Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රීඩා දිවිය ඝාතනයකින් නිමා කළ ‘බ්ලේඩ් රනර්’

මීට වසර කිහිපයකට පෙර ලොව ජනප්‍රියත ම මළල ක්‍රීඩකයා වූයේ කෙටිදුර ධාවනයෙන් ලොව වසඟයට ගෙන සිටි උසේන් බෝල්ට් ය. එකල උසේන් බෝල්ට් තරම් ම ජනප්‍රියට පත් ආබාධිත ධාවකයෙක් ද විය. “බ්ලේඩ් රනර්” ලෙසින් ලොව පුරා ප්‍රකටව සිටි ඔහු නමින් දකුණු අප්‍රිකාවේ ඔස්කාර් ප්‍රිස්ටෝරියස් ය. ජීවිතයේ සිදු වූ එක් අවාසනාවන්ත සිදුවීමක් නිසා නොසිතූ විරූ ලෙසින් තම ක්‍රීඩා දිවිය නිමා කිරීමට ඔහුට සිදු විය.

දකුණු අප්‍රිකාවේ දී1986 නොවැම්බර් මස 22  උපත ලැබූ ඔස්කාර් ගේ කකුල් උපතේදී ම අස්ථි රහිත ව පිහිටීම නිසා ඔහුගේ පාද දෙක ම දණහිස ළඟින් කපා ඉවත් කරන විට වයස සටහන් වූයේ මාස 11 ක් ලෙසිනි. ඉන් අනතුරුව තම ජීවිතය ඔස්කාර් ආරම්භ කළේ දණහිස ළඟින් පාද නොමැති ව ය. කෘත්‍රිම පාදත් සමඟින් ජීවිතය හා සටන් කිරීම ආරම්භ කළ ඔස්කාර් කුඩා කාලයේ සිට ම තමන් අනෙක් ළමයින්ගෙන් වෙනස් අයකු බව සිතීම ප්‍රතික්ෂේප කළ අයකු බව පැවසේ.

බ්ලේඩ් රනර් ලෙසින් නම පටබැඳුනු ඔස්කාර් ප්‍රිස්ටොරියස්
බ්ලේඩ් රනර් ලෙසින් නම පටබැඳුණු ඔස්කාර් ප්‍රිස්ටොරියස් – www.ustoday.com

කුඩා කාලයේ සිට ම ධාවනයට සහ රග්බි ක්‍රීඩාවට ඔස්කාර් ප්‍රිය කළේ ය. වරක් රග්බි ක්‍රීඩා කරද්දී ඇද වැටී පෑගීමෙන් ඔස්කාර් ගේ කෘත්‍රිම පාද කුඩුපට්ටම් වී ගියේ ය. නමුත් කිසි දිනෙක ක්‍රීඩාව අතහැරියේ නම් ඔස්කාර් නොවේ. ඔහුගේ ජීවිතයේ දෛවය තීරණය වන්නේ මලල ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට පටන් ගත් දින සිට ය. කෘත්‍රිම පාදවල උපකාරයෙන් වුව ද විදුලි වේගයෙන් ඉදිරියට ඇදෙන්නට ඔස්කාර්ට හැකියාව ලැබී තිබිණි. මේ නිසා ම දකුණු අප්‍රිකානු පැරා ක්‍රීඩාවේ ඉදිරියට පැමිණීමට ඔහුට සුළු කලකින් ම හැකියාව ලැබිණි.

වයස අවුරුදු 18 දී පැරාලිම්පික් වරම් ලබයි

කෙටි දුර ධාවනයෙන් තම හැකියාව පෙන්වූ ඔස්කාර් මුලින් ම 2004 වසරේ ඇතැන්ස් නුවර පැවති පැරාලිම්පික් තරගාවලියට එක් වෙද්දී ඔහුගේ වසය සටහන් වූයේ අවුරුදු 18ක් ලෙසට ය. 2004දී, ඇතැන්ස්වල දී T44 කාණ්ඩයේ මීටර් 100 ලෝකඩ පදක්කමක් දිනා ගත් ඔස්කාර් එහි මීටර් 200 රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. මේ දස්කම් නිසා ඔස්කාර් ප්‍රිස්ටෝරියස් නම දකුණු අප්‍රිකාවේ ජනප්‍රිය නාමයක් විය.

2008 බෙයිජිං පැරාලිම්පික් තරගාවලියේ දී තමන්ගේ දක්ෂතා මනාවට පෙන්නුම් කළ ඔස්කාර් ප්‍රිස්ටෝරියස් T44 කාණ්ඩයේ මීටර් 100 මීටර් 200 සහ මීටර් 400 යන ඉසව් තුනට ම රන් පදක්කම් දිනා ගනිමින් ත්‍රිත්ව රන් පදක්කම් ලාභියකු බවට පත් වූයේ පැරාලිම්පික් තරුවක් බවට ද පත් වෙමිනි. මේ සමඟින් ම ප්‍රිස්ටෝරියස් යන නම ලොව පුරා ජනප්‍රිය විය. ඔහුගේ ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය ආරම්භ වන්නේ 2008 වසරේ සිට ය.

ලන්ඩන් පැරාලිම්පික් තරඟාවලියේදී ලැබූ පදක්කම් සමග
ලන්ඩන් පැරාලිම්පික් තරඟාවලියේදී ලැබූ පදක්කම් සමඟ – www.eveningstanders.com

ඔස්කාර් කෙමෙන් කෙමෙන් දක්වන දක්ෂතා පැරා ක්‍රීඩකයෙක් ගෙන් ඔබ්බට ගමන් කරන්න විය. වෙන ආකාරයකින් කියනවා නම් ඔස්කාර් ප්‍රිස්ටෝරියස් ආබාධිතයෙක් වුවත් සාමාන්‍ය ක්‍රීඩකයකු තරම් ම හොඳින් ධාවනයේ නිරත විය. 2011 වර්ෂයේ දී පැරා ලෝක ශූරතාවයේ ද මීටර් 100×4 රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය. ඔහුගේ ධාවනයේ වේගය නිසා ම ඔස්කාර් ප්‍රිස්ටෝරියස්ට පැරා ක්‍රීඩාවලට අමතර ව සාමාන්‍ය මට්ටමේ ධාවන තරග සඳහා ද සහභාගී වීමට දොරගුළු විවර විය.

2012 වසරේ ඔලිම්පික් තරගාවලියට ප්‍රථම ව පැවති අප්‍රිකානු ක්‍රීඩා උළෙලට ඔහු සාමාන්‍ය ධාවයකයන් සමඟින් එක් විය. එහිදී ඔස්කාර් ප්‍රිස්ටෝරියස් මීටර් 400 ඉසව්ව සහ මීටර් 400×4 සඳහා රිදී පදක්කම් ජයග්‍රහණය කළේ ලෝකය ම මවිතයට පත් කරමිනි. මේ ධාවන ජය නිසා ම ඔස්කාර් ප්‍රිස්ටෝරියස්ට මීටර 400 ඉසව්වෙන් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන්නට අවස්ථාව හිමි විය.

පාද සහිත මිනිසුන් සමඟ ධාවනයේ යෙදුණු පාද රහිත ප්‍රිස්ටෝරියස්

සපත්තු ඉල්ලලා අඬන්නට එපා කකුල් නැති මිනිස්සුත් ඉන්නවා ය යන කියමන සපත්තු ඉල්ලලා අඬන්න එපා කකුල් නැති මිනිස්සුත් දැන් ඔලිම්පික් දුවනවා ලෙසින් ප්‍රකාශ කිරීමට තරම් ප්‍රිස්ටෝරියස් දැක්වූ දක්ෂතා ලෝ ප්‍රකට විය. ලොව විශිෂ්ටත ම ආබාධයන්ගෙන් තොර ධාවකයන් 51 දෙනකු සමගින් ලන්ඩන් ඔලිම්පික් මීටර් 400 ඉසව්වට ඉදිරිපත් වූ ඔස්කාර් එහි අවසන් පූර්ව වටය තෙක් ගමන් කළේ ය. එහිදී ඔස්කාර් ප්‍රිස්ටෝරියස් ගේ අවසන් ශ්‍රේණිගත කිරීම සටහන් වූයේ 16 වන ස්ථානය ලෙසට ය. පාද රහිත ඔහු පාද සහිත ඔලිම්පික් ධාවකයන් 35ක් අභිබවා ගොස් තිබිණි.

පාද සහිත ධාවකයන් සමග තරඟ වදින ඔස්කාර් ප්‍රිස්ටෝරියස්
පාද සහිත ධාවකයන් සමග තරඟ වදින ඔස්කාර් ප්‍රිස්ටෝරියස් – www.torontostar.com

 ලන්ඩන් පැරාලිම්පික් සඳහා එක් වූ ප්‍රිස්ටෝරියස් එහිදී T44 කාණ්ඩයෙන් මීටර 100 රිදී පදක්කම ද, මීටර් 100×4 රන් සහ මීටර් 400 රන් පදක්කම ද ජයග්‍රහණය කිරීමට සමත් විය. ඉන් අනතුරුව නැවතත් අනාබාධිත දකුණු අප්‍රිකානු 400×4 සහය දිවීමේ කණ්ඩායම සමඟින් එක් වන ඔස්කාර් ප්‍රිස්ටෝරියස් 2012 වර්ෂයේ දකුණු කොරියාවේ ඩේගු නුවර පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට ද සමත් විය. ඔස්කාර් තම ක්‍රීඩා දිවියේ ස්වර්ණමය යුගය පසුකරමින් සිටි අතර ම ඔහු උසේන් බෝල්ට් තරමට ම ලොව ජනප්‍රිය වී සිටියේය.

2012 වසර අවසන් වනවිටදී තම ක්‍රීඩා දිවිය තුළ පැරාලිම්පික් රන් පදක්කම් 6ක් එක් රිදී පදක්කමක් සහ එක් ලෝකඩ පදක්කමක් ඔහු ජයග්‍රහණය කොට තිබිණි. මීට අමතර ව ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා රන් පදක්කමක් ද ඔහු සතු විය. පැරා ක්‍රීඩාවෙන් ඔබ්බට සාමාන්‍ය මලල ක්‍රීඩාවලට එක් වෙමින් ලෝක ශූරතා රිදී පදක්කමක් සමඟින් ඔහු ජයග්‍රහණය කර තිබූ රිදී පදක්කම් සංඛ්‍යාව 3ක් ලෙසින් සටහන් විය. මෙලෙස දිගු ගමනක් පෙන්නුම් කළ ඔස්කාර් ගේ ක්‍රීඩා දිවියට පමණක් නොව සමස්ත දිවියට ම කණ කොකා හඬන්නේ 2014 වර්ෂයේ පෙබරවාරි මස 14 වන දිනයේදී ය.

රීවා ස්ටීන්කෑම්ප්ගේ සිද්ධිය

අබාධිතයකු වුවත් ඔස්කාර් ප්‍රිස්ටෝරියස් කඩවසම් පෙනුමෙන් යුක්ත තරුණයෙක් විය. ඔහුගේ දක්ෂතාවත්, ජනප්‍රියත්වයත් නිසා ම ඔහුට තරුණියන්ගේ ඇල්මෙන් අඩුවක් නොවිණි. ඒ වන විට ඔස්කාර් ගේ පෙම්වතිය වූයේ සුරූපී නිරූපිකාවක් වූ රීවා ස්ටීන්කෑම්ප් ය.

2014 වර්ෂයේ පෙබරවාරි මස 14 වැනි දා වෙඩි පහර කිහිපයක් ඔස්කාර් ගේ නිවස දෙසින් ඇසුණ අතර කලබලයට පත් වූ අසල්වාසීන් පොලීසියට සිදුවීම දැනුම් දුන් අතර ඔස්කාර් ගේ පෙම්වතිය වෙඩි වැදී නිවසේ නාන කාමරය තුළ මිය ගොස් සිටියේ ප්‍රශ්නය බැරෑරුම් කරමිනි.

ඔස්කාර් ප්‍රිස්ටෝරියස් සහ මරණයට පත් වූ ඔහුගේ පෙම්වතිය වන රීවා ස්ටීන්කෑම්ප්
ඔස්කාර් ප්‍රිස්ටෝරියස් සහ මරණයට පත් වූ ඔහුගේ පෙම්වතිය වන රීවා ස්ටීන්කෑම්ප්  – www.theindependant.com

තමන්ගේ සාක්ෂිය ලබා දෙමින් ඔස්කාර් ප්‍රිස්ටෝරියස් ප්‍රකාශ කර සිටියේ රීවා සමඟින් තමා නින්දට ගියත් අනතුරු ව නාන කාමරය දෙසින් ඇසුණ ශබ්දයක් නිසා රාත්‍රියේ දී හදිසියේ ම තමන් පිබිදුණු බව යි. එහිදී සොරෙක් නිවසට පැමිණ ඇති බව සිතා තමා වෙඩි තැබුවා යැයි ඔස්කාර් ප්‍රිස්ටෝරියස් ප්‍රකාශ කළේ ය. නමුත් අසල්වාසීන් ප්‍රකාශ කර සිටියේ සවස සිට ම ඔස්කාර් ගේ නිවසින් බහින්බස්වීම් ආදිය ඇසුණු බව ය. මෙය හිතාමතා කළ මිනීමැරුමක් ද නැද්ද යන්න විසඳා ගැනීම උදෙසා ඔස්කාර් ප්‍රිස්ටෝරියස්ට එරෙහි නඩුව ප්‍රිටෝරියා මහාධිකරණයේ දී 2014 වසරේ මාර්තු මස 3 වැනි දා සිට විභාගයට ගැනිණි.

මෙහිදී ඔස්කාර් ප්‍රිස්ටෝරියස් සිතාමතා මිනීමැරුමක් සිදු නො කළ බවට ඔහුගේ නීතිඥයන් තර්ක කළ කරුණ විය. අවසානයේ දී සාවද්‍ය මිනී මැරුමකට සහ නීති විරෝධී ලෙසින් ගිනි අවියක් ළඟ තබා ගැනීමට වරදකරු වූ ඔස්කාර් ප්‍රිස්ටෝරියස්ට 2014 දී වසර 5 ක සිරදඬුවමක් නියම විය. දඬුවමෙන් 6න් එකක කාලයක් ගත කිරීමෙන් අනතුරු ව යහපත් හැසිරීම නිසා ප්‍රිස්ටෝරියස් නිවාස අඩස්සියට පත් කරමින් නිදහස් කිරීමට තීරණය කළේ 2015 ඔක්තෝබර් මස 19 වන දින ය.

 ඔස්කාර්ට ලැබුණ දඬුවම ලිහිල් වැඩි බව ප්‍රකාශ කරමින් රීවා ස්ටීන්කෑම්ප් ගේ පාර්ශවය අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර මුලින් නියම වූ ඔස්කාර් ගේ සිර දඬුවම වසර 6ක් දක්වා 2016 දී දීර්ඝ කෙරිණි. නමුත් ඔස්කාර් වෙඩි තබද්දී නාන කාමරයේ දොරට වෙඩි තැබූ බව ද එහිදී ඔහු නාන කාමරයේ  පුද්ගලයකු සිටින බව දැනගෙන සිතාමතා ම වෙඩි තැබූ බව රීවා ගේ පාර්ශවය චෝදනා කර සිටියේ ය.

තමන්ගේ පාද යුගලය රහිතව නඩු විභාගය සඳහා ඔහු පැමිණ සිටි අවස්ථාවක්
තමන්ගේ කෘත්‍රිම පාද යුගළය රහිතව නඩු විභාගය සඳහා ඔහු පැමිණ සිටි අවස්ථාවක් – TheIndianExpress.com

 ඊට ප්‍රථම ව දෙදෙනා අතර ඇති වී තිබූ ගැටුම් ගැන ද අවධානය යොමු කළ නීතිඥයන් ප්‍රකාශ කර සිටියේ ඔස්කාර් මෙය සිතාමතා ම කළ මිනී මැරුමක් බව ය. ඒ අනුව ඔස්කාර් ප්‍රිස්ටෝරියස්ට එරෙහිව නව අභියාචන නඩු තීන්දුව 2017 දී ලැබුණ අතර ඒ අනුව ඔස්කාර් ප්‍රිස්ටෝරියස්ට වසර 13 ක සිර දඬුවමක් නියම විය. මෙම සිද්ධියෙන් අනතුරුව කිසිඳු තරගාවලියක් නියෝජනය කිරීමේ වරම්ද  ඔහුට අහිමි වී ගියේ ය.

මේ වන විට 34 හැවිරිදි වියේ පසුවන ඔස්කාර් ප්‍රිස්ටෝරියස් තමන්ගේ සිර දඬුවම් කාලය අවසන් කර නැවත ක්‍රීඩාවට එක් වේ යැයි බලාපොරොත්තු වීම බලාපොරොත්තුවක් ම පමණක් වී තිබේ. ඔහුගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණමය යුගයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ නිසා අහිමි වී ගියේ ය. කෙසේ වෙතත් ඔස්කාර් ප්‍රිස්ටෝරියස් යන නාමය මලල ක්‍රීඩාව තුළ නොමැකී පවතින නාමයක් වන බව නොඅනුමාන ය.

කවරයේ ඡායාරූපය - පාද සහිත මිනිසුන් සමඟ ධාවනයේ යෙදුණු පාද රහිත ප්‍රිස්ටෝරියස් - www.runnersworld.com
 මූලාශ්‍ර :

www.bbc.com

www.cbnews.com

Olympics.com

www.britannica.com

 www.saflii.org 

Related Articles