Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

16 වන සියවසේ යුරෝපයේ විසූ මහා ධනවතා: යාකොබ් ෆුගර්

තුර්කිවරුන් කොන්ස්තන්තිනෝපල් නගරය 1453 දී අල්ලා ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන්  යුරෝපයේ සිටි ක්‍රිස්තියානි ජාතික වෙළෙඳුන්ට සාම්ප්‍රදායික වෙළෙඳ මාර්ග භාවිත කිරීමට තිබුණු ඉඩකඩ ඇහිරී ගියා. තුර්කිවරුන් වෙළෙඳ භාණ්ඩවල මිල වැඩි කිරීම, තීරුබදු ගාස්තු වැඩි කිරීම, සහ නිසි වේලාවට භාණ්ඩ ලබා නොදීම වැනි හේතු නිසා යුරෝපයේ වෙළෙඳුන්ට නිසි අයුරින් සිය වෙළෙඳාම් කටයුතු කරගෙන යාමට හැකි වුණේ නැහැ. එමඟින් අරාබි ජාතික වෙළෙඳුන් සතු වෙළෙඳ ඒකාධිකාරයක් ගොඩනැඟුණා.

කොන්ස්තන්තිනෝපලය තුර්කීන් අතට පත්වීම – greekherald.com.au

 

එම යුගයේ අරාබි වෙළෙඳුන්ගේ ඒකාධිකාරය බිඳ දැමීම සඳහා යුරෝපීයයන් දැඩි සටනක නිරත වුණා. එකල දේශ ගවේෂණ කටයුතුවල නිරත වීම හේතුවෙන් යුරෝපීය රටවල්වලට ඉහළ ආදායමක් ලැබුණා. එනිසා 16 වන සියවස වෙද්දී යුරෝපයෙන් මහා ධනවතුන් බිහිවන්නට පටන් ගත්තා. ඒ අයුරින් යුරෝපයේ බිහිවුණු විශාල ධනවතුන් අතර යාකොබ් ෆුගර් ඉදිරියෙන් ම සිටියා. 

උපත සහ ජීවිතයේ මුල් අවධිය 

යාකොබ් ෆුගර් ජර්මනියේ ඔග්ස්බර්ග් හිදී 1459 මාර්තු 6 වැනිදා උපත ලැබුවා. ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළෙඳ පවුලක ඉපදුණු යාකොබ්ට සහෝදර සහෝදරියන් 11 දෙනෙක් සිටියා. ෆුගර් පවුලේ මුතුන් මිත්තන් අතීතයේ සිට ම ඉතාලිය සමඟින් රෙදිපිළි වෙළෙඳාමේ නිරත වුණු නිසා ඔවුන්ට  විශාල ධනවතුන් බවට පත්වීමට හැකි වුණා. කුඩා යාකොබ් 10 හැවිරිදි වියේ පසුවෙද්දී ඔහුගේ පියා මිය ගියා. ඉන් අනතුරුව යාකොබ්ගේ මව සහ වැඩිමහල් සහෝදරයන් වෙළෙඳාම් කටයුතු කරගෙන ගියා.

යාකොබ් ෆුගර් කුඩා කාලයේ දී – alamy.com

 

ඔවුන් වෙළෙඳ කටයුතුවල නිරත වන අයුරු නිරීක්ෂණය කළ යාකොබ් අනාගතයේ දී සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට සිහින මැව්වා. 1473 වසර වන විට ෆුගර් පවුලේ ව්‍යාපාර මුළු යුරෝපය පුරා ම පැතිරී තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් යුරෝපයේ මහා ධනවතුන් සේ වැජඹුණා. ඒ අයුරින් කාලය ගෙවීයද්දී රෝමයේ 3 වන ෆෙඩ්‍රික් අධිරාජ්‍යයා ෆුගර් පවුලෙන් විශාල ණය මුදලක් ලබා ගත්තා. එයට ගරු කිරීමක් ලෙස ෆුගර් පවුලට ලිලී මල් ලාංඡනයක් පිරිනැමීමට අධිරාජ්‍යයා තීරණය කළා. ඉන් පසුව ෆුගර් පවුලේ කීර්තිය මුළු යුරෝපය පුරා ම පැතිරී ගියා. 

තෙවන ෆෙඩ්‍රික් අධිරාජ්‍යයා – wikipedia.org

 

විධිමත් අධ්‍යාපනයක් ලැබූ පුද්ගලයෙක්  

ඉදිරි අනාගතයේ දී යුරෝපයේ කීර්තිමත් ව්‍යාපාරිකයෙක් බවට පත්වීමට නම් ඉහළ අධ්‍යාපනයක් ලබා ගත යුතු බව යාකොබ්ට ඒත්තු ගියා. එනිසා ඔහු 14 හැවිරිදි වියේ දී උසස් අධ්‍යාපන කටයුතු සඳහා වැනීසිය බලා පිටත් ව ගියා. එම අවධිය වන විට වැනීසිය යුරෝපයේ ප්‍රධානත ම වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබුණා. එනිසා එහි ගත කළ කාලය තුළ ආර්ථික විද්‍යාව, බැංකුකරණය, ව්‍යාපාර අධ්‍යාපනය, ලෝහ වෙළෙඳාම වැනි ක්ෂේත්‍ර පිළිබඳව පුළුල් දැනුමක් ලබා ගැනීමට ඔහුට හැකි වුණා. වසර 14ක කාලයක් වැනීසියේ ගත කළ යාකොබ් 1487 වසර වන විට යළි සිය රටට පැමිණියා. ඒ වන විට ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබඳ ඔහුට ඉහළ දැනුමක් තිබුණා. එම දැනුම යොදා ගෙන නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම තරුණ යාකොබ්ගේ අරමුණ වුණා.

15 වන සියවසේ දී වැනීසිය – historycrunch.com

ලෝහ පතල් ව්‍යාපාරයට සම්බන්ධ වීම 

15 වන සියවස අග භාගය වන විට යුරෝපය තුළ ලෝහ වෙළෙඳාම ජනප්‍රිය වෙමින් පැවතුණා. එකල රන්, රිදී, තඹ, සහ යකඩ, වැනි ලෝහ සඳහා වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් පැවතුණා. එනිසා එම ව්‍යාපාරය හරහා විශාල ආදායමක් ලබා ගත හැකි බව තරුණ යාකොබ්ට අවබෝධ වුණා. නමුත් එම යුගයේ දී  ලෝහ පතලක් පවත්වා ගෙන යාම සඳහා අධික මුදලක් අවශ්‍ය වුණා.

 ලෝහ පතල් කර්මාන්තයේ යෙදී සිටි කුඩා ව්‍යාපාරිකයන්ට විටින් විට මුදල් අමාරුකම් ඇති වුණා. එවැනි ව්‍යාපාරිකයන්ට මුදල් ණයට දීම හරහා ඔවුන්ගේ ව්‍යාපාරවල කොටස්කරුවෙක් වීමට යාකොබ්ට හැකි වුණා. එහි දී ඔහු මුලින් ම මුදල්  ණයට ලබා දුන්නේ ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් හි නැගෙනහිර ඇල්ප්ස් කඳු ප්‍රදේශය ආශ්‍රිත ව රිදී පතල් පවත්වාගෙන ගිය කුඩා ව්‍යාපාරිකයන් පිරිසකට යි. පළමු වසරේ දී රිදී ව්‍යාපාර කොටස් හරහා යාකොබ්ට සැලකිය යුතු තරම් මුදලක් ලැබුණා. ඉන් අනතුරුව යාකොබ් ලෝහ පතල් ව්‍යාපාරයට අවතීර්ණ වීමට තීරණය කළා. 

තරුණ යාකොබ් ෆුගර් – gettyimages.com

 

යුරෝපයේ ප්‍රමුඛත ම ලෝහ පතල් ව්‍යාපාරිකයෙක් බවට පත් වීම 

අගරදගුරු සිගිස්මන්ඩ් 1487-88 කාල වකවානුව වන විට ඔස්ට්‍රියාවේ සිටි ඉතාමත් ධනවත් මෙන් ම බලවත් පුද්ගලයෙක්. ඔහු ඒ වන විට ඔස්ට්‍රියාවේ ආදිපාදවරයා වශයෙන් කටයුතු කරමින් සිටියා. එකල ටයිරෝල් ප්‍රදේශයේ තිබුණු තඹ සහ රිදී පතල්වල අයිතිය පැවතුණේ සිගිස්මන්ඩ් සතු ව යි. ඔහුගේ සුඛෝපභෝගි ජීවන රටාව සහ දුර්වල මුදල් පරිපාලනය නිසා පතල්වල කටයුතු කරගෙන යාම සඳහා මුදල් හිඟයක් ඇති වුණා. 

අගරදගුරු සිගිස්මන්ඩ් – wikipedia.org

 

එම අවස්ථාවේ ආදිපාදවරයාට මුදල් ලබා දීමට ඉදිරිපත් වුණු යාකොබ් එම පතල් ව්‍යාපාරයට සම්බන්ධ වී සැලකිය යුතු තරම් ලාභයක් උපයා ගත්තා. දුර්වල පරිපාලනය හේතුවෙන් ආදිපාද සිගිස්මන්ඩ්ට 1490 දී සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදු වුණා. ඉන් පසුව රෝම අධිරාජ්‍යයකු වුණු 1 වන මැක්සිමිලියන් රජු ටයිරෝල් හි පතල්වල පාලනය සියතට ගත්තා. ඒ මොහොතේ රජතුමාට මුදල් ණයට දීමට ඉදිරිපත් වුණු යාකොබ් අඛණ්ඩව එම ව්‍යාපාරයේ කොටස්කරුවෙක් බවට පත් වෙමින් විශාල ලාභයක් උපයා ගත්තා.  

1 වන මැක්සිමිලියන් අධිරාජ්‍යයා – oeaw.ac

 

තඹ සහ රිදී පතල් කර්මාන්තය සඳහා මුදල් ආයෝජනය කිරීම හරහා ධනවතෙක් වුණු යාකොබ් උපයා ගත් මුදල්වලින් කොටස් අලුතින් පතල් ආරම්භ කිරීම සඳහා වෙන් කළා. එහි දී ඔහු මුලින් ම කළේ පළපුරුදු පතල් සේවකයන් පිරිසක් සිය පතල්වල සේවය කිරීම සඳහා බඳවා ගැනීම යි. ඉන් පසුව යාකොබ් ඔස්ට්‍රියාව සහ හංගේරියාව යන රටවල් ආශ්‍රිත ව තඹ සහ රිදී පතල් ආරම්භ කළා.

එම පතල්වල සේවය කළ පළපුරුදු සේවකයන් කාර්යක්ෂම අයුරින් වැඩ කළ නිසා යාකොබ්ට අධික ලාභයක් ලැබුණා. එම ලාභයෙන් කොටස් ආයෝජනය කරමින් ඔහු තව තවත් පතල් ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 16 වන සියවස ආරම්භ වෙද්දී යුරෝපයේ ප්‍රමුඛත ම ලෝහ පතල් ව්‍යාපාරිකයෙක් ලෙසින් වැජඹීමට යාකොබ්ට හැකි වුණා. ඒ අයුරින් ධනවතෙක් වුණු යාකොබ්ට තව තවත් මුදල් උපයා ගැනීමට බලය අවශ්‍ය වුණා. එනිසා ඔහු 1 වන මැක්සිමිලියන් නම් රෝම අධිරාජ්‍යයා සමඟින් සමීප මිතුදමක් ගොඩ නඟා ගත්තා. 

පැරණි පතලක් – Flickr.com  

 

1 වන මැක්සිමිලියන් අධිරාජ්‍යයා සමඟ ඇති කර ගත් සබඳතා 

3 වන ෆෙඩ්‍රික් අධිරාජ්‍යයාගෙන් පසුව ඔහුගේ පුත් 1 වන මැක්සිමිලියන් රාජ්‍යත්වයට පත් වුණා. ඔහු බලයට පත්ව වැඩි කලක් යන්නට පෙර යාකොබ් සමඟින් සබඳතා ඇති කර ගත්තා. ඔහුගේ පියා වුණු 3 වන පෙඩ්‍රික් ද යාකොබ්ගේ පවුලේ උදවිය සමඟ සබඳතා පවත්වමින් ඔවුන්ගෙන් විවිධ ආධාර උපකාර ලබා ගත්තා. මැක්සිමිලියන් අධිරාජ්‍ය තනතුරට පත්වන විට යාකොබ් සතුව ඇති පදම් මුදල් තිබුණු නිසා ඔහු අධිරාජ්‍යයාගේ ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කරමින් ඔහුගේ සමීපත ම මිතුරෙක් බවට පත් වුණා. එම මිතු දම හරහා තමන්ගේ ව්‍යාපාර තව තවත් පුළුල් කිරීම යාකොබ්ගේ එකම අරමුණ වුණා. 

මැක්සිමිලියන්ගේ ඥාති පරපුරේ උදවිය එම අවධියේ දී අවට රටවල්වල ධනවත් රජ පවුල්වල කුමර කුමරියන් සමඟින් විවාහ වුණා. එම විවාහ සඳහා යාකොබ් යහමින් මුදල් වියදම් කළා. එම විවාහ නිසා මැක්සිමිලියන්ට විශාල වශයෙන් ඉඩකඩම් ලැබුණා. එසේ ලැබුණු ඉඩකඩම්වලින් කොටසක් යාකොබ්ගේ නමට පැවරීමට අධිරාජ්‍යයා කටයුතු කළා. මැක්සිමිලියන් තරමක් විනෝදයට බර පුද්ගලයෙක් වුණු නිසා නිකරුණේ මුදල් නාස්ති කළා. එනිසා ඔහු සතු ව තිබුණු වටිනා මන්දිර සහ ඉඩකඩම් විකිණීමට පවා සිදු වුණා. එම ඉඩකඩම් සහ මන්දිර නොවටිනා ගණන්වලට මිල දී ගත් යාකොබ් මහා ධනවතෙක් බවට පත් වුණා.  

මැක්සිමිලියන් අධිරාජ්‍යයා ඔහුගේ පවුලේ උදවිය සමඟ – wikimedia.org

 

දශක 2ක පමණ කාලයක් ව්‍යාපාරික කටයුතුවල නිරතවීමෙන් පසුව මහා ධනවතෙක් බවට පත් වුණු යාකොබ් තම බලය වැඩි කර ගන්නා ආකාරය පිළිබඳ කල්පනා කළා. ඉන් අනතුරුව ඔහු සිය බලාපොරොත්තුව පිළිබඳ ව මැක්සිමිලියන්ට පවසා සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් යාකොබ් කුඩා ගම් කිහිපයක පාලකයා වශයෙන් පත් කළා. ඊට පසු යුගයේ දීත් ඔහුට තවත් සැලකිය යුතු තරම් ගම් ප්‍රමාණයක පාලක තනතුර ලබා දුන්නා.

එහි දී ඔහුට ගම් 50ක පමණ අධිපති තනතුර හිමි වුණා. ඔහු සාර්ථකව එම ගම්මාන පාලනය කළ නිසා පසු යුගයක ප්‍රාදේශිය පාලකයෙක් බවට පත්වීමට අවස්ථාව ලැබුණා. එපමණක් නොව වංශවතෙක් සේ වැජඹීමට ද අවස්ථාව හිමි වුණා. එදා මැක්සිමිලියන් සමඟින් පැවැත්වූ සබඳතා හේතුවෙන් යාකොබ්ගේ ජීවිතය වඩාත් උසස් තත්ත්වයකට පත් වුණා.

යාකොබ් ෆුගර් වංශවතෙක් බවට පත්වීමෙන් පසුව – nytimes.com

 

යුරෝපයේ මහා ධනවතා ලෙසින් වැජඹීම 

ආර්ථික විද්‍යා සිද්ධාන්ත පිළිබඳ ව මනා දැනුමක් තිබුණු පුද්ගලයෙක් වුණු යාකොබ් ආයෝජන හරහා විශාල ලෙස ලාභ ලබා ගත්තා. එහි දී ඔහු අදාළ කාලයට ගැළපෙන ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කිරීම විශේෂත්වයක් වුණා. යාකොබ්ට ව්‍යාපාර හරහා ධනය ගලාගෙන ආ කාලයේ දී යුරෝපීයයන් දේශ ගවේෂණ කටයුතුවල නිරතවෙමින් සිටියා. ඔවුන් ඒ හරහා මුදල් සම්භාරයක් උපයා ගත්තා. ඒ පිළිබඳ හොඳින් අධ්‍යයනය කළ යාකොබ් දේශ ගවේෂණ කටයුතු සඳහා මුදල් ආයෝජනය කළා. එපමණක් නොව දේශ ගවේෂකයන්ගේ උදව්වෙන් ඔහුගේ තඹ සහ රිදී ලොව පුරා ම බෙදා හැරීමට තරම් මෙම මහා ධනවතා සූක්ෂම වුණා. 

පෙරදිගට ගිය දේශ ගවේෂකයන් – medium.com

 

1498 දී වස්කෝ ද ගාමා ඇතුළු පිරිසක් ඉන්දියාවට ගොඩ බැස්සා. ඉන් පසුව පෘතුගීසීන් කුළුබඩු වෙළෙඳාම ආරම්භ කළා. ඒ හරහා ඔවුන්ට විශාල මුදලක් උපයා ගැනීමට හැකි වුණා. පෘතුගීසීන් කුළුබඩු වෙළෙඳාම හරහා ලබන ලාබය දුටු යාකොබ් එම වෙළෙඳ කටයුතු සඳහා සම්බන්ධ වුණා. ෆ්රැන්සිස්කෝ ද අල්මේදා නම් පෘතුගීසි සෙනෙවියාගේ නායකත්වය යටතේ ඉන්දියාවට ගිය නැව් 22කට අනුග්‍රහය ලබාදුන් යාකොබ් ඒ හරහා තව තවත් මුදල් උපයා ගත්තා.

එපමණක් නොව ඔහු ෆර්ඩිනැන්ඩ් මැගලන්, ගාර්සියා ද ලොයිසා වැනි දේශ ගවේෂකයන් සඳහා ද අනුග්‍රහය ලබා දුන්නා. ඒ අයුරින් සිදු කළ ආයෝජන හරහා උපයා ගත් වත්කම් නිසා 1520 වසර පමණ වෙද්දී යුරෝපයේ මහා ධනවතා ලෙසින් වැජඹීමට යාකොබ්ට හැකි වුණා. 

වස්කෝ ද ගාමා ඉන්දියාවට ගිය අවස්ථාව – wbur.org

 

යාකොබ්ගේ සමස්ත වත්කම් ප්‍රමාණය 

හදිසියේ මතු වුණු අසනීප තත්ත්වයක් නිසා 1525 දෙසැම්බර් 30 වැනිදා යාකොබ්ගේ මරණය සිදු වුණා. ඒ වන විට ඔහු සතු ව තිබුණු වත්කම්වල මුළු වටිනාකම ගිල්ඩර් මිලියන 2ක් ලෙස සටහන් වුණා. එම මුදල එවකට යුරෝපයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%කට සමාන වුණා. එදා ඔහුගේ මුළු වත්කම්වල වටිනාකම අද වන විට අමෙරිකානු ඩොලර් මිලියන 328ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.  එදා මෙදාතුර යුරෝපයෙන් බිහිවුණු ධනවත් ම මිනිසා ලෙසින් යාකොබ් තවමත් වැජඹෙනවා. ඔහු නිවැරදි ලෙස මුදල් ආයෝජනය කරමින් මහා ධනවතෙක් බවට පත්වුණා.  

 

කවරයේ ඡායාරූපය- යාකොබ් ෆුගර් - blog.nationalmuseum.ch 

මූලාශ්‍ර:

biography.yourdictionary.com

fugger.de nypost.com

blog.nationalmuseum.ch

medievalists.net t

hefamouspeople.com

marketwatch.com  

Related Articles