ප්‍රබල සම්බන්ධයක් තිබී නැහැ. කෙසේ නමුත් ඒ වන විටත් ඔහු ෆෙරී සමග වූ සම්බන්ධය දිගටම පවත්වාගෙන යමින් සිටියා.

ෆ්‍රෙඩ්‍රික් ගේ කාමරයේ වූ කුඩා අත් කියතක ලේ තැන්පතු තිබීමෙන් ඔහුට එරෙහිව නැගුණු සැකය වඩාත් ප්‍රබල වුණා. කෙසේ නමුත් එහි කිසිදු ඇඟිලි සලකුණක් වූයේ නැහැ. වහාම ෆ්‍රෙඩ්‍රික් සොයා මෙහෙයුම් දියත් වූ මුත්, ඔහු හමු නොවූ අතර, ඉන් පසු කිසිම දිනෙක ඔහු ගැන ආරංචියක් ලැබුණේ නැහැ.

තවමත් නොවිසඳුණු කතාවක්

චාල්ස් ෆෙඩ්‍රික් රොජර්ස් පිළිබඳ පොලිසිය සොයා බැලුවත් දශක දෙකක් පමණ යනතුරු ඔහු පිළිබඳව කිසිදු හෝඩුවාවක් හමු වුණේ නැහැ. ඔහු පිළිබඳ වූ රාජ්‍ය දත්ත වාර්තා පිරික්සා බැලීමේ දී පොලිසියට අනාවරණය වූයේ ෆ්‍රෙඩ්‍රික් සී.අයි.ඒ. සංවිධානයට ද සම්බන්ධ වී සිටි බවට විශ්වාස කළ හැකි බව යි. එමෙන්ම ඔහු ‘බොහෝ විට’ ජනපති කෙනඩි ඝාතනයට හා ලී හාවි ඔස්වල්ඩ් ඝාතනයට කෙලින්ම සම්බන්ධව සිට ඇති බවත් බලධාරීන් සොයාගන්නවා. නමුත් මේ කිසිවක් හරියාකාරවම තහවුරු කරගන්නට ඔවුන් සමත් වූයේ නැහැ.

ෆ්‍රෙඩ්‍රික් විසින් සිය දෙමව්පියන් ඝාතනය කළ බවට ‘උපකල්පනය’ කරන පොලිසිය, ඔවුන් ඔහුගේ ක්‍රියාදාමයන් පිළිබඳ අවධානයෙන් සිටීම නිසා හා දුරකථන ඇමතුම්වලට සවන්දීම නිසා මෙලෙස ඔවුන් ඝාතනය කරන්නට ඇතැ යි සැක කරනවා. ඔහු 1990 වසරට පෙර ලතින් ඇමෙරිකාවෙ දී මියගිය බවටත් යමෙකු ලියූ ග්‍රන්ථයක සටහන්ව තිබුණා. පොලිසිය ඒ පිළිබඳව සොයා බැලුව ද, එහි කතෘ හට විශ්වාසනීය තොරතුරක් ලබා දෙන්නට හැකියාවක් තිබුණේ නැහැ. එය හුදු කල්පිතයන් මත පිහිටා ලියන ලද්දක් ලෙස සලකා බැහැර කරනු ලැබුණා.

චාල්ස් ෆෙඩ්‍රික් රොජර්ස්- The Houston Chronicle

1997 වසරේ දී වෝහාරික වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ හියු හා මාර්තා ගාඩිනර් යුවල මෙම සිද්ධිය පිලිබඳව අලුතෙන් පර්යේෂණ කරන්නට පටන්ගත්තා. ඔවුන් ෆ්‍රෙඩ්‍රික් පෙනී යන තරම් ‘කළු’ නැතැ යි උපකල්පනය කර තිබුණා. පර්යේෂණවලින් අනතුරුව මොවුන් පළ කරන ලද ‘ද අයිස් බොක්ස් මර්ඩර්ස්’ ග්‍රන්ථයේ ඔවුන් සඳහන් කර ඇත්තේ කුඩා කල සිටම ෆ්‍රෙඩ්‍රික් හට ඔහුගේ දෙමාපියන් දරුණු ලෙස සලකා ඇති බව යි. සූදු අන්තුවෙකු වූ ෆ්‍රෙඩ් තම දේපල පුතුට ලියනු වෙනුවට, පුතුගේ දේපළත් ව්‍යාජ අත්සන් යොදා තමන් සන්තකයට ගන්නට උත්සාහ කර ඇති බැව් වැඩිදුරටත් ඔවුන් දක්වා තිබුණා. මේ හේතුව නිසා ෆ්‍රෙඩ්‍රික් සිය මාපියන් ඝාතනය කරන්නට ඇති බවත්, මේ සඳහා ඔහු වසර ගණනාවක් සැලසුම් කරන්නට ඇති බවත් ග්‍රන්ථයෙහි සඳහන්.

ඝාතනවලින් අනතුරුව සිය මිතුරන්ගේ ආධාරයෙන් ෆ්‍රෙඩ්‍රික් මෙක්සිකෝවට පැනගන්නට ඇති බවත්, අනතුරුව හොන්ඩුරාස් හි ජීවත් වී ඇති බවත්, එහිදී කෝලාහලයකට මැදිව මරුමුවට පත් වී ඇති බවත් වැඩි දුරටත් ග්‍රන්ථයෙහි සඳහන් වෙනවා.

ගාඩිනර් යුවලගේ ග්‍රන්ථය නිකුත්වීමත් සමග ඔවුනට ලොව සතර දෙසින් දෝශාරෝපණ එල්ල වුණා. ඒ ඔවුනට තමන් දක්වා ඇති කරුණු කිසිවක් සාධනීය ලෙස ඔප්පු කරගත් නොහැකි වූ නිසා යි. වැඩිදුර අධ්‍යයනයකින් අනතුරුව ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් එහි කරුණු පසෙකට දැමුවේ එය ‘සත්‍ය සිද්ධියක් ඇසුරු කොටගෙන සෑදූ ප්‍රබන්ධයක්’ ලෙස පවසමින්.

වර්තමානය වන විටත් ඇමෙරිකානු පොලිස් පොත්වල මෙම සිද්ධිය සටහන් වන්නේ ‘නොවිසඳුණු’ එකක් ලෙසටයි. චාල්ස් ෆ්‍රෙඩ්‍රික් රොජර්ස් 1975 වසරේ දී මියගිය බැව් පසුව ප්‍රකාශ කෙරුණත්, ඔහුට අත් වූ ඉරණම පිළිබඳව තවමත් කිසිවෙකුත් හරියාකාරවම දන්නේ නැහැ.

Related Articles