‘හිට්ලර්…’, මා හිට්ලර් යැයි කියූ පමණින් ඔබේ දෑස් ඉදිරියෙන් එක්වරම ගලා යන්නේ වේගවත්, භයංකර සහ හද කම්පා කරවන ආකාරයේ දර්ශන රාමු ගණනාවකි. තත්පර ගණනක මෙම වේගවත් දර්ශනය අවසානයේ ඔබ ලොකු හුස්මක් ගැනීමට මොහොතකට නවතී. ඇතැම් තැනෙක; නිරුවතින් වෙඩි තබා ඝාතනය කරන ලදුව කුණුවෙමින් පවත්නා යුදෙව් මළසිරුරු ගණනාවක් ද, තවත් තැනෙක ගෑස් කාමර තුළ මරු විකල්ලෙන් වෙව්ල වෙව්ලා හුස්ම අල්ලාගැනීමට දඟලන යුදෙව් ඇටසැකිලි දහස් ගණනක විලාපයද මනසට නැගෙත්ම ඔබට ඔබේ හිස තරමක් බමන වන යුරු දැනෙනු ඇත. දැන් ඔබ යුදෙව්වෙකු තරමටම හෙම්බත්ව ඇත. ඔබට අවැසි මේ අපරාධයේ වගඋත්තරකරු සොයා යෑමටය.
එවිටම ඔබේ සවනට මහා සිංහ නාදයක් ඇසෙන්නට පටන් ගනී. ඔබ ඒ දෙස හැරී බලන්නේ දෙවරක් නොසිතාය. කෙටි උඩු රැවුලකින් යුත් මිනිසෙකු උස් වේදිකාවක් මත විරාජමානව, අතිමහත් ජාත්‍යාලයෙන් යුතුව ජනයා අමතන යුරු ඔබට පෙනෙන්නට පටන් ගන්නේ එවිටය. ඔහුගේ රමණීය භාෂා විලාසයට සවන් දෙන ඔබ කල්පනා කරන්නේ, ඔහු ඉතා දක්ෂ පාලකයෙකු විය යුතු බවය. ඔහුගේ සිත්ගන්නාසුළු කතාවට වශීකෘත වන ඔබට දැන් හැඟෙන්නේ ඔබ උතුම් ජර්මානුවෙකු බවත්, ලොව පිරිසිඳුම ජාතියෙහි කොටස්කරුවෙකු බවත්ය. නමුත් ඔබ ඔහුගේ වසීයෙන් ඉවතට විසි වී යන්නේ, “සියලු යුදෙව්වන් සමූල ඝාතනය කළ යුතුයි”, යනුවෙන් අතිශය දරුණු වාග් මාලාවක් ඔහුගේ මුවින් පිටවත්මය. ඒ කෙටි උඩු රැවුලෙහි හිමිකරු අන් කිසිවෙකු නොව, ‘යුදෙව්වන්ගේ මාරයා ලෙස කුප්‍රකට හිට්ලර්’ බව ඔබ දැනගන්නේ එවිටය.
කතාව අවසානයේ සියල්ලන්ම හිට්ලර්ට අත දිගු කර ආචාර කරන විට එකී ජන ප්‍රවාහය අතරින් ඔබට එක් අසාමාන්‍ය මිනිසෙකු දිස් වේ. ඔහු හිට්ලර්ට අත දිගු කර ආචාර කරන්නේ නැත. ඒ වෙනුවට ඔහු සිය දෑත් බැඳ ඉතා සන්සුන් ලීලාවෙන් බලා සිටිනු ඔබට පෙනේ. ඔබට ඇති වන්නේ අතිමහත් භීතියකි. හිට්ලර් මේ පුද්ගලයාව දුටුවහොත්…?
හිට්ලර්ට ආචාර නොකළ මිනිසා
ඔබ හිට්ලර්ට කෙතරම් අකමැති වුවද, ඔබ ද ඔහු කෙරේ බියෙන්, ඔහු දෙසට අත දිගු කර ආචාර දක්වමින් සිටින බව ඔබගේ මුහුණේ ඉරියව් සියුම්ව නිරීක්ෂණය කරන්නෙකු විසින් වටහා ගන්නා බව නිසැකය. ඔබ, ඒ නිර්භීත විරෝධියා දෙස යළිත් ඇස් කොනින් බලයි. ඔහු සැබවින්ම නිර්භීතයෙකුද? නොමැති නම් ඔහු අමුම අමු මෝඩයෙකු විය යුතුය. මරණය වෙනුවෙන් නිහඬව දෑත් බැඳ බලා සිටීමට වඩා, අකමැත්තෙන් වුවත් අත දිගු කර ආචාර කිරීම කෙතරම් පහසු වන්නේද? නමුත් ඒ ඔබ සිතන ආකාරයයි. ඔහු සිතන්නේ එලෙස නොවේ. ඔහුට, තම ප්‍රිය බිරිඳ යුදෙව් ජාතිකයෙකු වන බව සිහිවත්ම, හිට්ලර් වෙත අත දිගු කර ආචාර කර, යුදෙව්වන් මිහිමතින් මුලිනුපුටා දැමීම සඳහා තමා ද කැපවන බවට ප්‍රතිඥා දීමට හිත නොදෙන බව ඔබ නොදනී.
ඕගස්ට් ලෑන්ඩ්මෙසර්ගේ ඉරණම
1936 වර්ෂයෙහි හැම්බර්ග් නුවරදී මෙසේ හිට්ලර්ට ආචාර දැක්වීම ප්‍රතික්ෂේප කළ ඕගස්ට් ලෑන්ඩ්මෙසර්, මෙතරම් නිර්භීතකමක් පෙන්වීමට හේතුව විය යුත්තේ ඔහු ඉහළ පන්තියේ බවලතෙකු වීම යැයි ඔබ උපකල්පනය කළ ද එය එසේ නොවේ. ඔහු හුදෙක් ජර්මානු කාර්මික ශිල්පියෙකු පමණක් විය. ගමනාරම්භයේදී, එනම් වර්ෂ 1931දී ඔහු නාසි දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු වූ අතර ඔහු එතෙක් පැමිණි ගමන් මග වෙනස් වන්නේ වර්ෂ 1934 දී යුදෙව් ජාතික සුරූපිනියක වූ අර්මා එක්ලර් (Irma Eckler), ඔහුගේ ජීවිතයට පැමිණීමත් සමඟය. එකිනෙකා හා ඉමහත් ආදරයෙන් බැඳුණු ඔවුහු ඉක්බිති විවාහ ගිවිසගන්නා අතර මේ හේතුවෙන් ලෑන්ඩ්මෙසර්ව ඔහුගේ දේශපාලන පක්ෂයෙන් පවා නෙරපා හරී. මහත් හැලහැප්පීම් මැද ගලා ගිය ඔවුනගේ ආදර අන්දරයට නව නිවුරම්බර්ග් නීති හරස් වන අතර එම නව නීති යටතේ ඔවුනගේ විවාහ අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප වීම පවා සිදු වේ. නමුත් කිසිදු නීතියකට ඔවුන්ගේ ආදරයේ අඩිතාලම ගලවාලිය හැකි නොවේ.
සිරගත කීරීම
විගසින්ම ඔවුන්ගේ ලෝකයට ඉංග්‍රිඩ් (Ingrid) නමින් පුංචි දියණියක සම්ප්‍රාප්ත වන අතර, පැවති අනාරක්ෂිත වාතාවරණය හේතුවෙන් නව යුවළ ඩෙන්මාර්කයට පලා යාමට දරන උත්සාහය අවසාන වන්නේ, ‘ජාතියට නිග්‍රහ කිරීමේ වරදට’ ලෑන්ඩ්මෙසර්ව ජර්මන් බන්ධනාගාරයක සිරගත කරවාලමිනි. එක්ලර් එක්ලර්ගේ මව දෙවන වරට විවාහ වීමෙන් අනතුරුව එක්ලර්ව ප්‍රොතෙස්තන්ත පල්ලියක බෞතිස්ම කරනු ලැබ තිබූ හෙයින් එක්ලර් පවසා සිටින්නේ තමා සිය යුදෙව් ජාතිකත්වය පිළිබඳව දැන නොසිටි බවයි. මෙය සලකා බලමින් ජර්මානු අධිකරණය ඔවුන් වෙත දැඩි අවවාද ලබා දෙමින් පවසා සිටින්නේ යළි වරක් පලා යාමට උත්සාහ නොකළ යුතු බවත් එසේ කළහොත් දඬුවම් ලබා දෙන බවත්ය. ඉන් මසක් ගත වූ තැන ලෑන්ඩ්මෙසර්ව අත්අඩංගුවට ගන්නා අතර කඳවුරක් තුළ බරපතල වැඩ ඇතිව මාස 30ක් දඬුවම් විඳීමට ලෑන්ඩ්මෙසර්ට සිදු විය. සිය බිරිඳ අතහැර කඳවුර වෙත නික්මෙන මොහොතේ, ඒ තමා ඇයව දකින අවසාන අවස්ථාව බව ලෑන්ඩ්මෙසර් දැන සිටියේ නැත. එහෙයින් ඔවුහු එකිනෙකා සිප වැළඳ යළි හමුවීමේ බලාපොරොත්තුවෙන් යුතුව එකිනෙකාට ආයුබෝවන් කියූහ.
එක්ලර්ගේ වේදනාව
ලෑන්ඩ්මෙසර්ගේ සමුගැනීමෙන් අනතුරුව එක්ලර්ට සිදුවන්නේ සිය ජීවන රථය වලගොඩැලි මතින් තනිව පදවාගෙන යාමටය. නව නීතියක් හරහා, ජාතියට නිග්‍රහ කළ ස්වාමිවරුන්ගේ යුදෙව් භාර්යාවන් අත් අඩංගුවට ගැනීමට නියම කෙරෙන අතර ඒ අනුව ගෙස්ටාපෝ ජර්මන් පොලිස් හමුදා අලුගෝසුවන්ගේ ග්‍රහණයට හසුවන එක්ලර්ට විවිධ බන්ධනාගාරවල සහ කඳවුරුවල වද වේදනාවන් විඳිමින් ජීවත්වීමට සිදු වේ.
එහිදී ඇගේත් ලෑන්ඩ්මෙසර්ගේත් දෙවන දරුවා (Irene) උපත ලබන අතර දරු දෙදෙනාවම ඔවුන්ගේ මවගෙන් වෙන් කර අනාථ මඩමකට යැවීමට තරම් නාසි පාලනය එහිදී ක්‍රෑර හා අමානුෂික වේ. අනතුරුව පිරිසිදු ආර්යයෙකු නොවන බවට හංවඩු ගසනු ලැබූ පළමු දරුවාව සිය මව් පාර්ශවයේ මිත්තනිය වෙත පිටත් කර යවනු ලැබ දෙවන දරුවාව කඳවුරුගත කරන ලදී. කඳවුරුවල කල්ගත කරන දෙවන දරුවාව ඉන් මුදා ගන්නා පවුලේ හිතවතෙකු, ඇයව ආරක්ෂාව සඳහා ඔස්ට්‍රියාව වෙත පිටත්කර හරින ලද අතර පසුව පෙරළා ජර්මනිය බලා පැමිණි ඇය රෝහල් වාට්ටුවක, සිය අනන්‍යතාව සඟවා ගනිමින් වාසය කරන්නට විය.
දෛවය හැමවිටම සාධාරණ නොවේ. දරුවන්ගේ ඉරණම එසේ විසඳෙමින් තිබියදී, ඔවුන් සිටින්නේ කොහේදැයිවත් නොදැන වර්ෂ 1942දී බර්න්බර්ග්හි ගෑස් කුටියක් තුළ සිය හුස්ම අල්ලා කෑ මොර දෙමින් අවසන් ගමන් යෑමට එක්ලර්ට සිදුවිය.
අවසානය
වර්ෂ 1941දී ලෑන්ඩ්මෙසර් නිදහස්ව පැමිණියද ඒ වනවිටත් ඔහුගේ පවුල විසිරී, අලුදූලි බවට පත් වී තිබුණි. සියලු අපේක්ෂාවන් භංග වී ගොස් ආත්මයකින් තොර මළකඳක් බවට ඒ වනවිටත් පත්ව සිටි මේ නිර්භීතයා වැඩබිමක සේවයට එකතු විය. අනතුරුව දඬුවමක් ලෙස දඬුවම් පාබල හමුදාවක දහස් ගණනක සේනාව අතරට එකතු වන්නට ඔහුට සිදුවන අතර, ක්‍රොඒසියාවේදී අතුරුදහන් වන ඔහු ජර්මනිය යටත්වීමට මාස ගණනකට පෙර එහිදී මිය යන ලදැයි විශ්වාස කෙරේ.
ලෑන්ඩ්මෙසර් සහ එක්ලර් මිය ගිය බවට නෛතිකව පිළිගනිමින් ප්‍රකාශයක්, 1949 වර්ෂයේදී නිකුත් කරන ලදී.
කවරයේ පින්තූරය (Rare Historical Photos)
මූලාශ්‍ර
- August Landmesser, The Man Behind The Crossed Arms, allthatsinteresting.com
- A lone man refusing to do the Nazi salute, 1936, rarehistoricalphotos.com
- brightside.me