ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසූ බංගලාදේශ නායකයා – හුසේන් මොහොමඩ් එර්ශාඩ්

ඒකාධිපති පාලකයන්ට ඉතිහාසය විසින් අවසානයේ දී අත් කර දී තිබෙන්නේ එකම ඉරණමකි. ඉතාලියේ ඒකාධිපති මුසලොනිට, පිලිපීනයේ මාකෝස් වැනි ආඥා දායකයන්ට අවසානයේ සිදු වූයේ තම රටේ ජනතාව අතින් ප්‍රතික්ෂේප වීමට යි. ලොව බොහෝ රටවල්හි  ඒකාධිපති පාලකයන්ව නෙරපා දමන්නට ජනතා සහයෝගය ලැබෙනවා.

බංගලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් ඒකාධිපත්වය වැපිරූ යුධ නීතියෙන් වසර අටක් තිස්සේ බංගලාදේශය පාලනය කළ හුසේන් මොහොමඩ් එර්ශාඩ්ටත් අවසානයේදී අත් වන්නේ ඉහත දැක්වූ ඉරණමයි. බංගලාදේශ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන ඔහු අවසානයේ දී බලයෙන් පහ කර දැමීමටත්  කටයුතු කෙරෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් බංගලාදේශය තුළ වසර අටක් තිස්සේ බරපතළ භීෂණයක් නිර්මාණය කළ හුසේන් එර්ශාඩ් පිළිබඳව යි අද ලිපිය තුළින් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කරන්නේ.

එර්ශාඩ් බංගලාදේශයේ බලය අල්ලා ගැනීම

බංගලාදේශ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වූ හුසේන් මොහොමඩ් එර්ශාඩ් (The Asian Age)

බංගලාදේශ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වූ හුසේන් මොහොමඩ් එර්ශාඩ් 1982 වසරේ මාර්තු මස 26 වනදා බංගලාදේශයේ රාජ්‍ය බලය අල්ලා ගනු ලබන්නේ හමුදා කුමන්ත්‍රණයක් මගිනු යි. නමුත් මෙම කුමන්ත්‍රණයේ දී කිසිදු අවි ගැටුමකින් තොරව බලය අල්ලා ගැනීමට ඔහු ඇතුළු ඔහු අණ දුන් හමුදා භට ඛණ්ඩයට හැකියාව ලැබෙනවා. කුමන්ත්‍රණයෙන් පසුව එම වසරේම දෙසැම්බර් මාසයේ 11 වැනි දා බංගලාදේශයේ ජනාධිපතිවරයා ලෙස ඔහු දිවුරුම් දෙනවා.

තමන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙස තමා විසින්ම හඳුන්වා දුන් නමුත් හමුදා නීතිය අනුව තමන්ට විරුද්ධ වන්නන් ව මර්දනය කිරීමට පියවර ගන්නා ඔහු බංගලාදේශය තුළ සියලු දේශපාලන පක්ෂ තහනම් කරන අතර පසුගිය රජයේ සිටි ප්‍රබලයන් කිහිපදෙනක් ද අත්අඩංගුවට ගනු ලබනවා.

එර්ශාඩ්ට එරෙහි වූ බංගලාදේශ වැසියෝ

හුසේන් මොහොමඩ් එර්ශාඩ් (Famous People)

1984 වසර වන විටත් යුධ නීතිය ඉවත් නොකිරීම සම්බන්ධයෙන් බංගලාදේශය තරමක් උණුසුම්ව පැවතුනා. ඒ හේතුවෙන් එර්ශාඩ්ට විරුද්ධව අනෙකුත් පක්ෂ රටේ ජනතාව සමඟ යුධ නීතිය ඉවත් කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ ව්‍යාපාර වල නියැලෙන්නට විය. ඒ සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ බංගලාදේශ ජාතික පක්ෂයේ නායිකා බෙගම් කලිඩා හා අවාමි සංගමයේ නායිකා ෂික් හසිනායි.

මේ වන විට යුධ නීතිය ඉවත් නොකර මාස 21ක් ගත වී තිබුණු අතර එය ඉවත් කිරීම දේශපාලන පක්ෂ වල මූලික ඉලක්කය බවට පත් වී තිබුණා. වහාම ක්‍රියාත්මක වූ එර්ශාඩ් පොලිසිය හා හමුදාව යොදාගනිමින් ඒ සියළුම අයිතීන් දිනා ගැනීමේ ව්‍යාපාර මර්දනය කරනු ලබනවා. වරෙක ඩකා නගරයේ දී පෙළපාලියකට වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු මිය යන අතර තවත් 500 කට අධික පිරිසක් තුවාල ලබනවා.

කිසිදු ඉල්ලීමකට කන් නොදුන් එර්ශාඩ් 1983 වසරේ අග මාසයේ දී ප්‍රාදේශීය පාලන ආයතන වෙනුවෙන් ජන්දය පවත්වන බවත් 1984 වසර මුල් භාගයේ දී ජනාධිපතිවරණය පවත්වන බවටත් ප්‍රකාශ කරන ඔහු යුධ නීතිය ඉවත් කිරීමට සුදානම් වන්නේ නෑ. නමුත් එයට එකඟ නොවෙන් විපක්ෂ කණ්ඩායම් මැතිවරණ පැවැත්වීමට පෙර යුධ නීතිය ඉවත්කළ යුතු බව පවසමින් උද්ඝෝෂණ දිගින් දිගටම ගෙන යනවා. මෙලෙස යුධ නීතිය ඉවත් නොකර මැතිවරණ පැවැත්වීම මඟින් එර්ශාඩ්ට වාසි වන අයුරින් මැතිවරණ පැවැත්වීමට හැකියාව ලැබෙන බව විපක්ෂ කණ්ඩායම් විසින් ජනතාවට පෙන්වා දෙනවා.

මැතිවරණ කල් දැමීම්

අවාමි සංගමයේ නායිකා ෂික් හසිනා (Zee News)

දිගින් දිගටම තමන්ට එරෙහිව ජනතා අප්‍රසාදය වැඩි වන බව දකින එර්ශාඩ් මැතිවරණ තවත් කල් දැමීමට තීරණය කරනවා. 1984 දෙසම්බර් මාසෙ 8 වැනි දා යුධ නීතිය ඉවත් නොකර පාර්ලිමේන්තු මැතිවරණයක් ගෙන එන්නට තීරණය කරන ඔහු හමුදාව ප්‍රමුඛ තම පක්ෂය සමඟ තරඟ කිරීමට ප්‍රධාන පක්ෂ සහභාගී නොවුන හොත් දිගටම යුධ නීතිය ක්‍රියාත්මක කරන බවටත් මැතිවරණයට එම පක්ෂ සහභාගී වුවහොත් යුධ නීතිය ඉවත් කරන බවටත් ප්‍රකාශ කර සිටිනවා.

ඒ පිළිබඳව අදහස් දක්වන ප්‍රධාන විපක්ෂ කන්ඩායම් නායකයන් ප්‍රකාශ කරන්නේ යුධ නීතියත් සමඟ තමන් මැතිවරණ සඳහා ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කරන බවත් එදිනට බංගලාදේශය පුරා දැවැන්ත වැඩ වර්ජනයක් මෙහෙයවන බවත් ය. රටේ ප්‍රගතිශීලි කණ්ඩායම්, ශිෂ්‍ය ව්‍යාපාර ආදී සියළු බහුජන ව්‍යාපාර මැතිවරණය වර්ජනය කරන බව පෙනී ගිය හෙයින්, පාර්ලිමේන්තු මැතිවරණය නැවතත් 1985 වසරේ අප්‍රේල් මස 6 වැනිදාට කල් දැමීමට එර්ශාඩ්ට සිදු වෙනවා. මේ අතර විපක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලි සංවිධාන දින දෙකක දැවැන්ත වැඩ වර්ජනයක් මෙහෙයවනු ලබනවා. තව දුරටත් තමන්ට එරෙහි වන්නන් මර්දනය කල ඔහු ඒවාට නායකත්වය දුන් නායිකාවන් දෙදෙනා නිවාස අඩස්සියේ රඳවා තැබීමට නියෝග කරනවා.

1985 වසරේ මාර්තු 1 වනදා සිට සියලුම වැඩ වර්ජන හා උද්ඝෝෂණ තහනම් කළ  එර්ශාඩ් අප්‍රේල් 6 වනදා පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවට මාර්තු 21 වනදා ජනමත විචාරණයක් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කරන්නේ උණ්ඩයෙන් හා භීෂණයෙන් තම බලය කෙසේ හෝ රැක ගැනීමේ අරමුණෙන්.

එර්ශාඩ්ගේ මැතිවරණ ප්‍රචණ්ඩත්වය

සිරගත කළ බෙගම් කලීඩා (Cobrapost)

ජනමත විචාරණය ප්‍රකාශ කිරීමත් සමඟම විරුද්ධ පාක්ෂික නායකයන් විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට එර්ශාඩ් විසින් නියෝග නිකුත් කරනවා. මේ සමඟම විරුද්ධ පක්ෂ නායකයන් විශාල ප්‍රමාණයක් දේශපාලන කටයුතු වලින් ඉවත් වී සැඟවෙනවා.

රට පුරා බෝම්බ පිපිරවීම් විශාල ප්‍රමාණයක් සිදු කරන එර්ශාඩ් එය විරුද්ධ පාක්ෂිකයන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා බව පවසමින් තවත් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගනු ලබනවා. තව ද සිවිල් ඇදුමින් සැරසුණු හමුදා භටයන්, වැසියන් බිය වද්දමින් එර්ශාඩ්ට විරුද්ධව ජන්දය භාවිතා කළහොත් මරා දමන බව පවසමින් ගමින් ගමට ගොස් තර්ජනය කරනවා.

එය ඉතා ප්‍රථමික ජන්ද විමසුමක් වූ අතර හිස්ව ගිය ජන්ද මධ්‍යස්ථාන වල සිටියේ හමුදා නිලධාරීන් පමණි. බංගලාදේශ වැසියන්ට ජන්දය ප්‍රකාශ කිරීමේ උනන්දුවක් නොතිබූ අතර සෑම ජන්ද මධ්‍යස්ථානයකම තබා තිබුණේ ජන්ද පෙට්ටි දෙකකි. එකක එර්ශාඩ්ගේ පින්තූරයක් තිබූ අතර අනෙක කළු පැහැති පෙට්ටියක් විය. ජන්ද පත්‍රිකාවේ කිසිවක් සටහන් නොකළ යුතු අතර එර්ශාඩ්ට පක්ෂව ජන්දය භාවිතා කරනවා නම් එම පත්‍රිකාව එර්ශාඩ්ගේ රුව සහිත පෙට්ටියට දැමිය යුතු අතර විරුද්ධව ජන්දය භාවිතා කරන්නේනම් එය කළු පැහැති පෙට්ටියට දැමිය යුතු විය.

මධ්‍යස්ථාන කිහිපයක බෝම්බ පිපිරවීම් සිදු කල අතර එර්ශාඩ්ගේ අනුගාමිකයන් විසින් මිටි ගණනකින් හොර ජන්ද ප්‍රකාශ කරන්නට විය. බොහොමයක් ජන්ද මධ්‍යස්ථාන පවා ඉදිකර තිබුනේ හමුදා කදුවුරු තුළ හා පොලිස් ස්ථාන වලයි.

ජන්දය ඉතා සාමකාමීව පැවැත්වූ බව රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කරන එර්ශාඩ් ජන්ද දායකයින් ඉතා උනන්දුවෙන් ජන්දය ප්‍රකාශ කල බව පවසා සිටිනවා. ඒ අනුව ප්‍රකාශිත ජන්ද සංඛය්වෙන් 94%ක ප්‍රතිශතයක් එර්ශාඩ්ට ලැබී ඇති බව රජයේ රුපවාහිනී සේවාව මගින් ප්‍රකාශ කර සිටිනවා.

ප්‍රෝඩාවක් වූ ජනමත විමසුමට විරුද්ධව

ජනතාව අමතමින් (New Age bd)

ජනමත විමසුම සම්පුර්ණයෙන්ම ප්‍රෝඩාවක් බව සදහන් කරමින් නැවතත් කරලියට පිවිසෙන බෙගම් කලිඩා හා ෂික් හසිනා එකම වේදිකාවක හිඳිමින් තුන් ලක්ෂයකට අධික ජනතාවක් අමතමින් 1985 වසරේ පෙබරවාරි 14 වනදා ප්‍රකාශ කරන්නේ එර්ශාඩ් ඉල්ලා අස්විය යුතු බවයි.

ඉල්ලා අස්වීම වෙනුවට නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා එල්ල වී තිබෙන ජනතා විරෝධය සමනය කිරීමට සිතන ඔහු 1985 වසරේ මැයි 7 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තීරණය කරනවා.

එර්ශාඩ්ගේ මෙම උගුලට රැවටුණු අවාමි සංගමය මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කරන අතර මැතිවරණය පෙර සේම දූෂණයෙන් හා භීෂණයෙන් යුක්ත විය. ජන්ද මධ්‍යස්ථාන වල බෝම්බ පිපරවූ අතර විරුද්ධ පාක්ෂිකයන්ට වෙඩි තබා මරා දැමීම ද සිදු විය. රජයේ වාහන භාවිත කරමින් එර්ශාඩ්ගේ ආයුධ අතැති අනුගාමිකයන් විසින් වැපිරූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ජන්ද මධ්‍යස්ථාන 284ක ජන්දය පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ නෑ.

පාර්ලිමේන්තුවේ සමස්ත ආසන ගණනින් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත් එර්ශාඩ්ගේ මෙම මැතිවරණ ව්‍යාපාරය කොල්ලකෑම් වලින් හා ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු දූෂිත ප්‍රෝඩාවක් බව මුළු බංගලාදේශයම ප්‍රකාශ කරන නමුත් එර්ශාඩ් පවසන්නේ එය ඉතාමත් සාමකාමී බවයි.

මෙසේ නැවත වසර පහක් ප්‍රචණ්ඩත්වය තුලින් රට පාලනය කරන එර්ශාඩ්ට එරෙහිව සංවිධානය වූ අවාමි හා ජාතික පක්ෂයේ දැඩි උත්සාහය මත 1990 වසරේදී එර්ශාඩ්ව නෙරපා දැමීමට හැකියාව ලැබෙනවා.

කවරයේ ජායාරූපය – Wikimedia Commons

මුලාශ්‍ර –

www.thefamouspeople.com

en.banglapedia.org

www.newworldencyclopedia.org

හිට්ලර් පොල්පොට් සහ ඉඩි අමීන්ලා – උබේසේකර හෙන්නායක

ISBN978 955 573 421 6

Related Articles

Exit mobile version