Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාහිත්‍ය මාසයේ දී සමු ගත් කන්නිමහර ප්‍රාඥයා

කොග්ගල මහා ප්‍රාඥයා වූ මාර් ටින් වික්‍රමසිංහයන්ගෙන් පසු සිංහල සාහිත්‍යයට මහා මෙහෙවරක් කළ තවත් එක් ප්‍රාඥයෙක් වුණේ කේ. ජයතිලක. බොහෝ විචාරකයන් ඔහු හැඳින්වූයේ ශ්‍රී ලංකාවේ අවසන් මහා ගත්කරුවා ලෙස යි. කන්නිමහර ගමේ උපන් නිසා ඔහුට අවසන් කාලයේ කන්නිමහර ප්‍රාඥයා කියලත් කිව්වා. අදටත් ඔහුගේ කෘති නැවත මුද්‍රණ අවුරුදු පතා පළ වෙනවා.

ඔහු තමා උපන් නිවෙස හා ඉඩම පිරිනමා ආරම්භ කළ ‍කේ. ජයතිලක අසපුව හා පුස්තකාලය නිසි නඩත්තුවකින් තොර ව පවතින බවත් පසුගිය දිනවල වාර්තා වුණා. සාහිත්‍ය මාසයේ දී ම සමු ගත් නිරහංකාර ගැමියෙක් වූ කේ. ජයතිලක කවුද කියා මේ සාහිත්‍ය සමයේ අවුස්සලා බලමු.

 ජයතිලක අසපුව – ඇතින් පෙනෙන්නේ ජයතිලක බාල සෙයුරු කේ. ජී. ප්‍රේමරත්න නිවසයි. Kusumsiri Wijayvardhana

ජයතිලක අසපුව

ගම්පහට නුදුරු රදාවාන හන්දියෙන් හැරී කිලෝ මීටර දෙකක් පමණ දුරින් පිහිටි කන්නිමහර ගමේ තමා උපන් ගෙදර තමයි කේ. ජයතිලක සාහිත්‍යවේදියා කේ. ජයතිලක අසුව හා පුස්තකාලය ආරම්භ කළේ. ඒ 2004 ජුනි 4 වැනිදා යි. මෙය පවත්වාගෙන ගියේ කේ. ජයතිලක පදනම හරහා යි. ඔහු එය හදවත මෙන් කැමැත්තෙන් ආරක්ෂා කළ බව එහි උත්සවවලට ගිය ලියුම්කරුටත් වැටහුණා. කේ. ජයතිලක පදනම රජය අනුමත පුණ්‍යායතනයක් කර ගැනීමට තමන් මහත් වෙහෙසක් ගත් බවත් ඉන් පලක් නොවුණු බවත් එහි පැවති උත්සයයකදී කේ. ජයතිලක පැවසුවා ලියුම්කරුට මතක යි.

ඉන් පසු සාහිත්‍ය මාසය වෙනුවෙන් වාර්ෂිකව විවිධ උත්සව සංවිධානය කිරීමටත් ජයතිලක පදනම කටයුතු කළා. මේ සඳහා කේ. ජයතිලක පවුලේ ධනය මුලින් ම වැය කළත් එය දිගට ම කිරීමට අපහසු වීම නිසා පුස්තකාලය සහ එහි කටයුතු අඩපණ වී ඇති බවයි වාර්තා වන්නේ. කන්නිමහර ගමේ විශාල තරුණ පිරිසක් ජයතිලක පුස්තකාලයේ සාමාජිකයන් වී සිටිනවා. මෙහි ජයතිලකයන්ගේ අත්පිටපත්, ඔහු එකතු කළ දුලබ පොත් සහ නිර්මාණ සාහිත්‍ය සහ විචාර කෘති ඇතුළු විශාල පොත් සංඛ්‍යාවක් තිබෙනවා.

පුස්තකාලය පවත්වාගෙන යාමට වෙහෙස වන්නේ එයට යාබද ඉඩමේ පදිංචි ජතයතිලක බාල සොයුරු ලේඛක කේ. ජී. ප්‍රේමරත්න යි. රාජ්‍ය ප්‍රතිපාදනයක් මගින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා හෝ එම පුස්තකාලයට විධිමත් පාලන ව්‍යුහයක් සකස් කළොත් එය මහා සාහිත්‍යධරයාගේ අරමුණ ඉටුවීමක් වන අතර ම කන්නිමර සහ රදාවානට සිදු කරන විශාල සේවයක් ද වෙනවා.

 ජයතිලක පුස්තකාලයේ ජයතිලක පොත් එකතුව – කේ. ජයතිලක පදනම සහ නිදහස් පුස්තකාලය facebook page

කන්නිමහර මහා ප්‍රාඥයා

කේ. ජයතිලක මූලික වශයෙන් නවකතාකාරයෙකි. දෙවනුව කෙටි කතාකාරයෙකි. තෙවනුව කවියෙකි. සිව්වනුව චින්තකයෙකි. මෙහි යම් අපිළිවෙළක් ඇතත්; කාරණාව සත්‍යයෙකි.

මාර්ටින් වික්‍රමසිංහගෙන් පසු සිංහල සාහිත්‍යය හෙබවූ ප්‍රධාන නවකතාකරුවන් හතර දෙනෙක් සිටින බව සමහර විචාරකයන්ගේ පිළිගැනීම යි. ගුණදාස අමරසේකර, කේ. ජයතිලක, මහාචාර්ය සරච්චන්ද්‍ර, සයිමන් නවගත්තේගම ඒ හතර දෙනා යි. මෙයින් කේ. ජයතිලක අන් අයට වඩා වික්‍රමසිංහට සමීප වන්නේ ඔහු තම නිර්මාණවලින් ගමේ සරල චරිතවල ඇතුළාන්තය විවරණය කිරීමට උත්සාහ දැරීම නිසා යි. මේ නිසා ම තමයි ඔහු කන්නිමහර මහා ප්‍රාඥයා ලෙසින් හඳුන්වන්නට වුණේ.

 අසපු බිමේ කන්නිමහර ප්‍රාඥයා ප්‍රතිමාව- කේ. ජයතිලක පදනම සහ නිදහස් පුස්තකාලය facebook page

ජීවන තතු

කිරිඳිවැල රදාවානට නුදුරු කන්නිමහර මැදිහේන නම් පිටිසර ගමේ දී කළුඅච්චි ගමගේ ජයතිලක උපන්නේ 1926 ජූනි මස 26 වැනිදා යි. ඔහුගේ පියා වුණේ කළුඅච්චි ගමගේ අරනෝලිස් අප්පුහාමි යි. මව මද්දුමා අමරසේකර ආරච්චිගේ පොඩි නෝනා යි. කළුඅච්චි ගමගේ ජයතිලක පවුලේ තෙවැනි දරුවා ලෙසයි උපත ලැබුවේ. මේ පවුලේ දරුවන් දෙදෙනෙක් කුඩා කල ම මිය ගොස් තිබෙනවා. ඊට අමතර ව ජයතිලක පවුලේ සොයුරු සොයුරියන් 9 දෙනෙක් සිටියා.

වැඩිමහල් දරුවා වූ කේ. ජයතිලකයන් ගේ බාල කාලයේ ලෝකය වූයේ සිය පවුල යි. ඔහුගේ බොහෝ නිර්මාණවලට පාදක වන ස්ථාන හා වන්නේ ද කුඹුරු, ඇළ දොළ, ඕවිටි, පොල්වතු, රබර් වගා, එළවළු වගාබිම් වලින් වටවූ මේ ප්‍රදේශය ම යි. කහටගහලියද්ද, පින්වත්ත, බතලවත්ත, පුවක්වත්ත, පඹහේන, කිතුල කන්ද, අල්ලිය වත්ත ආදි ගමේ තැන් ඔහුගේ පොත්වල අපට හමුවෙනවා. චරිත තුනක් හි එන කෝකිලාන පමණක් ඔහු ගම ගැන සිතාගෙන තැනූ නිර්මාණාත්මක ග්‍රාම නාමයක්.

 ජයතිලක ඉගෙනුම ලැබූ රදාවාන පාසල චිත්‍රයකින්- සේකරේ සිසුන් facebook page

 

ජයතිලක රදාවාන පිරිමි පාසලෙන් ( අද මහගම සේකර මහා විද්‍යාලය) ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා. පසුව ඔහු ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කොළඹ ලෝරන්ස් විද්‍යාලයට ඇතුළු වෙනවා. එහිදී ඉංග්‍රීසි භාෂා ඥානය වර්ධනය කරගැනීමට ජයතිලක කැපවූ අයුරු ඔහු ලියූ චරිතාපදානය වූ පුංචි පැලේ ගසවෙනා පොතේ විස්තර කරනවා. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගැනීමෙන් පසුව පවුලේ ආර්ථික දුෂ්කරතා ජයගැනීම සඳහා වරින් වර කඩවල් කිහිපයක ලියන්නෙක් ලෙස රැකියා කළ බව සඳහන්. පසුව ඔහු දුරස්ත පාඩම් මාලා සකසන අධ්‍යාපන ආයතනයක රැකියාවක් සොයා ගන්නවා. එහි රැකියාව කරන අතර තමයි පෞද්ගලික ව උසස් අධ්‍යාපනය හදාරන්නේ. පසුව ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගන්නවා.

ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය

තරුණ ජයතිලක ප්‍රාචීන භාෂා වශයෙන් සැලකෙන පාලි හා සංස්කෘත පිළිබඳ දැනුම ද ප්‍රගුණ කර ගැනීමට ඒ අතර ම  උනන්දු වෙනවා. ඔහු සිය රැකියාවට සමුදී ලේඛන කලාව ජීවන වෘත්තිය කරගත්තේ ඉන් පසු යි. 1943 දී ‘වියෝ දසුන’ නම් කුඩා කාව්‍ය සංග්‍රහයක් තමන්ගේ වියදමින් පළ කරමින් තමයි සාහිත්‍ය ලෝකයට ඔහු පිවිසෙන්නේ. ඒ අතර පුවත්පත්වලට ලිපි ලිවීමත් කරනවා. මහගම සේකර ඔහුගේ රදාවාන පාසලේ මිතුරෙක්. සේකර ඒ වනවිටත් පුවත්පත් ලේඛකයෙක් සහ චිත්‍ර ශිල්පියෙක් ලෙස ප්‍රසිද්ධ වී සිටියා. ජයතිලක පසුකලෙක මහගම සේකර සමඟ ලියූ ‘ව්‍යාංගා’ කෘතිය සමඟ පාඨක විචාරක අවධානය දිනා ගත්තා.

 තමන් ම දුරස්ථ අධ්‍යාපන ආයතනයක් ආරම්භ කළ ජයතිලක පසු ව තමන්ට ම අයත් ප්‍රකාශන ආයතනයක් පටන් ගන්නවා. ඒ තම පොත් පළකරවා ගැනීමට ප්‍රකාශකයන් සොයා ගොස් බැරිම තැන යි. පසුව කොළඹ උසාවිය පාරේ පිහිටූ එය ප්‍රදීප ප්‍රකාශකයෝ යි. කලක් සුමනා නැන්දා යැයි දරුවන් හැඳින්වූ ගුවන්විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක සමඟ ජයතිලක විවාහ වන්නේ 1954 දි යි. ඇය හඳමාමා ළමා වැඩසටහන නිසා ඉතා ජනප්‍රිය වෙනවා.

 කේ. ජයතිලකගේ නවකතා – bookfair.lk

සාහිත්‍ය සේවය

1943 දී ලේඛනයට පිවිසි ජයතිලක මිය යන විට ලියා තිබූ නවකතා ගණන 18ක්. කෙටි කතා සංග්‍රහ 8ක් ද ඔහුගේ නිර්මාණ ගොන්නට ඇතුළත්. ඔහුගේ මුල් ම කවිපොත අලෙවි වුණේ නැහැ. ඔහු මුලින් ම ලේඛකයෙක් වශයෙන් ජනතාව අතරට එන්නේ ‘දෛවයෝගය විචාරය’ (1953) නම් විභාවලට අදාළ ග්‍රන්ථය පළ කිරීමෙන් පසුව යි.

‘පුනරුත්පත්තිය’ (1955) ජයතිලකයන් නිර්මිත ප්‍රථම කෙටිකතා සංග්‍රහය යි. පසුව හේ කටු සහ මල්, වජිර පබ්බත, අතීරණය, එකගෙයි අවුරුද්ද, නොනිමි සිත්තම සහ වෙනත් කතා, දියණිය ආපසු එයි යන කෙටිකතා සංග්‍රහ ද ලියා පළ කරනවා.

පසුකාලීන ව ජයතිලක වඩාත් ප්‍රකට වන්නේ නවකතා රචකයකු ලෙස යි.‍ ඔහු ගේ පළමු නවකතාව වන ‘පරාජිතයෝ’ පළවුණේ 1960දි යි. එයට සාර්ථක පාඨක ප්‍රතිචාර හිමි වෙනවා. පසුව ඔහු චරිත තුනක්, දෙලොවට නැති අය, අධිෂ්ඨාන, රාජපක්ෂ වලව්ව, කාලේ අයංතෙ, මායා මාලිගාව, පිතා මහ, පුංචි රාල, පුංචි රාලගේ මරණය, අප්‍රසන්න කතාවක්, මතු සම්බන්ධයි, පියා සහ පුත්තු, මහල්ලකුගේ ප්‍රේම කතාව හා ‘වරණය, ඡන්දය හා මනාපය’ යන නවකතා පළ කරනවා.

කේ. ජයතිලක තමාගේ ලේඛන දිවිය ගැන වරෙක මෙසේ සඳහන් කර තිබෙනවා:

‘‘නූතන සිංහල ලේඛකයන් අතර මා තරම් පහළින් ආරම්භ කළ වෙනත් ලේඛකයකු ඇතැයි නොසිතමි. ඒ නිසා ම ඉදිරිපත් වූ බාධා මධ්‍යයෙන් මා ගමන් කර ඇත්තේ ම විසින් පවා බලාපොරොත්තු නොවන ලද තරම් දුරකි. ඉතා හෙමින් පැමිණි මේ ගමන නොනවත්වා තවමත් යන්නේ හෙමිහිට ය. නූතන සිංහල සාහිත්‍ය ‍ක්ෂේත්‍රය දෙස බලන විට සමහරුන් ඔවුන් සිටින තැන්වලට වෙනත් අය විසින් ගෙනවිත් තබන ලද අය වෙති. තවත් සමහර අය එක්කෝ වක්‍ර මාර්ගවලින් නැත්නම් සෘජු මඟින් ම සැප පහසු වාහනවල පැමිණි අය වෙති‘‘ (පුංචි පැළේ ගස වෙනා – කේ.ජයතිලක).

 පුස්තකාලයක් වූ මහගෙදර- කේ. ජයතිලක පදනම සහ නිදහස් පුස්තකාලය – facebook page

චරිත තුනක්

කේ. ජයතිලකගේ මතු නොව ශ්‍රී ලංකාවේ ද බිහිවූ විශිෂ්ට නවකතාවක් ලෙස චරිත තුනක් ප්‍රසාදයට පත් ව තිබෙනවා. හැටේ දශකයට අදාළ ව කොළඹට තදාසන්න සියනෑ කෝරළයේ සිදු වෙමින් පැවැති සමාජ විපර්යාසයේ මුහුණුවරක් මෙම කෘතියේ විස්තර කෙරෙනවා: ඔහු එහි ප්‍රධාන චරිතය වන ඉසාගේ චරිතය ගැන සඳහන් කරන්නේ“මෙහි එන කතා නායකයා උගතෙක් නෙවේ.” කියා යි. පියාගේ මරණින් පසු පවුලේ බර කරට ගනිමින් අක්කර දහයක් තරම් ඉඩම් පරිශ්‍රයක එළවළු වගාවට බැස්ස ඉසා නම් පවුලේ වැඩිමහල් චරිතය එම පවුලේ අනෙක් සහෝදරයන්ට උදව් කරමින් තම පෙම් සබඳතාව පවා අමතක කරන බෝධිසත්ව ආකාරයේ චරිතයක්.

“මුලදී මා විසින් අදහස් කරන ලද්දේ උදෑසනකින් පටන් ගන්නා කතාව කාල භේදයක් නොදක්වා කියවන්නාට එක දවසකින් සිදු වු අයුරින් පෙනෙන පරිදි මුළු ජීවිත කාලයක්ම එහි අඩංගු කිරීමය. මෙය නොකළ හැක්කක් නොවන නමුත් ඒ උපක්‍රමය සඳහා විශාල කාලයක් හා ශ්‍රමයක් මිඩංගු කළ යුතුය. නවකතාවක අන්තර්ගතයට වඩා ආකෘතිය ඉහළින් සලකන බොහෝ විචාරකයන් ඇතත් මම ගණයට ඇතුළත් නොවෙමි. නවකතාවක අන්තර්ගතය මෙන්ම ආකෘතිය ද වැදගත් නමුත් ඉන් කියන දෙයට විනා එය කියන ආකාරයට එතරම් වෑයමක් දැරිය යුතු යැයි මම කල්පනා නොකරමි.” ජයතිලක චරිත තුනක් ගැන පවසන්නේ එලෙසයි.

මෙහි චරිත තුන ලෙස විකාශනය වන ඉසා, සනා, රංජිත් යන සහෝදරයන් තිදෙනා හැටේ දශකයේ බස්නාහිර පළාතේ ගමක සිදුවන විවිධ හැලහැප්පීම් මැද පවුලේ බර කරට ගත් වැඩිමහල් සහෝදරයෙක් ගැන පාඨකයන්ට හෙළි කරනවා. චරිත තුනක්’ නවකතාවේ එක ම පවුලේ සහෝදරයන් තිදෙනා අතර දක්නට ලැබෙන ප්‍රතිවිරුද්ධ ගති ස්වභාවයන්ගේ විවිධත්වය කලාත්මක ව ඉදිරිපත් කිරීමට කතුවරයා සමත් ව තිබෙනවා. මේ ඇසුරෙන් තිලක් ගුණවර්ධන ජාතික රූපවාහිනියට නිර්මාණය කළ ටෙලි නාට්‍යය ද ඉතා අගනා නිර්මාණයක් වුණා.

‘පුංචි රාල’ හා පුංචිරාළගේ මරණයත් ගැමි සමාජ පසුබිම පාදක කරගෙන රචිත නවකතා දෙකක්.

 ජයතිලක ලියූ ළමා කතා -bookfair.lk

ළමා පොත් 10ක්

බොහෝ සම්මානනීය ජ්‍යෙෂ්ඨ ලේඛකයන් ළමා පරපුර අමතක කළත් මේ ලේඛකයා ළමා සාහිත්‍යය සඳහා ද දායකත්වයක් දක්වා තිබෙනවා. ඔහු කුඩා ළමයන්ට කියවීමට සරල බසකින් ළමා කෘති දහයක් පමණ රචනා කළා. මිහිපිට සුරපුර, ඔරලෝසුවා ටයිම් පීස්, පුංචි වලාකුළ සහ පුංචි පුතා, ඉරුණු බළලා, ඩිංගිරි, වන සරණ, රුවන් කුමාරි, ඩුං ඩුං ඩුඩුං ඩුං, ඉස්සරහ බලන්නෝ හා අයියයි නංගියි කැපී පෙනෙයි ඒවා යි. ඔහු තම ළමා පොත්වල චිත්‍ර ගැනත් උනන්දු වුණා. ඒවායෙන් වැඩි ප්‍රමාණයක චිත්‍ර නිර්මාණය කර අත්තේ ජයරත්න සමරසේකර යි.

 බිරිය සුමනා ජයතිලක සමඟ- sundayobserver.lk

විචාර ග්‍රන්ථ

ජයතිලක සාහිත්‍ය නිර්මාණවලට පමණක් සීමා නොවී සාහිත්‍ය විචාර ග්‍රන්ථ කිහිපයක් ද පළ කළා. ඉන් ඔහුගේ විචාර ප්‍රතිභාව හෙළි කරනවා. කතා කලාවේ විකාශනය, සාහිත්‍ය විචාර සටහන්, සිංහල නවකතා කලාවේ සංස්කෘතික පදනම, නවකතාව හා සමාජය, නූතන සිංහල ව්‍යාකරණයේ මුල්පොත, සාහිත්‍ය විචාර චින්තාවලි, ජාතක සාහිත්‍ය හා වෙස්සන්තර, සාහිත්‍ය නිර්මාණයේ මුල්පොත, සමාජ ප්‍රගතිය හා සාහිත්‍යය යන ග්‍රන්ථ අගනා කෘති සේ සම්භාවනාවට පත්ව තිබෙනවා.

ඔහු විචාරාත්මක සංස්කරණ කිහිපයක් ද පළ කළ අතර විමර්ශන සහිත මයුර සන්දේශය, විමර්ශනය සහිත කව්සිළුමිණ මහා කාව්‍යය, විමර්ශන සහිත සිදත් සඟරාව, විමර්ශන සහිත පරෙවි සන්දේශය, සීගිරි ගී මේ අතරින් කිහිපයක්. සීගිරි ගී පොත වෙනුවෙන් කොළඹ මහජන පුස්තකාලයේ පැවති සම්මන්ත්‍රණයේ දී කතුවරයා පැවසුවේ තමන් සීගිරි කුරුටු ගී ගැන මහාචාර්ය පරණවිතාන ලියූ පොත කියවා ලැබූ වින්දනය එම පොත රචනා කිරීමට මුල්වූ බව යි.

 ජයතිලක අසපුවේ දී නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය රූපගත කරමින් -කේ. ජයතිලක පදනම සහ නිදහස් පුස්තකාලය facebook page

 

ලේඛක සංගම්

ලේඛකයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ද ඔහු ඉදිරිපත් වුණා. තවත් ලේඛකයන් සමඟ එකතු වී සිංහල ලේඛක සංගමය පිහිටුවීම එහි මුල් පියවර යි. එම ‍සංගමයේ ප්‍රථම භාණ්ඩාගාරික ලෙස හෙතෙම කටයුතු කළා. ඔහු 1997 – 2001 කාලය තුළ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ධූරය දරුවා. ඒ කාලයේදී ඔහු ලියූ එකම කෘතියක් වත් රාජ්‍ය සම්මානයක් සඳහා ඉදිරිපත් කළේ නැහැ.

සාහිත්‍ය සම්මාන

රාජ්‍ය සාහිත්‍ය සම්මාන හතක් ඔහුගේ නවකතා, කෙටිකතා ආදී පොත්වලට හිමි වුණා. ජයතිලකගේ භාෂා සාහිත්‍ය සේවාව අගයමින් ‘සාහිත්‍ය රත්න’ රාජ්‍ය සම්මානය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ප්‍රදානය කළා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් ‘සාහිත්‍ය සූරී’ සම්මාන ආචාර්ය උපාධිය ද ඔහුට පිරිනැමුවා. නමුත් ඔහු කිසිදිනක මේ සම්මාන නාම භාවිත කළේ නැහැ. කලක් සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති ලෙසත් ඔහු කටයුතු කළා.

දැයෙන් සමු ගනී

මඳ කලක් අසනීපයෙන් සිටි මහා ගත්කරුවා 2011 සැප්තැම්බර් 14 වැනි දා සාහිත්‍ය මාසයේ දී ම දැයෙන් සමුගන්නවා. ඔහු මිය යන විට 85 හැවිරිදි වියේ පසුවුණා.
අවසාන කටයුතු ඔහුගේ අවසාන කැමැත්ත පරිදි මහගෙදර වන රදාවාන, කන්නිමහර පිහිටි ජයතිලක අසපුවෙහි මහජන ගෞරවය පිණිස තැන්පත් කර තැබීමෙන් පසු කන්නිමහර ගමේ දීම සිදු කළේ සාහිත්‍යයට ළැදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයත් හිමි වුණා. ඒ අතර ම ගමට යාමට තිබූ අබලන් පාර අවසන් කටයුතු කිරීමට පෙර දින රජය මගින් කාපට් දමා සංවර්ධනය කර තිබුණා.

කවරයේ ඡායාරූපය- ජයතිලක උපන් මහගෙදර සහ කේ. ජයතිලක- Kusumsiri Wijayvardhana/ sundayobserver.lk

මූලාශ්‍ර:
පුංචි පැලේ ගසවෙනා- කේ. ජයතිලක
dinamina.lk
silumina.lk

Related Articles