හලාවත නගරයේ බස් නැවතුම පිටුපසින් පුත්තලම් පාරේ පිහිටි පැරණි මන්දිරය හඳුන්වන්නේ සීගිරිය වලව්ව කියල යි. අද එය පාළුවට ගිය ස්ථානයක්. එම ගොඩනැඟිල්ල 1900 මුල් භාගයේ සුදු ආණ්ඩුව පවා දණ ගැස්වූ හලාවත කොරෙයා පරපුරට අයත් නිවසක්.
කොරෙයා පරම්පරාව විසිරී ගිය පසු එම නිවස අබලන්ව යනවා. එය මුලින් ම අයිති ව තිබුණේ කොරෙයා පරම්පරාවේ දියණියකට යි. පසුව පුරාවිද්‍යා ස්මාරකයක් බවට පත්වූ මේ ගොඩනැඟිල්ල සහ කොරෙයා පරපුර ගැන කළ හෙවිල්ලක් තමයි මෙසේ ඉදිරිපත් කරන්නේ.
සීගිරිය වලව්ව
හලාවත සීගිරිය වලව්වේ අකුණු සන්නායකය හොරුන් ගලවා ගෙන ගොස්ප ඇතැයි සුගියදා පුවත්පත් වාර්තාවල දකින්නට ලැබුණා. එයින් ම මෙම පැරණි ගොඩනැඟිල්ලේ ආරක්ෂාව ගැන අපට ඉඟියක් සැපයෙනවා. පුරාවිද්‍යා ස්මාරකයක් වූ මෙම ගොඩනැඟිල්ල වටා තිබූ ගස් කිහිපයක් කපා ගොඩනැඟිල්ලට ද හානි කිරීමක් ගැනත් පසුගිය කාලයේ පොලිසියට වාර්තා වී තිබෙනවා.
එහිදී පොලිසිය මැදිහත්වී එම කටයුතු නවත්වා ඇති බවයි වාර්තා වුණේ. කොරෙයා පරපුරට අයත් මෙම ගොඩනැඟිල්ල දැනට අබලන්ව පවතින අතර එය සංරක්ෂණය කළ යුතු තත්ත්වයේ පවතිනවා. මෙහි වත්මන් අයිතිය පවතින්නේ කොරෙයා පරම්පරාවේ සාමාජිකයන් පස් දෙනකුට යි.
වලව්ව ඉදිකිරීම
කෝට්ටේ සහ සීතාවක රාජධානි සමයේ ලංකාවේ සිටි දක්ෂ සටන්කරුවකු වූ එදිරිල්ලේ රාල හෙවත් දොමින්ගෝ කොරයාගෙන් තමයි හලාවත කොරයා පරම්පරාව පැවත එන බව පැවසෙන්නේ. ඔවුන් හලාවත හැඳින්වූයේ සිංහපුරය ලෙසිනු යි. මෙය ඉදිකරවා තිබෙන්නේ සුප්‍රකට කොරයා සහෝදරයන්ගේ සහෝදරිය වූ ඇග්නස් කොරයා යි. ඇය තම සැමියා වූ නිතිඥ ජිමි කොරයා සමඟ එක් ව 1910 වකවානුවේදි හලාවත නගරය මැද ඔවුන්ට අයත් ඉඩමේ ඉදි කළ ප්‍රතාපවත් මන්දිරය සීගිරි වලව්ව යි. එවකට හලාවත අවට මෙවැනි විශාල සහ අලංකාර මන්දිරයක් නොතිබූ බව යි පැවසෙන්නේ. ඔවුන් සීගිරිය යන නම ලබාදුන් නිවස ගැමියන් සීගිරිය වලව්ව ලෙස හඳුන්වන්නට පටන්ගෙන තිබෙනවා. මෙහි කීර්තිය හලාවතින් එපිටට ද පැතිර ගොස් තිබුණා. මේ වනවිට මෙම මන්දිරයට අවුරුදු 120ක් පමණ පැරණි යි.
සිංහල සහ ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පය එකතු කර ඉදි කළ මන්දිරය වටා වලාකුළු බැම්මක් සකස් කර තිබෙනවා. දැන් නම් මේ බැම්මත් අබලන් වෙලා. මන්දිරයට ඇතුළුවීමට ගේට්ටු දෙකක් තිබෙනවා. සිමෙන්තියෙන් කැටයම් නිර්මාණය කළ විශාල ගේට්ටු කණු ඒවාට යොදා ගෙන තිබෙනවා. එම ගේට්ටු එක් ගෙට්ටුවක කණුවල පුන් කලස් නිමා කර වැඩ දමා ඉදි කර ඇති අතර අනෙකේ කණු ඉහළින් කුඩා දාගබ් දකින්නට පුළුවන්. ගේට්ටු පියන්වල සීගිරිය යන නම ඉංග්‍රීසියෙන් සඳහන් කර තිබෙනවා.
ගේට්ටුවෙන් ඇතුළු ව ගෙඋයනට පිවිසි පසුව කොරවක් ගල් සහිත අලංකාර දොරටුවක් හරහා පෝටිපෝවට ඇතුළු විය යුතු වුණා. ඉන් පසුව කුළුණු සහිත ආලින්දයට පිවිස කිරිගරුඬ ගෙබිම හරහා තරප්පු පෙළ ඔස්සේ ඉහළ මහලට පිවිසිය හැකි යි. දැවයෙන් කළ අත්වැටවල් සරල සිංහල කැටයම්වලින් අලංකාර කොට තිබෙනවා.
උඩු මහල වටා දිවෙන පෝටිපෝව වටා ඇති කොන්ක්‍රීට් අත්වැටවල ද සිංහල සැරසිලි මෝස්තර දක්නට ඇති අතර අලංකාර පුන්කලස් ද නිමා කර තිබෙනවා. මෙහි පියස්ස ද උඩරට පියසි සේ උස් ව ගොඩනගා තිබෙනවා. වහලයේ එක් පසෙක ඈතට දිස්වන සේ ඉදි කළ ස්තුපයක් මඟින් බුදුදහම උසස් කොට සැලකීම සංකේතවත් කොට තිබෙන බවයි පේන්නේ.
කොරෙයා පරපුරේ දේශපාලනය
වතු ව්‍යාපාරවලින් මුදල් උපයා ගත් හලාවත කොරෙයා පරම්පරාව ලංකාවේ නිදහස් සටනට විශාල දායකත්වයක් දක්වා තිබෙනවා. ඔවුන් චාල්ස් එඩ්වඩ් කොරොයාගේ දරුවන් වුණා. හොඳින් අධ්‍යාපනය ලැබූ ඔවුන් බ්‍රිතාන්‍ය ඉඩම් ප්‍රතිපත්තිවලට විරුද්ධ ව සටන් කළා. මේ පුතුන් අතරින් චාල්ස් එඩ්ගාර් කොරෙයා ලංකා ජාතික කොංග්‍රසයේ සභාපති වුණා. ඔහුගේ සොයුරා ඇල්බට් අර්නස්ට් වෛද්‍යවරයකු වුණා. බාලයා වූ නීතිඥ වික්ටර් කොරෙයා ඇඟ බද්දට එරෙහි ව සටන් කළ අතර ඉංග්‍රීසි ආණ්ඩුවෙන් හිරබත් ද කෑවා. ඔහු උතුරු කොළඹ මන්ත්‍රීවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා.
1931 සිට හලාවත ආසනයේ වසර 35ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමටත් කොරයාවරුන් සමත් වී තිබෙනවා. 1931 දී පළමුවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී නීතිඥ චාල්ස් එඩ්ගාර් කොරයා ජයග්‍රහණය කර තිබෙනවා. ඔහු කොංග්‍රස් පක්‍ෂයේ සාමාජිකයකු ලෙස යි එම මැතිවරණයට ඉදිරිපත් ව සිටියේ. 1936 පාර්ලිමේන්තු 2 වැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා වූ මැතිවරණයේදීත් ඔහු හලාවතින් නිතරගයෙන් තේරී පත්වුණා. එම කාලය තුළ ඔහු කම්කරු කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍ය ධුරය දරා තිබෙනවා.
සුද්දන්ට එරෙහි ව කළ සටන්
බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් රට නිදහස් කර ගැනීමට තවත් සහෝදරයෙක් වුණු වික්ටර් කොරයා ලොකු සටනක් කර තියෙනවා. ශ්‍රී ලංකාවට නිදහස දිනා දීමේ සටන වෙනුවෙන් අවස්ථා කිහිපයක දී ම බ්‍රිතාන්‍ය නායකයන් මුණගැසීමට ඔහු එංගලන්තයට ගොස් තිබෙනවා. ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් මුදාගන්න 1915 වසරේ මාර්තු මාසයේ ‘යංග් ලංකා ලීග්’ යනුවෙන් සංවිධානයක් ඔහුගේ මූලිකත්වයෙන් පිහිටුවා ගත්තා. එහි සභාපති තනතුරට පත්වුණෙත් වික්ටර් ම යි. මේ සංවිධානයේ ලේකම් තනතුරට තේරී පත්වෙලා තියෙන්නේ කම්කරු නායකයෙක්ව සිටි ඒ.ඊ. ගුණසිංහ යි. පසුව ලංකා කම්කරු සංගමයේ ප්‍රථම සභාපති වුණෙත් වික්ටර් කොරෙයා යි.
නිදහස් සටන් අරගලය වේගවත් කිරීමේ අරමුණින් ලංකා තරුණ හඬ නමින් පත්තරයක් ද වික්ටර් පටන් ගෙන තිබෙනවා. එම පුවත්පතේ කර්තෘ ලෙස වරක් කටයුතු කළ වී. ඩී. ද ලැනරෝල් ඔහු ගැන මෙසේ සදහන් කර තිබෙනවා:
‘‘කොරෙයා මහතාට සිංහපුරයේ බංගලා දෙකක් තිබුණේය. මින් කොරෙයා මහතා නැවතී සිටියේ පොල් අගු සෙවිලි කළ කුඩා බංගලාවේ ය. කොරෙයා පවුලට පළාත් වාසීන් විසින් දක්වනු ලබන හරසර ගැන මෙනෙහි කරන විට හලාවත නමත් කොරෙයා නමත් එකම ලෙස සැලකිය යුතු යයි මට කල්පනා වේ. හලාවත පමණක් නොව මුළු හත් කෝරළයම බොහෝකලක සිට කොරෙයා නමට ගරු කිරීමට පුරුදුව ආවේ ඔවුන් පුරාණ වික්‍රමාන්විත පවුලකින් පැවත ආ හෙයිනි‘‘
( වී. ඩී. ද ලැනරෝල්- උමතු තරුණයා, 156 පිට).
චාල්ස් වික්ටර් කොරයාගේ එක් පුතෙක් වන සිරිසඟබෝ කොරයා අදටත් කොළඹ ප්‍රදේශයේ ජීවත්වන බව පැවසෙනවා. නීතිඥ චාල්ස් වික්ටර් කොරයා කළ ඒ මෙහෙවරට කෘතගුණ දැක්වීමක් වශයෙන් ඔහුගේ ප්‍රතිමාවක් හලාවත උසාවිය පාරේ ඉදිකර තිබෙනවා.
මහත්මා ගාන්ධි සීගිරිය මන්දිරයට
කොරෙයා පරපුරේ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙක් වුණු නීතිඥ වික්ටර් කොරෙයා තම සහෝදරියකට අයත් ව තිබුණු මේ නිවසට පැමිණෙන ලෙස ගාන්ධිතුමාට ආරාධනා කර තිබෙනවා. එවකට ඔහු ‘යංග් ලංකා ලීග්’ සංවිධානයේ සභාපති ලෙස කටයුතු කළා. මහත්මා ගාන්ධිතුමා 1927 නොවැම්බර් 12 වැනි දා ලංකාවට පැමිණි අවස්ථාවේ ගාන්ධි බිරිය, දියණිය ඇතුළු ඉන්දීය නියෝජිතයන් සීගිරි නිවසේ දවස් තුනක් පමණ නවාතැන්ගෙන ඉඳලා තිබෙනවා. ඔවුන් හලාවතට එන අතරතුර නයිනමඩමේ පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර ඇති අතර එහිදී ගාන්ධිතුමා නයිනමඩම ස්වරාජ්‍යපුරය ලෙස නම් කළ බව පැවසෙනවා. ගාන්ධිතුමා වික්ටර් කොරෙයාට නූල් කටින යන්ත්‍රයක් ද සිහිවටනයක් ලෙස සීගිරි නිවසේ දී පරිත්‍යාග කර තිබෙනවා.
වලව්ව ගරා වැටෙයි
දශක ගණනාවක් හලාවත නගර මධ්‍යයේ ප්‍රතාපවත් ලෙස වැජඹුණු කවුරුත් ගෞරවයෙන් බැලූ මෙම මන්දිරය පසුගිය දශක තුන හතරක කාලයේ සිට ගරා වැටෙමින් පවතිනවා. ඒ කොරෙයා පරම්පරාවේ සාමාජිකයන් හලාවතින් විසිර ගොස් මෙම නිවස පාළුවට ගිය පසුව යි. කලකට පෙර මෙම වලව්ව විකිණීමේ සූදානමක් පැවති බවත් පැවසෙනවා. හලාවත නගර සංවර්ධන වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් 2009-2010 වර්ෂයේදි හලාවත නගරය සංවර්ධන සිදුකිරීමේ දි ආරක්ෂා කළයුතු පුරාවිද්‍යා ස්මාරයන් පිළිබඳ යෝජනා ලබා ගැනීමක් සිදු කළා.
හලාවත මහජන පුස්තකාලය හරහා සංවිධානය කළ එම වැඩසටහනේදි පුරාවිද්‍යා ගවේෂක හලාවත ඩේවිඩ් ගයාන් ඉන්දික, නගරයේ අරක්ෂා කළ යුතු ප්‍රධාන ස්මාරකයක් ලෙස සිගිරි වලව්ව ගැන යෝජනාවක් ඉදිරිපත් කළා. යෝජනා ඉදිරිපත් කළ අනෙකුත් සාමාජිකයන්ගේ ද යෝජනා ලැයිස්තුවට සීගිරි වලව්ව ඇතුළත් ව පැවතුණා. පසුව මේ ගැන නිරීක්ෂණය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2011-9-9 වන දින රජයේ ගැසට් පත්‍රය මගින් පුරාවිද්‍යා ස්මාරයක් ලෙස සිගිරි වලව්ව නම් කර තබෙනවා. අවස්ථා කිහිපයකදි වලව්වට සිදුවූ හානි සහ සිදු විමට ගිය හානි වලක්වා ගැනිමට පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ලැබුණු නීතිමය ආරක්ෂාව නිසා අවස්ථාව ලැබී තිබෙනවා.
සංරක්ෂණ යෝජනා
මෙම වලවේ වර්තමාන හිමිකරුවන් ලෙස කොරයා පරම්පරාවේ සාමාජිකයන් කිහිප දෙනකුට නීතිමය හිමිකම ලැබී තිබෙන බව යි දැනගැනීමට ලැබෙන්නේ. ඔවුන්ගේ ගෞරවයට සහ අයිතියට සාධාරණයක් ඉටුවන ලෙස වලව්ව සංරක්ෂණය කිරිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකිමක් වෙනවා. එයට අතිවිශාල මුදලක් නම් වැයවන බව නම් නිසැක යි. ඒ නිසා වයඹ පළාත් සභාව හෝ එයට පෙරමුණ ගත යුතු බව අපගේ හැඟීම යි. පුරාවිද්‍යා ගවේෂක ඩේවිඩ් ගයාන් ඉන්දික යෝජනා කරන්නේ උරුම කරුවන්ට අසාධාරණයක් නොවන පරිදි දෙපාර්ශවය සෑහිමකට පත්වන මිලකට මෙම වලව්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේන් මිලදී ගෙන සංචාරක අවන්හලක්, මහත්මා ගාන්ධි කොරයා අනුස්මරණ ස්ථානයක් ලෙස සංවර්ධන සිදුකරන ලෙස යි.