දෙවන ලෝක යුද්ධයේ අවසන් සමය වනවිට ජපානයේ ගුවන් නියමුවන් මරාගෙන මැරෙන ප්‍රහාරවලට යොමු වීම පිළිබඳ අප මින් පෙර ලිපියකින් ඔබට විස්තර කළා. කමිකසෙ නමින් හැඳින්වූ මෙම නියමුවන් 1944 ඔක්තෝබර 25 වනදා පළමු සංවිධානාත්මක මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළා.
කමිකසේ ප්‍රහාර දිගටම
කමිකසෙ ප්‍රහාර මුල් දිනවලදී සාපේක්ෂව සාර්ථක වුණා. ජපන් ගුවන් භටයින් මේ ආකාරයේ සියදිවි නසා ගන්නා මෙහෙයුම් අරඹා ඇතැයි මුල්ම ප්‍රහාර කිහිපයේදී ඇමරිකානුවන් එතරම් තේරුම් ගත්තේ නැහැ. තවද මෙවැනි ප්‍රහාරයකට මුහුණ දීම එතරම් පහසු වූයේ නැහැ. සරලවම කිවහොත් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඇමරිකානුවන් සහ මිය යාමට සූදානම්ව සිටින ජපන් සෙබලුන් අතර සටනක් බවට මෙය පත් වුණා.
ආරම්භක සාර්ථකත්වය හේතුවෙන් ජපන් හමුදා කමිකසෙ ව්‍යාපෘතිය වේගවත් කළා. කෙසේ වෙතත් කල් යද්දී ඇමරිකානු හමුදා මෙම ප්‍රහාරවලට මුහුණ දීමට හුරු වන විට කමිකසේ ප්‍රහාරවල සාර්ථකත්වය කෙමෙන් පහත වැටුණා.
1944 ජූනි – ජූලි මාසවල සයිපෑන් සංග්‍රාමයෙන් පසු සයිපෑන් දූපත ඇමරිකානුවන් විසින් අල්ලාගන්නා ලද අතර එතැන් පටන් ජපන් ප්‍රධාන භූමියට බෝයිං බී-29 ෆ්ලයිං ෆෝට්‍රස් වර්ගයේ යානාවලින් බෝම්බ හෙලීමේ හැකියාව ඇමරිකානුවන්ට ලැබුණා. මේ අතර 1945 පෙබරවාරි සහ මාර්තු මාසවලදී ඉවෝ ජිමා සටනින් ඇමරිකානුවන් ජය ගැනීමත් සමඟ ජපානයට සයිපෑන් දූපතටත් වඩා බොහෝ සේ ආසන්න මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇමරිකානුවන්ට ලැබුණා. ඉවෝ ජිමා සටනේදී ද කමිකසේ සෙබලුන් ප්‍රහාර එල්ල කළා.
පහත දැක්වෙන වීඩියෝවෙන් ඔබට 1944 නොවැම්බර් 25 වනදා USS Essex නෞකාවට එල්ල වූ කමිකසෙ ප්‍රහාරය දැකිය හැකියි. මෙම ප්‍රහාරයෙන් ඇමරිකානුවන් 15 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා නෞකාවට ද හානි සිදු වුණත්, සති තුනකදී පිළිසකර කටයුතු නිමවා නෞකාව නැවත යුධ පෙරමුණට පැමිණියා.
මේ අතර බී-29 ෆ්ලයිං ෆෝට්‍රස් ගුවන් යානාවලට එරෙහිව ද කමිකසෙ ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළත් එම ප්‍රහාර එතරම් සාර්ථක වූයේ නැහැ. ඊට හේතු කිහිපයක්ම තිබුණා. එක් අතකින් ගුවන් යානයක් යනු නැවකට සාපේක්ෂව කුඩා, එමෙන්ම පහසුවෙන් හැසිරවිය හැකි යානයක්. තවද ෆ්ලයිං ෆෝට්‍රස් යානයේ ද සැළකිය යුතු අවි ප්‍රමාණයක් සවිකර තිබුණ හෙයින් කමිකසේ යානාවලට පහරදිය හැකි වුණා. මේ හේතූන් නිසාවෙන් ෆ්ලයිං ෆෝට්‍රස් යානාවලට පහර දීම සඳහා හොඳින් පුහුණුව ලද නියමුවන් අවශ්‍ය වුවද ජපන් හමුදාවලට මේ වෙද්දී එවැන්නන් සිටියේ අතළොස්සක් පමණයි.
මේ අනුව කෙටි කළකදී කමිකසේ ප්‍රහාරවල සාර්ථකත්වය පහළ වැටුණා. ඔකිනාවා සංග්‍රාමයේදීද ඔවුන් යොදවා ගන්නා ලද නමුත් මේ වනවිට යුද්ධයේ අවසන් ප්‍රතිඵලය යළි හැරවීමේ හැකියාව කමිකසේවරුන් සතු වූයේ නැහැ.
අවසාන කමිකසේවරයා
1890 දී උපන් අද්මිරාල් මතෝමේ යුගාකි (Matome Ugaki) කමිකසේ ප්‍රහාර සම්බන්ධයෙන් වැදගත් චරිතයක් වුණා. දෙවන ලෝක යුධ සමයේදී අද්මිරාල් ඉසොරොකු යමාමෝතෝ යටතේ වූ ජපන් නාවික බල ඇණියේ මාණ්ඩලික ප්‍රධානියා වුණේ ඔහුයි. 1943 අප්‍රේල් මාසයේදී යමමෝතෝ සහ යුගාකි වෙනම ගුවන් යානා දෙකකින් ගමන් කරද්දී ඇමරිකන් ප්‍රහාරයන්ට ලක් වුණා. යමාමෝතෝ මිය ගිය නමුත් යුගාකිගේ දිවිගැලවුණා.
තුවාල සුව අතට හැරුණ පසු යුගාකි පිලිපීනයට අනුයුක්ත කළ අතර ඔහු ලෙයිටේ බොක්කේ සටනට සම්බන්ධ වුණා. පසුව 1945 පෙබරවාරියේදී ජපන් ප්‍රධාන දූපත් හතරෙන් දකුණෙන්ම පිහිටි කියුෂු දූපතට ඔහු යවනු ලැබුණා.
එතැන් පටන් ඔහු එම ප්‍රදේශයේ කමිකසේ ප්‍රහාර පිළිබඳව ද ප්‍රධාන අණදෙන්නා වුණා. ඔකිනාවාහිදී ඔහුගේ කමිකසේ භටයින් විශාල පිරිසක් මිය යනු ඔහු දුටුවා. නමුත් සිය රටෙහි ආරක්ෂාව පිණිස කළ හැකි වෙනත් විකල්පයක් ඔහු දුටුවේ නැහැ.
මේ අනුව ඇමරිකානුවන් ජපානයේ ප්‍රධාන දූපත්වලට හමුදා ගොඩ බස්වන අවස්ථාව සඳහා ඔහු සූදානම් වුණා. කමිකසේ ප්‍රහාර සඳහා යොදාගත හැකි යානා ඇමරිකානු ගුවන් ප්‍රහාරකයන්ගේ ඇස නොගැටෙන ස්ථානවල සඟවමින් ඔහු සටනට සැරසුනා.
1945 අගෝස්තු 6 වනදා හිරෝෂිමාවටත් අගෝස්තු 9 වනදා නාගසාකියටත් පරමාණු බෝම්බ හෙලන ලද අතර අගෝස්තු 8 වනදා සෝවියට් දේශය ජපානයට එරෙහිව යුධ ප්‍රකාශ කළා.
අගෝස්තු 14 වනදා නිවේදනය කෙරුණේ ඊළඟ දින මධ්‍යාහ්නයේදී ජපන් අධිරාජයා විශේෂ ප්‍රකාශයක් කරනු ඇති බවයි. අගෝස්තු 15 වනදා හිරෝහිතෝ අධිරාජයා ජපානය යටත්වන බව ප්‍රකාශ කළා.
ඉන් පෙර මාස කිහිපය තුළ ජපානයේ ප්‍රධාන දූපත් ආශ්‍රිතව කමිකසේ ප්‍රහාර මෙහෙයවූ අද්මිරාල් මටොමේ යුගාකි, සිය දිනපොතේ අවසන් සටහනක් තබා, තමා යටතේ වූ අනෙක් ගුවන් නැවියන් කිහිප දෙනකු සමඟ අවසන් කමිකසේ ප්‍රහාරයකට එක්වුණා. ඉන් පෙර ඔහු තම නිල පදක්කම් ඉවත් කර ඡායාරූපයකට ද පෙනී සිටියා.
යුගාකි යටතේ සිටි නියමුවන් ඔහු නවතන්නට උත්සාහ කළත් ඔවුනට එය කළ හැකි වූයේ නැහැ. මේ අනුව යෝකොසුකා D4Y යානයක පිටිපස අසුනට යුගාකි නැගුණ අතර එම ස්ථානයේ සාමාන්‍යයෙන් සිටින නිලධාරියා ද, අද්මිරාල්වරයා ඉවත් නොවුණ තැන ඔහු හා එකතු වුණා. සම්පූර්ණ ප්‍රහාරක බල ඇණියේ යානා 11 ක් දක්නට ලැබුණා. මේ ජපානය විසින් දියත් කළ අවසන් කමිකසේ ප්‍රහාරයයි.
එදින සවස යුගාකිගෙන් අවසන් රේඩියෝ පණිවිඩයක් පැමිණියා. එයින් කියැවුණේ ඔහුගේ යානය ඇමරිකානු නෞකාවක් වෙත කඩා වදින්නට පටන් ගන්නා බවයි. එහෙත් එදින කිසිදු සාර්ථක කමිකසේ ප්‍රහාරයක් වාර්තා වූයේ නැහැ. මේ අනුව පැහැදිලි වන්නේ යුගාකි ඇමරිකානු නෞකාවක් කරා පැමිණීමට පෙර ඔහුගේ ගුවන් යානය විනාශ වන්නට ඇති බවයි.
මීළඟ දිනයේ ඔහුගේ යයි සැක කළ හැකි සිරුරද සහිතව ගුවන් යානයක සුන්බුන් ඇමරිකානු නැවක් විසින් සොයා ගැණුනා. ඔහු විසින් මෙහෙයවුණු ප්‍රහාරක කණ්ඩායම අවසන් කමිකසේ ප්‍රහාරක කණ්ඩායම වූ අතර එය මෙහෙයවූ බැවින් සහ අවසන් මොහොතේ එම කණ්ඩායම සමඟින් එක් වූ බැවින් යුගාකි “අවසන් කමිකසේ ප්‍රහාරකයා” ලෙස හැඳින්විය හැකි වනවා.
මේ අතර වයිස් අද්මිරාල් ඔනිෂි ද සිය දිවි තොරගත්තේ සාම්ප්‍රදායික ජපන් යුධ ආචාරධර්ම අනුවයි.
යුගාකිගේ දිනපොත පසු කලෙක මුද්‍රණය කෙරුණා. 1945 මැයි මස 11 වනදා, එනම් කමිකසේ සෙබලුන් විශාල පිරිසක් මියගිය දිනයක, යුගාකි මෙසේ ලියා තිබුණා.
Flowers of the special attack are falling
When the spring is leaving.
Gone with the spring
Are young boys like cherry blossoms.
Gone are the blossoms,
Leaving cherry trees only with leaves.
එහි සරල අනුවර්තනය මෙසේය. (අනුවර්තනය මෙම ලිපියෙහි රචකයා විසිනි)
“වසත් කාලය සමඟින්
චෙරි මල් වැටෙන අයුරින්
සෙබලුන් වැටෙති දහසින්
පත්‍ර පමණක් ගසෙහි තබමින්”
Cover Image: අද්මිරාල් මතොමේ යුගාකි සිය අවසන් පියාසැරියට පෙර (Public Domain)
මූලාශ්‍ර
- Kamikaze – To Die for the Emperor (History Channel documentary)
- Dogfight Series – Kamikaze (BBC)