Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වේල්ස්හි රෝස කුසුම – ඩයනා

ලෝකයේ  ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අතර ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ කාන්තාවන්ගෙන් ඩයනා කුමරියට ජනතා හදවතේ ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන බව ලියා දැක්වීම නිවැරදියි. ජීවත්ව සිටින කාලයේදී මෙන්ම මරණයෙන් පසුව පවා ඇගේ ජනප්‍රියතාව කිසිඳු අඩුවීමක් සිදුවී නෑ. ඩයනා කුමරිය 20වන සියවස තුල වැඩියෙන්ම කථාබහට ලක් වූ චරිතය ලෙස හැඳින්විය හැකි අතර 1999 දී Times සඟරාව මගින් ඇය 20වන සියවසේ වැදගත්ම පුද්ගලයින් 100 දෙනාගෙන් කෙනෙක් ලෙස නම් කර තිබෙනවා.

ලොව පුරා කෝටි ගණනක් ජනතාවගේ නෙත් අගින් කදුළු බිදු ගලායමින් නිමවූ වේල්ස්හි කුමරියගේ ජීවන කතාව තුළ ඇති අප්‍රසිද්ධ සිදුවීම් පෙළක් ගෙන එන්නටයි මෙම ලිපිය ලිවීමට අදහස් කළේ. ඩයනා කුමරියට අතිශයින් ආදරය කරන ඔබ මෙය අනිවාර්යෙන් කියවිය යුතු ලිපියක් වනවා සේම ඔබ දන්නා වෙනත් කරුණුත් comment එකකින් සටහන් කර යන්න අමතක කරන්න එපා.

පුතෙකු වෙනුවට දියණියක් ලැබීම

ඩයනා තම සොහොයුරා සමඟ (pantip.com)

වංශාධිපති ජෝන් ස්පෙන්සර්ට හා ෆ්රාන්සස් ශෑන්ඩ් කිඩ් ආර්යාවට දාව 1961 ජූලි මස 1 වන දින උපත ලබන ඩයනා ෆ්රාන්සස් හෙවත්  ඩයනා ස්පෙන්සර් වෙනුවට දෙමවුපියන් බලාපොරොත්තු වන්නේ තම දේපළ වල හිමිකාරත්වය ලබාගෙන තම පරපුර ඉදිරියට ගෙනයාමට හැකි පුතෙක්. නමුත් එම බලාපොරොත්තුව සුන් කරමින් ඩයනා මෙලොව එලිය දැකීම ඔවුන්ගේ චිත්ත සන්තාපයට හේතු වෙනවා. තම දියණිය අනාගතයේදී ලොවක් වසඟ කරන හා තමන්ට කීර්තියක් අත්කර දෙනු ඇතැයි ඔවුන් මොහොතකටවත් නොසිතන්නට ඇති.

රාජකීය පෙළපතකට උරුමකම් කියූ ඩයනා

ඩයනා කුමරියගේ විලාසිතා අනුකරණය කිරීමේ රැල්ලක් එකළ ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබුණි.  (Elle UK)

ඩයනාගේ මවගේ දෙමාපියන් වන්නේ ෆර්මෝයි බැරන්වරයා හා එම ආර්යාවයි. ඩයනාගේ පියාගේ පරම්පරාවේ දිගටම ආදිපාදවරු, අර්ල්වරු සිටි අතර තුන්වන ජෝර්ජ් රජු විසින් ඩයනාගේ මුත්තණුවන්ට “ස්පෙන්සර්හි අර්ල්තුමා” යන නම්බුනාමය පිරිනමා තිබෙනවා.

මෙලෙස රාජකීය පෙළපතකට උපතින්ම උරුමකම් කියූ ඩයනා පිය පාර්ශවයෙන් එංගලන්තයේ කීර්තිමත් අගමැතිවරයෙකු වූ වින්ස්ටන් චර්චිල්ගේ ඥාතීවරියක් වෙනවා.

මවුපියන් වෙන් වීම තුළින් ලැබූ පීඩාව

ඇයගේ දෙමවුපියන් (Pinterest)

ඩයනාගේ පියා ඉතා අලස තමන්ගේ පාඩුවේ ජිවත් වන්නට හුරු අයෙක් වූ අතර ඔහු තම බිරිය ලන්ඩනයේ ප්‍රියසාද වලට සහභාගී වී රැගුමෙන් ගැයුමෙන් කාලය ගත කරන විට තුවක්කුවත් රැගෙන දඩයමේ ගිය පුද්ගලයෙක්. දෙදෙනාගේ අදහස් නොගැළපුන අතර විටෙක අඩදබර පවා ඇති විය.

ඇයට වයස අවුරුදු හතක් පමණ වන විට මව පීටර් නම් නිත්‍ය නාවික නිලධාරියෙක් සමඟ ඇති වූ පෙම් සම්බන්ධතාවක් හේතුවෙන් ඩයනාගේ පියාගෙන් දික්කසාද වන්නට තීරණය කරනවා. මෙලෙස තම දෙමාපියන්ගේ වෙන් වීම තමාගේ කැරලිකාර හා ආක්‍රමණශීලි ස්භාවයට හේතු වන්නට ඇති බවත් කුඩා කල සිට තමා විප්ලවකාරී හැසිරීමක් ආරෝපණය කර ගන්නට ඇති බවත් ඩයනා පසු කලෙක සදහන් කරනවා. තමාට නිතරම හුදෙකලා හා අනාරක්ෂිත හැඟීම් දැනුනු බවත් කාගේ හෝ අවධානය ලබා ගැනීමට විවිධ ආකාරයේ උපක්‍රම අනුගමනය කළ අයුරු  වැඩිදුරටත් ඇය ප්‍රකාශකර තිබෙනවා.

අ.පො.ස සා/පෙළ නැවත නැවත අසමත් වීම

විටින් විට වෙනස් වූ ඇගේ විලාසිතා (photovvebsite)

විටින් විට වෙනස් වූ ඇගේ විලාසිතා (photovvebsite)

1968 දී රිඩ්ල්න්වර්ත් හෝල්හි බාලිකා පාසලට ඇතුළුවූ ඩයනා ඉගෙනීමෙහි දක්ෂකම් දැක්වූ ශිෂ්‍යාවක් වූයේනම් නෑ. පසුව ඇයට වෙස්ට්හෙල්ත් කාන්තා පාසලට ඇතුළු වීමට සිදුවෙනවා. එහිදී ඇය අ.පො.ස සා/පෙළ විභාගයෙන් දෙවරක්ම අසමත් වෙමින් මුළු පාසැල පුරාම ප්‍රසිද්ධියට පත්වෙනවා.

ඩයනා පාස‍ලේ ජනප්‍රිය චරිතයක් බවට පත්වන්නට හේතුවූ කාරණා 2ක් තිබිණි. ඉන් පළමුවැන්න ස්පෙන්සර් අර්ල්වරයාගේ තෙවැනි දියණිය දෙවරක්ම පළමු පෙළ විභාගය අසමත් වීමයි. දෙවැන්න මුළු පාසලෙන්ම දක්ෂ ලෙස පියානෝ වාදනය කළ හැකි එකම ශිෂ්‍යාව ඇය වීමයි. 1977 දී පාසල් අධ්‍යාපනය නිම කළ ඩයනා සංගීතය සහ බැ‍ලේ නර්තනය තවදුරටත් ප්‍රගුණ කරනු ලබනවා. ඊට අමතරව ප්‍රංශ භාෂාව, ඇදුම් මැසීම, ලඝු ලේඛණය, යතුරු ලියනය මෙන්ම හිම ක්‍රීඩාද ඇය විසින් ඉගෙන ගන්නවා.

සොයුරියගේ  පෙම්වතා ඩයනාගේ පෙම්වතා වීම

ලොවේම අවධානය යොමු වූ මංගල උත්සවය (www.express.co.uk)

1977 වර්ෂය වන විට ඩයනාගේ සොයුරිය වන සාරා, චාල්ස් කුමාරයාගේ පෙම්වතිය බවට පත් වී සිටි අතර චාල්ස් කුමරු ඩයනා ඇතුළු ඇයගේ සොයුර සොයුරියන්ගේ කුඩා කල පටන් මිතුරෙක් වෙනවා.

සාරා විසින් මෙම ප්‍රේම සම්බන්ධය අවසන් කිරීමත් සමඟම 17 හැවිරිදි ඩයනා චාල්ස් සමඟ ක්‍රමයෙන් ප්‍රේමයෙන් වෙලෙනවා. 1980දී රැජිනගේ ආරාධනාවක් මත චාල්ස් කුමරු පෝලෝ ක්‍රීඩා කරනු දැකීම නැරඹීමට යන ඩයනා ලන්ඩනයේ රාජකීය ඇල්බර්ට් ශාලාවේ චාල්ස් කුමරු සමඟ දිගු වෙලාවක් රංගනයේ නිරතවීම එකළ පුවත්පත් මගින් ඉහළින් වාර්තා කර තිබෙනවා. එම වර්ෂයේම රාජකීයයන් සමඟ රාජකීය නෞකාවේ චාරිකාවකට ඩයනා සහභාගී වූ අතර දෙදෙනා නැවත බැල්මොරල් හිදී මුණ ගැසෙනවා. මේ සම්බන්ධය දෙස නිරතුරුව අවධානය යොමු කරමින් සිටි පුවත් පත් වාර්තාකරුවන් විශාල අකුරු වලින් පුවත්පත් වල මෙසේ සටහන් කරනවා.

“ඔහු නැවත ප්‍රේමයෙන් වෙලී ඇත. ඩි ආර්යාව(Lady D) ඔහුගේ අළුත්ම පෙම්වතියයි.”

වයසින් ලාබාල අත්දැකීම් වලින් අඩු ඩයනාගේ මෙම සම්බන්ධයට ඇයගේ දෙමාපියන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැතිමුත් 1981 පෙබරවාරි 24 වන දින නම් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව එම වසරේ ජූලි 29 වන දින බකිංහැම් මාළිගයට යන්නේ මුළු ලොවේම අවධානය දින ගනිමින්. එම විවාහය “20 වන සියවසේ විවාහය” ලෙසද මාධ්‍යය වාර්ථා කලේ එහි තිබූ ජනප්‍රියත්වය නිසාවෙනි. මෙය විවිධ රූපවාහිනී නාලිකා මගින් ලොව පුරා සජීවීව වාර්තා කල අතර එය ප්‍රේක්ෂකයන් මිලියන 750කට අධික සංඛ්‍යාවක් සජීවීව නරඹා තිබුනි.

විවාහයේදී ඩයනා පළදින ලද මුදුව, මංගල ඇදුම ඉතා ඉක්මනින් ලොව පුරා මංගල උත්සව වලදී අනුකරණය කිරීමට පටන් ගන්නවා.

රාජකීය ජීවිතය වදයක් වීම

හැරී හා විලියම් කුමරු සමඟ (PopSugar)

මංගල උත්සවයේදී තෑගි දියයුතු පුද්ගලයන් සැලකීමේදී ඩයනාගේ දැඩි අකමැත්ත මත චාල්ස් විසින් ඔහුගේ හිටපු පෙම්වතියක් වන කැමිලා පාකර්ට ත්‍යාගයක් වෙන් කිරීම විවාහ ජීවිතය ආරම්භ කිරීමේදීම සිදු වූ සිදුවීමක් විය. මාලිගාවේ සම්ප්‍රදායට අනුව දිනකට හතරවරක් ඇදුම් මාරු කිරීම, නිශ්ශබ්දව සියළු කටයුතු කිරීම හා  රාජකීයයන් ප්‍රියමනාප නොවීම වැනි හේතූන් නිසා ඇය වරෙක ඇගේ සේවිකාවකට පවසන්නේ මෙලෙස තමන් දින දහයක් ගත කළහොත් තමන්ගේ සිහිය අනිවාර්යෙන්ම විකෘති වන බවයි.

කුමරු, කැමිලා පාකර් සමඟ සම්බන්ධතා පවත්වන බව දැනගත් ඩයනා විවාහ ජීවිතය පිලිබඳ ඉක්මනින් කළකිරීමට පත්වෙනවා. 1982 ජනවාරි මස චාල්ස් ඇයව තනිකර අශ්වාරෝහක චාරිකාවක් යාමට තීරණය කර තිබු බැවින් මාලිගාවේ ලී තරප්පුවක ඉහළ සිට පහළට පනිනවා. නමුත් ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වන චාල්ස් සුපුරුදු පරිදි තම චාරිකාවේ නිරත වෙනවා. තවත් අවස්ථාවක ඇය කොන්සින්ටන් මාළිගාවේ වීදුරු කැබිනෙට්ටුවක් මතට පනිනවා. තවත් විටෙක දෙහි කපන පිහියකින් ශරීරය කපා ගන්නා ඇය චාල්ස් හා බහින් බස් වූ මොහතක පිහියකින් කලවා හා පපු ප්‍රදේශය කපා ගන්නවා.

විලියම් සහ හැරී යන දරුවන් දෙදෙනා ලැබීමෙන් පසු චාල්ස්‌ කුමරු සහ ඩයනා කුමරිය අතර ටිකෙන් ටික මත ගැටුම් ඇති වීමට පටන් ගැනෙනවා. මෙම මත ගැටුම් පසු කලකදී උග්‍ර වී ගියේ චාල්ස්‌ සහ කැමිලාගේ සම්බන්ධය තව තවත් දැඩි වීමත් සමඟයි. තවදුරටත් චාල්ස්‌ සමඟ පවුල් කෑමට අකමැති වූ ඩයනා 1996 දී ඔහුගෙන් දික්‌කසාද වෙනවා.

ඩයනා කුමරියගේ සමාජ සේවාව

ඇන්ගෝලාවේ බිම්බෝම්බ හේතුවෙන් පාද අහිමි වූ පුද්ගලයන්ගේ සුවදුක් විමසමින් (Newsweek)

එක්සත් ජාතීන් හා සම්බන්ධිත ළමා සුභසාධක කටුතු වලට, ළමා ආරක්ෂක ආයතනය වෙනුවෙන්ද, ළමා විපත් නිවාරණ පදනම, නිවාස සම්බන්ධ පදනම වෙනුවෙන් මෙන්ම ලෝකය පුරා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පුනරුත්තාපනය කිරීමේ ක්‍රියාවලි වලට, අඳ, ගොළු, බිහිරි හා පිළිකා රෝගීන් වෙනුවෙන් ආධාර දීමේ වැඩසටහන් වලට ඇයගෙන් ලැබුනේ නොමසුරු දායකත්වයක්.

1997 දී ඇයගේ ප්‍රධාන සමාජ ව්‍යපාරයකට නොබෙල් ත්‍යාගය හිමි වෙනවා. එම නොබෙල් සාම ත්‍යාගය හිමි වන්නේ දෙවන ලෝක යුද්ධ සමය තුළ හා 20 සියවසේ විවිධ රටවල ඇති වූ සිවිල් යුධ තත්වයන් හේතුවෙන් වල දමන ලද බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ලෝක ජනමතයක් ඇති කිරීම වෙනුවෙන්.

බිම් බෝම්බ ඉවත් කිරීමට තම ස්වේච්ජා දායකත්වය උපරිමයෙන් ලබා දිම මෙහිදී ඇය විසින් සිදු කරනවා. නමුත් මෙය ලැබෙන විට ඇය මියගොස් අවසන්ය.

පෙම් සබදතා

ඩයනා ඩොඩි අල් ෆයිඩ් සමඟ (Lisa’s History Room)

චාල්ස් කුමරුගෙන් වෙන් වූ කාලය තුළදී ප්‍රේම සම්බන්ධකම් කීපයකටම ඇය පැටලෙනවා. 1996දී පාකිස්ථානු ශල්‍ය වෛද්‍යවරයෙකු වූ හස්නාත් ඛාන් සමඟ අවුරුදු 2ක ප්‍රේම සබඳතාවයක් පැවැත් වූ ඇය 1997 ජූනි මස එය නවතා දමනවා.

අනතුරුව ඉන් මාසයක් ගතවත්ම එනම් 1997 ජූලි මාසයේදී ඇයගේ අවසාන පෙම්වතා වූ කෝටිපති ව්‍යාපාරික ඩොඩී අල් ෆයිඩ් සමඟ ප්‍රේම සබඳතාවයක් ආරම්භ කරන අතර 1997 අගෝස්තු මස 31 දින මිය යන තුරුම ඔහු සමඟ සිටිනවා.

මරණය හා රජ පවුලේ හැසිරීම

අවමංගල්‍යය මොහොතේ ඒ අවට පිරි තිබුණු මල් පොකුරු (Pinterest)

විලාසිතා පිළිබඳව ලොව පුරා අවධානයක් දිනා සිටි ඩයනාට රජ පවුලෙන් නොයෙක් චෝදනා එල්ල වෙනවා. 1997 අගෝස්තු මස 31 වන දින ඩොඩි සමඟ සෙයින් ගගේ අල්මා පාලමට යටින් ඇති උමගේදී ගමන් කරන විට රිය අනතුරකට බදුන් වීමෙන් ඩයනා කුමරියගේ පපු කුහරයට දැඩි හානි සිදු වී තිබූ අතර හෘදයට ගිය ඉල ඇටයක් විසින් වම් හෘද ධමනිය පසාරු කර තිබුණි.

මේ පුවත ඇසු සැණින් මුළු ලොවම කම්පා වූ අතර බ්‍රිතාන්‍ය පුවත්පත් විසින් ඇයව සාන්තුවරියක් ලෙස නම් කෙරිණි. සමස්ත ලන්ඩන් නගරයේම ජනයා ඇයට ගරු කිරීමක් ලෙස විදී වලට බසින්නට විය. මේ වන විට ස්කොට්ලන්තයේ සිටි රාජකීය පවුල ඇය වෙනුවෙන් දේව මෙහෙයක් පැවැත්වූවත් එහිදී ඩයනාගේ නම සදහන් වන්නේ නෑ. ඒ හෙයින් ජනතාවගේ ඇති වන නොසන්සුන්තාවය හේතුවෙන් සැත්තැම්බර් මස පස් වනදා ඩයනා මියගිය බව ජාතිය අමතා ප්‍රකාශ කරන්නට රැජිණට සිදු වෙනවා. කෙසේ නමුත් මරණින් පසුව ලොවක් හැඩවූ ඩයනා කුමරිය වත්මන වන විටත්  ජනතාවගේ සිත්වල එලෙසින්ම රැදී සිටිනවා.

මුලාශ්‍ර – Wikipedia,hellomagazine.com, vogue.com, express.co.uk, biography.com, harpersbazaar.com

Related Articles