අයිස්ක්‍රීම් පිස්සන්ටම වෙන් වූ අයිස්ක්‍රීම් කෞතුකාගාර

අයිස්ක්‍රීම් වලට අපි හැමෝම කැමතියි. මිනිස්සුන්ගේ අයිස් ක්‍රීම් ඉල්ලුම විවිධ ආකාරයේ වන නිසාම මේ වන විට වෙළඳ පලේ විවිධ රස වල, විවිධ හැඩ වල මෙන්ම විවිධ ප්‍රමාණයේ අයිස් ක්‍රීම් වර්ග වැහි වැහැලා කිව්වොත් වඩාත් නිවැරදියි. ඒ වගේම ලෝකයේ විවිධ රට වලට සහ විවිධ ප්‍රදේශ වලට ආවේනික වුන අයිස් ක්‍රීම් වර්ගත් තියෙනවා. ඇත්තෙන්ම කිව්වොත් අයිස් ක්‍රීම් කියන්නෙත් වෙනම ආකාරයක විෂයක්.

මේ අපි ඔබට කියන්න යන්නේ ලෝක ප්‍රකට අයිස් ක්‍රීම් කෞතුකාගාර සංකල්පය ගැනයි. අයිස්ක්‍රීම් කෞතුකාගාරය කිව්වත් මේක එක්තරා ආකාරයක ප්‍රදර්ශනයක්. ඒ ප්‍රදර්ශනයට නොයෙක් ආකාරයේ අයිස් ක්‍රීම්වර්ග ස්ප්‍රින්කල් සහ රේසින් වර්ග අයත් වෙනවා. එහි වඩාත් ප්‍රකට මුලික ලක්ෂණය වන්නේ වඩාත් අවධානයට ලක්වන වර්ණවත් අයිස්ක්‍රීම් වලට මුල් තැනක් හිමි වීමයි.

https://s3.amazonaws.com/

අයිස්ක්‍රීම් නාන්න පුළුවන්ලු

මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්නන්ට අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් තමාට ඇති සියලුම ආකාරයේ ගැටළු නිරාකරණය කර ගැනීමට හැකියාවක් ලැබෙන අතර, විවිධ රසයන්ගේ අයිස් ක්‍රීම් වලින් සිය රස නහර පිනවා ගැනීමේ අවස්ථාවද හිමි වනවා. වර්ණවත් අයිස්ක්‍රීම් ආකෘති සමග සෙල්ෆි ගැසීම මෙම අයිස්ක්‍රීම් කෞතුකාගාරයේ සුලබ දසුනක්.

ලෝක ප්‍රකට අයිස්ක්‍රීම් සන්නාමයන් සියල්ල පාහේ මෙම අයිස් ක්‍රීම් කෞතුකාගාර තුල දක්නට ලැබෙන්නේ අයිස්ක්‍රීම් කරමන්තයේ නව නිපැයුම් මෙන්ම පුරාතන නිපයුම්ද සමගින්. ලෝක අයිස් ක්‍රීම් කතාවේ විවිධ සන්ධිස්ථාන මෙන්ම නව ප්‍රවණතාද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කිරීමට එහි සංවිධායකයන් සැලසුම් කරමින් සිටින්නේ එය නරඹන්නට පැමිණෙන්නන්ට අයිස්ක්‍රීම් ගැන පරිපූර්ණ දැනුමක්  හා ආශ්වාදයක් ලබා දීම සඳහායි.

http://www.miami.com

චොකලට් අයිස්ක්‍රීම් ගලන ගංගාවන්, සූකිරි පිරුණු වර්ණවත් තටාකයන් මෙන්ම නොයෙක් ආකාරයේ අයිස්ක්‍රීම් කාමරද මෙම අපූරු කෞතුකාගාර ප්‍රදර්ශනයට අයත්. අනාගත අයිස් ක්‍රීම් වර්ග මෙන්ම අයිස් ක්‍රීම් කර්මාන්තයේ පුරෝගාමීන් වූ අර්වින් ඇඩම් ආදීන්ගේ නිර්මාණද මෙම ප්‍රදර්ශනයේදී අයිස්ක්‍රීම් ලෝලීන්ට රස බැලීමේ අවස්ථාවද හිමිව තිබෙනවා.

ටිකට් උණු උණුවේම විකිණෙයි

https://images1.laweekly.com/

අයිස් ක්‍රීම් කෞතුකාගාර නැරඹීම මේ වන විට ඇමරිකාවේ තරුණ තරුණියන්ගේ මෙන්ම බාල මහලු සැමගේත් වැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව සිටින අතර, එහි ටිකට් පත් උණු උණුවෙම විකිණෙන්නේ එම ප්‍රදර්ශනයට ඇති රසික ආකර්ෂණයද මනාව ප්‍රකට කරමින්. අයිස්ක්‍රීම් රසිකයන්ට ගැටලුවකින් තොරව ටිකට් පත් ලබා ගැනීම සඳහා මේ වන විට අන්තර්ජාලය ඔස්සේ එහි ටිකට් පත් නිකුත් කිරීමද සිදු කෙරෙනවා. එහි ටිකට් පතක අවම මිල ඩොලර් 18ක් ලෙස සඳහන් වනවා.

https://www.google.lk/

මේ අපූරු සංකල්පය පළමුව ක්‍රියාත්මක වුණේ නිව්යෝර්ක් නගරයේදී යි. ඉන්පසු එය ඇමරිකාවේ විවිධ නගර වල ක්‍රියාත්මක වුනු අතර එම අපුරු ප්‍රදර්ශනයේ  වර්තමාන අදියර ක්‍රියාත්මක වන්නේ මියාමි හිදියි.

නිව් යෝර්ක්,ලොස් ඇන්ජලිස්,සැන් ෆ්‍රැන්සිස්කෝ සහ මියාමි නගර වලදී මේ වනවිට අයිස් ක්‍රීම් කෞතුකාගාරය  නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි වී ඇති අතර,මේ වන විටත් ක්‍රියාත්මකව පවතින සැන් ෆ්‍රැන්සිස්කෝ අයිස් ක්‍රීම් කෞතුකාගාරයේ සියලුම ටිකට් පත් ඒවා නිකුත් කර මිනිත්තු 18ක් තුල අලෙවි වී අවසන් වූ බවත් පැවසෙනවා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පමණක් අයිස්ක්‍රීම් ලෝලීන් ලක්ෂ පහකට වැඩි පිරිසක් මෙම අයිස් ක්‍රීම් කෞතුකාගාරය නැරඹීමට පැමිණීමද විශේෂත්වයක්.

https://www.mercurynews.com

සුපිරි තරුත් පෝලිමේ

සාමාන්‍ය ජනතාව පමණක් නොව කලා ලොවේ සුපිරි තරුද මෙම අයිස්ක්‍රීම් කෞතුකාගාරය නැරඹීමට විශාල උනන්දුවක් දැක්වීම කැපී පෙනෙන සිදු වීමක් බවට පත්ව තිබෙනවා. 2016 වසරේදී අයිස් ක්‍රීම් කෞතුකාගාර සංකල්පය ඇරඹුණු පසු එය නැරඹීමට පැමිණි එවන් විශේෂ අමුත්තන් අතර කැති පෙරී, කිම් කාදර්ශියන්, බියෝන්සේ, ග්වෙනිත් පැල්ට්‍රෝ ආදීන්ද සිටීමත් විශේෂත්වයක්.

https://www.mercurynews.com

මෙම අයිස්ක්‍රීම් කෞතුකාගාරය පළමුවරට නිව් යෝර්ක් නගරයේ විවෘත වූ විටදී එය දින 45කට සිමා වූ නිසා එය නැරඹීමට පැමිණ ටිකට් පත් නොමැති නිසා එය නැරඹීමට නොහැකි වූ පිරිස ලක්ෂ දෙකක් පමණ වූ බවද සඳහන් වෙනවා. පළමු ප්‍රදර්ශනයේ ලාභය ඩොලර් මිලියන හයක් ඉක්මවීමත් විශේෂත්වයක්.

පුංචි අදහසකින් ඇරඹුණු විශාල පිම්මක්

https://newyorkrag.files.wordpress.com

මේ අපූරු අයිස්ක්‍රීම් කෞතුකාගාර සංකල්පයේ නිර්මාතෘ වරයා වන්නේ විසි හය හැවිරිදි වියේ පසුවන මාර්යිලිස් බුන් නම් තරුණියයි. නව ලෝකයේ නුතන ප්‍රදර්ශන සංකල්ප සමග තමා කැමතිම ආහාරය වන අයිස් ක්‍රීම් මුසු කිරීමෙන් ඇය විසින් අයිස්ක්‍රීම් කෞතුකාගාර සංකල්පය ආරම්භ කර තිබෙනවා. මෙය අයිස්ක්‍රීම් ප්‍රදර්ශනයක් වුවත් බුන් විසින් එයට කෞතුකාගාර යන නම යොදාගෙන ඇත්තේ එය මගින් මෙම සංකල්පය ගැන වඩාත් පුළුල් අදහසක් ජනතාව තුල ඇති වන බැවිනුයි.

https://tridentonline.net

මාර්යිලිස් බුන් සහ ඇගේ ව්‍යාපාරික සගයා වන මනිෂ් වොරා එක්ව පළමු ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ වර්ග අඩි තුන්දහසක පමණ ඉඩක වීමත් සුවිශේෂී කරුණක්. ඔවුන්ට පළමුව අනුග්‍රහය දක්වා ඇත්තේ සුප්‍රකට ටින්ඩල් අයිස්ක්‍රීම් සන්නාමය විසිනුයි.

http://blog.thestorefront.com

කෙසේ වෙතත් මේ වන විට ඔවුන්ට මැද පෙරදිග රටවලින් මෙන්ම ජපානයෙන්ද අයිස් ක්‍රීම් කෞතුකාගාරය සම්බන්ධයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ද සලකා බලමින් සිටින නමුත් තමා සහ සගයාගේ අරමුණ නිව් යෝර්ක් සහ ලාස් වේගාස් යන නගරවල ස්ථිර අයිස් ක්‍රීම් කෞතුකාගාර පිහිටුවීම බවත් බුන් පවසනවා.එමගින් එකම තැනකදී වඩාත් නිර්මාණාත්මක සැබෑ අයිස් ක්‍රීම් කෞතුකාගාරයක් පිහිටුවීමට තමන්ට හැකිවනු ඇති බවත් ඇය විශ්වාසය පල  කරනවා.

මූලාශ්‍ර

https://www.forbes.com

https://www.smithsonianmag.com

https://www.museumoficecream.com

Related Articles

Exit mobile version