1889 නොවෙම්බර් 12 වන දින කොළඹ දී උපත ලැබූ “දොන් ආතර් ද සිල්වා විජේසිංග සිරිවර්ධන”ගේ පියා වූයේ එවකට ඉඩම් හිමි ධනවතෙක් වූ පවුලිස් සිල්වා යි. ඔහුගේ මව ඉසබෙලා විජේසිංහ යි. කළුතර මෙන්ම කොළඹ ද දේපල රාශියක් මේ පවුලට හිමිව තිබුණා. ආතර්ට තවත් සොයුරියක් සහ සොයුරෙක් ද සිටියා. කතෝලික ආගම වැළඳගැනීම නිසා සිය දරුවන් තිදෙනාට එංගලන්තයේ දී අධ්‍යාපනය ලබා දීමට පවුලිස් ද සිල්වා විජේසිංහට අවස්ථාව හිමිවුණා. ඒ අනුව ආතර් ද සිල්වාත් එංගලන්තය බලා නැව් නැග, එහි දී ඉගෙනීම කරගෙන ගියා. මේ අතර වයස අවුරුදු 63 දී පවුලිස් සිල්වා රෝගාතුරව මෙලොවින් සමුගත්තා. ඒ 1901 දී යි. එංගලන්තයේ සිටි කාලයේ ආතර් එරට රජ පවුල සමග ද, ඉන්දියාවේ මහරාජාවරුන් සමග ද සම්බන්ධතා ගොඩනගාගැනීමට තරම් දක්ෂයෙකු වුණා.
පඩිකාර මුදලි
ලංකාවට පැමිණ ටික කලකින්ම ඉංග්‍රීසි ආණ්ඩුව ආතර්ට සිය හිතවත්කම ප්‍රකාශ කළේ පඩිකාර මුදලි නම් වැටුප් ගෙවන මුදලි තනතුරක් ප්‍රදානය කිරීමෙන්. එය එවකට පැවති ඉහළම නම්බු නාමයක් වුණා. ආතර් යටතේ තවත් මුදලිවරුන් 12 දෙනෙකු සිටියා. 40 දෙනෙකුගෙන් යුත් ලස්කිරිඤ්ඤ හමුදාවක් ද ඔහුට තබාගත හැකි වුණා.
තරුණ ආතර් වැඩිපුර කල්ගත කළේ ඔහුට අයත් කළුතර තේක්ක බංගලාව නම් වතුයායේ. එය පිහිටා තිබුණේ දැන් පොලිස් අභ්‍යාස විද්‍යාලයය පිහිටන තැන යි. තනිකඩ මුදලිවරයාගේ ජීවිතයේ අඩුව පිරවීමට විවිධ මංගල යෝජනා ආවා. නමුත් ඔහුට අවශ්‍ය වුණේ උඩරට වංශවත් පෙළපතක තරුණියක් විවාහ කරගෙන දරුමල්ලන් සහිත ජීවිතයක් ගතකිරීමට යි. පාතරට උඩරට භේදය තදින් පැවති ඒ කාලේ ඒ වැඩේ ලේසි වුණේ නැහැ.
ක්ලැරිස්
එවකට කළුතර උසාවියේ සේවය කළ ප්‍රකට සූරියබණ්ඩාර අද්වකාත්වරයාගේ දියණියක වන රූමත් ක්ලැරිස් සම්බන්ධයෙන් ආතර් ද සිල්වා මුදලිවරයාගේ සිතෙහි හැඟීමක් ඇති වී තිබුණා. සූරියබණ්ඩාර පවුල උඩරට වංශවතුන් ලෙස යි සැලකුණේ. ආතර්ට වංශවත් රදළ පරම්පරාවක් තිබුණේ නැහැ. ඔහුගේ පියා බද්දේගමින් ආනාථයෙකු ලෙස පැමිණ කොළඹ ව්‍යාපාර කර දියුණු වූ කෙනෙක්. මේ වන විට ආතර් කළුතර පමණක් නොව කොළඹ පවා ප්‍රකට, ඉංග්‍රීසි ආණ්ඩුවට හිතවත් මුදලිවරයෙකු ලෙස අභිමානයක් ගොඩනගාගෙන තිබුණා. මේ වන විට ඔහු කළුතර කළු ගඟට යාබදව අක්කර 42කින් යුත් පොල්වත්ත ද මිල දී ගෙන තිබුණා. නමුත් එහි තිබුණේ වතු අධිකාරි බංගලාව පමණ යි.
ආතර් ද සිල්වා මුදලිවරයාට විවිධ කටයුතුවල දී සූරියබණ්ඩාර අද්වකාත්වරයා හමුවුණා. ඔහුගේ දියණියත් ඔහු දැක තිබුණා. ලංකාවේ වංශවතුන්ගේ සංගමයේ සහ ඉන්දියානු කතෝලික කොංග්‍රසය නම් සංවිධානයේ ද සභාපති වුණේ ආතර් මුදලිවරයා යි. දිනක් මුදලිවරයා තම හිතවතෙකු අතේ සූරියබණ්ඩාරට විවාහ යෝජනාවක් යැව්වා. ඒ ඔහුගේ දියණිය ක්ලැරිස් විවාහ කර ගැනීම ගැන යි. ඒත් රදළ මානයෙන් සිටි සූරියබණ්ඩාර ඔහුගේ යෝජනාව ගණනකට නොගෙන ඉවත දැම්මා. එය ආතර්ට විශාල පරාජයක් වුණා.
නමුත් ඔහුගේ යටි සිතේ පැවතුණේ ඇය කෙසේ හෝ හිමිකර ගන්නා බවට අදහසක්. මේ අතර සංචාරයක් සඳහා ආතර් ඉන්දියාවට ගියා.
එහිදී ඔහු නවාතැන් ගන්නේ තම හිතවත් රාම් නම් මහරාජා කෙනෙකුගේ මන්දිරයේ යි. මෙවර එහි ගිය ඔහුට එම විශාල මන්දිරය වැන්නක් කළුතර තම පොල්වත්තේ ඉදිකළ යුතු බවට අදහසක් පහළ වුණා. අද්වකාත් සූරියබණ්ඩාර හමුවේ අහිමි වුණු අභිමානය නැවත වගාකර ගනිමින් ක්ලැරිස් හිමිකර ගැනීමේ යටි අදහසක් ඔහු තුළ සැඟව පැවතුණා. මෙවැනි මැඳුරක් හිමිකර ගත්තොත් ලංකාවම තමා ගැන කතාකිරීමට පටන් ගන්නා බවත්, සූරියබණ්ඩාර පවා තමාගේ අදහසට කැමති වනු ඇති බවත් ඔහු සිතා තිබුණා. මහරාජාවරයාගෙන් මන්දිරයේ සැලසුම ඉල්ලූ තැන ඔහු අවඥාවෙන් සිනාසුණු බැවින් ලංකාවට පැමිණි ආතර් දක්ෂ වඩුකාර්මිකයෙකු සොයා ඔහු ඉන්දියාවේ මහාරාජා මාලිගයට යැව්වේ එය පිටිතින් දැක බලා විස්තර දැනගන්න යි.
කළුගංතොට තේක්ක මන්දිරය
කළුතර පලාතොට වතුයායේ මනරම් මන්දිරයක් ඉදිකිරීම ආරම්භ වුණා. බුරුමයෙන් තේක්ක ලී, යුරෝපයෙන් පිඟන්ගඩොල්, නානකාමර උපකරණ, වීදුරු, ගෘහ උපකරණ ඇණවුම් කළා. අක්කර 42කින් යුත් ඉඩම තැනිතලා බිමකින් හා කුඩා කඳු ගැටයකින් සමන්විත වුණා. මන්දිරය ඉදිවුණේ එහි උස්ම කොටසේ යි. සුවිසල් මන්දිරය තුළ සේවක කාමර හැරුණු විට තවත් කාමර 16ක් තිබුණා. අලංකාර කැටයම් කුලුනු, විශාල තරප්පු, මනබදිනා දොර ජනෙල් කාගේත් සිත් ඇදගත්තා. මන්දිරය නිමවීමටත් පෙර එහි කීර්තිය රටපුරා කතාබහට ලක්වුණා.
කාමරය තුළට පිටත ශබ්ද නොඇසීමට සහ කාමරය තුළ ශබ්දය පිටතට නොඇසෙන සේ බිත්ති බඳින්නට බදාමය ඇතුළතින් ලී පටි ගස්සා තිබුණා. මැඳුරේ තැනූ නර්තනාගාරයට සිසිල් වායුව ලබාගත්තේ ඉඩමට යාබදව පිහිටි කළුගං ඉවුරේ සිට තනා තිබූ නළ මාර්ගයෙන්. එකල නිවාස වායුසමීකරණ තාක්ෂණය ක්‍රියාත්මක නොවුන ද මේ මන්දිරය තුළ ස්භාවික වායුසමීකරණ තාක්ෂණයක් දැකගත හැකි වුණා. ඒ නිසා නර්තනාගාරය නිරන්තරයෙන්ම සිසිල්ව පැවතුණා.
රට හෙල්ලූ මහ මඟුල
1910 මුල් භාගය වන විට මැඳුර මුළුමනින්ම තනා අවසන්. එය ‘රිච්මන්ඩ් කාසල්’ ලෙස නම් කළා. විවෘත කිරීමට ආරාධනා කළේ පෙර කී ඉන්දීය මහාරජාවරයාට යි. ඔහුත් ලංකාවට පැමිණ එය දැක පුදුමයට පත්වූ බව සඳහන් වෙනවා. ටික දිනකින් අද්වකාත් සූරිය බණ්ඩාර තම හිතවතෙකු අත දියණිය පිළිබඳ විවාහ යෝජනාව ආතර් වෙත එව්වා. ඔහු සිත එය අසා ප්‍රීතියෙන් ඉපිල ගිය බව තමයි පැවසෙන්නේ. ඒ වන විට ආතර් තම නමත් වෙනස් කරගෙන සිටියා. ඒ නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන ලෙස යි.
වර්ෂ 1916 ජූලි 22 දා කළුතරට ඓතිහාසික දවසක් වුණා. ක්ලැරිස් මැටිල්ඩා මෝඩ් සූරියබණ්‌ඩාර මෙනෙවිය හා ආතර් සිල්වා පඩිකාර මුදලිවරයාගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ එදින යි. ඒ සඳහා එංගලන්තයේ ජෝර්ජ් රජ පවුලේ නියෝජිතයන් ද වේල්සයේ ආදිපාදවරයා ද, මව්න්ට්‌බැටන් සාමිවරයා ද ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගි වී තිබෙනවා. අමුත්තන්ට කොළඹ සිට කළුතරට පැමිණීමට ආණ්ඩුවෙන් විශේෂ දුම්රියක් ද යොදවා තිබෙනවා.
සිහිනය බිඳවැටෙයි
ආතර් යුවළ 1915 සිට 1940 දක්‌වා පුරා 25 වසරක් රිච්මන්ඩ් කාසල් මන්දිරයේ පදිංචිව සිටියා. ඔවුනගේ විවාහ ජීවිතය නම් සතුටින් ගෙවීගිය බවක් පෙනෙන්නේ නැහැ. මුදලි ආතර්ගේ බලාපොරොත්තු එකින් එක බිඳ වැටුණා. මහා මන්දිරවලින් ජීවිතයට සතුටක් ලබාගත නොහැකි බව ඔහුට අවබෝධ වන්නට ඇති. ක්ලැරිස් මහා මන්දිරයක 40 දෙනෙකුගෙන් යුත් සේවක පිරිසක් මැද හුදෙකලා වුණා. ඔවුන්ට දරුවන් සිටියේ නැහැ. එම කරුණත් මහමුදලි ආතර්ට සංවේගයක් දැනවූ බවත්, ඒ නිසා ඔහු කුඩා පිරිමි ළමුන්ගේ ප්‍රතිමා මන්දිරයේ උද්‍යානයේ ඉදිකරවූ බවත් පැවසෙනවා.
මේ අතර ක්ලැරිස්, මුදලිවරයා අලුතින් මිලට ගත් කාර් රථය පදවන්නට බඳවාගත් රියදුරා සමග අනියම් සම්බන්ධයක් පැවති බවට කතාවක් ද පැතිර ගොස් තිබුණා. නමුත් මේවායේ සත්‍යතාවක් ඇද්දැ යි යන්න සැක සහිත යි. මේ කාලයේ මුදලි විජේසිංහ කළුතර ධර්මවිජය පිරිවෙනට නිතර ගොස් ආඳාවල සාරානන්ද නායක හිමියන්ගෙන් අනුශාසනා ලබාගත් බව පැවසෙනවා. එහෙත් ඔහු තමන් ඇදහූ කතෝලික දහම ද අත්නොහළ අතර, ඒ ආගමික කටයුතුත් ඉටුකර තිබෙනවා. තමන් විශාල බලාපොරොත්තු සහිතව ගොඩනැගූ මාලිගා වැනි ගොඩනැගිලි, මහා විවාහය, ලබාගත් කීර්තිය, දේපල ආදියෙන් කිසිම සතුටක් ඔහු නොලැබූ බව යි හැසිරීම දෙස බලද්දී පෙනෙන්නේ.
අන්තිම කැමති පත්‍රය
1941 ජුලි 4 වැනිදා මුදලි ආතර් තම අන්තිම කැමති පත්‍රයට අත්සන් තැබුවේ නොතාරිස් එස්. ජේ. එස්. කාදිරගාමර් ඉදිරියේ යි. රිච්මන්ඩ් කාසල් ඇතුළු දේපල රාශියක් එහිදී ආණ්ඩුවේ මහාභාරකාරවරයාට පැවරුවා. ඒ ගැන බිරිඳ ක්ලැරිස් හෝ ඥාතීන් දැන සිටියේ නැහැ. බිරිඳ අවිවාහකව සිටින තාක් ඇයට මාසිකව රු. 300ක් සහ පොල් ගෙඩි 250ක් යැවිය යුතු බවත් එහි සඳහන් වුණා. ඉන්පසු මුදලිවරයා ක්ලැරිස් ඇයගේ දෙමාපියන්ගේ නිවසට ගොස් ඇරලනවා.
ඔහු ඉංග්‍රීසි ආණ්ඩුවට පවරා තිබූ රිච්මන්ඩ් මන්දිරය ඇතුළු අක්කර 42ක් වූ පොල් සහ කුඹුරු යායේ වටිනාකම 1943 ඇස්තමේන්තුවලට අනුව රු. තුන්ලක්ෂ පනස්දහසක්. ආණ්ඩුවට දුන් තවත් ඉඩමක් වූ ගම්පහ හේනේගම අක්කර 82ක් වූ ඉරහඳයාව පොල් වත්තේ වටිනාකම රු. එක්ලක්ෂ විසිපන්දහසක් වුණා. ඊට අමතරව මහනුවර ආගමික ආයතනයකටත් තම ආදායම්වලින් කොටසක් පවරා තිබුණා. රිච්මන්ඩ් මන්දිරය පිරිමි ළමුන්ගේ අනාථ නිවාසයක් වීම ඔහුගේ කැමැත්ත වුණා. අදත් එහි පිරිමි ළමුන්ට අනාථ නිවාසයක් පවත්වාගෙන යනවා.
රැජන හෝටලයේ හුදෙකලාව
ඊට පසු ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඩිකාර මුදලි හිටි ගමන් අතුරුදන් වුණා. දේපල සියල්ල හැරදා එදිනෙදා ජීවත්වීමට පමණක් මුදල් තබාගෙන මහනුවර රැජන හෝටලයේ 37 වැනි කාමරය වෙන් කර ගත්තේ ජීවිතයේ ඉතිරි කාලය එහි ගෙවාදැමීමට යි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 53ක් වුණා.
ආතර් ද සිල්වා රැජන හෝටලයට පැමිණියේ අප්‍රකට චරිතයක් ලෙස යි. සේවකයන් හෝ ආරක්ෂකයන් හෝ කවරුවත් ඔහු සමග හිටියේ නැහැ. නමුත් ටික කලකින්ම මේ පුද්ගලයා කවුදැ යි හෝටලයට අමුත්තක් වුණේ නැහැ.
අවසානය තනිවම
1947 වර්ෂය එළඹුණා. මේ වන විට ඔහු හෝටල් කාමරයේ ගත කර තිබූ කාලය අවුරුදු 5ක්. දිනක් දැඩිසේ අසනීප වූ ඔහු මලබාර් වීදියේ සාත්තු නිවාසයට රැගෙන ගියා.
දිනය 1947 ජූලි 8 දා යි. මරණයට හේතුව නහරයක ලේ කැටියක් සිරවීම බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්. ධනවත් බලවත් විජේසිංහ මුදලි මරණයට පත් වුණේ කිසිම ධනයක් නැතිව, හෝටල් කාමරයක ආගන්තුකයකු විදිහට යි. දේහය මහනුවර සිට කොළඹ මර්ට් පාරේ ඔහුගේ සොයුරියගේ නිවසට රැගෙන ආවා. හදිසියේ වෙන්ව ගිය සැමියා බිරිඳ ක්ලැරිස්ට දැකගැනීමට ලැබුණේ අවුරුදු 5කට පසුව මළ සිරුරක් ලෙස යි.
මේ අවමඟුල කොළඹ බොහෝ දෙනෙකුගේ සිත් තුළ අමුතු හැඟීම් දැනවූ අවස්ථාවක් වුණා. එවකට සිළුමිණ පුවත්පත එය වාර්තා කර තිබුණේ මේ විදිහට යි:
පඩිකාර මුදලි තැන්පත් ඇන්. ඩී. ඒ. සිල්වා පේපල් නයිට්වරයාගේ මෘත ශරීරය පිළිබඳ භූමදානය පසුගිය බ්‍රහස්පතින්දා අපරභාගයේ රෝමානු කතෝලික සභාවේ සම්පූර්ණ ගරුබුහුමන් සහිතව විශාල පිරිසක් ඉදිරියේ කොළඹ කනත්තේ සුසාන භූමියේ පිහිටි පවුලේ සොහොන් ගැබෙහි තැන්පත් කරන ලදී. ශෝක වන්නවුන් අතර මියගිය නයිට්වරයාගේ වැන්දඹු භාර්යාව වන විජේසිංහ නෝනා මහත්මයා, සර් ජෙරාඩ් විජේකෝන් සහ එම ආර්යාව, දොස්තර එන්. ඩී. ජේ. ද සිල්වා සහ එම නෝනා මහත්මයා යන පිරිස ප්‍රධාන ය.