Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයට බ්ලූටුත් ගෙනා සරාගී නිළිය හිඩි ලමාර්

වයිෆයි තාක්ෂණය අද ලෝකයට නැතුවම බැරි දෙයක් වෙලා. රැහැන් රහිත දුරකථන, බ්ලූටූත් තාක්ෂණය නැති ලෝකයක් සිතා ගන්නට පවා බැරි තරම්. ඔබ මෙම ලිපිය පවා කියවන්නේ වයිෆයි රවුටර් භාවිතයෙන් විය හැකියි. ඒත් මේ අපූරු සංකීර්ණ තාක්ෂණයේ නිර්මාතෘවරිය ලොව රූමත්ම හොලිවුඩ් නිළියක් බව ඔබ දැන සිටියාද?  ඒ හිඩි ලමාර් ( Hedy Lamarr ) නම් යුදෙව් කාන්තාවයි. ඇය 1930- 40 දශකයේ කළුසුදු චිත්‍රපට පැවති කාලයේ ලොව රූමත්ම නිළිය ලෙස සැලකුණා. එමෙන්ම සරාගී නිළියක් ලෙස ද ජනප්‍රිය වුණා.

සුරූපී බව මෙන්ම බුද්ධිය ද එක්තැන් වූ චරිතයක් ලෙස ඇය සම්භාවනා ලබනවා. රූපය වෙනුවට බුද්ධිය මෙහෙයුවානම් ලමාර් ලෝක ප‍්‍රකට නව නිර්මාණකාරියක සේ අති විශාල ධනස්කන්ධයකට උරුමකම් කීමට ඉඩ තිබුණා.  නමුත් ජීවිතයේ අවසාන කාලයේ ඇය ඉතා දුප්පත්ව විසූ බව පැවසෙනවා.

යුදෙව් උපත

නිරූපිකාවක් වශයෙන් – www.hedylamarr.com

යුදෙව් ජාතික දෙමාපියන්ගේ එකම  දියණිය වූ ඇය උපත ලද විට නම ඉවා මාරියා කිස්ලර් නම් වූවා. 1914 නොවැම්බර් 9 දා ඇය උපත ලැබුවේ ඔස්ටි‍්‍රයාවේ වියනා නගරයට ආසන්න ස්ථානයක. ඇයගේ පියා බැංකුවක අධ්‍යක්ෂකවරයෙක් වුණා. මව පියානෝ වාදක ශිල්පිනියක්. මුල් කාලයේ යුදෙව් පාසලක ඉගෙනුම ලැබූ මාරියා 1920දි වේදිකා නාට්‍ය පිළිබඳ පාඨමාලාවක් හදාරා පසුව තිර රචකාවියක් ලෙස සිනමාවට පිවිසුණා. ඇමරිකාවට ගිය ඇය එහි පුරවැසිභාවය ගැනීමෙන් අනතුරුව බර්ලින් නගරයට එන්නේ නිළියක වශයෙන්.

රංගන සිහිනය

Ecstacy චිත්‍රපටයෙ නිරුවත් රූපරාමුවක- www.obskura.co.uk

කුඩා කල පටන්ම ඇගේ සිහිනය වූයේ නිළියක වීමටයි. මේ නිසා පාසලෙන් ද ඉවත්වූවා. ඇය මුල්වරට චිත්‍රපටයක රඟපෑවේ 1930 දීයි. එය ජර්මන් චිත්‍රපටයක්. Ecstacy නම්වූ එහි අන්තර්ගතය පවුලේ කතාවක් වුවත් එහි අධ්‍යක්ෂකවරයා ඇය නොමග යවා දුර සිට මානන ලද කැමරා වලින් ඇයගේ නිරුවත් දර්ශන ගෙන ඒවා සංස්කරණය කර තිබෙනවා. චිත‍්‍රපටය රෝමයේ දී ඇගයීමට ලක් වූ අතර ඇය පෙනී සිටි නිරුවත් දර්ශන නිසා ඇමරිකාවේ පවා ආන්දෝලනාත්මකව ප‍්‍රදර්ශනය වුණා. ඒ අතර ලමාර් වෙත ඉහළ ප්‍රේක්ෂක ආකර්ශණයක් ඇති වුණා. ඇය සරාගී නිළියක ලෙස කිරුළු පැළැඳවූවා . ජර්මනියේ එම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම තහනම් කළත් ඇයගේ ජනප්‍රියත්වය නිසා තවත් චිත‍්‍රපට හා නාට්‍ය ගණනාවක් ලමාර්ට ලැබුණා.

විවාහය

Ecstacy  චිත්‍රපට පෝස්ටරය – www.obskura.co.uk

ඔස්ටි‍්‍රයාවේ ඉතාම ධනවත් ආයුධ වෙළෙන්දෙකු සමඟ විවාහ වූ ලමාර් එම කාලය තුළ ඔහු සමඟ ව්‍යාපාරික කටයුතු වල දී ජර්මනියේ නාසි නායකයන්, යුද විශේෂඥයන් හා ඉංජිනේරුවන් සමඟ දැනුම අවබෝධය සඳහා සාකච්ඡා කර තිබෙනවා. තාක්ෂණ ඥාණය හා ඉංජිනේරු ක්ෂේත‍්‍රය පිළිබඳ සංකල්ප ඇයගේ සිත තුළ හට ගන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙන්. එම විවාහය 1937 දී බිඳ වැටෙනවා. සැමියා ලමාර්ගේ රංගනය ගැන ඊර්ෂ්‍යාවකින් පෙළුණු බවයි සඳහන් වන්නේ. ඔහු ඇය රඟපෑ චිත්‍රපට මිලදීගෙන රඳවාගත් බවත් පැවසෙනවා.

ඊට පසු ඇය තවත් සැමියන් පස් දෙනෙකු සමඟ වරින්වර ජීවිතය බෙදාහදා ගන්නවා. ඇයට පුතුන් තුන් දෙනෙක් ද උපදිනවා. ඉන් පෙනෙන්නේ මේ රූමතියගේ ජීවිතය හැලහැප්පීම් මැද ගෙවීගිය බවයි. ඇය අමෙරිකාවේ කොලරාඩෝහි පිහිටි නිවසේදී මිය යන්නේ 2000 ජනවාරි 19 මාසයේදි යි. ඒ වන විට ඇගේ වයස අවුරුදු 86ක්.

හොලිවුඩ් රංගනය

චිත්‍රපටයක රඟපාමින්- Wikipedia.org

චිත‍්‍රපට කිහිපයක රඟපා ආන්දෝලනාත්මක චරිතයක්ව සිටි ලමාර්ට 1930 දී පමණ හොලිවුඩ් පුරවරයට ඇරයුම් ලැබෙනවා. එහි සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කරන විට ඇය තම මුල් නම වෙනුවට හිඩි ලමාර් යනුවෙන් ආරූඪ නාමය භාවිතා කරන්නට එකඟ වී තිබෙනවා. එහි තාරකාවක් බවට පත්වන ලමාර් ආදායම් වාර්තා පිහිටුවන ඇමරිකන් චිත‍්‍රපට ගණනාවකට දායක වෙනවා. 1940 වනවිට ඇය හොලිවුඩයේ තාරකාවක් බවට පත් වී අවසන්. ඇය රඟපෑ චිත්‍රපට ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වෙනවා. හොලිවුඩයේ ප්‍රකට නළුවන් වු ස්පෙන්සර් ටෙසි, ක්ලාක් ගැබල්, ජිමි ස්ටෙවට් වැනි අය සමඟ රඟපෑමට ඇයට අවස්ථාව ලැබෙනවා. ඇය රඟපෑ චිත්‍රපට අතර ඇල්ජිරිස්, අයි ටේක් දිස් වුමන්, කොම්රෙඩ් වැනි චිත්‍රපට‍ වඩාත් ප්‍රචලිතයි.

රංගනයේ තවත් අවස්ථාවක්- Wikipedia.org

චිත‍්‍රපට නිෂ්පාදනයට ද එකතු වූ ඇය ලෝක ප‍්‍රකට චිත‍්‍රපට ගණනාවක් නිෂ්පාදනය කර තිබෙනවා. ඇය රඟපෑ සහ අධ්‍යක්ෂණය කළ චිත‍්‍රපට තිස් හයක් බව සඳහන්. ඇය අවසන් වරට රඟපෑවේ 1977 දී That’s Action සිනමා පටයෙයි. ඇමරිකාවේ ජීවත් වූ ඇය ඇගේ මව ද එහි ගෙන්වා තමන් සමඟ රඳවා ගත්තා. ඒ වගේම තම යුදෙව් පසුබිම අමතක කරන්නට ඇය උත්සාහ කළා.

නිළියගේ තාක්ෂණික බුද්ධිය

පේටන්ට් බලපත්‍රය පිළිබඳ ලියවිල්ල- Wikipedia.org

දෙවන ලෝක යුද්ධය කාලයේ තවත් හොලිවුඩ් සංගීතඥයෙක් වූ ජෙජ්ර් ඇන්තයෙල් සමඟ එකතු වූ ලමාර් කිසියම් සංඥා සන්නිවේදන ක‍්‍රමයක් ගැන අත්හදා බලන්නට පටන් ගන්නවා. ‘‘අපේක්ෂාවේ සංඥා පරාසයක් ’’ වශයෙන් ඔවුහු එය නම් කළා.  1941 දී එය නව සොයා ගැනීම් කවුන්සලයට ඉදිරිපත් කළේ ලියාපදිංචිය සඳහායි. නමුත් එය හේතු දක්වා ප‍්‍රමාද කළ අතර එම අනාවරණය පසු කාලයක ඇමරිකානු නාවික සංඥා විශේෂඥයන් කිසිම මිලක් නොගෙවා භාවිතාවට ගෙන තිබෙනවා. ඒ අතරම එයට ලියාපදිංචිය ද ලැබෙනවා. එම සොයා ගැනීම පසු කාලයක දී බ්ලූටූත් තාක්ෂණයට උපයෝගී කර ගැනුණු අතර සී.ඩී.එම්.ඒ. සහ වයිෆයි තාක්ෂණයට පාදක වන්නේ ද එයට සමාන තාක්ෂණික සංකල්පයක්.

උත්සවයකට පැමිණි ලමාර්- codepen.io

හිඩි ලමාර් ගේ ජීවිත කතාව පළ කරන ලද ෆෝබ්ස් සඟරාව එතෙක් ලෝකයට අමතකව සිටි අතිශය රූමත් එපමණක් නොව නව සොයා ගැනීම් වලට දක්ෂ කාන්තාව ගැන ලෝකය ඉදිරියේ හෙළිදරව් කළා. ‘‘අලූත් දෙයක් සොයා ගැනීම හරිම පහසුයි. මම දන්නේ නැහැ මම ආවේ වෙන ග‍්‍රහ ලෝකයකින් ද’’ කියලා යනුවෙන් ලමාර් ෆෝබ්ස් සඟරාව සමඟ කළ සාකච්ඡාවේ දී පවසා සිටියා.  තාක්ෂණය පමණක් නොව රූපලාවන්‍ය හා හිම මත කරන ව්‍යාපාරික අංශ ඇතුළු නොයෙක් දේ ලෝකයේ තැන් තැන්වලට හඳුන්වා දෙන්නට ලමාර් පියවර ගන්නවා. එක් අවස්ථාවක ගුවන්යානා ගමන් වේගවත් කරන්නට ලමාර්ට අවශ්‍ය වී තිබුණා. ඒ වෙනුවෙන් ද යානාවල පියාපත් වෙනස් කරන අත්හදා බැලීම් යෝජනා කරන ලද බව පැවසෙනවා. කුරුල්ලන් හා මත්ස්‍යයින් ගැන තොරතුරු ඇතුළත් පොතපත පෙරළමින් ඒවායේ චිත‍්‍ර සටහන් අවුස්සමින් ඇය අධ්‍යයනය කර තිබෙනවා. නිළියක වශයෙන් චිත‍්‍රපට කර්මාන්තයේ නියැලෙමින් සිටිය දී අති දක්ෂ ඉංජිනේරුවරියක සේ බරපතළ ගණිත ගැටලු විසඳමින් අලුත් දේ නිර්මාණය කරන්නට හිත යෙදවූයේ කෙසේදැයි අදටත් විසඳාගත නොහැකි කාරණයක් වෙලා.

ඇගැයීම අවසානයට

කොලරාඩොහි ඇති ඇගේ ස්මාරකයක්- hyperallergic.com

හිඩි ලමාර් තරුණ කාලයේ දී කළ සොයා ගැනීම්වලට ඇගැයීම් හෝ ඒ වෙනුවෙන් මුදල් ඇයට ලැබුණේ නැහැ. ඇයගේ මෙම සුවිශේෂී දායකත්වය ඇගයීමට ලක්වුණේ ඇයගේ ජීවිතයේ අවසාන භාගයේදීයි. 1997 දි ඇය ඊඊඑෆ් පුරෝගාමි සම්මානය හිමි කරගත්තා. ඒ පරිගණක තාක්ෂණය වෙනුවෙන් කළ අනගි මෙහෙවර අගය කිරීමක් වශයෙන්.

ගූගල් නිර්මාණය කළ ඩූඩ්ල්හි කවරය-www.dailymail.co.uk

හිඩි ලමාර්ගේ 101 වෙනි ජන්ම සංවත්සරය වෙනුවෙන් ගූගල් ආයතනය විසින් ඇගේ මතක සටහන් කිහිපයක් එක්කර ඩූඩල් එකක්ද නිර්මාණය කරමින් මෙහෙවර මතකයට නැංවූවා.  මරණයෙන් පසු ඇය වෙනුවෙන් අපූරු ස්මාරකයක් ඉදි කිරීමට සැලසුම් කළා. එය බ්ලූටූත් තාක්ෂණය පිළිබිඹු වෙන ස්මාරක අංගවලින් යුක්තයි.

බෝම්බ්ෂෙල්

ඇගේ කතාව ඇතුළත් චිත්‍රපට පෝස්ටරය- mintoartscouncil.ca

ලමාර්ගේ ජීවිත කතාවේ සැඟවුණු තැන් බොහොමයක් තිබෙනවා. මේ කතාව බෝම්බ්ෂෙල් නමින් චිත‍්‍රපටයකට නැගුණා. එය 2017 නොවැම්බරයේ නිකුත් කළ අතර අධ්‍යක්ෂණය කළේ ඇලෙක්සැන්ඩර් ඩීන්. එයට තොරතුරු සොයාගෙන යන විට එහි අධ්‍යක්ෂකරයා පවා කිසිසේත් විශ්වාස කළ නොහැකි කරුණු ලමාර්ගේ බුද්ධිය සම්බන්ධයෙන් හමු වී තිබෙනවා. ලෝකයට ආඩම්බර විය හැකි අලුත් දේවල් ඇය සොයාගෙන තිබුණත් ඇයගේ චරිතය ගැන කියැවෙන විට බොහෝ අවස්ථාවල පුද්ගලිකත්වය සඟවාගෙන සිටි බව පැවසෙනවා.

ආශ්‍රිත මූලාශ්‍ර

http://www.women-inventors.com/Hedy-Lammar.asp

https://www.electronics-notes.com/articles/history/pioneers/hedy-lamarr-biography-invention.php

https://www.youtube.com/watch?v=9KIwlbDOkIU

https://www.marketplace.org/2017/11/21/tech/inventor-changed-our-world-and-also-happened-be-famous-hollywood-star

Cover Image: tabletmag.com

Related Articles