මහා අක්බර් අධිරජගේ රාජ්පුත් බිසව, ජෝධා බායි

ලංකාවෙ බොහෝ දෙනෙක්, ඓතිහාසික ජෝධා-අක්බර් ප්‍රේම වෘත්තාන්තය ගැන ටෙලි නාට්‍ය වලිනුත්, චිත්‍රපට වලිනුත් දැකලා දැනගෙන ඇති. මූගල් අධිරාජ්‍යයේ ජලාලුද්දීන් මුහම්මද් අක්බර් රජු “ජෝධා” නම් රූමත්, රණකාමී හින්දු කුමරියක සරණපාවා ගත් බව කියන මේ නිර්මාණයන්වල, වැඩිපුරම නිරූපණය කරන්නේ ඔවුන්ගේ ප්‍රේමය ගැන විස්තර යි.

ඉතින් ඇත්තටම අක්බර් රජුට ජෝධා කෙනෙක් හිටියා ද? කවුද මේ ජෝධා? Roar අද ඔබට කියන්න යන්නේ ඈ ගැන යි.

ජෝධා බායි (Getty Images)

ජෝධා බායි කෙනෙකු හිටියා ද?

ඇත්තටම මේක බොහෝ කලක් තිස්සේ ඉතිහාසඥයින් විසින් සොයමින් සිටිනා දෙයක්. ඇතැමුන්ට අනුව නම් ඈ මහා අක්බර් අධිරාජයාගේ මෙහෙසිය. තවත් අයට අනුව ඈ ඔහුගේ ලේලිය, එනම් ඔහුගේ පුත්‍රයාගේ මෙහෙසිය. මේ ගැ‍ටුම හටගෙන තියෙන්නෙ, අදාල කාල වකවානුවට (16 – 17 සියවස්) අයත් කිසිදු මූගල් ලියවිල්ලක “ජෝධා බායි” කෙනෙකු ගැන සඳහන් නොවන නිසා මෙන්ම, “ජෝධා බායි” යන නාමය ප්‍රථම වරට ලියැවිලි වල සඳහන් වන්නට ගත්තේ 18 – 19වන සියවස් වලින් පසු බව ඇතැම් ඉතිහාසඥයින් පවසන නිසා යි.

කොහොම නමුත්, ඇගේ නම කුමක් වුවත්, අක්බර් රජුට හින්දු අග මෙහෙසියක් සිටි බව නම් ස්ථිර යි. එනිසා මින්පසු මේ ලිපියේ විස්තර කෙරෙන්නේ ඒ හින්දු මෙහෙසියගේ දිවිය ගැන යි. ප්‍රසිද්ධ විශ්වාසයට අනුව ඈ “ජෝධා බායි” නමින් දිගටම හැඳින්වෙනු ඇති.

ආමේර් බලකො‍ටුවේ රාජ්පුත් කුමරිය

ආමේර් බලකො‍ටුව (TripSavvy)

ජෝධා කුමරිය රාජ්පුත්වරියක්. ඈ 1542 වසරේ ඔක්තෝබර් 1 දා උපත ලැබුවේ අමේර්හි පාලකයා වූ රාජා බිහාරි මල් ගේ දියණියක් ලෙස. පසුගිය දිනවල “පද්මාවත්” චිත්‍රපටය නිසා කතාබහට ලක් වුණු පද්මාවතිය ගේ චිත්තෝරයට කි.මී. 200ක් පමණ ඊසානදෙසින් පිහිටි, රාජස්ථානයේ ආමේර් බලකො‍ටුවේ ඈ උපත ලැබුවා. ඈ ජායිපූර් නුවරට ආසන්නයේ උපත ලද නිසා “ජෝධා” නමින් හැඳින්වූ බව ප්‍රසිද්ධ මතයක්. ඈට උපතේ දී හිමි වූ නාමය වන්නේ “හීර් කුන්වාරි” බව ඇතැමුන් විශ්වාස කරනවා.

1562 පෙබරවාරි 6 දා, රාජා බිහාරි මල් විසි අවුරුදු-වයස් ජෝධාව අක්බර් අධිරාජයාට විවාහ කර දෙන ලද්දේ දේශපාලනික ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස යි. අක්බර් අධිරාජයා අජ්මේර්හි පිහිටි, සු‍ෆි ශාන්තුවර ක්වජා මොයිනුද්දීන් ගේ සොහොනට වන්දනා ගමනක් යෑමේ දී ඔහු හමු වූ රාජා බිහාරි මල්, අක්බර්ගේ මස්සිනා වූ ෂාරිෆ්-උද්-දීන් මිර්සා තමාට අනිසි ලෙස බලපෑම් කරන බවත්, හිරිහැර කරන බවත් ඔහුට පැමිණිලි කරනවා. මෙයට පිළිතුරු ලෙස, බිහාරි මල් තමාට සෘජුව ගැති වන්නේ නම් මිර්සාගෙන් එල්ලවන හිරිහැර වළකන බව අක්බර් පවසනවා. රාජා බිහාරි මල් අධිරාජයාට සිය දියණියව සරණ කර දෙන්නේ ඒ හේතුවෙන්.

මුස්ලිම් රජුගේ හින්දු මෙහෙසිය

අක්බර්ගේ රාජ්පුත් මෙහෙසිය (dollsofindia.com)

අක්බර්ගේ ඇතොවුරේ බොහෝ හින්දු රාජ්පුත් බිසවුන් සිටියා. මේ විවාහයන් බොහොමයක් දේශපාලන ගිවිසුම් මත සිදු වූ ඒවා යි. මුස්ලිම් රජෙකු වූ නමුත්, ඔහු මේ හින්දු බිසවුන්ට ඔවුන්ගේ ආගම ඇදහීමට අවසරය ලබා දී තිබුණා. ජෝධා මේ අතරට එක්වූ තවත් එක රාජ්පුත්වරියක්. නමුත් ඈ විශේෂ වුණේ, අක්බර්ගේ ප්‍රධාන බිසවුන් තිදෙනාගෙන් කෙනෙකු වීමට හැකි වූ නිසා යි. අක්බර්ගේ අග බිසව රුකයියා බෙගම් වුණා. දෙවැනි බිසව වූයේ, අක්බර්ගේ විශ්වාසනීය, නැසීගිය ජෙනරාල්වරයාගේ බිරිය වූ සලීමා සුල්තාන් වූ අතර, තෙවැන්නිය බවට ජෝධා පත්වුණා.

විවාහයෙන් පසුවත් ජෝධා බායි දිගටම හින්දු ආගම ඇදහුවා. විෂ්ණු භක්තික ඇය, අධිරාජයාගේ අවසරය පිට සිය රාජකීය කුටිය තුළ කුඩා දේව පූජස්ථානයක් ද සාදාගෙන තිබුණා. ඈ දේව පූජාවන් සිදු කරන ඇතැම් අවස්ථාවන්හි දී අධිරාජයා ද එයට සහභාගී වූ බව කියැවෙනවා. අක්බර් ඇයට සත්‍ය ලෙසම ප්‍රේම කළ බවට ප්‍රචලිත වන්නට එයත් එක් හේතුවක් විය යුතු යි.

මරියම්-උස්-සමානි

මරියම්-උස්-සමානි සහ අක්බර් අධිරාජයා (exoticindia.com)

අක්බර්ගේ ප්‍රධාන බිසවුන් දෙදෙනාටම ඔහුට දාව දරුවෙකු සිටියේ නැහැ. එනිසා මූගල් අධිරාජ්‍යයට අනාගත උරුමකරුවකුගේ අඩුවක් තිබුණා. එම අඩුව සම්පූර්ණ වුණේ රූමත් වූත්, අභිමානවත් වූත් ජෝධා බායි ගේ ආගමනයෙන් පසුව යි.

විවාහයෙන් වසර 7කට පසු, 1569 අගෝස්තු 30 වන දා ජෝධා බායි පුත්‍රයෙකු බිහි කළා. “සලීම්” යන නම ලැබූ මෙකුමරු අක්බර්ගෙන් පසු මූගල් සිහසුනට පත්වුණේ “ජහාන්ගීර්” යන නමින්. ජෝධා ඉස්ලාමය වැළඳගත්තේ නැති වුණත්, පුත් කුමරාගේ උපත නිසා “මරියම්-උස්-සමානි”, හෙවත් එම පරම්පරාවේ මරිය මාතාව, යන නම්බු නාමය ඇය වෙත ප්‍රදානය කෙරුණා.

මල්ලිකා-ඉ-හින්දුස්ථාන්

මරියන්-උස්-සමානි යන නාමයට අමතරව, ජෝධා බායි හෙබවූ නම්බු නාමයන්, නොහොත් තනතුරු තුනක් වන්නේ, “මල්ලිකා-ඉ-මෙසාමා”, “මල්ලිකා-ඉ-හින්දුස්ථාන්” (හින්දුස්ථානයේ ‍රැජින), සහ “වාලි නීමත් බෙගම්” (දෙවියන්ගේ ත්‍යාගය). හින්දු බිසවක වුවත්, ඉතා නුවණැති බව කියන ඇය මෙම තනතුරු සේම, මූගල් මැදුරේ සැළකිය යුතු ගෞරවයක් සහ බලයක් ද අත්පත් කරගෙන සිටියා.

armday.am

අධිරජගේ අනෙකුත් හින්දු බිසෝවරුන් සේම ජෝධා ද මූගල් රාජ සභාවේ කිසිදු තනතුරක් හෙබවූයේ නැහැ. නමුත් අධිරාජයා විසින් ගන්නා ලද ඇතැම් දේශපාලන තීන්දු තීරණ වලටත්, මූගල් අධිරාජ්‍යයේ ඇතැම් නීති සකස් කිරීමටත් ඇගේ බලපෑම සහ සහායය ලැබී තිබෙනවා.

අක්බර්ගේ බිසෝවරුන් අතරින්, අධිරාජයාගේ කාර්යයක් වූ නිල රාජ නියෝග නිකුත් කිරීමේ බලතල තිබූ එකම බිසව ද ඇය යි. ඈ ඇතැම්විට අක්බර් වෙනුවට මේ නිල නියෝගයන්ට අත්සන් කළ බව පැවසෙනවා.

අක්බර්ගේ මරණය, ජහන්ගීර්, සහ මව් ‍රැජින

ඔවුන්ගේ විවාහයෙන් වසර 43කට පසු, 1605 දී අක්බර් මියයන්නේ ඔහුගේ පුත්‍ර ජහාන්ගීර් මූගල් අධිරාජයා බවට පත් කරමින්. මෙය ජෝධාගේ තත්ත්වය “මව් ‍රැජින” තනතුර දක්වා උසස් කරනු ලබනවා. අක්බර් විසින් ඇයට ලබා දුන්, රාජකීය නියෝගයන් නිකුත් කිරීමේ බලතල ජහාන්ගීර් විසින් ද එලෙසම ඇය වෙත ප්‍රදානය කරනු ලැබුවා. ජහන්ගීර් ගේ බිසවක් වූ නූර් ජහාන්, අධිරාජිනිය බවට පත්වන තුරුම ජෝධාගේ මේ බලය පැවතුනා (නූර් ජහාන්ගේ කතාව ඉදිරි ලිපියකින් කියවමු).

ෆටේපූර් සික්රි හි පිහිටි ජෝධාගේ මාළිගය අද (hlimg.com)

ජහාන්ගීර්ගේ පාලන සමය තුළ ඈ බොහෝ බලය සහ ධනය ‍රැස්කරගන්නා අතර, මූගල් රාජ සභාවේ සාර්ථකම ව්‍යවසායිකාව බවට පත්වෙනවා. වෙළඳ හා මගී ප්‍රවාහන නෞකා කීපයක්ම ඈ සතු වූ අතර, එකල රතු මුහුදේ යාත්‍රා කළ විශාලම නෞකාව වූ “රහීමී”ත් ඇයගේ යි. මක්කම වන්දනාවේ යන ඉස්ලාමිකයින් ප්‍රවාහනය කළ නිසා, “මහා වන්දනා නෞකාව” යන අන්වර්ත නාමයෙන් හැඳින්වුණු එය යුරෝපයේ පවා ප්‍රසිද්ධියට පත්ව තිබුණා.

ජෝධා බායි ගේ මරණය

මහා අක්බර් අධිරාජයාගේ මරණයෙන් වසර 18කට පසු, 1623 වසරේ දී ජෝධා බායි ගේ මරණය සිදු වූ බවයි පවසන්නේ. එවිට ඈ 80වන විය සම්පූර්ණ කර සිටියා. මියයන තෙක් හින්දුවරියක වුව ද, සාමාන්‍ය හින්දු ක්‍රමයට අනුකූලව ඇගේ දේහය ආදාහනය කෙරුණේ නැහැ. එය මුස්ලිම් ක්‍රමයට භූමදානය කෙරුණා. ජීවත්ව සිටි කල ඇගේ කැමැත්ත වූ ලෙසටම, අක්බර්ගේ සොහොනට කිලෝමීටරයක් පමණ දුරින් ඇගේ සොහොන ඉදිකෙරුණා. ඒ, 1623 – 1627 අතර කාලයේ දී යි. අක්බර් අධිරාජයාගේ සොහොනට එතරම් ආසන්නයේ සොහොනක් හිමිකරගත්, ඔහුගේ එකම බිසව ඇය යි.

ජෝධාගේ සොහොන (Pinterest)

ජෝධා බායි ගැන විවිධ මතිමතාන්තර පැතිර තිබෙනවා. ඇගේ අනන්‍යතාවය තවමත් විවාදාත්මක යි. ඈ ජහාන්ගීර්ගේ මව නොව, ඔහුගේ බිසවක බව හඳුන්වන පිරිස් බොහොම යි. ඇතැමුන් ඈ රාජ්පුත් කුමරියක නොව, පරංගි තරුණියක බව අදහනවා. කෙසේ නමුත්, එක් දෙයක් නම් ස්ථිර යි.

ඒ නම්, ජලාලුද්දීන් මුහම්ම්ද් අක්බර් නම් මහා මූගල් අධිරාජයාට රූමත් වූත්, නැණවත් වූත්, බලවත් වූත් හින්දු රාජ්පුත් බිසවක සිටි බව. ඇගේ සත්‍ය නාමය කුමක් වුවත්, ඉන්දියාවේ බහුතර ජනයාට නම් තවමත් ඇය “ජෝධා බායි”.

මූලාශ්‍රයයන්:

India Today

Indohistory.com

Times of India

Jodha Bai – Who was She? by Satish Chandra

Cover image: Pinterest

Related Articles

Exit mobile version