බහුතරයක් රුසියානුවන්ගේ අප්‍රසාදයටත්, ජාත්‍යන්තරයේ බුහුමනටත් පාත්‍ර වූ සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා වූ මිහායෙල් ගෝර්බචෙව් පසුගිය දා අවසන් ගමන් ගියේ ය. නිරවි යුද්ධය නිමා කිරීමට පෙරමුණ ගැනීම සම්බන්ධයෙන් ප්‍රචලිත වුව ද ගෝර්බචෙව් තුළ සැඟවුණු දැඩි පරිසර ලෝලියා හඳුනා ගැනීමට සමත් වුණේ එදා මෙදා තුර අල්පයක් වූ පිරිසක් පමණි.
සෝවියට් දේශප්‍රේමියකු නොවන බවට තමාගේ ම රටවැසියන් වෙතින් හංවඩු ගැසුණු ගෝර්බචෙව්ගේ පරිසර හිතකාමී මෙහෙවර ද ඒ නිසා ම අවඥාවටත්, නොසලකා හැරීමටත් බඳුන් විය. වර්තමානයේ ලෝකය හමුවේ ඇති දැවැන්ත පාරිසරික අර්බුදයේ පීඩනය ගෝර්බචෙව් වැනි නායකයන්ගේ නික්ම යාමත් සමඟ වැඩි වැඩියෙන් දැනෙන්නට පටන් ගැනීම අරුමයක් නොවේ.
පාරිසරික අර්බුදය ගැන කල් ඇතිව අනාවැකියක්
1980 දී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වඩාත් පුළුල් කරමින් නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ගෝර්බචෙව් පියවර ගැනීමත් සමඟ සෝවියට් වැසියන් මුල්කොට ම ප්‍රසිද්ධියේ කතා කරන්නට පටන් ගත්තේ පාරිසරික අර්බුදය ගැන ය. සෝව්යට් රුසියාවේ එවකට පැවති මහා පරිමාණයේ ඉපැරණි කම්හල්වලින් සිදුවන පරිසර දූෂණයට එරෙහි ව නොපැකිළ ව සිය කෝපය පළ කිරීමට රුසියානුවෝ මෙම නව ප්‍රතිසංස්කරණ අවියක් කර ගත්හ. ජනතා විරෝධතා කෙතරම් ප්‍රබල වූයේද යත් පරිසර දූෂණයට තුඩු දුන් එවැනි කම්හල් එක්දහස් තුන්සියයක් වසා දැමීමට ගෝර්බචෙව් පරිපාලනය පියවර ගත්තේ ය. එපමණක් ද නොව එකල සිටි සෙසු ජාත්‍යන්තර නායකයන් අතර කැපී පෙනෙන අනන්‍යතාවක් ගෝර්බචෙව්ට උරුම කර දීමට ද ඔහුගේ මෙම පරිසර හිතකාමී ආකල්ප හේතු විය.
“ මේක තවදුරටත් කල් දාන්න පුළුවන් අර්බුදයක් නෙවෙයි. මං හිතන්නේ විසිඑක්වන සියවසේ කාර්ය සාධන වාර්තාවේ අංක එකට එනවා ඇත්තේ පාරිසරික අර්බුදයයි.“
අමෙරිකානු ජාතික මහජන ගුවන් විදුලිය සමඟ 2000 වසරේ දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී ගෝර්බචෙව් එලෙස කියා සිටියේ ය.
“ අපි හිතනවා නම් අපි නිකම් ම ඉඳලා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන් කියලා, ඒ කියන්නේ ස්වභාව ධර්මයා එයා විහින් ම එයාගේ සම්පත් හා හැකියා භාවිත කරලා මේ තත්ත්වය සමනය කරාවි කියලත්, අපිට මේ හිටියා වගේ ම අපේ වගකීම් විරහිත ක්‍රියාකලාපය වෙනස් නොකර තවදුරටත් ඉන්න පුළුවන් කියලා, ඒක බොරුවක්. ඒකෙන් වෙන්නේ තත්ත්වය තවත් උග්‍ර වෙන එකයි.“
සීතල යුද්ධය නිමා කිරීමේ පුරෝගාමියා
ගෝර්බචෙව්ගේ අභාවයට සමගාමී ව ජාත්‍යන්තරයෙන් වැල නොකැඩී ගලා ආ උත්තමාචාරවලට ප්‍රධානත ම හේතුවක් වූයේ වසර ගණනාවක් පුරා සෝවියට් රුසියාවත්, බටහිරත් අතර පැවති සීතල යුද්ධය නිමා කිරීමට ඔහුගෙන් ඉටු වූ පුරෝගාමී මෙහෙවර යි. ඔහුගේ ලිබරල්වාදී දැක්ම, දේශපාලනික ප්‍රතිසංස්කරණ, පෙරෙස්ට්‍රොයිකාව මෙන් ම සෝවියට් සමූහාණ්ඩුවේ බිඳ වැටීම යනාදිය ද ගොර්බචෙව් ජාත්‍යන්තරයේ ඉහළින් වැජඹීමට හේතුකාරක විය. ඒ සියල්ලටත් වඩා ජනපති ධූරයෙන් නික්ම යාමෙන් පසු වුව ද පාරිසරික ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් ඔහු ප්‍රකට කළ අප්‍රතිහත කැපවීම ද මිහායෙල් ගෝර්බචෙව් ජාත්‍යන්තරයේ අපමණ ගෞරවාදරයට ලක්වීමට එක් ප්‍රධාන ම හේතුවක් වූ බව විද්වතුන් පවසයි.
හරිත කුරුස සංවිධානයේ නියමුවා
ජනපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් දෙවසරකට පසු ගෝර්බචෙව් ජාත්‍යන්තර හරිත කුරුස සංවිධානය යනුවෙන් ලාභ නොලබන පදනමක් පිහිටුවීමට මූලික විය. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය අනුව යමින් පිහිටවූවක් වූ හරිත කුරුස සංවිධානය පාරිසරික අර්බුදයට විසඳුම් සෙවීම අරමුණු කොට ගත්තක් විය. කාලගුණික විපර්යාසයේ සිට මහා පරිමාණයේ පාරිසරික විනාශවලට හේතුවන අවි ආයුධවලින් රසායනික වශයෙන් සිදුවන දූෂණය යනාදී පුළුල් වපසරියක පැතිරුණු සංසිද්ධි ගණනාවක් සඳහා විසඳුම් සෙවීම හරිත කුරුස සංවිධානයේ අභිප්‍රාය විය.
පාරිසරික ඛේදවාචකයට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් ගෝර්බචෙව් කෙතරම් අන්තයකට ගියා ද යත්, ඔහුගේ එම කැපවීම හා උනන්දුව සෙසු සමකාලීන නායකයන්ව මවිත කරවනසුලු විය. එකල ලෝක නායකයන් ගෝර්බචෙව්ගේ මෙම පරිසර හිතවාදී දැක්ම කෙරෙහි දැක්වූ ආකල්පය හොඳින් ම විස්තර කරන්නේ ඇඩම් කොනුස්වෙස්කි ය. 2008 – 2017 දක්වා වූ කාලයක් හරිත කුරුස සංවිධානයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඇඩම් කොනුස්වෙස්කි පවසන්නේ ගෝර්බචෙව් වැනි ලෝක දේශපාලන ඉතිහාසය වෙනස් කිරීමට සමත් වූ පුද්ගලයකු වෙතින් පරිසරය සම්බන්ධයෙන් එවැනි උනන්දුවක් බොහෝ දෙනකු බලාපොරොත්තු නුවූ බව ය.
“ අදටත් බහුතරයක් ලෝක නායකයන් එතරම් තැකීමක් නොකරන පාරිසරික විනාශය හා කාලගුණික විපර්යාසය වගේ ගැටලු කඩිනමින් විසඳීම සඳහා යුහුසුළු වීමේ වැදගත්කම අවධාරණය කළේ ඔහු යි. හුඟක් අය පුදුම වුණා ගෝර්බචෙව් වගේ ප්‍රබල රාජ්‍ය නායකයෙක්, මෑත කාලයේ දී ගෝලීය දේශපාලනය කෙරෙහි දැවැන්තම බලපෑමක් ඇති කිරීමට සමත් වූ නායකයෙක් පරිසරය වගේ මාතෘකාවක් ගැන මේ තරම් උනන්දු වෙන්නේ ඇයි කියලා“ ඇඩම් පවසයි.
තම රටවැසියන්ගෙන් අවඥා සහගත ප්‍රතිචාර
ලෝකයේ සෙසු රටවලින් සම්භාවනාවට පාත්‍ර වුව ද, රුසියාව තුළ එවන් බුහුමනකට පාත්‍ර නොවූ ගෝර්බචෙව්ගේ දැඩි පාරිසරික ඇල්ම කෙරෙහි රුසියානුවන් බැලුම් හෙළුවේ සැක මුසුව ය. හරිත කුරුස සංවිධානය පිහිටවූ කල, වාර්තාකරුවන් ගෝර්බචෙව්ගෙන් විමසා සිටියේ චර්නෝබිල් ඛේදවාචකය සිදු වූ අවදියේ දී ඒ ගැන කරුණු වසන් කිරීමට සෝවියට් රුසියානු පරිපාලනය උත්සාහ ගත්තේ ඇයිද කියා ය. එපමණක්ද නොව සෝවියට් සමූහාණ්ඩුව සතු භාවිතයෙන් ඉවත් කළ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක හා වෙනත් විකිරණශීලී අපද්‍රව්‍ය මුහුදට හෙළීම වැලැක්වීමට තමා සතු අධිකාරි බලය භාවිත නොකිරීම සම්බන්ධයෙන් ද ගෝර්බචෙව් විවේචනයට ලක්වුණේ වරක් දෙවරක් නොවේ. සෝවියට් නායකයා සමීප ව ඇසුරු කර ඇති ඇඩම් කොනුස්වෙස්කි වැන්නවුන් පවසන්නේ ඔහුට හරිත කුරුස සංවිධානය පිහිටුවීමට පෙලැඹවීමක් ලැබුණේ චර්නෝබිල් සිද්ධිය වැනි පාරිසරික ඛේදවාචක නිසා බව ය.
“ වලාකුළක් පැතිර යනවා වගේ වේගයෙන් කාර්මික ව්‍යසනවලින් ඇතිකරන බලපෑම කෙතරම් වේගයකින් දේශ සීමාවලින් ඔබ්බට ව්‍යප්ත වෙන්න පුළුවන්ද කියන එක එයා කම්පනයට පත් කළා. පාරිසරික ගැටලු දේශ සීමා අසලින් නවතින්නේ නැති බවත්, ඒවා පාලනය කරන්න ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යයි කියන කාරණයත් එයාට අවබෝධ කෙරෙව්වේ චර්නෝබිල් ඛේදවාචකයයි.“ කොනුස්වෙස්කි පවසයි.
මිනිස් ක්‍රියාකාරකම් නිසා හටගන්නා පාරිසරික ව්‍යසන සම්බන්ධයෙන් ඔහු තුළ විශේෂ උනන්දුවක් හට ගැනීමට මුල්වුණේ 1930 දී ජෝෂප් ස්ටාලින් ක්‍රියාත්මක කළ සාමුහිකකරණ කෘෂිකාර්මික වැඩසටහන ය. එහි ප්‍රතිඵලයක් ලෙස රුසියානුවන් මුහුණ දුන් සාගතයෙන් සිය සොයුරියන් දෙදෙනකු හා මාමා කෙනකු මිය යාමේ දුක්බර අතීතය ද ගෝර්බචෙව් කෙරෙහි විශාල බලපෑමක් ඇති කිරීමට හේතු ව තිබිණි.
“ මං විශ්වාසයෙන් කියනවා අද මනුෂ්‍ය සංහතිය හමුවේ තිබෙන කඩිනමින් ම විසඳුම් සෙවිය යුතු අර්බුදය පරිසර දූෂණය කියලා….“ 2006 වසරේදී ගෝර්බචෙව් එලෙස ලියා තිබිණි.
පරිසර දූෂණය හා දිළිඳුකම අතර වන බැඳීමක්
Friends of Earth International සංවිධානයේ හිටපු උප සභාපතිවරයා වන ටෝනි ජුනිපර් පවසන්නේ මීට වසර තිහකට එපිට අතීතයක දී වුව ද ගෝර්බචෙව් පරිසර දූෂණයට කඩිනමින් විසඳුම් සෙවීම අතිශය වැදගත්කොට සැලකූ බව ය. එය එකල සිටි සෙසු බොහෝ නායකයන්ට අරුමයක් විය. ඒ, වැඩිදෙනකු පාරිසරික ව්‍යසනය සැලකුවේ අනාගතයට හිමි අභියෝගයක් ලෙස නිසා ය. විශේෂයෙන් ම පාරිසරික ව්‍යසනය හා දරිද්‍රතාව අතර බොහෝ දෙනෙක් නොදකින අන්දමේ බැඳීමක් ඇති බව වටහාගත් නායකයෙක් වන්නේ මිහායෙල් ගෝර්බචෙව්ය . ඒ ගැන පාරිසරික ක්‍රියාකාරිණියක වන ජේන් ගුඩාල් පවසන්නේ මෙවැන්නකි.
“මට ඔහු කිහිපවරක් ම හමුවෙලා කතා කරන්න ලැබිලා තියෙනවා. වෙනත් නායකයන් නොකළ අන්දමේ කැපවීමක් ඔහු පරිසරය වෙනුවෙන් කළා. විශේෂයෙන් ම දිළිඳුකම හා තිරසාරත්වය අතර පුදුමාකාර සබඳතාවක් තිබෙන බව ඔහු වටහා ගෙන හිටියා. දරිද්‍රතාව පිටුදැකීමේ වැදගත්කම ඔහු අවබෝධ කර ගත්තේ පරිසර දූෂණයට විසඳුමක් විදිහට යි. ඒ කියන්නේ යමෙක් අතිශයින් ම දිළිඳු නම් ඔහු තමාගේ පැවැත්ම වෙනුවෙන් පරිසරය විනාශ කරන්න පවා පෙලඹෙන්න පුළුවන් කියන එක ඔහු වටහාගෙන හිටියා. “ ජේන් ගුඩාල් පවසයි.
1980 – 2000 අතර කාලයේ දී ගෝර්බචෙව් සුප්‍රකට හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝ, රොබට් රෙඩ්ෆෝඩ්, හා සී.එන්.එන්. නාලිකාවේ නිර්මාතෘ ටෙඩ් ටර්නර් වැනි සුපිරි චරිත සිය හරිත කුරුස සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයට හඳුන්වා දුන්නේ ය. එවැනි ක්‍රියාකාරකම් හරහා මෙම සංවිධානය කෙරෙහි ජනතා ආකර්ශනය යොමු කරවීමට ඔහු ගත් උත්සාහය ගෝර්බචෙව් සෝවියට් නායකත්වයෙන් ඉවත් වීමත් සමඟ අඩාල වූ බව නොරහසකි. එය රතු කුරුස සංවිධානය හා සමාන ජනප්‍රියත්වයක් කිසිදා හිමිකර ගත්තේ නැත. රසායනික අවි තොග විනාශ කිරීම හා එවැනි අවිවලින් පරිසරයට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සැලකිය යුතු උනන්දුවක් ඇති කිරීමට ගෝර්බචෙව්ගේ හරිත කුරුස සංවිධානයට හැකි වූ බව පවසන්නේ කොනුස්වෙස්කි ය.
“ ගෝර්බචෙව් ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ වෙනත් බොහෝ නායකයන්ට වඩා පාරිසරික ආකල්පවලින් ඔහු ඉදිරියෙන් සිටි නිස යි. වත්මන් පරම්පරාව මුහුණ දෙමින් සිටින අභියෝග මීට සෑහෙන කලකට කලින් අවබෝධ කරගැනීමේ පුදුමාකාර හැකියාවක් ඔහුට තිබුණා“ කොනුස්වෙස්කි කියයි.