එක්නැළිගොඩ මොහොට්ටාල සහ එක්නැළිගොඩ වලව්ව

සබරගමු පළාතේ පිහිටි ඓතිහාසික වලව් ගණනාවක් අතරින් එක්නැළිගොඩ වලව්වට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අනිකුත් බොහෝ වලව්වල සාමාජිකයන් මෙන් එක්නැළිගොඩ වලව්වේ විසූ ප්‍රභූවරු ද එවකට රටේ පාලන තන්ත්‍රයට විවිධාකාරයෙන් සම්බන්ධ වූ අය වෙති. මෙරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමට ඉංග්‍රීසින්ට උපකාර කළ, ආන්දෝලනාත්මක චරිතයක් වූ එක්නැළිගොඩ මොහොට්ටාල ද මෙම පරපුරේ සාමාජිකයෙකි.

දඹදෙණි රාජධානි යුගය දක්වා දිව යන ඉතිහාසයක් ඇති එක්නැළිගොඩ පරපුර සහ ඔවුන්ගේ නිවහන වූ කුරුවිට පිහිටි එක්නැළිගොඩ වලව්ව පිළිබඳ විස්තර මෙම ලිපියෙන් සොයා බලමු.

වලව්වේ ඉදිරිපස – Facebook- Travel Life

පරපුරේ ආරම්භය

ඓතිහාසික තොරතුරුවලට අනුව මෙම පරපුරේ පෙළපත් නාමය වන්නේ ‘අක්කරක් කුරුප්පු මහීපාල වික්‍රමසිංහ බස්නායක මුදියන්සේලාගේ’ යන්න යි. දඹදෙණි රාජධානි යුගයේ, දෙවැනි පරාක්‍රමබාහු රජ සමය දක්වා දිව යන එක්නැළිගොඩ පරපුරේ ආරම්භකයා ලෙස දෙවැනි පරාක්‍රමබාහු රජුගේ අගමැතිවරයා වූ ආර්ය කාමදේවයන් සැලැකේ.

සබරගමු මහා සමන් දේවාලය ඉදි කිරීමෙන් අනතුරුව රජු, ආර්ය කාමදේවයන් එහි බස්නායක නිලමේ වශයෙන් පත් කළේ ය. පසුකාලීනව එම පරපුරේ සාමාජිකයන් කිහිප දෙනකු ම සපරගමු මහා සමන් දේවාලයේ බස්නායක තනතුර හොබවා තිබේ. ඒ බව ශිරෝපාදය හෙවත් සමන් දෙවි වර්ණනාව නම් පද්‍ය සංග්‍රහයේ සඳහන් වන්නේ පහත අයුරිනි,

අකුරණ මහා අටුවා ගල්       ගමේ
සපුරණ දෙව්රජ බැති නොම  නිමේ
පැවතෙන කම් දෙව් දද නො  නිමේ
සසොබන කුරුප්පු මැති පුතු     මේ

පරපුරේ කැපී පෙනෙන සාමාජිකයෝ

මහනුවර යුගයේ විසූ අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිවරයාගේ ගෝලයකු ලියා ඇති සමන් දෙවි වර්ණනාව පද්‍ය සංග්‍රහයේ සඳහන් වන්නේ පෘතුගීසින් සබරගමුව ආක්‍රමණය කළ අවස්ථාවේ එවකට සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ වූ කුරුප්පු මුදලිවරයා දේවාලයේ තැන්පත් කර තිබූ එක් සමන් දේව ප්‍රතිමාවක් එහි ආරක්ෂාව පතා සොරබොර දේවාලයට රැගෙන ගිය බව යි.

එකී කුරුප්පු නිලමේ එක්නැළිගොඩ පරපුරේ මුල් සාමාජිකයෙක් බව කියැවේ.

සබරගමු මහා සමන් දේවාලය – Facebook-Beyond the Yellow Press

අලගියවන්න මුකවෙටිතුමා 15 වැනි සියවසේ දී  රචනා කළ සැවුල් සංදේශයේ නනාම්බි කුරුප්පු නම් බස්නායක නිලමේවරයකු පිළිබඳ ව සඳහන් වේ. ඔහු සීතාවක රාජසිංහ රජතුමාගේ දරුවකු මෙන් හැදී වැඩුණු බවත්, මනාව ශිල්ප ශාස්ත්‍ර උගත් අයකු බවත් එහි සඳහන් වේ. ඔහු ද මෙම පරපුරේ සාමාජිකයෙකි.

මහනුවර යුගයේ කිර්ති ශ්‍රී රාජසිංහ රජ සමය දක්වා එක්නැළිගොඩ පරපුර පදිංචි ව සිටියේ ඇහැලියගොඩ ඉඩම්ගොඩ මාර්ගයේ පිහිටි අකුරම්මාටුවාගල නම් ග්‍රාමයේ ය. එවකට කටුවන සහ මාතර ලන්දේසි කොටු අත්පත් කර ගැනීමට සටන් කළ රත්නපුර විසූ ප්‍රාදේශීය නායකයන් දහතුන් දෙනා අතර මෙම පරපුරට අයත් අකුරම්මාටුවාගල කුරුප්පු මුදලි ද සිටි බැවින් කීර්ති ශ්‍රී රාජසිංහ රජු, ඔහුට අකුරම්මාටුවාගල, මාපිටිය, පනාවැන්න සහ ගනේගොඩ ආදී ගම් ද ඇතුළත් ගම්වරයක් ප්‍රදානය කර තිබේ.

කටුවන බලකොටුවේ පිවිසුම – දිනමිණ

එක්නැළිගොඩ පදිංචියට පැමිණීම සහ නම ලැබීම

මෙම පරපුරේ සාමාජිකයෙක් 1800 හෝ ඒ ආසන්න කාලයේ කුරුවිට, එක්නැළිගොඩට පැමිණ එහි වලව්වක් ඉදි කළේ ය. කෙසේ නමුත් ඒ වන  විටත් කුරුප්පු පරපුරේ සාමාජිකයෙක් එම ප්‍රදේශයේ නිවසක් තනාගෙන ජිවත් වූ බැවින් එහි අලුතෙන් ඉදිකළ නිවස ‘එක්නැළිගොඩ අලුත් වලව්ව’ නමින් ප්‍රචලිත විය. ඒ සමඟ ම ඔවුන්ගේ පරපුරට එක්නැළිගොඩ යන නාමය ද එකතු කර ගෙන තිබේ. ඉහත කී පරිදි මෙම පරපුර දඹදෙණි යුගයේ ආර්ය කාමදේවයන්ගෙන් පැවතෙන්නක් වුවත්, එහි මෑතකාලීන ආරම්භය ලෙස සැලකෙන්නේ ඔවුන් එක්නැළිගොඩ පදිංචි වීමෙන් පසු ඇති වූ පෙළපත යි.

1800 සහ ඒ ආසන්න කාලයේ සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක ධුරය දරා ඇත්තේ එක්නැළිගොඩ අලුත් වලව්ව ඉදි කළ එක්නැළිගොඩ කළු බස්නායක නිලමේ වන අතර ඔහුගේ බිරිය මඩුවන්වෙල පරපුරෙන් පැවැත ආ කාන්තාවකි. එවකට උඩරට රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධව ඇහැළේපොළ මහ අදිකාරම් ප්‍රමුඛ සබරගමුවේ ප්‍රභූන් පිරිසක් කුමන්ත්‍රණයක් සිදු කළහ.

එහි මූලිකත්වය ගත් පිරිස අතර කළු බස්නායක නිලමේ ද සිටි බව කියැවේ. පසුව කුමන්ත්‍රණයේ තොරතුරු දැන ගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කළු බස්නායක නිලමේ අත්අඩංගුවට ගන්නා ලෙස රාජපුරුෂයන්ට නියම කළේ ය. ඒ අවස්ථාවේ කළු බස්නායක නිලමේ වස පානය කර සිය දිවි නසා ගෙන තිබේ. ඉන් අනතුරුව එක්නැළිගොඩ පරපුරට අයත් වූ සියලු දේපොළ රාජසන්තක කළ නමුත් පසුව ඒවා නැවතත් එම පරපුරට ම භාර දුන් බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට පත් වූ මොහොත –  FFacebook- Ceylon Then- Sri Lanka Now

එක්නැළිගොඩ මොහොට්ටාල

එක්නැළිගොඩ පරපුරට කළු පැල්ලමක් එක් කළ අයකු බවට සැලැකෙන එක්නැළිගොඩ මොහොට්ටාල ඉපදී ඇත්තේ 1783 වසරේ දී ය. එක්නැළිගොඩ මොහොට්ටාල නිලමේ සහ එක්නැළිගොඩ ලොකු බස්නායක නිලමේ නමින් ද ඔහු හඳුන්වා ඇත.

සිය පියාගේ පියා වූ එක්නැළිගොඩ කළු බස්නායක නිලමේ ගේ සිය දිවි නසා ගැනීම හේතුවෙන් එක්නැළිගොඩ මොහොට්ටාල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෙරෙහි බලවත් වෛරයකින් පසු වූයේ ය. ඔහු ඇහැළේපොළ අදිකාරම් සමඟ එක්ව 1814 වසරේ දී රජුට විරුද්ධ ව කැරැල්ලක් සංවිධානය කළ නමුත් එය අසාර්ථක විය.

වලව්වේ ඉදිරිපස ආලින්දය වර්තමානයේ – Facebook-සිව්මංසල

1814 සබරගමු කැරැල්ල හෙවත් බටුගෙදර කැරැල්ල ලෙස හඳුන්වන්නේ එම කැරැල්ල යි. 1815 වසරේ ඉංග්‍රීසින් උඩරට වැටලූ අවස්ථාවේ උඩුපිටිය, ගල්ලැහැවත්තේ, බෝමුරේ අප්පුරාල ගේ නිවසේ සැඟවී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමට ගිය කණ්ඩායමේ ප්‍රධානියා වූයේ එක්නැළිගොඩ මොහොට්ටාල ය. ඔහු සමඟ සබරගමුවේ වැසියන් පන්සියයක්, ජා සහ බෙංගාලි භටයන් තුන්සියයක් සහ තවත් පිරිස ඇතුළත් ව පන්දහසක පිරිසක් රජු අල්ලා ගැනීමට ගොස් තිබේ.

ගෘහ නිර්මාණ ශිල්පය

වර්තමානයේ දැකිය හැකි එක්නැළිගොඩ වලව්ව ඉදිකර ඇත්තේ 1829 වසරේ දී ය. එක්නැළිගොඩ කළු බස්නායක නිලමේ 1800 හෝ ඒ ආසන්න කාලයේ ඉදි කළ වලව්ව ගරා වැටෙමින් තිබූ නිසා ඔහුගේ පුතකු වූ එක්නැළිගොඩ දෙවැනි දිසාව වර්තමානයේ දැකිය හැකි වලව්ව ඉදිකරවා තිබේ.

එවකට සපරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ ධුරය දැරූ ඔහු දේවාලයේ රාජකාරිකරුවන් යොදවා මෙම වලව්ව ඉදිකර ඇත. මහනුවර යුගයේ ඉදි කළ වලව්වල දැකිය හැකි ගෘහ නිර්මාණ ලක්ෂණ සහ ඕලන්ද ගෘහ නිර්මාණ ලක්ෂණ මෙම වලව්වේ දැකිය හැකි ය.

සොල්දරය – Facebook- Travel Life

කළුගල් සහ මැටි යොදාගෙන බිත්ති බැඳ ඇති එක්නැළිගොඩ වලව්වේ වහලය ඉතා ශක්තිමත් දැව යොදා සකස් කර තිබේ. එහි සෙවිලි කර ඇත්තේ සිංහල උළු ය. වලව්වේ බිත්ති බැඳීම සඳහා හුඹස් මැටි සහ හුණු, බඹර පැණි සහ උක් පැණි සමග මිශ්‍ර කර සකස් කරගත් බදාමයක් යොදාගෙන තිබේ.

වළං සෑදීම සඳහා යොදා ගන්නා මැටි විශේෂයකින් සකස් කළ පිඟන් ගඩොල්වලින් ගෙබිම අතුරා ඇත. තනි මහල් වලව්වක් වන එක්නැළිගොඩ වලව්වේ එක කොටසකට පමණක් සීමා වූ සොල්දරයක් තිබේ. වලව්වේ මැද සාලයට ඉහලින් පිහිටා ඇති එම සොල්දරය අතීතයේ අවි ආයුධ සඟවා තැබීම සඳහා භාවිත කර තිබේ.

වලව්වට පැමිණි ජනතාව සමග කතාබස් කිරීම සඳහා ප්‍රයෝජනයට ගත් අඩි හැටක දිගින් සහ අඩි හතක පළලින් යුතු විවෘත ආලින්දයක් වලව්වේ ඉදිරිපස කොටසේ පිහිටා තිබේ. ඉදිරිපස ආලින්දයේ අඟල් දහ අටක වට ප්‍රමාණයෙන් යුතු විශාල කුළුණු හතක් දැකගත හැකි ය. එක කුළුණක සිට තවත් කුළුණකට දුර අඩි හතකි.  ඊට පිටුපසින් තවත් උස් ආලින්දයක් දැකිය හැකි අතර එය වලව්වලට පැමිණි ප්‍රභූවරුන් අසුන්ගත් ආලින්දය ලෙස හඳුනාගත හැකි ය.

මැද මිදුල – Facebook-සිව්මංසල

වලව්වේ පසුපසට වන්නට අඩි දහයක පළලින් යුතු තවත් ආලින්දයක් පිහිටා තිබේ. එම ආලින්දයේ දැවයෙන් කළ කණු දැකිය හැකි ය. ඊට යාබද ව අඩි අසූවක දිගින් සහ අඩි හතළිහක පළලින් යුතු සුවිශාල මැද මිදුලක් පිහිටා තිබෙන අතර අතීතයේ එහි  දිග්ගෙයි නැටුම් සහ වෙනත් නැටුම් පවත්වා තිබේ.

සුවිශාල නිවසක් වන එක්නැළිගොඩ වලව්වේ කාර්යාලයක්, උපස්ථායක කාමරයක්, අමුත්තන් සඳහා වෙන් වූ ආලින්දයක්, නිදන කාමර හතක්, විශේෂ අමුත්තන් සඳහා වෙන් වූ ආලින්දයක්, අමුත්තන් සඳහා වෙන් වූ කෑම කාමරයක්, බුදු කුටියක්, පවුලේ අය සඳහා වෙන් වූ ආලින්දයක් සහ කෑම කාමරයක්, ගබඩා ආලින්දයක්, ළමයින් සඳහා වෙන් වූ කෑම කාමරයක්, වැසිකිළියක්, සේවිකාවන් සඳහා වෙන් වූ නිදන කාමරයක්, මුළුතැන්ගෙයක්, මැද මිදුලක් සහ පිටුපස ආලින්දයක් පිහිටා තිබේ.

කෑම මේසය – Facebook-Travel Life

එක්නැළිගොඩ වලව්වේ වර්තමානයේදී පවා දැකිය හැකි කෑම මේසය මෙරට නිවසක ඇති දිගින් වැඩි ම කෑම මේසය යැයි කියනු ලැබේ. (තහවුරු කරගෙන නැත).

වර්තමාන තත්ත්වය

වර්තමානයේ මෙම වලව්වේ හිමිකාරිත්වය දරන්නේ සල්පිටි කෝරළේ වාසල මුදලි ජොහාන් පවුලස් පීරිස් දැරණියගල සමරසිංහ සිරිවර්ධනගෙන් පැවතගෙන එන දැරණියගල පරපුර ය. ඔහු විවාහ වූයේ හොරගොල්ල බණ්ඩාරනායක වලව්වේ ආරම්භකයා වන දොන් සොලමන් ඩයස් විජේවර්ධන බණ්ඩාරනායක සහ කොර්නේලියා ද සේරම් යුවළගේ දියණියක වූ සුසානා එළිසබෙත් ඩයස් විජේවර්ධන බණ්ඩාරනායක සමඟිනි.

ආචාර්‍ය සිරාන් දැරණියගල – Sunday Observer

එම පරපුරේ සාමාජිකයකු මෙන් ම මෙරට ප්‍රථම කෞතුකාගාර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා වූ පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල මහතා විවාහ වූයේ එක්නැළිගොඩ වලව්වේ ප්‍රීනි රඹුක්කන එක්නැළිගොඩ මොලමුරේ කුමාරිහාමි සමග ය. ඒ වන විට විවාහ සම්බන්ධතා නිසා වලව්වේ හිමිකාරිත්වය රඹුක්පොත සහ මොලමුරේ යන පරපුර  දෙකට අයත්ව තිබිණි.

කෙසේ වෙතත් ප්‍රීනි රඹුක්පොත එක්නැළිගොඩ මොලමුරේ කුමාරිහාමි රඹුක්පොත පෙළපතට අයත් ව තිබූ කොටස් ද මිල දී ගෙන වලව්වේ අයිතිය සිය පුත්‍රයා වූ සිරාන් උපේන්ද්‍ර දැරණියගලට පැවරුවේය. ඒ අනුව පසුගියදා අභාවප්‍රාප්ත වූ සුප්‍රසිද්ධ පුරාවිද්‍යාඥ, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සිරාන් දැරණියගල මහතාට අයත් ව තිබූ මෙම වලව්වේ වර්තමාන හිමිකරුවන් වන්නේ ඔහුගේ දරුවන් ය. 

කවරයේ ඡායාරූපය- එක්නැළිගොඩ වලව්වේ ඉදිරිපස - Facebook- Travel Life

මූලාශ්‍ර-

රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කිහිපයක් - එච්. එම්. ජයන්ත විජේරත්න

www.ssundayobserver.lk

www.worldgenweb.com

ගම්වැසියන්ගෙන් ලබාගත් තොරතුරු

Related Articles

Exit mobile version