ටෙට් සටන තුළින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරමින් දකුණු වියට්නාමයේ නගර ගණනාවක විශාල භිෂණයක් නිර්මාණය කළ වියට්නාම් ගරිල්ලන් හා උතුරු වියට්නාම් හමුදාව එහිදී ඇමරිකානු හමුදාවට ප්‍රබල පරාජයක් උරුම කර දෙනවා.
ටෙට් සටනේ දී හැනොයි හා හුඒ (Huế) නගරයේදී ඇති වූ අවසන් සටන් වලින් පසුව 1968 වසරේ මාර්තු 3 වනදා වන විට ගරිල්ලන් පරාජය කර පළවා හැරීමට ඇමරිකානුවන් සමත් වෙනවා. වියට්නාම් යුද්ධයේ ඒ වන තුරු සිදු වූ සියළු සිදුවීම් පසුගිය ලිපි හයකින් ඔබ වෙත ගෙන ආවා. අද ඔබ වෙත ගෙන එන්නේ එම ලිපි පෙළේ හත් වන කොටසයි.
ටෙට් සටනින් කිපුණු ඇමරිකානුවෝ වියට්නාම් ජන සංහාරය අරඹයි
1968 වසර ආරම්භ වන විට වනදා දකුණු වියට්නාමයේ ක්වෙන්ග් න්ගායි (Quang Ngai) පළාතේ බොහෝ වියට්කොන්ග් ගරිල්ලන් ප්‍රමාණයක් රැදී සිටින ප්‍රදේශයක් බව අනාවරණය කර ගන්නා ඇමරිකානු හමුදා එම ප්‍රදේශයට නොකඩවා ගුවන් ප්‍රහාර එල්ල කරනවා.
එම වසරේ පෙබරවාරි 16 වනදා එම පළාතේ සන් මයි (Son My) නම් කුඩා ගම්මානය වියට් කොං ගරිල්ලන් විසින් අල්ලාගෙන ඇති බවට ඇමරිකානු හමුදාවට තොරතුරු ලැබෙන අතර හමුදාවේ ඉහළ නායකත්වයෙන් ඇමරිකානු පාබල බල ඇණියේ 11 වන බ්‍රිගේඩයේ “චාලි” කණ්ඩායමට අණ ලැබෙන්නේ වහාම එම ගම්මානය වෙත ගොස් එහි රැදී සිටින සියළු ගරිල්ලන් විනාශ කර දමන ලෙසයි.
පිටත්ව යන කණ්ඩායමට නායකත්වය දෙන ලුතිතන් විලියම් කෙලී (Lieutenant William Calley) සමඟ සෙබළුන් පිරිසක් සන් මයි ගම්මානයට ළඟා වුවත් එම ගම්මානය තුළ කිසිඳු පුද්ගලයෙක් දකින්නට ලැබෙන්නේ නෑ. මේ හේතුවෙන් ඊට අසළින් පිහිටි තවත් ගම්මානයක් වන මයි ලායි (My Lai) වෙත ගමන් කරනවා. එම ගම්මානය වෙත ළඟා වීමෙන් අනතුරුව තම කණ්ඩායමට අණ දෙන ලුතිතන්වරයා ගම්මානයේ සියළුම දෙනා ඝාතනය කරන ලෙසත් සියළු ගෙවල් ගිනිතබා විනාශ කරන ලෙසත් පවසනවා.
එම දිනයේදී My Lai ගම්මානයේ දී ඇමරිකානු හමුදා විසින් නිරායුධ සිවිල් වැසියන් 500 කට අධික මරා දමන අතර එම පිරිස් අතරට කාන්තාවන් 182ක්, ළමුන් 173ක්, ගර්භනී කාන්තාවන් 17 දෙනෙක් හා ළදරුවන් 56ක් ඇතුළත් වෙනවා. ටෙට් සටනේදී 11 වන බ්‍රිගේඩයට අයත් චාලි කණ්ඩායමේ සෙබළුන් විශාල පිරිසක් මරණයට පත් වී තිබීම හේතුවෙන් ඔවුන් වියට්නාම් ජාතිකයන් සමඟ පැවති වෛරය මෙම සංහාරය තුළින් පැහැදිළි වෙනවා.
ඇමරිකානුවන්ට වැරදුණු හැම්බර්ග් හිල් සටන
දකුණු වියට්නාමයේ ලාඕසයට ආසන්න ප්‍රදේශයක පිහිටි ස්වියු නිම්නය (Sầu Valley) හරහා උතුරු වියට්නාම් හමුදාවේ හා වියට් කොං ගරිල්ලන්ගේ යුධ සැපයුම් මාර්ගය අවහිර කිරීම සඳහා ඇමරිකානු හමුදා විසින් ඉතා ප්‍රබල මෙහෙයුමක් අරඹන අතර එය අපාචි ස්නොව් මෙහෙයුම (Operation Apache Snow) නමින් හදුන්වනවා.
එම මෙහෙයුම යටතේ සංග්‍රාමික වශයෙන් උපක්‍රමිකව වැදගත් යැයි සිතූ අප් බියා කදු ප්‍රදේශය (Ap Bia Mountain – මෙය ඇමරිකානු සෙබළුන් විසින් හදුන්වන්නේ හැම්බර්ග් කන්ද -Hamburger Hill නමින්) ආක්‍රමණය කර එහි සිටින උතුරු වියට්නාම් හමුදා භට පිරිස් විනාශ කර දමා ප්‍රදේශය අල්ලා ගැනීමට ඇමරිකානු හමුදා විසින් තීරණය කරනවා.
එම අරමුණ මත 1969 වසරේ මැයි 10 වනදා ගුවන් සංක්‍රමණික ඇමරිකානු හමුදා භටයින් මෙහෙයුමට අවතීරණය වනවා. උතුරු වියට්නාම් හමුදාවේ දැඩි ප්‍රහාර මැද විශාල වශයෙන් මරණ හා තුවාලකරුවන් ද රැගෙන ඉදිරියට ගමන් කරන ඔවුන්ගේ සහයට තවත් අතිරේක බල ඇණි කිහිපයක් එකතු වෙනවා.
ගුවන් සංක්‍රමණික භටයන්ට, ඇමරිකානු මැරීන් භටයන්ට, සන්නද්ධ රථ බළකා සෙබළුන්ට හා දකුණු වියට්නාම් සෙබළුන්ට මෙම ආක්‍රමණයේදී දැඩි අලාභ හානි සිදුවෙන අතර දින දහයක දරුණු සටනකින් පසුව ඔවුන් විසින් මැයි 20 වන දා මෙම ප්‍රදේශයේ බලය සම්පූර්ණයෙන්ම තහවුරු කරගන්නවා.
හැම්බර්ග් සටන නිම වී දවස් කිහිපයකට පසුව ඇමරිකානු භට පිරිස් විසින් තම සෙබළුන් 100කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්කර ගනිමින් සිදු කළ සටනින් අල්ලාගෙන ඇත්තේ උපක්‍රමික වශයෙන් එතරම් වැදගත් ස්ථානයක් නොවන බව දැනුම් දෙන ඉහළ හමුදා නායකත්වය එම ප්‍රදේශය අතහැර එන ලෙස අණ කර සිටිනවා.
එබැවින් මෙම සටන තම හමුදාවේ යුධ ශක්තිය අපතේ යැවීමේ ඉතාමත් අනුවණ හා වගකීම් විරහිත මෙහෙයුමක් බව සදහන් කරන ඇමරිකානු සෙනට් මණ්ඩලය වියට්නාමයේ ඇමරිකානු අණ දෙන නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරනවා. මෙම සිදුවීම, වියට්නාම් භූමියේ දී ගරිල්ලන්ට එරෙහිව යොදනු ලබන ඇමරිකානු යුධ උපක්‍රම පිළිබඳව දෙවරක් සිතිය යුතු බව ඔවුන්ට ම පැහැදිලි කර දෙන අවස්ථාවක් ලෙස නම් කළ හැකියි.
ඇමරිකානු නව ජනපතිවරයාගේ වියට්නාම්කරණය ව්‍යාපෘතිය
1969 වසරේ ඇමරිකානු නව ජනධිපතිවරයා බවට රිචඩ් නික්සන් (Richard M. Nixon) පත්වෙන විට 1965 වසරේ සිට වියට්නාම යුද්ධය හේතුවෙන් ඇමරිකානු සෙබළුන් 31,000 පමණ ප්‍රමාණයක් මරණයට පත් වී අවසන්. වියට්නාම් යුද්ධයේ ඇමරිකානු හමුදාවේ මැදිහත්වීම ක්‍රමක් ක්‍රමයෙන් අඩු කරන බව ඡන්ද පොරොන්දුවක් ලෙස ඔහු විසින් ලබා දෙනවා.
හදීසි හමුදා ඉවත් කිරීමකට අකමැති වූ ඔහු 1969 වසරෙන් පසුව ඇමරිකානු හමුදා භට පිරිස් අඩු කිරීමේ එක් උපක්‍රමයක් ලෙස, දකුණු වියට්නාම් හමුදාව සංග්‍රාමික අතින් සංවර්ධනය කර, වියට්නාම් හමුදා වගකීම, දකුණු වියට්නාමයට පවරා ඇමරිකානු භටයන් නැවත මවු රටට ගෙන්වා ගැනීම ක්‍රියාත්මක කරනවා.
මෙය අදියර කිහිපයකින් යුතුව ක්‍රියාත්මක වූ අතර දකුණු වියට්නාම් භටයන් හොදින් පුහුණු කරමින් වියට්නාමයෙන් ඇමරිකානු භටයන් ඉවත් වීම මෙම අදියර කිහිපයේ දී සිදු වෙනවා. මෙම නව උපක්‍රමය ඔස්සේ 1969 වසරේ සිට 1972 වසර වන විට වියට්නාමයේ සිටින ඇමරිකානු භට පිරිස 549 000 සිට 69 000 දක්වා අඩු කිරීම සිදු කෙරෙනවා.
ඇමරිකානුවන් ඉවත් වීමේ ක්‍රියාවලිය
1969 වසරේ සැප්තැම්බර් මාසයේ දී උතුරු වියට්නාම් විප්ලවීය නායකයා වන හෝ චි මින් හෘදයාබාධයකින් මිය යන අතර උතුරු වියට්නාම් හමුදා නායකයා වූ ව නුවෙන් ග්යැප් ගේ (Võ Nguyên Giáp) මෙහෙයවීම මත ගරිල්ලන් විසින් වරින් වර දරුණු ප්‍රහාර ඇමරිකානු හා දකුණු වියට්නාම හමුදා වෙත එල්ල කළ ද ඇමරිකානු හමුදාව ඉවත් කිරීමේ වැඩ සටහන නවතින්නේ නෑ.
1969 වසර වන විට ඇමරිකාව, කාම්බෝජය සමඟ යුද්ධයකට පැටලෙන අතර වියට්නාමයට ආසන්නව පිහිටි කාම්බෝජයේ කොමියුනිස්ට් මර්මස්ථාන වලට ද ගුවන් ප්‍රහාර එල්ල කිරීම ඔවුන් විසින් ආරම්භ කරනවා. කෙසේ වෙතත් මෙය නිල වශයෙන් ප්‍රකාශිත යුද්ධයක් නොවූවා සේම ඇමරිකානු ජනතාව ද මෙම යුද්ධය ගැන දැන සිටියේ නැහැ.
1972 වසරේ මාර්තු 2 වනදා උතුරු වියට්නාම් හමුදාව හා වියට් කොං ගරිල්ලන් විසින් එල්ල කරන පාස්කු ප්‍රහාරය (Easter Offensive) අතරතුර ඇමරිකානු යුධ පුහුණුව ලැබූ දකුණු වියට්නාම් හමුදාවට දරුණු ලෙස පහර දීමට ගරිල්ලන් සමත් වෙනවා. ඔවුන්ගේ පරාජය වළක්වාලීමට ඇමරිකානු හමුදා විසින් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් ගරිල්ලන් වෙත එල්ල කරනු ලබනවා.
පාස්කු ප්‍රහාරයත් ඉන් පසු ගරිල්ලන් විසින් එල්ල කළ ප්‍රබල ප්‍රහාරත් හමුවේ 1975 වසරේදී ඇමරිකානු හමුදාවේ පිටව යාමත්, දකුණු වියට්නාමය ගරිල්ලන් විසින් අල්ලා ගැනීම පිළිබඳවත් සදහන් අවසන් ලිපියෙන් නැවත හමුවෙමු.
කවරයේ ජායාරූපය – 1969 වසරේ ජූලි 30 වනදා දකුණු වියට්නාමයේ ඇමරිකානු භට පිරිසක් හා කතාබහක නිරත වෙන ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන් (President Nixon)