Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආර්ථික අවපාතයෙන් අමෙරිකාව ගලවා ගත් ෆ්රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට්

අමෙරිකානු ව්‍යවස්ථාවට අනුව ඕනෑම  ජනාධිපතිවරයකුට බලයට පත්විය හැක්කේ අවස්ථා දෙකක දී පමණ යි. එරට ඉතිහාසය තුළ එක්තරා ජනාධිපතිවරයකුට අවස්ථා4ක දී බලයට පත්වීමට අවස්ථාව හිමි වුණා. එම සුවිශේෂී වරම හිමි වුණේ ෆ්රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට් නම් ජනාධිපතිවරයාට යි. 

ෆ්රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට් – history.com

 

1930 දශකය මුල් භාගය වන විට අමෙරිකාවේ මහා ආර්ථික අවපාතයක් ඇති වුණා. එම ආර්ථික අර්බුදය ආරම්භ වී වසර කිහිපයකින් රූස්වෙල්ට් අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත් වුණා.

ඔහුගේ දූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් වසර 6ක කාලයක් තුළ අමෙරිකානු ආර්ථික අර්බුදය නිමා වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රූස්වෙල්ට් ජනාධිපතිවරයාට වාර දෙකකට වඩා අමෙරිකානු ජනාධිපති තනතුර දැරීමට වරම් ලැබුණා. 

ආර්ථික අවපාතය හමුවේ අසරණ වුණු අමෙරිකානු දරුවෝ -24newshd.tv

 

එසේ කඩා වැටී තිබුණු අමෙරිකානු ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා ෆ්රෑන්ක්ලීන් රූස්වෙල්ට් ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙළ පිළිබඳ ගැන තොරතුරුයි මේ.

අමෙරිකානු මහා ආර්ථික අවපාතය ඇති වුණු ආකාරය 

1920 දශකයේ මැද භාගයේ දී අමෙරිකාවේ කාර්මික ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් දියුණුවට පත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ග්‍රාමීය අමෙරිකානුවන් දහස් ගණනක් නාගරික ප්‍රදේශ කරා සංක්‍රමණය වන්නට පටන් ගත්තා. කාර්මික ක්ෂේත්‍රය තුළ ඇති වුණු පිබිදීමත් සමඟින් අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ කොටස්වල මිල ගණන් ඉහළ යන්නට පටන් ගත්තා.

එනිසා අමෙරිකානු ජනතාව කොටස් වෙළෙඳපොළේ වැඩි වශයෙන් ආයෝජන සිදු කළා. සමාජයේ පහළ පන්තියේ රැකියාවල නිරත ව සිටි උදවිය පවා කොටස් වෙළෙඳපොළේ ආයෝජන සිදුකිරීම විශේෂ සිදුවීමක් වුණා. එසේ සිදුවුණු ආයෝජන නිසා 1929 වසර ආරම්භ වෙද්දී අමෙරිකානු කොටස් වෙළෙඳපොළ විශාල ලෙස ප්‍රසාරණය වී තිබුණා.

අමෙරිකානු කොටස් වෙළෙඳපොළ 1920 දශකයේ දී – history.com

 

ඉදිරි අනාගතයේ දී කොටස් වෙළෙඳපොළේ කොටස්වල මිල ගණන් තව තවත් ඉහළ යනු ඇතැයි සිතූ අමෙරිකානුවන් වැඩි වශයෙන් කොටස් මිල දී ගත්තා. අමෙරිකානු මහ බැංකුව 1929 මාර්තු 25 වැනිදා අනතුරු ඇඟවීමක් කරමින් නිවේදනය කළේ කොටස් වෙළෙඳපොළ අස්ථාවර වෙමින් පවතින බව යි. එය ඇසීමෙන් කලබලයට පත් වුණු බොහෝ උදවිය මිල දී ගත් කොටස් වේගයෙන් කොටස් විකිණීමට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කොටස් වෙළෙඳපොළේ  කඩාවැටීම  ඇරඹුණා. එම ආර්ථික පරිහානිය 1929 ඔක්තෝබර් මාසය වන විට උච්චත ම තත්ත්වයකට පත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තම පාඩුව මඟහරවා ගැනීමට බොහෝ දෙනෙක් වෙළෙඳපොළ කොටස් විකිණීම ඉක්මනින් සිදු කළා. 

කොටස් වෙළෙඳපොළේ කඩා වැටීම

1929 ඔක්තෝබර් 24 වැනිදා  කොටස් මිලියන 12.9ක් ගනුදෙනු සිදු වීම නිසා කොටස් වෙළෙඳපොළේ කඩා වැටීම ආරම්භ වුණා. එදින කොටස් වෙළෙඳපොළට එහි වටිනාකමින් 11%ක් අහිමි වුණා. අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ කඩා වැටීම ආරම්භ වුණු එම දිනය පසුව කළු බ්‍රහස්පතින්දා ලෙසින් හැඳින්වුණා. ඔක්තෝබර් 28 වැනිදා වන විට තත්ත්වය වඩාත් දරුණු අතට හැරුණා.

එම දිනයේ තවත් ආයෝජකයන් රැසක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට තීරණය කළා. ඊට පසු දින එනම් ඔක්තෝබර් 29 වැනිදා කොටස් මිලියන 16ක් ගනුදෙනු වීම හේතුවෙන් කොටස් වෙළෙඳපොළ දැවැන්ත කඩාවැටීමකට ලක් වුණා. එනිසා එදිනට කළු අඟහරුවාදා යන නාමය පට බැඳුණා. එසේ කොටස් වෙළෙඳපොළ කඩාවැටීමත් සමඟින් අමෙරිකානු මහා ආර්ථික අවපාතය ආරම්භ වුණා. 

කළු අඟහරුවාදා කොටස් වෙළෙඳපොළ අසල ප්‍රදේශය – gothamist.com

 

ආර්ථික අවපාතයෙන් අමෙරිකානුවන් පීඩා විඳි ආකාරය 

1929 ඔක්තෝබරයේ අමෙරිකානු කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් පසුව එරට තුළ විශාල ආර්ථික අවපාතයක් ඇති වුණා. එම කාල වකවානුව වන විට අමෙරිකාව තුළ විරැකියා ප්‍රතිශතය ද ඉහළ ගොස් තිබුණා. එරට ශ්‍රම බළකායෙන් 30%ක පමණ ප්‍රතිශතයකට රැකියා නොතිබීම නිසා විශාල අර්බුදයක් නිර්මාණය වුණා. නිෂ්පාදන ක්‍රියාවලිය පහත වැටීම හේතුවෙන් රට තුළ භාණ්ඩ හිඟයක් නිර්මාණය වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් බඩු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. එම යුගයේ දී එරට කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ දක්නට ලැබුණු කඩා වැටීම හේතුවෙන් රටේ ආහාර හිඟයක් ද පැවතුණා. උද්ධමනය, ආහාර හිඟය, භාණ්ඩ හිඟය, විරැකියාව වැනි හේතු නිසා එදා අමෙරිකානු ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වුණා.

ආර්ථික අවපාතයෙන් පීඩා විඳි අමෙරිකානුවන්ට සහන ලැබුණු ආකාරය – forbes.com

 

ෆ්රෑන්ක්ලීන් රූස්වෙල්ට් බලයට පත්වීම 

37 වන අමෙරිකානු ජනාධිපතිවරණය 1932 නොවැම්බර් 8 වැනිදා පැවැත්වුණා. එහි දී රිපබ්ලිකන් පක්ෂයෙන් හිටපු ජනාධිපති හර්බට් හූවර් සටනට පිවිසෙද්දී ඩිමොක්‍රටික් පක්ෂයෙන් ෆ්රෑන්ක්ලීන් ඩී. රූස්වෙල්ට් තරග වැදුණා. හර්බට් හූවර් 1928-1932 කාල සමයේ අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කළා. ඔහුගේ පාලන සමය ආරම්භ වී වසරක් ගතවීමට පෙර එරට තුළ ආර්ථික අවපාතයක් ඇති වුණා. 

හර්බට් හූවර් – history.com

 

අමෙරිකාව ආර්ථික වශයෙන් පිරිහීමකට ලක් ව තිබුණු යුගයක 1932 ගිම්හාන ඔලිම්පික් උලෙළ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වුණා. 1923 අප්‍රේල් 9 වැනිදා රෝමයේ දී පැවති ඔලිම්පික් සමුළුවේ දී 1932 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය අමෙරිකාවට හිමි වුණා.

එනිසා ආර්ථිකකය කඩා වැටී තිබුණු මොහොතක ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට අමෙරිකානුවන්ට සිදු වුණා. එසේ පැවැත්වූ ඔලිම්පික් උළෙලට අමෙරිකානු ජනයාගෙන් විරෝධය එල්ල වුණා. ජනාධිපති හර්බට් හූවර් ඔලිම්පික් උළෙල විවෘත කිරීම සඳහා එහි නොයාම සුවිශේෂී සිදුවීමක් වුණා.

1932 ගිම්හාන ඔලිම්පික් උළෙල – latimes.com

 

හූවර් ජනාධිපතිවරයා රට පාලනය කළ සිව් වසර තුළ අමෙරිකාවේ අර්බුද රැසක් නිර්මාණය වුණා. එනිසා අමෙරිකානුවන්ගේ අපේක්ෂාව වුණේ රූස්වෙල්ට් අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත් වනු දැකීම යි. ජනාධිපතිවරණ සටන සඳහා පිවිසි රූස්වෙල්ට් අමෙරිකානුවන් ඉදිරියේ දිවුරා සිටියේ කඩා වැටී තිබෙන අමෙරිකානු ආර්ථිකය ගොඩනැඟීමට ඔහු ඇපකැප වී වැඩ කරන බව යි.

රූස්වෙල්ට්ගේ එම වචන විශ්වාස කළ ලක්ෂ සංඛ්‍යාත අමෙරිකානුවන් ඔහුට ඡන්දය ලබා දුන්නා. එනිසා ඡන්ද විද්‍යාල ආසන 531ක් අතුරින් 472ක් දිනාගෙන අමෙරිකාවේ 32 වන ජනාධිපතිවරයා බවට පත්වීමට රූස්වෙල්ට්ට වරම් ලැබුණා. 

ෆ්රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට් ජනාධිපති තනතුරට පත්වීම – youtube.com

 

ආර්ථික අර්බුදය විසඳීමට රූස්වෙල්ට් ගත් පියවර 

අමෙරිකානු ආර්ථික අර්බුදය විසඳීමට ජනාධිපති රූස්වෙල්ට් ඉදිරිපත් කළ නව වැඩපිළිවෙළ New Deal යන නමින් හැඳින්වුණා. එහි දී ආර්ථික අර්බුදය සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට දින සියයේ වැඩසටහනක් ඔහු ඉදිරිපත් කළා. එය 1933 මාර්තු මාසයේ දී ක්‍රියාත්මක වුණා. එම වැඩසටහන මඟින් රටේ කර්මාන්ත ක්ෂේත්‍රය නඟා සිටුවීම, කෘෂිකාර්මික ක්ෂේත්‍රය නගා සිටුවීම, විරැකියාව අවම කිරීම, කඩා වැටී තිබුණු බැංකු පද්ධතිය යළි නගා සිටුවීම වැනි දේ පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමු වුණා.

රූස්වෙල්ට් ජනාධිපතිවරයා ලබා දුන්  නිවැරදි නායකත්වය නිසා දින 100 වැඩසටහන සාර්ථක වුණා. කඩා වැටී තිබුණු ආර්ථිකය ගොඩනැඟීම සඳහා ගත් කඩිනම් පියවරවලින් පසුව එම වැඩසටහනේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කළා. 

රූස්වෙල්ට් යුගයේ අමෙරිකානු කර්මාන්තශාලාවක සේවකයෝ – pbs.org

අමෙරිකානු ආර්ථිකය අඳුරෙන් එළියට 

1933-1936 කාලය තුළ අමෙරිකානු ආර්ථිකය ගොඩනැඟීම සඳහා අලුතින් පනත් කිහිපයක් හඳුන්වා දීමට රූස්වෙල්ට් රජය කටයුතු කළා. එපමණක් නොව රටේ ප්‍රශ්න විසඳීම සඳහා අරමුදල්, සංවිධාන වැනි දේත් ආරම්භ කළා.  

කෘෂිකාර්මික ගැළපුම් පනත 

අමෙරිකානු කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ තිබුණු ගැටලු විසඳීමේ අරමුණ ඇතිව මෙම පනත හඳුන්වා දුන්නා. රූස්වෙල්ට් බලයට පත් වී වැඩි කලක් යන්නට පෙර ඇති වුණු කෘෂිකාර්මික අතිරික්තය  අවම කිරීම මෙම පනතේ අරමුණක් වුණා. එහි දී  අලුත් බෝග වගාව කෙරෙහි ගොවීන් උනන්දු කිරීම රජයේ අරමුණ වුණා. ගොවීන්ට සහන මිලට ණය ලබාදීම, වගා සඳහා අවශ්‍ය වුණු තාක්ෂණික උපදෙස් ලබා දීම, අස්වනුවලට ඉහළ මිලක් ලබා දීම වැනි පියවර මෙම පනත හරහා ක්‍රියාත්මක වුණා. එමඟින් රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රබෝධයක් ඇති වුණා. 

ෆෙඩරල් හදිසි සහන පනත 

දිළිඳු ජනතාවට සහන ණය ලබාදීම, රටේ දුප්පත්කම දුරලීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රජයේ සේවකයන් සඳහා විශේෂ ණය ලබාදීම වැනි වැඩසටහන් කිහිපයක් මෙම පනත හරහා ක්‍රියාත්මක වුණා. එමඟින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම ආණ්ඩුවේ අරමුණ වුණා. 

ජාතික ප්‍රතිසාධන පනත 

මෙම පනත හරහා රටේ කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීමට රජය පියවර ගත්තා. කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීම හරහා රටේ ආර්ථිකය ස්ථාවර කිරීම රජයේ සැලසුම වුණා. එම අවධියේ දී කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වුණු අයගේ වැටුප් වැඩි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම සේවකයන් උපරිම කාර්යක්ෂමතාවකින් වැඩ කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට උර දුන්නා.

සිවිල් සංරක්ෂණ බළකාය 

රූස්වෙල්ට් පාලන සමයේ දී රජයේ වගා කටයුතු සඳහා යොදා ගත්තා. එකල එම ඉඩම්වල වැඩ කිරීම සඳහා සේවකයන් බඳවා ගත්තා. එහි දී තරුණ තනිකඩ පිරිමින් පමණක් රැකියාවලට බඳවා ගැනීමට රජය තීරණය කළා. ඒ අයුරින් රැකියාවලට සම්බන්ධ වුණු පිරිස සිවිල් සංරක්ෂණ බළකාය ලෙසින් හැඳින්වුණා. මේ  පනත්, සහ බළකායන්ට අමතර ව ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව සහ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ස්ථාපිත කිරීම හරහා අමෙරිකානු ආර්ථික අර්බුදය විසඳීමට රූස්වෙල්ට් ආණ්ඩුව උත්සාහ කළා. රූස්වෙල්ට් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ සාර්ථක වුණු නිසා 1936 වන විට අමෙරිකානු ආර්ථිකය අඳුරෙන් එළියට ගමන් කරමින් තිබුණා.

1936 අමෙරිකානු ජනාධිපතිවරණය අතරතුර- kshs.org

 විශාල ජනවරමකින් යළිත් ජනපති තනතුරට 

38 වන අමෙරිකානු ජනාධිපතිවරණය 1936 නොවැම්බර් 3 වැනි දින පැවැත්වුණා. ඒ සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් ෆ්රෑන්ක්ලීන් රූස්වෙල්ට් ඉදිරිපත් වුණා. රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වුණු ඇල්ෆ් ලැන්ඩන් ඔහුගේ ප්‍රතිවාදියා බවට පත් වුණා. රූස්වෙල්ට් ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙළ ගැන තෘප්තියට පත්ව සිටි අමෙරිකානු ජනතාව දෙවරක් නොසිතා ඔහුට ඡන්දය ලබා දුන්නා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඡන්ද විද්‍යාල ආසන 531කින් 523ක් ජයග්‍රහණය කිරීමට රූස්වෙල්ට්ට හැකි වුණ. එය අමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසය තුළ යම් අපේක්ෂකයෙක් ලබා ගත් වැඩි ම ඡන්ද විද්‍යාල ආසන ප්‍රතිශතය ලෙසින් අදටත් වාර්තා අතර පවතිනවා.

ආර්ථික අර්බුදය අවසන් කිරීම 

විශාල ජනවරමකින් දෙවන වරටත් ජනාධිපති තනතුරට පත්වුණු රූස්වෙල්ට් අමෙරිකානු ආර්ථික අර්බුදය අවසන් කිරීමේ අරමුණෙන් New Deal වැඩසටහනේ දෙවන අදියර ක්‍රියාත්මක කළා. එම වැඩසටහන යටතේ නව බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ධනවතුන්ගේ මුදල් රටේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා යොදා ගන්නා වැඩපිළිවෙළක් සකස් කළා. වැග්නර් පනත හෙවත් ජාතික කම්කරු සබඳතා පනත ඉදිරිපත් කරමින් කම්කරු අයිතීන් සුරක්ෂිත කිරීමට රජය කටයුතු කළා. සමාජ ආරක්ෂණ පනත ඉදිරිපත් කරමින් වයස 65ට වැඩි විශ්‍රාමිකයන්ට මෙන් ම දිගු කාලීන ආබාධිතයන්ට මාසික දීමනාවක් ලබා දීමට රූස්වෙල්ට් රජය කටයුතු කළා. 

සාධාරණ කම්කරු ප්‍රමිති පනත හරහා කම්කරුවන්ට පැය 40ක වැඩ සතියක් නියම කළා. එහි දී කම්කරුවන්ට අතිකාල දීමනා ලබා දීමට ද කටයුතු කළා. එම පනතේ ළමා ශ්‍රමා ලබා ගැනීම සීමා කිරීම සඳහා නීතිරීති ඇතුළත් වුණා. නිවාස පනත හරහා රටේ ප්‍රධාන නගරවල තිබුණු මුඩුක්කු පද්ධති ඉවත් කරමින් ජනතාවට ස්ථීර නිවාස ලබා දීම සිදු වුණා. එවැනි ව්‍යාපෘති සඳහා ඇතැම් ධනවතුන්ගෙන් ආධාර උපකාර ලැබුණා. රූස්වෙල්ට් රජයේ නව ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් 1940 වන විට එරට ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පත් වුණා. 

ජනතා වීරයෙක් බවට පත් වුණා

1932 වන විට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 0.828ක් ලෙස පැවති දළ ජාතික නිෂ්පාදිතය, 1940 වන විට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.330ක් දක්වා වර්ධනය වී තිබුණා. 1933 වන විට ඍණ 12.6%ක් ලෙසින් පැවති දළ ජාතික නිෂ්පාදිත වර්ධන වේගය, 1940 වන විට 8.8% දක්වා වර්ධනය වී තිබුණා. රූස්වෙල්ට් ජනාධිපතිවරයාගේ දෙවන ධූර කාලය තුළ අමෙරිකානු ආර්ථික අර්බුදය නිමා වුණු නිසා ඔහු ජනතා වීරයෙක් බවට පත් වුණා. 

දෙවන ලෝක යුද්ධයේ අවස්ථාවක් – nam.ac.uk

ඉතිහාසය වෙනස් කළ අමෙරිකානු ජනාධිපතිවරයා 

39 වන අමෙරිකානු ජනාධිපතිවරණය 1940 නොවැම්බර් 5 වැනිදා පැවැත්වුණා. එම කාලය වන විට දෙවන ලෝක යුද්ධය ආරම්භ වී තිබුණා. එනිසා නැවත වරක් ජනාධිපතිවරණය සඳහා තරග වදින ලෙස ලැබුණු ඉල්ලීම් නිසා ජනාධිපති රූස්වෙල්ට් ජනාධිපති සටන සඳහා  තෙවන වරටත් තරග වැදුණා. එවර ජනාධිපතිවරණයේ දී ඡන්ද විද්‍යාල ආසන 531කින් 449ක් ජයග්‍රහණය කළ රූස්වෙල්ට්අමෙරිකා ජනාධිපති ධූරයට පිට පිට ම තෙවන වරටත් පත්වුණු පළමු සහ එක ම පුද්ගලයා බවට පත් වුණා. 

 

රූස්වෙල්ට්ගේ තෙවන පාලන සමයේ දළ ජාතික නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.352ක් දක්වා ඉහළ ගියා. දළ ජාතික නිෂ්පාදිත වර්ධන වේගය 18.9% දක්වා ඉහළ ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1944 ජනාධිපතිවරණයට ද තරග කිරීම ඔහුට සිදු වුණා. එම ජනාධිපතිවරණයේ දී ඡන්ද විද්‍යාල ආසන 432ක් දිනාගත් රූස්වෙල්ට්ජනාධිපතිවරයා ලෙසින්  යළිත් තේරී පත් වුණා.

රූස්වෙල්ට් ජනාධිපතිවරයාගේ අවමංගල්‍යය උත්සවය (youtube.com) 

එවර ඔහුට සිය ධූර කාලය අවසන් කිරීමට හැකි වුණේ නැහැ. ඒ රක්තපාත ආඝාතය නම් රෝගය වැලඳීම හේතුවෙන් 1945 අප්‍රේල් 12 වැනිදා ඔහුගේ මරණය සිදු වුණු නිසා යි. මිය යන විට 63 වන වියේ පසුවුණු රූස්වෙල්ට් ජනාධිපතිවරයා අමෙරිකානු ඉතිහාසයේ වාර දෙකකට වඩා ජනාධිපති ධූරය දැරූ එකම ජනාධිපතිවරයා ලෙසින් ඉතිහාසගත වුණා.

කවරයේ ඡායාරූපය- ෆ්රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට් - biography.com 

මූලාශ්‍ර:

thebalance.com

fdrlibrary.org

history.com

khanacademy.org

nyhistory.org  

Related Articles