දෙවන ලෝක යුද්ධයේදී ආසියාව (දෙවැනි කොටස) – හොංකොං සහ පිලිපීනයට ජපානයෙන් පහර

දෙවන ලෝක යුද්ධයේ ආසියානු කලාපය සම්බන්ධයෙන් අප ඉදිරිපත් කරන ලිපි පෙළෙහි පළමු ලිපියෙන් අප සාකච්ඡා කළේ ජපානය දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වීමේ පසුබිමයි. මෙම ලිපියෙන් අප හොංකොං සහ පිලිපීනය ජපානයට යටත් වීම පිළිබඳ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වනවා.

මෙම ලිපි පෙළෙහි කොටස් එක, තුන, හතර සහ පහ මෙම සබැඳි හරහා ඔබට කියවන්නට පුළුවන්.

හොංකොං අල්ලා ගැනීම

පර්ල් හාබර් වෙත පහර දුන් දිනයේම ඊට පැය කිහිපයකට පසු ජපනුන් බ්‍රිතාන්‍ය කොලනියක් වූ හොංකොං වෙත පහර දුන්නා

හොංකොං වෙත පහර දෙන ජපන් සෙබලු (Public Domain)

. නමුත් හවායි දූපත් අන්තර්ජාතික දින රේඛාවෙන් අනෙක් පස පිහිටි නිසා ඒ වනවිටත් ඔවුනට දෙසැම්බර් 8 වනදා උදා වී තිබුණා.

අපි මීට කළින් ලිපියේ විස්තර කළ ආකාරයට​, 1937 සිට චීනය සහ ජපානය අතර යුධ තත්ත්වය වර්ධනය වන අතර හොංකොං අවට ප්‍රදේශ බොහොමයක් ජපනුන් විසින් අල්ලා ගනු ලැබුණා. මේ නිසා යම් කිසි ආකාරයකින් බ්‍රිතාන්‍යය සහ ජපානය අතර යුධ තත්ත්වයක් ඇති වුණහොත් හොංකොං ආරක්ෂා කිරීම අපහසු වන බව බ්‍රිතාන්‍ය හමුදා නායකත්වයට වැටහුණා. මේ අනුව ඔවුන් හොංකොංහි කුඩා හමුදාවක් පමණක් රඳවා තැබීමට තීරණය කළා.

1941 වසරේදි මෙම හමුදා කණ්ඩායමට කැනේඩියානු බලකායක් ද එක් වුණා. මේ අනුව ජපන් ප්‍රහාරය එල්ල වන විට බ්‍රිතාන්‍ය​, ඉන්දියානු සහ කැනේඩියානු සෙබල බල ඇණි හොංකොං හි රැඳී සිටිනු දකින්නට ලැබුණා.

1941 දෙසැම්බර් 8 වනදා හොංකොං වේලාවෙන් උදෑසන 8 ට ජපන් ප්‍රහාරය ආරම්භ වුණා. ජපන් හමුදාව 50,000 ක් පමණ මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ අතර බ්‍රිතාන්‍යයන්ට සිටියේ සෙබලුන් 14,000 ක පමණ ප්‍රමාණයක්. එමෙන්ම ඔවුන් සතුව ප්‍රමාණවත් නාවික හෝ ගුවන් බලයක් තිබුණේ නැහැ. ජපන් ගුවන් ප්‍රහාර හමුවේ හොංකොං හි තිබූ බ්‍රිතාන්‍ය ගුවන් යානා කිහිපයෙන් ද වැඩි ප්‍රමාණයක් විනාශ වුණා. මේ අනුව බ්‍රිතාන්‍යයන් නියැලුණේ බලාපොරොත්තු රහිත සටනකයි. ඔවුන්ට කළ හැකි වූ එකම දෙය නම් හැකි තරම් කාළයක් ජපනුන් හා සටන් කොට ඔවුනගේ ඉදිරි ගමනේ වේගය අඩාල කිරීම පමණයි.

දෙසැම්බර් 25 වනදා හොංකොං හි බ්‍රිතාන්‍ය හමුදා ජපානයට යටත් වුණා. එදින “කලු නත්තල​” ලෙස ද හඳුන්වනු ලබනවා. ජපනුන් අවස්ථා කිහිපයකම යුධ නීතිය උල්ලංඝණය කරමින් යුධ සිරකරුවන් ඝාතනය කළ බව ද පසුව වාර්තා වුණා. කෙසේ නමුත් 10,000 ක පමණ බ්‍රිතාන්‍ය හමුදා පිරිසක් ජපනුන්ට යටත් වුණා.

පිලිපීනය ආක්‍රමණය​​

යුද්ධය ආරම්භ වනවිටත් පිලිපීනය ඇමරිකානු යටත් විජිතයක් ව පැවතුණා. එහි ප්‍රධාන වශයෙන් ම එක්සත් ජනපද ඈත පෙරදිග බලකාය මෙන්ම මෑතක දී පිහිටුවන ලද පිලිපීන පොදු රාජ්‍ය මණ්ඩල හමුදාව ද ස්ථානගත ව තිබුණා. පිලිපීනයේ දේශීය හමුදාව ගොඩ නගමින් තිබුණේ එරට ට නිදහස ප්‍රධානය කිරීමේ ඇමරිකානු සැලැසුම අනුවයි.

පිලිපීනයේ සිටි ඇමරිකන් සහ පිලිපීන හමුදා සහ ජාතික මුරභට සේනා ආදිය එක්ව ගත් කළ​, ජපනුන්ට වඩා සැළකිය යුතු පිරිස් බලයක් ඔවුනට තිබුණා. නමුත් ජපන් හමුදා පිලිපීන ප්‍රහාරය සඳහා තමන් සතු හොඳම සේනාංක යොදවනු ලැබුණ අතර​, පර්ල් හාබර් ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයේ නාවික බලය ද තාවකාලිකව ඔවුන් අතට පත්ව තිබුණා.

පිලිපීනයේ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණේ එවකට ජපන් පාලනය යටතේ පැවති ෆෝර්මෝසා දූපතේ (වර්තමාන තායිවානය​) සිටයි. මෙම දූපත ජපනුන් විසින් චීනයෙන් අල්ලා ගන්නා ලද්දේ 1894 – 95 සමයේ පළමු චීන – ජපන් යුද්ධයේදී.

පිලිපීනයේ සහ මලයාව ආශ්‍රිත ප්‍රදේශවල හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ අදහසින් දකුණුදිග කාර්ය සාධක හමුදාව ජපානය විසින් පිහිටුවන ලද්දේ 1941 නොවැම්බර් 6 වනදායි. එම හමුදාවට අණ දෙන ලද්දේ හිසයිචි තෙරාඋචි සිටුවරයා විසින්.

පිලිපීන ප්‍රහාරය භාර දෙනු ලැබුණේ ලුතිනන් ජෙනරාල් මසහාරු හොම්මා යටතේ වූ ජපන් 14 වන හමුදාවටයි. ඔවුනට සහය දැක්වීමට පස්වන ගුවන් හමුදා කාණ්ඩය සහ තුන්වන නාවික හමුදා බලකාය ද යොදවා තිබුණා. ජපන් 14 වන හමුදාවේ ප්‍රධානම සේනාංක දෙක වූයේ 16 වන ඩිවිෂනය සහ 48 වන ඩිවිෂනය යි. මේ අතර 65 වන බ්‍රිගේඩය ද එහි වුණා.

මේ අතර පිලිපීනයේ ඇමරිකානු හමුදාවල අණදෙන නිලධාරියා වූයේ ජෙනරල් ඩග්ලස් මැක් ආතර්. ඔහු විශ්‍රාම ගොස් සිටි අතර 1941 ජූලි මාසයේදී රජය විසින් ඔහු ආපසු සේවයට කැඳවා ඈත පෙරදිග බලකායේ අණදෙන නිලධාරියා ලෙස පත් කරනු ලැබුවා.

ජපන් හමුදා පිලිපීනය අල්ලා ගැනීම සඳහා මුලින්ම හමුදා මෙහෙයවූයේ උතුරුදිගින් පිහිටි ලුසොන් දූපත දෙසටයි. පිලිපීනයේ අගනුවර මැනිලා නගරය පිහිටියේ ද මේ දූපතේ යි. දෙසැම්බර් 8 වනදා ලුසොන් දූපතට උතුරින් වූ බටාන් දූපතට ජපන් හමුදා ගොඩ බැස්සා. ඉන් දින දෙකකට පසු කැමියුගින් නම් කුඩා දූපතට ගොඩබැස්ස ජපන් හමුදා ඉන් තවත් දින දෙකකට පසුව 2500 ක බල ඇණියක් දකුණුදිග ලුසොන් දූපතට ගොඩ බස්සන්නට කටයුතු කළා.

බටාන් අර්ධද්වීපය

ලුසොන් දූපතට එල්ල වූ ප්‍රධාන ප්‍රහාරය එල්ල කෙරුණේ දෙසැම්බර් 22 වනදා උතුරුදිග ලුසොන් දූපතේ ස්ථාන කිහිපයකට හමුදා ගොඩ බස්වමින්. මෙම හමුදා සමග සටනට පැමිණි බොහෝ පිලිපීන හමුදාවලට එතරම් හොඳ පුහුණුවක් ද ලැබී තිබුණේ නැහැ. මේ අවස්ථාවේ ඇමරිකානු සහ පිලිපීන හමුදා කෙමෙන් කෙමෙන් බටාන් අර්ධද්වීපය දෙසට පසු බැස්සා. 1942 ජනවාරි 7 වනදා පටන් පිලිපීන සටනේ මූලික කේන්ද්‍රය වූයේ බටාන්.

අප්‍රේල් මස මුලදී බටාන් යටත් කරගැනීමට ජපන් හමුදා සමත් වුණා. අප්‍රේල් 9 වන විට බටාන් සටන අවසන් වූවා.

බටාන් සටනින් පසු යටත් වූ ඇමරිකානු සහ පිලිපීන යුධ සිරකරුවන් 60,000 – 80,000 ක් අතර පිරිසක් බටාන් හි ස්ථාන කිහිපයක සිට කිලෝ මීටර් 100 ක් පමණ ඈත පිහිටි ස්ථානයකට පාගමනින් ම ගෙන යනු ලැබුණා. මෙය බටාන් මරණයේ පාගමන ලෙස නම් කර තිබෙනවා. විවිධ මූලාශ්‍ර විසින් මෙහිදී මියගිය යුධ සිරකරුවන් සංඛ්‍යාව පිළිබඳ විවිධ අදහස් දක්වා තිබෙනවා. අඩුම තක්සේරුව නම් ජීවිත 5600 ක් පමණ නැතිවූ බව යි. උපරිම තක්සේරුවේ හැටියට ජීවිත 18,000 ක් පමණ නැතිවී තිබෙනවා.

බටාන් හි වැටීම ඇමරිකානු පුවත්පත්වල වාර්තා වූ අයුරු (Public Domain)

මෙයින් ටික දිනකට පසු මැනිලා බොක්කේ පිහිටි කොරෙගිඩෝර් දූපතේ වූ ඇමරිකානු හමුදා යටත් වුණා. ඒ මැයි 6 වනදා. ඉන්පසු පිලිපීනයේ ඇමරිකානු සේනාංක නිල වශයෙන් යටත් වූ නමුත් ජපනුන්ට හසු නොවූ ඇමරිකානු සහ පිලිපීන සෙබලුන් දිගටම ගරිල්ලා සටන්වල නිරත වුණා.

මෙම සටන අතරතුර​, 1942 මාර්තු 11 වනදා, ජපන් නාවික හමුදා විසින් සිය සේනාංක වටලා තිබියදී ටෝර්පිඩෝ බෝට්ටුවල නැගුණු ජෙනරල් මැක් ආතර්, ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය කොරෙගිඩෝර් දූපත හැර පළා ගියා. ඔවුන් මින්ඩනාඕ දූපතට පැමිණ එතැනින් ඔස්ට්‍රේලියාවට ගුවනින් ළඟා වුණා. ඔස්ට්‍රේලියාවේදී කතාවක් පවත්වමින් මැක් ආතර් ප්‍රකාශ කළ​, “I came through and I shall return” (මම පිටතට එන්නට සමත් වුණා. නමුත් මම ආපසු යනවා) යන ප්‍රකාශය යුධ ඉතිහාසයේ බෙහෙවින් ජනප්‍රිය එකක් බවට පත් වුණා.

මූලාශ්‍ර​

wikipedia.org

Cover Image: බටාන් මරණයේ පා ගමන අතරතුර​ (Public Domain)

Related Articles

Exit mobile version