ඉන්ෆ්ලුවෙන්සා වසංගතයට ගොදුරු වූ සෝවියට් රාජ්‍ය නායකයා

මේ දිනවල නව කොරෝනාවෛරසය හෙවත් කෝවිඩ්-19 වසංගතයක් ලෙස පැතිර ගොස් ඇති පසුබිමක, අතීතයේ ලොව පැතිර ගිය වසංගත පිළිබඳ ද ඇතැම් අය උනන්දුවක් දක්වන්න පටන්ගෙන තිබෙනවා.

මීට සියවසකට පෙර පැතිර ගිය ඉන්ෆ්ලුවෙන්සා වසංගතය මේ අයුරින් ලොව පුරා පැතිර ගියා. 1918 සිට 1920 දක්වා පැතිර ගිය එම වසංගතයට හසුව මියගිය පිරිස පිළිබඳ විවිධ අනුමානයන් තිබෙනවා. මෙම මරණ සංඛ්‍යාව මිලියන 17ක් පමණ වූ බව යි අවම ඇස්තමේන්තු පවා සඳහන් කරන්නේ.

මෙම වසංගතයට හසු වූ බව කියන අය අතුරින් සෝවියට් රුසියාවේ ප්‍රබලයකු වූ යාකොව් ස්වෙර්ද්ලෝෆ් ද එක් අයෙක්. ලෙනින්ගේ හිතවතෙකු වූ ඔහු මියයන විට​ සෝවියට් රුසියාවේ නිල රාජ්‍ය නායකයා වුණා. එමෙන්ම, 1918 දී ලෙනින් ඝාතනය කිරීමට ගත් උත්සාහය සාර්ථක වූයේ නම්, සෝවියට් රුසියාවේ සැබෑ නායකයා වීමේ ඉඩක් ද ඔහුට තිබුණා. ඔහු ජීවතුන් අතර සිටියේ නම්, ඇතැම් විට ස්ටාලින් බෝල්ෂවික් පක්ෂයේ බලය අල්ලාගැනීම නොවන්නත් ඉඩ තිබුණා.

කියවන්න: ව්ලැඩිමීර් ලෙනින් නූලෙන් ගැලවුණ ඝාතන තැත

කෙසේ වෙතත්, මේ සියල්ල අවිනිශ්චිත කරුණු යි. නිශ්චිත කාරණය වන්නේ ස්වෙර්ද්ලෝෆ් ඉතා තරුණ වයසේ දී ම මියගිය බව යි.

විප්ලවකාරී පරිසරය

යාකොව් ස්වෙර්ද්ලෝෆ් උපන්නේ 1885 වසරේ දී යි. ඒ නිෂ්නි නෝව්ගරද් නගරයෙහි යුදෙව් පවුලක යි. ඔහුගේ පියා විප්ලවවාදී ව්‍යාපාරයන් හා සම්බන්ධ වූ අයෙක්. ඔහු ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමෙන් එම කණ්ඩායම්වලට සහාය දැක්වූවා. එමෙන්ම, මක්සිම් ගෝර්කි ඔවුන්ගේ පවුලේ මිතුරකු වුණා.

ස්වෙර්ද්ලෝෆ් පාසැල් ගමන ඇරඹුවේ වයස අවුරුදු 11ක් වූ පසුව යි. නිෂ්නි නෝව්ගරද් හි පළාත් ජිම්නේසියමට ඇතුල් වූ ඔහු, එහි වූ නීතිරීතිවලට කැමැත්තක් දැක්වූයේ නැහැ. එහෙයින්, මුල් කාලයේ සිටම ඔහු එහි දී ගුරුවරුන් සමග ආරවුල් ඇති කරගත්තා. පස්වෙනි පන්තියේ දී ඔහුව පාසැලෙන් ඉවත් කෙරුණා.

යාකොව් ස්වෙර්ද්ලෝෆ් (Public Domain)

ස්වෙර්ද්ලෝෆ් එකල සිටම කම්කරුවන්ගේ අයිතීන් පිළිබඳ උනන්දු වූ අයෙක්. පාසැලෙන් නික්මුණ පසු අසල නගරයක රැකියාවක් සොයා ගත් ඔහු, එහි දී ලී වැඩපළක කම්කරුවන් හඳුනාගත්තා. එහි දී ඔහු ඇසූ, දුටු දේ ඔහු නිවසට ද පැමිණ විස්තර කළා. ඔහුගේ පියා ඒ වන විටත් විප්ලවකාරී කටයුතුවල නිරතව සිටියා. ඔවුන්ගේ නිවස රහසිගත සැඟවුම් ස්ථානයක් ලෙස ද යොදාගැනුණා.

බෝල්ෂවික් පක්ෂය

ස්වෙර්ද්ලෝෆ් රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයට එක් වූයේ 1902 දී, වයස අවුරුදු 17ක තරුණයකු ලෙස යි. පක්ෂය බෝල්ෂවික් හා මෙන්ෂවික් ලෙස දෙකඩ වූ අවස්ථාවේ ඔහු ලෙනින්ගේ බෝල්ෂවික් කණ්ඩායම හා එක් වුණා. එතැන් පටන් ලෙනින්ගේ අනුගාමිකයකු ලෙස ස්වෙර්ද්ලෝෆ් මියයන තෙක් ම කටයුතු කළා.

1905 විප්ලවය අවස්ථාවේ ස්වෙර්ද්ලෝෆ් ඌරල් කඳුකර ප්‍රදේශයන් හි ක්‍රියාකාරී බෝල්ෂවික්වාදියකු වූ අතර, පක්ෂයේ ප්‍රධානම කථිකයකු ද වුණා. ඔහුගේ පළමු විවාහයෙන් ලැබුණ දියණිය වූ එලේනා උපන්නේ ද මේ වසරේ යි.

ස්වෙර්ද්ලෝෆ් මුලින්ම පොලිස් අත්අඩංගුවට පත් වූයේ 1906 දී. 1905 විප්ලවය අසාර්ථක වීමත් සමග විප්ලවවාදීන්ට අයහපත් කාලයක් උදා වී තිබුණා. ස්වෙර්ද්ලෝෆ් 1906 සිට 1917 දක්වා කාලයෙන් වැඩි කොටස ගත කළේ බන්ධනාගාරයේ හෝ පිටුවහල් කරනු ලදුව යි.

මෙසේ සිටින කාලයේ ඔහු සිය අධ්‍යයන කටයුතු සඳහා අවධානය යොමු කළා. එමෙන්ම, කිහිප විටක්ම පලා යාමට ද ස්වෙර්ද්ලෝෆ් සමත් වුණා. මෙසේ පලාගිය එක් වතාවක ඔහුට සිය දෙවන බිරිඳ වූ ක්ලව්දියා නව්ගරද්ත්සෙවා හමුවුණා. ඔවුන් සිය විවාහයෙන් දරුවන් දෙදෙනකු ලැබුවා.

1912 දී සිරෙන් පලාගිය වතාවක ස්වෙර්ද්ලෝෆ් සාන්ත පීතර්බුර්ග් වෙත පැමිණියා. ඔහු කලක් රහසිගතව දේශපාලනයේ යෙදුණ අතර, එකල බෝල්ෂවික් මධ්‍යම කාරක සභාවට ද පත් වුණා. එහෙත්, 1913 දී ඔහු නැවත පොලිසියට කොටු වුණා. ඔහුව නැගෙනහිර සයිබීරියාවට පිටුවහල් කෙරුණා. එහි දී ඔහු වසර තුනක් ජෝසෆ් ස්ටාලින් සමග එක් නිවසක වාසය කළා. මුලින් දෙදෙනා අතර සබඳතාව යහපත් වුව ද, පසුව ඔවුන් එකිනෙකා නුරුස්සන අය බවට පත් වුණා.

1917

පෙබරවාරි විප්ලවයෙන් පසු ස්වෙර්ද්ලෝෆ් පීතර්බුර්ග් වෙත පැමිණියා. (ඒ වෙද්දී නගරයේ නම පෙත්‍රොග්‍රාද් ලෙස වෙනස් කොට තිබුණා). ස්වෙර්ද්ලෝෆ් ක්‍රියාකාරී ලෙස බෝල්ෂවික් පක්ෂ කටයුතුවල නියැලුණා. එමෙන්ම, අප්‍රේල් මාසයේ දී ඔහු ඌරල් කඳුකර ප්‍රදේශයේ එකතරින්බර්ග් වෙත පිටත් වුණා. එහි බෝල්ෂවික් පක්ෂ කටයුතු සංවිධානය කර ආපසු ජූනි මාසයේ දී පෙත්‍රොග්‍රාදය වෙත පැමිණි ස්වෙර්ද්ලෝෆ් පක්ෂයේ කටයුතුවලට තදින්ම මැදිහත් වුණා.

කියවන්න​: සෝවියට් විප්ලවයට මං විවර කළ පෙබරවාරි විප්ලවය

අගෝස්තු මාසය වන විට ස්වෙර්ද්ලෝෆ් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සංවිධාන අංශය භාරව සිටියා. එමෙන්ම, ෆීලික්ස් ජර්සින්ස්කි සමග බෝල්ෂවික් පක්ෂයේ මිලිටරි කමිටුව ද මෙහෙයවූවා. ලෙනින් නොමැති අවස්ථාවන්හි දී ස්වෙර්ද්ලෝෆ් පක්ෂ මධ්‍යම කාරක සභාවේ රැස්වීම්වල මුලසුන හෙබවූවා.

ඔක්තෝබර් විප්ලවයට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වූ ස්වෙර්ද්ලෝෆ්, සමස්ථ රුසියානු මධ්‍යම විධායක කමිටුවේ ප්‍රධානියා ලෙස තෝරාගනු ලැබුණා. බෝල්ෂවික්වරුන් පෙත්‍රොග්‍රාදයේ බලය අල්ලාගත් බව රටපුරා ප්‍රදේශයන්ට විදුලි පණිවිඩ මඟින් දන්වනු ලැබුයේ ස්වෙර්ද්ලෝෆ්ගේ මූලිකත්වයෙන්.

සෝවියට් රුසියාව

ස්වෙර්ද්ලෝෆ් ඉතා දක්ෂ සංවිධායකයකු වුණා. විප්ලවයට පෙර මෙන්ම, එයින් පසුව ද පක්ෂයේ කටයුතු මෙන්ම විප්ලවයෙන් පසු අභිනව සෝවියට් රජයේ කටයුතු ද සංවිධානය කිරීමේ ප්‍රමුඛයකු ලෙස ස්වෙර්ද්ලෝෆ් කැපී පෙනුණා. ඇතැම් විචාරකයින්ට අනුව, ලෙනින් පක්ෂයට සෛද්ධාන්තික නායකත්වය ලබාදෙද්දී ප්‍රායෝගිකව ක්‍රියාකාරී නායකත්වය ලැබුණේ ස්වෙර්ද්ලෝෆ් වෙතින්.

1918 නොවැම්බර් 7 වනදා ලෙනින් සහ ස්වෙර්ද්ලෝෆ් කාල් මාක්ස් ප්‍රතිමාවක් විවෘත කරන අවස්ථාව​ (Public Domain)

1918 ජූලි මාසයේ දී සාර් දෙවන නිකුලස් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ සිද්ධියට ද ස්වෙර්ද්ලෝෆ් ​ඍජුව මැදිහත් වුණා. ඒ සඳහා අවසරය ලබාදුන්නේ ඔහු බව යි සඳහන් වන්නේ. එමෙන්ම, (සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙන පරිදි) ෆැනී කප්ලාන් විසින් ලෙනින් ඝාතනය කිරීමට ගත් උත්සාහයෙන් පසු සෝවියට් රජයෙහි කටයුතු පිළිබඳ ඉක්මනින් ක්‍රියාත්මක වීමට ස්වෙර්ද්ලෝෆ්ට හැකි වුණා.

ස්වෙර්ද්ලෝෆ් මියගියේ 1919 මාර්තු 16 වනදා යි. ඔහු ඉන්ෆ්ලුවෙන්සාවෙන් මියගිය බව සාමාන්‍යයෙන් පිළිගැනෙන කරුණ යි. එමෙන්ම, ඔහුට එම රෝගය වැළඳුණේ ඔරියොල් හි දී බව විශ්වාස කෙරෙනවා. ස්වෙර්ද්ලෝෆ්ගේ මරණය පිළිබඳ වෙනත් මත ද තිබුණත්, ඒවා මෙම මතය තරම් පිළිගැනෙන්නේ නැහැ.

1924 දී එකතෙරින් බර්ග් නගරය, ස්වෙර්ද්ලෝව්ස්ක් ලෙස නම් කෙරුණා. සෝවියට් දේශය බිඳවැටුණ පසු එම නගරය යළි එකතෙරින්බර්ග් ලෙස නම් කෙරුණ ද​, එම නගරය අයත් පළාත අදටත් ස්වෙර්ද්ලොව්ස්කායා ඔබ්ලාස්ත් (ස්වෙර්ද්ලොව්ස්ක් පළාත​) නමින් හඳුන්වනු ලබනවා.

කවරයේ ඡායාරූපය: යාකොව් ස්වෙර්ද්ලෝෆ් (Public Domain)

මූලාශ්‍රයයන්:

  1. Yakov Sverdlov (Russiapedia)
  2. Yakov Mikhaylovich Sverdlov (Encyclopaedia Britannica)

Related Articles

Exit mobile version