දහතුන්වන සියවසේ දී ලංකාවේ බලවත්ම රාජධානිය බවට පත්ව තිබුණේ දඹදෙණිය යි. එම රාජධානිය පාලනය කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා දඹදෙණි යුගයේ බිහිවුණු කැපී පෙනුණු පාලකයා බව පැරණි ඉතිහාස පොත්වල සඳහන් වනවා. එම රජතුමා සම්බන්ධ වුණු රසවත් සිද්ධියක් නිසා එකල දඹදෙණි රාජධානියට අයත්වුණු එක්තරා ගමකට “වඩුවාව” යන නම පටබැඳුණා. බඹරගල රජමහා විහාරය පිහිටා තිබෙන්නේ මෙම ගමේ යි. මෙම පැරණි විහාරස්ථානය ආශ්රිත ලෙන්වල ප්රාග් ඓතිහාසික මානවයන් ජීවත්වුණු බවට සාධක හමුවී තිබෙනවා.
විහාරස්ථානයට යන ගමන් මාර්ගය
කොළඹ සිට මෙම විහාරස්ථානය නැරඹීමට එන සංචාරකයෙකු මුලින්ම කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය (A1) ඔස්සේ අඹේපුස්ස හන්දිය වෙත ළඟාවිය යුතු යි. අඹේපුස්ස හන්දියෙන් හැරී කොළඹ-කුරුණෑගල මාර්ගයේ (A6) ගමන් කළ යුතු යි. එම මාර්ගයේ ඔස්සේ ගමන්කළ විට හමුවන අලව්ව නගරය පසුකර තවත් ටික දුරක් ඉදිරියට ගිය විට යාංගල්මෝදර හන්දිය හමුවනවා. එලෙස හමුවන යාංගල්මෝදර හන්දියෙන් හැරී නාරම්මල මාර්ගයේ කි. මී. 3.5ක පමණ දුරක් ගිය පසු හමුවන බඹරගල හන්දියෙන් දකුණට හැරී මීටර් 700ක පමණ දුරක් ගිය පසුව රමණීය පරිසරයක පිහිටා තිබෙන බඹරගල රජමහා විහාරය වෙත ළඟාවන්නට පුළුවන්.
බඹරගල යන නම පටබැඳුණු හැටි
යෝගමුව කන්ද, මාරගල් කන්ද, මානහෙට්ටි කන්ද වැනි කඳු පෙළකින් වටව, වඩුවාව ගමේ මනස්කාන්ත පරිසරයක පිහිටා තිබෙන බඹරගල පුරාණ රජමහා විහාරයට අක්කර 10ක පමණ භූමි භාගයක් අයත්. මෙම විහාරයට “බඹරගල” යන නම පටබැඳුණේ විහාර භූමිය තුළ පිහිටි දැවැන්ත ගල් පර්වතයේ නොතෙමෙන ස්ථානවල විශාල වශයෙන් බඹර වද දක්නට ලැබුණු නිසා යි. ඔබ අදත් මෙම විහාර භූමියට ගියත් බඹර වද දැකගන්නට පුළුවන්.
ප්රාග් ඓතිහාසික මානවයන් ජීවත්වුණු ස්ථානයක්
මධ්‍ය ශිලා යුගයට අයත් කාල සීමාව ලෙසින් සලකනු ලබන්නේ ආසන්න වශයෙන් ක්‍රි. පූ. 70000 සිට ක්‍රි. පූ. 7000 දක්වා ගෙවුණු කාල සමය යි. මෙම යුගයේ දී ලංකාවේ වාසය කළ ප්රාග් ඓතිහාසික මානවයන්ගේ මානව ජනාවාස වැඩි ප්‍රමාණයක් ස්ථානගතව තිබුණේ පහතරට තෙත් කලාපීය ලෙන් සහ පහතරට වියළි කලාපීය ලෙන්වල යි. ඒ අනුව මධ්‍ය ශිලා යුගයේ දී පාහියන් ලෙන, බටදොඹ ලෙන, බෙලි ලෙන, බටතොට ලෙන, සහ අළු ලෙන ආදී ස්ථානවල මානව ජනාවාස පැවති බවට සාධක හමුව තිබෙනවා. එම යුගයේ දී ගල් ලෙන්වල ජීවත් වුණු බලංගොඩ මානවයාගෙන් පැවත ආ මානවයන් පසු කලෙක ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනාවාස පිහිටුවා ගත්තා. ඒ අනුව මීට වසර 20000කට පමණ පෙර මානවයන් බඹරගල ගල් ගුහාවල ද ආදි මානවයන් ජීවත්වුණු බවට අනුමාන කරන්නේ එම ප්‍රදේශවලින් ගල් ආයුධ හමුවුණු නිසා යි.
මෙම විහාරය පිහිටවූ යුගය ගැන සඳහනක් නැහැ
මෙම විහාරස්ථානය පිහිටා තිබෙන භූමියේ දේවානම්පියතිස්ස යුගයේ දී ආරාමයක් ඉදිව තිබෙන්නට ඇති බවට පුරාවිද්‍යාඥයන් අනුමාන කරනවා. විහාරයේ ලෙන්වල කොටා ඇති බ්රාහ්මීය අක්ෂර දේවානම්පියතිස්ස යුගයේ භාවිතා කළ බ්රාහ්මීය අක්ෂරවලට සමානත්වයක් දක්වනවා. නමුත් අද මෙහි දක්නට ලැබෙන රජමහා විහාරය ආරම්භ වුණු යුගයක් ස්ථීරව සඳහන් වී නැහැ. මෙම ස්ථානය පිළිබඳව ඇති ජනප්‍රවාද සලකා බැලීමේ දී මෙය මහනුවර යුගයේ දී ඉදිවන්නට ඇති බවට සැක කළ හැකි සාධක රැසක් හමුවනවා.
වඩුවාව ගමට නම හැදුණු හැටි
බඹරගල විහාරය පිහිටා තිබෙන වඩුවාව ගම පැරණි දඹදෙණි රාජධානියට අයත්ව තිබුණා. 1236-1270 කාල සමය තුළ දඹදෙණියේ රජකම් කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා රාජද්‍රෝහී ක්‍රියාවක් කළ වඩුවෙකු ගල් පර්වතයක් මුදුනේ සිරකර තැබුවා. රාජ උදහසට ලක්වුණු වඩුවාට ලණු පොටක බැඳ ගල මුදුනට ආහාර යැවීමේ අවසරය ඔහුගේ බිරිඳට පමණක් ලබා දී තිබුණා. බුද්ධිමත් තැනැත්තියක වුණු වඩුවාගේ බිරිඳ එක් දිනයක බත් පතෙහි සඟවා ගල් කටුවක් සහ මිටියක් සිය සැමියා වෙත යවනු ලැබුවා. ගල් වඩුවා එක රැයින් පඩිපෙළක් කපා ගලෙන් බැස සැඟවුණු ප්‍රදේශය පසුව වඩුවාව යන නමින් හැඳින්වූ බව ජනප්‍රවාදයෙහි සඳහන් වනවා.
බඹරගල විහාරයේ චිත්‍ර
බඹරගල විහාරය තුළ ඇඳ තිබෙන චිත්රවලින් බහුතරයක් මහනුවර යුගයට අයත් ඒවා යි. මෙහි දක්නට ලැබෙන චිත්‍ර අතර රහතන්වහන්සේ සිය නමක් සිතුවම් කර තිබෙන චිත්‍රයට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. එසේම මෙම විහාරස්ථානය තුළ ජාතක කතා රැසක් සිතුවම් කර තිබෙන ආකාරය දක්නට ලැබෙනවා. මෙහි සිතුවම් කර තිබෙන ජාතක කතා අතරින් වෙස්සන්තර ජාතකය සහ දහම්සොඬ ජාතකයට ප්රමුඛස්ථානයක් හිමිවනවා. තව ද සුජාතා දේවිය කිරිපිඬු දානය පූජා කරන සිතුවමක් ද මෙහි දී දක්නට ලැබෙනවා. ඊට අමතරව මෙහි අලංකාර මකර තොරණක් ද ඉදිකර තිබෙනවා.
විහාරස්ථානයේ ඇති වෙනත් අංග
කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේ දී මෙරට වැඩ විසූ වැලිවිට ශ්‍රී සරණංකර හිමියන් මෙරට බුද්ධ ශාසනය නගා සිටුවීමට විශාල සේවාවක් සිදුකළා. උන්වහන්සේගේ ගෝලයෙකු වුණු දෙවරගම්පොළ සිල්වත් තැන මෙම විහාර භූමියේ පිහිටා තිබෙන විශාල ලෙනෙහි වාසය කළා. එම සිල්වත් තැන විහාර භූමියේ තිබුණු විශාල සපු ගසක් කපා දමා එම ස්ථානයේ විශාල සැතපෙන පිළිමවහන්සේ නමක් ඉදිකරවනු ලැබුවා. එම සැතපෙන පිළිම වහන්සේ නම අදටත් බඹරගල විහාර භූමියේ දී දැකගන්නට පුළුවන්. ඊට අමතරව මෙම විහාර භූමිය තුළ බෝධීන්වහන්සේ නමක් චිත්‍ර සහ කැටයම් සහිත පැරණි විහාර මන්දිරයක් පිහිටා තිබෙනවා.
සංඝ පරම්පරා කිහිපයක් වැඩ සිටි විහාරයක්
වැලිවිට ශ්‍රී සරණංකර සඟරාජ හිමියන්ගේ ගෝලයෙකු වුණු ගිනිගත්පිටියේ සංඝරක්ඛිත හිමියන්ගෙන් මෙම විහාරස්ථානයේ භික්ෂු පරම්පරාව ආරම්භ වුණු බවට විශ්වාසයක් පවතිනවා. එදා සිට අද දක්වා බඹරගල රජමහා විහාරය තුල සංඝ පරම්පරා කිහිපයක් වැඩ සිටි බව පැවසෙනවා. මෙම විහාරස්ථානයට සම්බන්ධ සතර පේරුව සඳහා දංගොල්ලගොඩ, මැදගංගොඩ, එගොඩගොඩ, පොරමඩල, බඹරගල, වඩුවාව, වෑකොටුව යන ගම් අයත් වනවා. ඒ අනුව අදටත් පොල්ගහවෙල ප්‍රදේශය තුළ පිහිටා ඇති ප්‍රධාන විහාරස්ථාන කිහිපය අතරට බඹරගල රජමහා විහාරය ද අයත්ව තිබෙනවා.