1837 සිට 1901 දක්වා මහා බ්‍රිතාන්‍යය සහ ඊට යටත් ව පැවති අනිකුත් සියලු ම රාජ්‍යයන්හි රැජන වූ වික්ටෝරියා රැජනගේ පාලන සමය සුවිශේෂී වූවක් ලෙස සැලැකේ. ඊට හේතුව ඇගේ පාලන කාලය තුළ මහා බ්‍රිතාන්‍යයේ මෙන් ම ඊට යටත් ව පැවැති අනිකුත් රටවල ආගමික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් වෙනස්කම් රැසක් ඇති වීම ය. ඊට අමතරව ඇගේ පාලන සමයේ දී නීතිය, කලාව, සාහිත්‍යය සහ නව නිපැයුම් වැනි ක්ෂේත්‍ර ගණනාවක ද වෙනස්කම් ගණනාවක් ඇති විය.
ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා කුමරිය උපන්නේ 1819 මැයි 24 වෙනිදා ය. 1837 ජුනි 20 වැනි දා ඇය මහා බ්‍රිතාන්‍යය සහ ඊට යටත් ව පැවති අනිකුත් සියලු ම රාජ්‍යයන්හි රැජන බවට පත්වූවා ය. එදා සිට මිය යනතුරු ම වසර 63කුත් මාස හතක කාලය ‘වික්ටෝරියානු යුගය’ නමින් හඳුන්වයි.
වික්ටෝරියානු යුගයේ දී නීතිමය වශයෙන් තහනම් නොවූවත්, කාන්තාවන් බොහෝ විට නොකළ දෑ කිහිපයක් පිළිබඳ ඉංග්‍රීසි සාහිත්‍යයේ සඳහන් වේ. මෙම ලිපිය එවැනි දේ සහ වික්ටෝරියානු යුගයේ දී සමාජයේ කාන්තාවන්ට හිමි වූ ස්ථානය පිළිබඳ විමසුමකි.
වික්ටෝරියානු යුගයේ කාන්තාව
වික්ටෝරියා රැජන ගේ පාලන සමයේ ක්ෂේත්‍ර ගණනාවක විශාල දියුණුවක් ඇති වුවත් එකල සමාජයේ කාන්තාවන්ට හිමි වූ ස්ථානය නම් සතුටුදායක එකක් නොවේ. එම යුගයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට, යම් කිසිවකුට එරෙහි ව නඩු පැවරීමට හෝ විවාහයෙන් පසු දේපළවලට හිමිකම් කීමට කාන්තාවන්ට අවසර නොලැබිණි.
වික්ටෝරියානු යුගයේ දී කාන්තාවට හිමි රාජකාරි ලෙස සැලකුණේ ඔවුන්ගේ නිවාස පිරිසුදුව පවත්වාගෙන යාම, ආහාර පිසීම සහ දරුවන් රැක බලා ගැනීම වැනි ගෘහාශ්‍රිත කටයුතු පමණි. එකල ඔවුන්ගේ අයිතිවාසිකම් කොතරම් බරපතල ලෙස සීමා වූයේ ද යත් කාන්තාවකට හිමි ඉඩම් හැර අනිකුත් සියලු ම දේපළ විවාහයෙන් පසුව සැමියාට හිමි වන ලෙස නීති ප්‍රතිපාදන සකස් වී තිබිණි. සරල ව කියතොත් කාන්තාවට හිමි වූ බොහෝ අයිතිවාසිකම් ඔවුන් විවාහ වීමෙන් පසු හිමි වූයේ සැමියාට ය.
විවාහක කාන්තාවන්ට මෙන් ම අවිවාහක කාන්තාවන්ට ද එකල ජීවත් වීමට සිදු වූයේ දුෂ්කරතා රැසක් මධ්‍යයේ ය. පිරිමි පුද්ගලයන්ට හිමි වූ අයිතිවාසිකම් සහ කාන්තාවන්ට හිමි වූ අයිතිවාසිකම් අතර ඉතා විශාල පරතරයක් තිබිණි. විශේෂයෙන්ම, පිරිමි පුද්ගලයන්ට අවශ්‍ය තරම් මුදල් සහ වෙනත් දේපළ හිමි වූ නිසා ඔවුන් වෙනත් කාන්තාවන් ද ඇසුරු කළහ. ඒ බව දැන දැනත් බිරියට සිදු වූයේ ඒ සියල්ල ඉවසමින් ගෙදරදොරේ වැඩකටයුතු කිරීමටයි. සිය සැමියා වෙනත් කාන්තාවන් ඇසුරු කරන බව පවසමින් දික්කසාද වීමේ හැකියාවක් කාන්තාවන්ට නොතිබිණි. යම් හෙයකින් ඒ සඳහා අවස්ථාව ලැබුණත් කාන්තාවක් දික්කසාද වීම එකල සැලකුණේ විශාල අපකීර්තියක් ලෙස බැවින් කාන්තාවන් දික්කසාද වීමට පෙළඹුණේ ඉතාමත් අල්ප වශයෙනි.
එකල නීතියෙන් තහනම් නොවූවත් කාන්තාවෝ අඩු වයසින් විවාහ නොවූහ. ඊට අමතර ව ඥාති සහෝදරයන් සමඟ විවාහ වීම, ශරීරයට හිර ඇඳුම් ඇඳීම, රෝස පැහැති ඇඳුම් පැළඳුම් භාවිත කිරීම වැනි දේ ද එකල කාන්තාවෝ සිදු නොකළහ.
අඩු වයසින් විවාහ නොවීම
18 වැනි සියවසේ අවසාන භාගය වන තෙක් පිරිමි පුද්ගලයකු විවාහ වූයේ වයස අවුරුදු 28 දී ය. එකල කාන්තාවකට විවාහ වීමට සුදුසු වයස ලෙස සැලකුණේ අවුරුදු 26 යි. කෙසේ නමුත් 19 වන සියවස ආරම්භයේ දී කාන්තාවක් වයස අවුරුදු 22 දී විවාහ වීම සුදුසු බවට සමාජ මතයක් ඇති විය. එය වික්ටෝරියානු යුගයේ දී වඩාත් ප්‍රචලිත විය. වයස අවුරුදු 22 සම්පූර්ණ වීමට පෙර කාන්තාවන් විවාහ වූයේ නැත. එය නීතියක් වශයෙන් සඳහන් නොවූවත් සමාජය තුළ කාන්තාවක් වයස අවුරුදු 22 සම්පූර්ණ වීමට පෙර විවාහ වීම වරදක් ය යන අදහස මුල්බැස ගෙන තිබුණි.
ඥාති සොහොයුරන් සමඟ විවාහ නොවීම
19 වැනි සියවස ආරම්භය වන විට ඇවැස්ස නෑනා සහ මස්සිනා අතර විවාහ බහුල ව සිදු වූ අතර ඊට කිසිදු බාධාවක් නොවී ය. එකල ඇවැස්ස නෑනා සහ මස්සිනා අතර විවාහය හේතුවෙන් දේපළ පවුල තුළ ම රැඳී තිබීම වැනි වාසි සැලසෙන බව සමාජ පිළිගැනීම විය. එය යුරෝපා රටවල මෙන් ම ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල ද ප්‍රචලිත ව තිබු කරුණකි.
19 වන සියවස අගභාගය වන විට යුරෝපයේ ඇවැස්ස නෑනා සහ මස්සිනා අතර විවාහ සැලකිය යුතු ලෙස අඩු විය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ වික්ටෝරියානු යුගයේ දී වෛද්‍ය විද්‍යාවේ ඇති වූ දියුණුවත් සමඟ ඥාතීන් අතර විවාහය නිසා ආබාධ සහිත දරුවන් ඉපදීමට වැඩි ඉඩකඩක් තිබෙන බව සොයා ගැනීම යි. ඊට අමතර ව දුම්රිය මාර්ග ඉදිකිරිම වැනි විශාල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වීම හරහා එකල කාන්තාවට සිය පවුලෙන් පිටත පිරිමින් ඇසුරු කිරීමට අවස්ථාව ලැබීම ද ඊට එක හේතුවක් විය.
ඒ අනුව මධ්‍යම පන්තියේ සහ දිළිඳු පවුල්වල කාන්තාවන් ඥාති පිරිමින් සමඟ විවාහ වූයේ නැත. රාජකීයයන් සහ අනිකුත් ඉහළ පවුල්වල ඥාතීන් අතර විවාහවල අඩුවක් දක්නට නොලැබිණි.
ශරීරයට හිර ඇඳුම් ඇඳීමෙන් වැලකීම
වික්ටෝරියානු යුගයේ කාන්තාවන් අතර ශරීරයට හිර ඇඳුම් වෙනුවට ජනප්‍රිය ව තිබුණේ බොහෝ සෙයින් ඉඩකඩ ඇති විශාල ප්‍රමාණයේ ඇඳුම් ය. එකල කාන්තාවන්ගේ උඩ ඇඳුම් මෙන්ම යට ඇඳුම් ද ශරීරයට ඉතා පහසුවක් දැනෙන ආකාරයෙන් ඉඩකඩ සහිත ව මසා තිබුණි. ඔවුහු ඇඳුම් තෝරා ගැනීමේ දී විලාසිතා පිළිබඳ ව සැලකිලිමත් වීමට වඩා ශරීරයට එම ඇඳුම්වලින් දැනෙන පහසුව පිළිබඳ සැලකිලිමත් වූහ. ඊට අමතරව යට ඇඳුම් ද ඉඩකඩ තිබෙන පරිදි සකස් කිරීම හරහා ශරීරයේ අභන්තර ඉන්ද්‍රියයන් නිරෝගී ව තබා ගත හැකි බව ඔවුහු විශ්වාස කළහ.
රෝස පැහැති ඇඳුම් පැළඳුම් භාවිතය අවම වීම
වර්තමානයේ දී ගැහැනු දරුවන්ට රෝස පැහැති ඇඳුම් සහ පිරිමි දරුවන්ට නිල් පැහැති ඇඳුම් ඇන්දවීම ප්‍රචලිත වුවත් වික්ටෝරියානු යුගයේ දී ලිංග භේදයකින් තොරව සියලු ම දරුවන්ට වයස අවුරුදු හයක් හෝ හතක් වන තෙක් ඇන්දවූයේ සුදු පැහැති ඇඳුම් ය. සුදු පැහැති ඇඳුම් අපවිත්‍ර වූ පසු ඉක්මනින් හඳුනා ගැනීමට හැකි වීම ඊට හේතුව යි. වයස අවුරුදු හය හෝ හත සම්පුර්ණ වූ පසු ඔවුන් වෙනුවෙන් සකස් කළ ඇඳුම්වල වර්ණය වැඩිහිටියන් අඳින ඇඳුම්වල වර්ණයට වඩා ළා පැහැයකින් යුක්ත විය.
සුවිශේෂී කරුණක් වන්නේ එකල රෝස පැහැය පිරිමි දරුවන්ගේ වර්ණය ලෙසත්, නිල් පැහැය ගැහැනු දරුවන්ගේ වර්ණය ලෙසත් සැලකීම යි. ඒ නිසා කාන්තාවන් රෝස පැහැති ඇඳුම් පැළඳුම් භාවිත කළේ ඉතා අඩු වශයෙනි. 20 වන සියවසේ මැද භාගයේ දී රෝස පැහැය ගැහැනු දරුවන්ගේ වර්ණය ලෙසත්, නිල් පැහැය පිරිමි දරුවන්ගේ වර්ණය ලෙසත් සැලකීම ආරම්භ විය.