වැව් 600කට දිය බෙදන සුන්දර නදිය: කලා ඔය

කලා ඔය ශ්‍රී ලංකාවේ තෙවැනියට දිග ම ගංගාව යි. මේ ජල ප්‍රවාහය වඩාත් ප්‍රසිද්ධ ව ඇත්තේ එය හරස් කර තැනූ කලා වැව නිසා යි. (කලා වැව ගැන අප මෙයට පෙර ඉදිරිපත් කළ ලිපිය කියවන්න). ඊට අමතර ව තවත් වැව් කිහිපයකට ම ජලය බෙදන, සංචාරක කාර්මාන්තයටත් පාදක වුණු විල්පත්තු වනාන්තරය අසලින් මුහුදට එක්වන කලා ඔය ගැන වැඩි දෙනෙක් එතරම් නොදන්නා බව යි පේන්නේ. 

මේ කලා ඔයේ විස්තර ඔබට ඉදිරිපත් කිරීමට දැරූ උත්සාහයක්. 

කලා ඔය ගංගා ද්‍රෝණිය – researchgate.net

කලා ඔයේ ආරම්භය

මේ ගංගාව ගැන වංශකතාවල සඳහන් වන්නේ ‘ගෝන නදී’ යනුවෙන්. දඹුල්ලට නුදුරු ඕමාරගොල්ල කඳු ආශ්‍රිත ප්‍රදේශයෙන් පටන් ගන්නා කලා ඔය පසු ව දේවහුව වැවටත්, එතැන් සිට බලලු වැව සහ කලාවැවටත් පැමිණෙනවා. කලාවැවේ දී මහවැලි දියවරත් එකතු කරගෙන කිලෝමීටර 145 ක් පමණ දුරක් ගෙවා වයඹ වෙරළ තීරයේ දී එය  මුහුදට එකතු වනවා. කලා ඔයේ ජල මට්ටම  ඉහළ නැංවීමට දඹුලු ඔයේ සහ මිරිස්ගෝනියා ඔයේ ජලයත් හේතු වෙනවා.

සුළු සහ මහාවැව් 600 කට දියවර

මෙසේ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වී අනුරාධපුර දිස්ත්‍රික්කයට පිවිස පසුව ගමන අවසන් කරන්නේ වයඹ පළාතෙන්. මුහුදු මට්ටමේ සිට මීටර 600 ක් දක්වා වූ උන්නතාංශයක තමයි මේ ජල මාර්ගය ගලා බසින්නේ.  ඒ ගමනේ දී සුළු සහ මහාවැව් 600 ක ප්‍රමාණයකට කලා ඔය දියවර සපයනවා.  

මෙහි ගංගා නිම්නය විශාලත්වයෙන් වර්ග කිලෝ මීටර් 2873ක්. ගං දෑලේ වසන ලක්ෂ හතරක් ජනතාවක් පමණ මෙහි ජලයෙන් ප්‍රතිලාභ ලබනවා. එහි පෝෂක ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 1800ක්. ඒ මඟින් වැසි ජලය ඝන මීටර මිලියන 3200ක් කලා ඔයට එක්වෙනවා. එයින් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට මුදා හරින්නේ 5% වැනි ප්‍රමාණයක් පමණ යි. කලා ඔයේ මෝය කට පිහිටා ඇත්තේ පුත්තලම එළුවන්කුලමේ යි. එය ඕලන්ද බොක්කෙන් තමයි මුහුදට වැටෙන්නේ. මෝය අවට ඉතා අලංකාර ඩෙල්ටාවක් සහ කඩොලාන පරිසරයක් ද දැක ගත හැකි යි. මේ පෙදෙස හඳුන්වන්නේ ගඟේවාඩිය කියා යි.  ගඟේ වාඩිය දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රකට ස්ථානයක්. 

අතු ගංගා එකතු කර ගෙන වනය මැදින් ගමන් කරමින් – greenholidaytravels.com

කලා ඔයේ අතු ගංගා

කලාඔයේ ප්‍රධානත ම අතු ගංගාව දඹුලු ඔයයි. එය නාවුල ප්‍රදේශයෙන් ආරම්භ වී දඹුලු ඔය ජලාශයට සහ කලා වැව වෙත ජලය රැගෙන යනවා. ඇරෑවුල ඔය දඹුල්ලට නුදුරු කඳුවැටිවලින් ආරම්භ වන ජල මාර්ගයක්. මිරිස්ගෝනියා ඔයත් කලා ඔයේ ජල සැපයුමට විශාල දායකත්වයක් දක්වනවා. දඹුල්ල නගරයට ආසන්නයෙන් ගලා යන මේ ඔය පසුව දඹුලු ඔයට එකතුවෙනවා. කටියාව ගොවි ජනපදය අවටින් ආරම්භ වන කොනිත ඔය, දේවහුවේ හවන් ඇල්ල ඔය, අංගමුව ලුණූ ඔය ආදී ජල මාර්ගත් අවසානයේ එකතු වන්නේ කලා ඔයට යි.  කලාඔයේ දිග ම අතු ගංගාව වන්නේ රාජාංගනය ආසන්නයේ දී එයට එකතු වන සියඹලන්ගමුව ඔය යි. 

කලා ඔයෙන් පෝෂණය වන කලා වැව – Traverwithuma.com

  කලා වැවේ සිට ගමන අරඹමින්

කලා ඔය හරස් කර ඉදි කළ විශාල ම ජලාශය වන්නේ කලා වැව යි. ඒ වැව ඉදි කරවූයේ අදින් සියවස් 15කට පමණ පෙර රජ කළ ධාතුසේන (ක්‍රි. ව. 455-473) රජු යි. කලාවැව නිර්මාණය කළ ධාතුසේන රජු වැව් 18 ක්‌ නිර්මාණය කළ බව වංශකතාවල සඳහන් වන කාරණයක්. රජු කලා වැව ඉදි කර ඒ ආසන්නයේ තිබූ බළලු වැව ද එක් කර  විශාල වැව් බැම්මක් තැනීමෙන් සෑදූ මෙය කලා බළලු වැව නමින් ද හැඳින්වෙන්නට වුණා.

කලා වැව් තාවල්ල -www.timeout.com

කලාවැවේ සිට ගලන කලාඔයට මුලින් ම හමු වන්නේ මඩකළපුව සහ ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගයේ පිහිටි අවුකන දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි අවුකන පාලම යි. පසුව කලාවැව ප්‍රදේශයෙන් සමු ගෙන වයඹදිසානුගත ව ගලන කලා ඔයට ගල්නෑව ප්‍රදේශයේ දී පුරාණ අමුණක් හමු වෙනවා. 

පුරාණ යකා බැම්ම අමුණ

පුරාණ යකා බැම්ම අමුණ ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව හා ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අතර කලා ඔය හරහා යි. මෙම අමුණ පිළිබඳ ව ආර්. එල්. බ්‍රෝහියර්  1934  දී පළ කළ “ලංකාවේ පුරාතන වාරිමාර්ග” (Ancient irrigation works in Ceylon) ග්‍රන්ථයේ සඳහන් කර තිබෙනවා. 

කලාවැවේ සැඳෑ සුන්දරත්වය – archive.globallandscapesforum.org

ඔහු  සඳහන් කරන්නේ දිස්ත්‍රික්කයේ භූ විෂමතා මඟහරවමින්  පුරාණ ඇළ මාර්ගයක් ඔස්සේ ඔයේ දකුණු ඉවුරේ පිහිටි නුවරකලාවිය තැනිතලාව හරහා වංගු සහිත මාර්ගයක ගමන් කරමින් අක්කර 6,000 ක් පමණ ප්‍රදේශයකට ගොවිතැන් සඳහා කලාඔයේ ජලය සපයා ඇති බව යි.  මෙම යෝධ ඇළ මාර්ගය සැතපුම් 20ක් පමණ ගමන් කොට එකල වල්බිහිවී තිබූ පානික්කම්කුලම් වැවට සම්බන්ධ වූ බවට අනුමාන කෙරනවා.

සුන්දර කලා ඔය – wilpattu green cabin facebook page

පුරාණ ගල්බැම්මේ ශේෂ අදත් දැකගත හැකි යි. බැම්මේ දකුණු බෑවුමේ සිට දිග මීටර 53.71 ක් වෙනවා. එහි දකුණුපස කෙළවර පළල මීටර 11.25 වන අතර මධ්‍යයේ පළල මීටර 10.45ක්. ගල් බැම්මට පිටතින් එයට සම්බන්ධ වන ආකාරයට මනාව බැඳි ගඩොල් බැම්මකින් අමුණ තවදුරටත් ආරක්ෂා කොට තිබෙනවා. අදටත් එම ගඩොල් බැම්මේ ශේෂ දැකගැනීමට ලැබෙනවා. මෙම ගඩොල්වල ප්‍රමාණ අනුව ඒවා අනුරාධපුර යුගයේ මධ්‍ය කාලයට අයත් බවටයි ඉතිහාසඥයන් අනුමාන කරන්නේ. 

රාජාංගනය ජලාශය

කලා ඔය හරස් කර මීටර 350ක්  දිග වේල්ලක් ඉදි කර 1960 දශකයේ දී තනා ඇති රාජාංගනය ජලාශය ජලය ඝන මීටර් මිලියන 100.37 ක ධාරිතාවකින් යුක්ත යි. කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්ක දෙකෙහි සීමාවේ පැතිර තිබෙන මේ  වැව යටතේ වගා කෙරෙන සමස්ත වගා බිම් ප්‍රමාණය අක්කර 15,500 ක්. අක්කර අඩි 76,603 ක උපරිම ජල ධාරිතාවක් දැරීමේ හැකියාවක් රාජාංගණය වැව සතු ව පවතිනවා. වගාවලට ජලය සැපයීමට අමතර වශයෙන් නීල බැම්ම ව්‍යාපාරයට, අංගමුව වැව, තුමුල්ලේගම වැව හා එළුවන්කුලම වැවටත් එයින් ජලය බෙදා දෙනවා. 

වාන් දමන රාජාංගනය ජලාශය- wikpedia.org

 රාජාංගනය ජලාශයට ජලය ලබා දී කලාඔය තවත් ඉදිරියට ගමන් කරනවා.  එහි සිට කිලෝමීටර 20 ක් පමණ වයඹ දිශාව ඔස්සේ ගමන් කරන කලාඔය ඊළඟට පිසිසෙන්නේ නීලබැම්ම අමුණට යි.  

නීලබැම්ම අමුණ

ශුෂ්ක වියළි කලාපයට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ  ජනතාවට ජලය සැපයිමට   1998 දී   කලාඔය හරස් කරමින් මීටර 149 ක් දිග මීටර 7 ක් උස අමුණක් ඉදි වෙනවා. මෙම අමුණ නම් කරන්නේ “නීල බැම්ම” කියල යි. කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, සාලියවැව පොලිස් බල ප්‍රදේශයේ තමයි මෙය පිහිටා ඇත්තේ.  නීලබැම්ම වාරි ව්‍යාපාරය පුත්තලම දිස්ත්‍රික්කයේ විශාලත ම ගොවි ජනපදය යි. ගොවි පවුල් හත්සිය පනහකට වැඩි සංඛ්‍යාවක් එහි පදිංචි කරවා තිබෙනවා. 

ජලය ගබඩා කරන නීලබැම්ම-Wonder of Srilankan Irrigation Works facebook page

නීලබැම්ම අමුණේ සිට ජලය බෙදන ඇළ මාර්ගයකට ලබා ගන්නා කලාඔයේ ජලය ඇළ දිගේ තත්පරයට ඝන මීටර 8 ක් පමණ මුදා හැරෙනවා. ඇළ මාර්ගය කිලෝමීටර 12ක දිගින් යුතු වන අතර එය ඔට්ටුපල්ලම වැවෙන් අවසන් වෙනවා. නීලබැම්ම ව්‍යාපෘතිය මඟින් ගොවිබිම් අක්කර 2000 කට පමණ ජලය ලබාදෙනවා. නීලබැම්ම ව්‍යාපාරයෙන් ජලය ලබා ගන්නා ඔට්ටුපල්ලම වැවට එපිටින් පිහිටා ඇත්තේ විල්පත්තු වන සීමාව යි.   

නීලබැම්මෙන් පසුව  කලා ඔය පිවිසෙන්නේ විල්පත්තුව වනෝද්‍යාන සීමාවට යි. විල්පත්තුවේ දකුණු සීමාව ඔස්සේ කිලෝමීටර 35 ක් පමණ ගමන් කරන කලාඔය එළුවන්කුලම ප්‍රදේශයේ දී තම ගමන නිමා කරමින් මහ මුහුදට එකතු වෙනවා. එයට පෙර  එළුවන්කුලමේ සපත්තු පාලම ඔස්සේ ද කලාඔය ගමන් කරනවා.

එළුවන්කුලම පසුකරමින් යන කලා ඔය – Wilpattu Green Cabin facebook page

යෝජිත කලාඔය ජලාශය 

මහා කලා ඔය ජලාශ ව්‍යාපෘතිය වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා යෝජනා කර ඇති වාරි ව්‍යාපෘතියක්.  විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පිහිටා තිබෙන රාල්මඩුව   සහ වනාතවිල්ලුවට මඳක් උතුරින් පිහිටි චෝවලලකුලම  පෙදෙසේ දී  කලාඔය හරහා වේලි තැනීමට එහි සැලසුම් කර තිබෙනවා. යෝජිත  වේල්ලේ දිග කිලෝමීටර 6.5ක් සහ උසින් මීටර 13ක් ලෙස සඳහන්. තවමත් මෙහි කිසිම ඉදිකිරීමක් නම් ආරම්භ කර නැහැ. 

පාරිසරික සංවේදී කලාපයක්

කලාඔය ගංගා ද්‍රෝණියේ පාරිසරික වශයෙන් ඉහළ ජෛව විවිධත්වයක් දැකගත හැකි යි. එය පාරිසරික සංවේදී ප්‍රදේශයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ පාරිසරික සංවේදී භූමි ප්‍රදේශවල ජෛව විවිධත්ව සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම හා පරිසර පද්ධති සේවා නඩත්තු සංවිධානය අමෙරිකානු ඩොලර් මිලියන දෙකයි දශම හයක මුදලක්  2017 දී වෙන්කර තිබුණා. 

විල්පත්තුව මැදින් ගලමින් – wikimedia.org

කලාඔය ද්‍රෝණියට අයත් බිම් වශයෙන් ගොඩබිම් ඉඩම් හෙක්ටයාර 158700 ක් කරදිය වගුරු හෙක්ටයාර 250 ක්, කඩොලාන පද්ධති හෙක්ටයාර 630ක්  හා ගංගා ආශ්‍රිත වනාන්තර හෙක්ටයාර 200 ක් පිහිටා තිබෙනවා. මෙම පරිසර ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මඟින් පස් අවුරුදු සැලැස්මක් යටතේ  ක්‍රියාත්මක වෙනවා.

– කලාඔයේ දිය නෑම සහ එහි මෝය අවට බෝට්ටු චාරිකා කිරීම සංචාරයකයන් අතර ජනප්‍රිය යි – www.lakpura.com

කලා ඔයේ මෝය අවට සංචාරකයෝ

 කලාඔයේ දිය නෑම සහ එහි මෝය අවට බෝට්ටු චාරිකා කිරීම සංචාරයකයන් අතර ජනප්‍රිය යි. මේ නිසාම එළුවන්කුලම අවට සංචාරක හෝටල් කිහිපයක් ද ඉදි වී තිබෙනවා. මෙසේ පැමිණෙන පිරිස් එළුවන්කුලම අවට පෙදෙස්වල කුඩාරම් ගසමින් දින ගණනක් කාලය ගත කරනු දකින්නට පුළුවන්.

ගගේ වාඩියට නුදුරින් බෝට්ට් චාරිකා – greenholidaytravels.com

සංචාරකයන් පරිසරය විඳින අතර ම සමහරුන්  ඔය දෙපස කුඹුක් ගස් අසල ගිනි මැල ගැසීම,  කුඹුක් ගස් මුල ලිප සකසා ගිනි දැල්වීම වැනි කටයුතු නිසා විශාල පාරිසරික හානියක් ද සිදු ව තිබෙනවා. කලාඔයේ  වැලි තලාවේ පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය දැමීම ගැනත් වාර්තා වෙනවා.  

කවරයේ ඡායාරූපය -කලා ඔයේ එළුවන්කුලම සපත්තු පාලම මතින් පිටාර යන ජල ධාරාව - www.lakpura.com
මූලාශ්‍ර:
කලාඔය ද්‍රොණියේ අසිරිය- ඊ. යුරාජ් පද්මින් ද සොයිසා
elanka.com.au
lankadeepa.lk
dinamina.lk
amazing lanka.com

Related Articles

Exit mobile version