Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නාසි ගුවන් හමුදාවේ විශිෂ්ටතම ගුවන් ප්‍රහාරකයා – හෑන්ස් උල්රික් රුඩෙල්

ජර්මන් ගුවන් හමුදාව තුළත් දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ සියළුම ගුවන් හමුදා තුළත් සිටි දක්ෂම ප්‍රහාරක ගුවන් නියමුවා ලෙස නම් කළ හැක්කේ අනෙක් ගුවන් නියමුවන්ට ළගා වීමටවත් නොහැකිවන ලෙස වාර්තාවක් පිහිට වූ හෑන්ස් උල්රික් රුඩෙල් නම් ජර්මානු ගුවන් නියමුවායි. භූමියේ පිහිටි ඉලක්ක ඉතා සාර්ථක ලෙස විනාශ කරන්නෙක් වූ රුඩෙල්, හිට්ලර් විසින් පිරිනමන ලද Night Cross of the Iron Cross පදක්කමේ ඉහළම පිරිනැමීම වන “ස්වර්ණ ඕක් පත්‍ර”( Knight’s Cross with Golden Oak Leaves, Swords and Diamonds) හිමිකරගත් පළමු හා එකම නාසි සොල්දාදුවායි.

කිහිපවිටක්ම හිට්ලර්ගේ ගෞරවයට ලක් වූ ඔහු තම ස්ටුකා (Stuka) වර්ගයේ බෝම්බ හෙළන යානය උපයෝගී කරගනිමින් විනාශ කළ සෝවියට් යුධ ටැංකි ගණන 519කි. යුධ ටැංකි ඇතුළුව සතුරු ඉලක්ක 2000ක් පමණ විනාශ කළ බැවින් එතෙක් මෙතක් ඉතිහාසය තුළ බිහි වූ දක්ෂතම ගුවන් නියමුවෙක් ලෙස හෑන්ස් උල්රික් රුඩෙල් හදුන්වා දීම ඉතා නිවැරදියි. යුද්ධය උත්කෘෂ්ට දෙයක් ලෙස හැදින්විය නොහැකි වූවත් දෙවන ලෝක යුද්ධ කාලය තුළ බිහි වූ මෙම ගුවන් නියමුවාගේ දක්ෂතාවය, නිර්භීතභාවය හා රණශූරත්වය ලොවපුරා ඇගයීමට ලක්වෙනවා.

හිට්ලර්ගේ තරුණ සංවිධානයට ඇතුල් වූ දක්ෂ ක්‍රීඩකයා

හෑන්ස් උල්රික් රුඩෙල් (Steam Community)

ක්‍රිස්තියානි ආගමික නායකයෙකුගේ පුතෙකු ලෙස 1916 වසරේ ජූලි මාසයේ දෙවන දින එකළ ජර්මනියේ සයිලේශියා ප්‍රදේශයේදී පවුලේ තෙවැනි දරුවා ලෙස උපත ලබන හෑන්ස් උල්රික් රුඩෙල්  කුඩා කාලයේදී පාසල් අධ්‍යාපනට එතරම් දක්ෂතාවයක් දක්වන්නේ නෑ. නමුත් පාසල් කාලයේදීම ක්‍රීඩාව සදහා ඉහළ දස්කම් දක්වනවා.

1933 වසරේදී, ඔහුට වයස අවුරුදු 17 වන විට හිට්ලර්ගේ  තරුණ සංවිධානයට ඇතුළත් වන අතර එහිදී දැක්වූ ක්‍රීඩා දක්ෂතාවය හේතුවෙන් ඔහු කෙදිනක් හෝ ඔලිම්පික් නියෝජනය කරන ක්‍රීඩකයෙක් වේයැයි ඔහුගේ සමීපතමයන් විසින් විශ්වාස කරනවා. පාසල් අධ්‍යාපනයෙන් පසුව ගුවන් නියමුවෙකු වීමට දැඩි ආශාවක් හෑන්ස්ට තිබුණත් පාඨමාලාව සදහා අධික මුදලක් වියදම් කිරීමට ඔහුගේ පියාට නොහැකි වීමෙන් එම සිහිනය බොද වී යනවා.

ගුවන් නියමු සිහිනය සැබෑ කරගැනීම සදහා ජර්මන් ගුවන් හමුදාවට

සෝවියට් යුධ ටැංකි විනාශ කරන්නා (Pinterest)

ගුවන් නියමුවෙකු වීමේ අරමුණ අත් නොහරින ඔහු ඒ සදහා මගක් ලෙස තෝරා ගන්නේ  ජර්මනියේ ගුවන් හමුදාවට ඇතුළත් වීමයි. ඒ සදහා පැවති ඉතා අපහසු පරීක්ෂණ කිහිපයක්ම සමත්වෙන ඔහු 1936 වසරේ දෙසැම්බර් මාසයේදී ගුවන් හමුදාවට ශිෂ්‍යභට නිළධාරියෙක් ලෙස ඇතුල් වෙනවා. සෙසු සගයන්ට සාපේක්ෂව ඉගෙන ගැනීමේදී මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරන ඔහු අනෙක් ශිෂ්‍යභටයන් මෙන් දුම්වැටි හෝ මත්පැන් පානයටද යොමු නොවී නිදහස් වේලාවන්හිදී හුදෙකලාව ක්‍රීඩා කටයුතු වල නියැළුණු බැවින් ඔහුව විශ්වාසය තැබිය හැකි නිර්භීත ගුවන් නියමුවෙක් ලෙස පියාසර පුහුණු පාසලේදී හදුනා ගැනෙන්නේ නෑ.

දුර්වලතා මතින් ජයග්‍රහණය කරා

ස්ටුකා ( Aces Flying High – WordPress.com)

මූලික පාඨමාලාවෙන් පසුව ඔහු ස්වෙච්ඡාවෙන් ම​ ගුවන් බෝම්බ හෙළීම පුහුණු වීම සදහා වූ ගුවන් පුහුණු පාසලට ඇතුළත් වූ නමුත් කෙටි කලකින්ම නැවතත් පෙර සිටි පියාසර පුහුණු පාසල වෙත ඔහුව මාරුකර එවීමට බලධාරීන් කටයුතු කරනවා. මේ වන විට දෙවන ලෝක යුද්ධය ආරම්භ වී තිබූ අතර බටහිර සටන් පෙරමුණ සදහා ඔහුගේ සගයන් පිටත්ව ගියත් ඔහුව ඒ සඳහා සහභාගී කර ගන්නේ නෑ.

1940 වසරේ සැප්තැම්බර් මාසයේදී ඔහුට​ නැවතත් ස්ටුකා නම් ගොඩබිම වෙත බෝම්බ හෙළන යානා හසුරවන ආකාරය පිළිබඳව පුහුණු සැසියකට සහභාගී වීමට අවස්ථාව ලැබෙන අතර එහිදී එම යානය හැසිරවීම පිළිබඳව මනා දැනුමක් ලබා ගන්නට ඔහුට හැකිවෙනවා. ඉන්පසු තමා දුර්වල යැයි සිටීමෙන් බැහැර වෙන ඔහු යමක් කළ හැකිබව තමන්ට විශ්වාස නම් ඒ දේ කිරීමේ හැකියාව තමා සතුව පවතින බව අවබෝධ කරගන්නවා.

නැගෙනහිර පෙරමුණට

1300 වැනි ගුවන් මෙහෙයුම සම්පූර්ණ කිරීමෙන් පසුව -වම් පස සිටින්නේ හෑන්ස් (Asisbiz)

දැඩි විශ්වාසයකින් යුතුව නැගෙනහිර යුධ පෙරමුණේ “ස්ටුකා” (Stuka dive bombers) නම් බෝම්බ හෙළන යානාවක නියමුවෙක් ලෙස කටයුතු කිරීම සදහා හෑන්ස් 1941 වසරේදී පිටත්ව යනවා. නමුත් ඔහු අයත්වන ගුවන් ප්‍රහාරක කණ්ඩායමේ අණදෙන නිළධාරියා විසින් ඔහු මෙහෙයුම් සදහා සුදුසු ගුවන් නියමුවෙක් නොවන බව පවසමින් ප්‍රතික්ෂේප කරනවා. නමුත් අවසානයේදී තම දක්ෂතා පෙන්වීම සදහා එක් අවස්ථාවක් ඔහුට උදාවෙනවා.

ඒ අනුව නැගෙනහිර පෙරමුණේදී ඔහුට පළමු ක්‍රියාන්විතය හිමිවෙන අතර 1941 වසරේ සැප්තැම්බර් 23 දින Kronstadt වරායේ නැංගුරම් ලා තිබූ Marat නම් සෝවියට් යුධ නෞකාව විනාශ කිරීම සඳහා පිටත්ව යන ස්ටුකා ගුවන් බල ඇණියේ එක් පියාසර ගුවන් නියමුවෙක් ලෙස කටයුතු කිරීමට ඔහුට භාර වෙනවා. මෙහිදී ස්ටුකා ප්‍රහාරක බල ඇණියට නෞකාවේ සිට නොනවත්වා එල්ල වූ ප්‍රහාර හමුවේ ප්‍රහාර එල්ල කිරීම සදහා යාත්‍රාවට ඉහළින් ගමන් කිරීම ඉතා අනතුරුදායක වුණා. එම අසීරුතාව ඔස්සේ තම යානය මෙහෙයවූ බලඇණි ප්‍රධානියා වූ කැප්ටන් අර්නස්ට් විසින් හෙලන ලද​ බෝම්බය නෞකාවෙන් ඉවතට පතිත වෙනවා. නමුත් හෑන්ස් විසින් තම යානය හරියටම නැවට ලම්භකව මීටර් 300ක් ඉහළින් පදවන අතරතුර කිලෝග්‍රෑම් 2000ක් බරැති බෝම්බයක් නැව් තට්ටුව මතට හෙළමින් නැව ගිල්වීමට සමත් වෙනවා.

StG .2හි දක්ෂතම ප්‍රහාරකයා

පදක්කම් ප්‍රධාන උත්සවයකදී (World War II Pictures In Details)

තම ප්‍රථම ප්‍රහාරයෙන් මාසයක් පසුවන විට ඔහු ගුවන් මෙහෙයුම් 100කට පමණ සහභාගී වී සිටි අතර ඔහු අනුයුක්තව සිටි stg 2 ඛණ්ඩයේ  දක්ෂතම ගුවන් නියමුවා බවට පත්වෙනවා. මෙම මෙහෙයුම් වලදී තමන් සතුව පවතින බෝම්බ අපතේ නොයවා හරි ඉලක්කයටම පතිත කිරීම සදහා ඔහු විසින් අපූරු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවා. ඒ භූමියේ පිහිටි ඉලක්කයට ඉතා ආසන්නව ගමන් කරමින් ප්‍රහාර එල්ල කිරීමයි. නමුත් මෙය අනුමත නොකරන ඔහුගේ නායක ගුවන් නියමුවා පවසා සිටින්නේ හෑන්ස් රුඩෙල් නම් උමතු ගුවන් නියමුවාගේ ජීවිතය ඉතාමත් කෙටි බවයි.

යුද්ධ ටැංකි නාශක ගුවන් බළකායට

හෑන්ස් 1960දී (Getty Images)

1943 වසර වන විට නාසි ගුවන් හමුදාවේ (Luftwaffe) අළුතින් පිහිටුවන ලද යුද්ධ ටැංකි නාශක ගුවන් බළකායට ඇතුළත් වන හෑන්ස් එහිදී ක්‍රියාන්විත 1000කට අධික ප්‍රමාණයකට සහභාගී වෙනවා. ජර්මානු හමුදා ක්‍රමක්‍රමයෙන් රුසියානු නගර ආක්‍රමණය කරන විට අහසේ සිට සෝවියට් පෙරමුණේ ඇති යුධ ටැංකි විනාශ කිරීම හෑන්ස්ගේ රාජකාරිය වුණා. මෙම කාලයේදී ස්ටුකා යානයට මිලිමීටර් 37 ෂෙල් වෙඩි විදිනයක් සවි කරන අතර එය උපයෝගී කරගනිමින් ඉලක්ක ගණනාවක් විනාශ කිරීමට මොහු විසින් කටයුතු කරනවා. 1943 වසරේ නොවැම්බර් මාසය වන විට ඔහු යුද්ධ ටැංකි නාශක ගුවන් බළකායේ විංග් කමාන්ඩර්වරයෙක් ලෙස උසස් වීම් ලබනවා. 1944 වසර අවසන් වන විට ඔහු විසින් 1500 ක අධික මෙහෙයුම් ප්‍රමාණයකට සහභාගී වී සිටි අතර විනාශ කරන ලද සෝවියට් යුධ ටැංකි ප්‍රමාණය 300කට අධික වුණා.

1945 වසරේ සතුරන්ගේ ග්‍රහණයට පත් වීමට ප්‍රථම ඔහු විසින් ප්‍රහාරක මෙහෙයුම් 2530කට සහභාගී වී තිබූ අතර යුධ නැව් 3ක්, සෙබළුන් ප්‍රවාහන යාත්‍රා 70ක්,අනෙකුත් වාහන 800ක්, කාලතුවක්කු ස්ථානගත කර ඇති ස්ථාන 150ක් හා යුධ ටැංකි 519ක් සාර්ථක ලෙස විනාශ කරන ලදී. මෙහෙයුම් අතරතුර ඔහුගේ යානය වාර 30ක් පමණ බිමට පතිත වුවත් එම අවස්ථා වලින් ජීවිතය ගලවා ගැනීමට ඔහුට හැකියාව ලැබෙනවා.

1945 වසරේ ජනවාරි මාසයේදී නාසි ජර්මනියේ එක් සොල්දාදුවෙකුට පමණක් හිමි වූ එනම් ඔහුට පමණක් පිරිනමන ලද රන් ඕක් පත්‍ර ප්‍රධානය කරමින් “ජර්මානු ජනතාවට සිටින ශ්‍රේෂ්ටතම හා විශිෂ්ටතම සොල්දාදුදවා ඔබයි” යනුවෙන් හිට්ලර් විසින් ප්‍රකාශ කරනවා.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ද ඔහු නාසිවාදය අත හැරියේ නැහැ. එහෙයින් ප්‍රබල නව නාසිවාදියකු ලෙස ඔහු ප්‍රකටව සිටියා. රුඩෙල් මිය ගියේ 1982 දෙසැම් බර් 18 වනදා යි.

කවරයේ ජායාරූපය  – World War Wings

Related Articles