ඝානාව නම් අප්‍රිකානු රාජ්‍යයට බ්‍රිතාන්‍යය වෙතින් සම්පූර්ණ නිදහස ලැබුණේ 1957 වසරේදී යි. එවකට ‘ගෝල්ඩ් කෝස්ට්’ නමින් හැඳින්වුණු එයට නිදහස ලබා ගැනීම සඳහා පුරෝගාමීව කටයුතු කළ නායකයා වන්නේ ක්වාමේ න්කෲමා යි. ව්‍යක්ත කථිකයකු මෙන් ම බුද්ධිමතකු වූ න්කෲමා නිදහස් ඝානාවේ පළමු රාජ්‍ය නායකයා මෙන්ම එහි දියුණුව සඳහා ක්‍රියා කළ අයෙක් ලෙස සැලකෙනවා.
බොහෝ දෙනා පවසන්නේ ආරම්භය සහ ජනපති පුටුවෙහි අසීමාන්තික බලතල සහිත ව හිඳගැනීමට පෙර කාලය පමණක් සැලකුවහොත් ඔහු එදා මෙදා තුර එහි පහළ වූ හොඳ ම රාජ්‍ය නායකයා බව යි. කෙසේ නමුත් අසීමාන්තික බලතල තමන් වෙත ලැබුණු පසු ඔහු පරිහානියට පත්වූයේ ලොව අනෙකුත් රාජ්‍ය නායකයන්ට පාඩමක් උගන්වමිනු යි.
ජීවිතයේ මුල් අවධිය
ක්වාමේ න්කෲමා උපත ලැබුවේ 1909 වසරේ එවකට ගෝල්ඩ් කෝස්ට් හි න්ක්‍රොෆුල් නම් පෙදෙසේ යි. රෝමානු කතෝලික පවුලක උපත ලැබූ ඔහුගේ පියා රත්‍රන් බඩු නිපදවන්නකු වූ අතර, මව කුඩා කඩයක වෙළඳාමෙහි නිරත වුණා. සිය පාසල් ජීවිතයේ පළමු වසර කිහිපය හල්ෆ් අසිනි හි රෝමානු කතෝලික පාසලක ගත කළ ඔහු සිය ද්විතියික අධ්‍යාපනය 1930 වසරේ දී අචිමොටා පාසලෙන් අවසන් කළා. අනතුරුව ගුරුවරයකු වශයෙන් ඔහු සේවය කරන්නට පටන් ගත්තා. ඒ එල්මිනා සහ ඇක්සිම් රෝමානු කතෝලික ප්‍රාථමික පාසල්වල සේවය කරමිනු යි. මීට අමතර ව සෙමනේරියක ද ඔහු ඉගැන්වීමේ කටයුතු සිදු කළා.
උසස් අධ්‍යාපනය හා දේශපාලන ආගමනය
යොවුන් වියට එළැඹීමත් සමඟ න්කෲමාගේ කැමැත්ත දේශපාලනය දෙසට යොමු වුණා. මේ අනුව වැඩිදුර අධ්‍යාපනය සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ඔහු ගිය අතර 1935 වසරේ දී පෙන්සිල්වේනියාවේ ලින්කන් විශ්විද්‍යාලයට අනුයුක්ත වුණා. සිය මූලික උපාධිය 1939 වසරේදී සම්පූර්ණ කළ ඔහු ඉන් නොනැවතී ශාස්ත්‍රපති උපාධියද එම විශ්වවිද්‍යාලයේ ම සම්පූර්ණ කළා. එම කාලයේ දී ඔහු සමාජවාදී සාහිත්‍ය සහ ජාතිකවාදය පිළිබඳ දැඩිව අධ්‍යයනය කළ අතර, විලැඩිමීර් ලෙනින්, කාල් මාක්ස් වැනි අයගේ මෙන් ම, මාකස් ගාවේ නම් කළු අමෙරිකානු නායකයාගේ ප්‍රකාශන, චරිතාපදාන සහ ප්‍රතිපත්ති වැනි දේ පිළිබඳ හොඳින් කියවා ධාරණය කරගන්නට ඔහු සමත් වුණා.
න්කෲමා ව්‍යක්ත කථිකයෙක් මෙන් ම දූරදර්ශී සැලසුම් සහ නායකත්ව ලක්ෂණ ඇති අයෙක් වන බවට ලකුණු තරුණ කල සිට ම පෙන්වූවා. මේ නිසා ඔහු අමෙරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ අප්‍රිකානු සිසුන්ගේ සංවිධානයේ මුල් පුටුවට පත් වුණා. 1945 වසරේ එංගලන්තය බලා ගිය ඔහු එහි මැන්චෙස්ටර් නුවරදී 5 වෙනි පැන් ඇෆ්‍රිකන් කොංග්‍රසය සංවිධානය කළා.
ගෝල්ඩ් කෝස්ට් සම්මුතිය
මේ කාලය වන විට ඝානාවේ (එකල ගෝල්ඩ් කෝස්ට් ) හි ජේ.බී ඩැන්කුවා ‘ගෝල්ඩ් කෝස්ට් සම්මුතිය’ ඇතිකරගෙන තිබුණා. මෙහි ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන්නට න්කෲමාට ආරාධනා ලැබුණු අතර, ඒ අනුව 1947 වසරේදී සිය මවු රටට ඔහු නැවත පැමිණියා. ඔහුගේ පැමිණීමත් සමඟ ස්වදේශිකයන් රාශියක් ඔහු සහ මේ සම්මුතිය වට රොද බැඳගන්නට වුණා. මෙම සංවිධානය එකල ගෝල්ඩ් කෝස්ට් යටත් කරගෙන සිටින් බ්‍රිතාන්‍යයන්ට හිසරදයක් වූ අතර, මේ නිසා 1948 වසරේ පෙබරවාරි මස න්කෲමා ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් ම සිර භාරයට ගැනෙනවා. කෙසේ නමුත් ඉක්මනින් ම ඔහු නිදහස ලබනවා.
1949 වන විට තමන් සිටි පක්ෂයේ සමහර නිලධාරීන්ගේ මතවාද සමඟ පරස්පරතා ඇති කරගත් න්කෲමා ඉන් ඉවත් වී ‘සම්මුතිවාදී ජනතා පක්ෂය’ (Convention People’s’ Party (CPP) ) නම් පක්ෂයක් ආරම්භ කරනවා. මෙය ඔස්සේ ගෝල්ඩ් කෝස්ට් ඉංග්‍රීසීන්ගෙන් මුදාගනීමේ සටන ඔහු අරඹනවා. ඒ 1950 වසරේ මුල් භාගයේදී යි.
සිර මැදිරියේ සිට අගමැති පුටුව දක්වා
න්කෲමාගේ පක්ෂයේ ක්‍රියාකාරීත්වය බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකයන්ට මහත් බාධා පැමිණවූ අතර, මේ නිසා න්කෲමා නැවත වාරයක් සිරභාරයට ගන්නට ඔවුන් ක්‍රියා කරනවා. කෙසේ නමුත් මේ වන විට ඔහු හා අනෙකුත් ස්වදේශීය ක්‍රියාකාරීන්ගේ ක්‍රියා නිසා බ්‍රිතාන්‍යයන්ගෙන් බොහෝ දේ ඔවුන් දිනා තිබුණු අතර, නිදහස තිබුණේ අතේ දුරක යි. න්කෲමා වසරකට සිපිරිගෙට නියම වූ නමුත්, ගෝල්ඩ් කෝස්ට් හි පළමු මහමැතිවරණය 1951 වසරේ පෙබරවාරි මස 8 වැනි දින පැවැත්වුණා. මින් න්කෲමාගේ සම්මුතිවාදී ජනතා පක්ෂය ජයග්‍රණය කළ අතර, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබුණා. න්කෲමාට අගමැති පදවිය පිරිනැමුණු අතර, ඉක්මනින්ම සිරෙන් නිදහස් වූ ඔහු 1952 වසරේදී ගෝල්ඩ් කෝස්ට් හි පළමු අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනවා.
ගෝල්ඩ් කෝස්ට් ඝානා ජනරජය වී ම දක්වා වූ ගමන
ස්වදේශික අගමැතිවරයෙක් පත් වුව ද ගෝල්ඩ් කෝස්ට් වෙත එක්වර ම නිදහස හිමි වූයේ නැහැ. එයට ඩොමීනියන් තත්ත්වයේ නිදහස ලැබුණේ 1957 වසරේ දී යි. මෙය ලබා ගැනීම සඳහා න්කෲමා අගමැති පුටුවේ සිට ම මහත් පරිශ්‍රමයක් දැරුවා. ඒ අනුව 1957 වසරේ දී එයට ඩොමීනියන් නිදහස ලැබුණේ ‘ඝානාව’ යන නම ද උරුම කර දෙමින්. 1957 වසරේ මාර්තු මස නිදහස් ඝානාවේ පළමු නායකයා ලෙස ක්වාමේ න්කෲමා තේරීපත් වුණා.
සිය පාලනය යටතේ න්කෲමා සංවර්ධන ව්‍යාපෘතීන් රාශියක් සිදු කළා. මංමාවත්, පාසල්, සෞඛ්‍ය පහසුකම් වැනි දේ ඔහු කඩිනමින් දියුණු කළා. ඝානා ජාතිකයන්ට දෙස් විදෙස් රැකියා ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ද ඇරඹුවා. මේ නිසා දිනෙන් දින ඔහු වෙත වූ ජනතා ප්‍රසාදය වැඩි වුණා.
ඝානාව ජනරජයක් වීම සහ න්කෲමාගේ කඩාවැටීම
ඝානා නායක ක්වාමේ න්කෲමාගේ දක්ෂ පාලනය නිසා 1960 වසර වන විට ඝානාව දියුණු තත්ත්වයකට පත් වුණා. එම වසරේ දී ඝානාව ජනරජයක් බවට පත් වූ අතර, න්කෲමා එහි ජනපති බවට පත්වන්නේ අසීමාන්තික විධායක බලයක් තමන් සතු කරගනිමිනු යි.
න්කෲමා දක්ෂ පාලකයෙක් වුව ද යම් දුර්වලතා ඔහුට තිබුණා. හිතුවක්කාරී තීරණ ගැනීම, අවශ්‍ය ප්‍රමාණයට වඩා මර්දනකාරී ලෙස තම විරුද්ධවාදීන් පාලනය කරන්නට යාම ඉන් ද්විත්වයක්. වැඩි වැඩියෙන් ජනතා ප්‍රසාදය දිනාගනු වස් කළු ජාතික අයිතීන් වැනි දේ සහ ජාතිකත්වය ගැන කතා කරන්නටත්, ක්‍රියා කරන්නටත් ඔහු පටන්ගත්තා. මේ නිසා ඝානා භූමියෙහි ප්‍රායෝගික වශයෙන් සිදු කළ යුතු සංවර්ධනය ඔහුට මගහැරුණා. අනවශ්‍ය ලෙස, අන්තරායකාරී ව්‍යාපෘතිවලට ඔහු අතගැසුවා.
ඒවා බහුතරය අසාර්ථක වූයේ, විශාල ආර්ථික අවපාතයක ඝානාව සිර කරමින්. විදේශ ණය අහස උසට යාම නිසා රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ පවා අපහසුතා පැන නැඟුණා. ඔහුට උපදෙස් දෙන කිසිවෙක් ඔහු නොතැකූ අතර, විරුද්ධවාදීන් අත් අඩංගුවට ගෙන ඔවුන් මර්දනය කළා. මේ නිසා රට පුරා උද්ඝෝෂණ සහ කැරලි ගැසීම් පැන නැඟුණු අතර, ඔහු ඒවා ‘ජාතිකත්වයට එරෙහි ව නැගෙන විජාතික කැරලි ගැසීම් ලෙස’ හුවා දක්වන්නට උත්සාහ කළා. නමුත් ඔහුට නොදැනීම ජනප්‍රියතාව ඔහු කෙරෙන් වියැකී ගොස් දේශයක වෛරයට බඳුන් වන නායකයෙක් බවට ඔහු කෙමෙන් කෙමෙන් පත් වුණා. මෙහිදී ඔහු මිත්‍ර රටවලින් තම බලය තබා ගැනීම සඳහා ආධාර ලබාගන්නට ක්‍රියා කළා.
බලයෙන් පහ වීම සහ ජීවිතයේ සැඳෑ සමය
1962 වසර වන විට ඝානාව පුරා න්කෲමාට එරෙහි කැරලි ඇති වී තිබූ අතර, රටේ ආර්ථික තත්ත්වය ද පල්ලම් බැස තිබුණා. තමා අතින් පාලනය ගිලිහෙන බැව් වටහා ගත් ඔහු හමුදාවල බලය තර කොට, දැඩි ලෙස විරුද්ධවාදීන් මර්දනය කරමින් ඉදිරියට යන්නට පටන්ගත්තා. එම වසරේ අගෝස්තුවේ ඔහු ඉලක්ක කර ගත් ඝාතන තැනතින් ඔහු බේරෙන්නේ මේ අතර යි. තවත් ඝාතන තැත් ක්‍රියාත්මක බැව් බුද්ධි තොරතුරු මගින් ඔහුට දැනගන්නට ලැබුණා. ජනතාව ඉක්මන් මැතිවරණයක් ද ඉල්ලා සිටියා.
මැතිවරණයක් පැවැත්වුවහොත් තමන් පරාජය වන බැව් වටහාගත් ඔහු පාර්ලිමේන්තුවේ සිටි පක්ෂ විපක්ෂ බොහෝ දෙනකුට ඒත්තු ගැන්වූයේ එලෙස මැතිවරණයක් පැවැත්වුවහොත් ඒ සියලු දෙනාට ම ගෙදර යන්නට සිදු වන බව යි. එමෙන් ම ජීවිත අවදානමක් ද ඇති වන බව යි. මේ අනුව ඔහු සමස්ත පාර්ලිමේන්තුවේ ම බහුතර බලයක් ලබා ගෙන, තනි පක්ෂයක් සාදා, එහි සදාකාලික ජනපති ලෙසට තමන් පවතින ආකාරයට ව්‍යවස්ථාව වෙනස් කරන්නට ක්‍රියා කළා. බල කෑදර කමින් පක්ෂ විපක්ෂ බොහෝ දෙනා ඊට සහයෝගය දුන්නා. තව දුරටත් රජයේ හමුදාවල ශක්තිය තර කළ ඔහු තමන්ට එරෙහි වන සියල්ල ම ඉක්මනින් අත් අඩංගුවට ගෙන සිර ගත කළා.
1966 වසර වන විට ඝානාව සිටියේ දැඩි ආර්ථික අවපාතයක යි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ වැනි දේ ද එහි හිඟ වී තිබුණා. එම වසරේ පෙබරවාරි මස 24 වනදා න්කෲමා චීනයේ බීජිං නුවරට ගියේ රජ්‍ය තන්ත්‍රික සාකච්ඡාවක් සඳහා යි. මේ අතර ඝානාවේ පොලිසිය සහ හමුදාව එහි බලය සියතට ගෙන තිබුණා. තමන්ට සිය රටට නැවත යා නොහැකි බැව් වටහාගත් න්කෲමා ගිනියාව වෙත ගොස් එහි රැකවරණ ලබා ගත්තා. අනතුරුව රුමේනියාවේ බුකාරෙස්ට් නුවරට ගිය ඔහු 1972 වසරේ මියයන තුරුම ජීවත් වූයේ එහි යි.
පසුවදන
ක්වාමේ න්කෲමා ගැන දේශපාලනික විද්වතුන් මත පළ කරන්නේ, දේශයක් නගාසිටුවන්නට හැකියාව හොඳින් ම තිබූ, දැඩි බල කෑදරකම නිසා එසේ නොකළ, අවසානයේ තමන් ම ගොඩනැඟූ දේශය අමාරුවේ දැමූ නායකයෙක් ලෙස යි. ඔහු නිසා අපහසුවේ වැටුණු ඝානාවට යළි ආර්ථික වශයෙන් ස්ථාවර මට්ටමකට ළඟාවන්නට බොහෝ කලක් ගත වුණා. ජනතාවට හොඳ මුහුණ පෙන්වන්නට ගෙන ආ වැරදි ආර්ථික ප්‍රතිපත්ති, අසීමාන්තික විදේශ ණය ගැනීම්, ඉන් අනවශ්‍ය ඉදිකිරීම් සිදු කිරීම, දූෂිතයින් රැකීම, බදු අඩු කිරීම වැනි කාරණා නිසා න්කෲමා සිය රට ද සමඟින් ලෝදිය හැලියකට පැන්නා හා සමාන බැව් ඔවුන් පවසනවා.
කාරණා කෙසේ වුව ද, ඔහුගේ මරණයෙන් වසර 50 ක් ගත වූ තැන ඝානාව ඔහු සිදු කළ සුබවාදී දේ පිළිබඳ ව වැඩිපුර කතා කරන්නට හුරු වී තිබෙනවා. ඔහුගේ පාලන සමයෙහි ගෙන ආ අධ්‍යාපනික හා සෞඛ්‍ය ප්‍රතිපත්ති අදටත් ක්‍රියාත්මක වන අතර, මේ නිසා ඝානාව අප්‍රිකාවේ යම් දියුණුවක් ඇති රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. ඔහුගේ නමින් ඝානාවේ විශ්වවිද්‍යාලයක් ද විවෘත වී තිබෙනවා.