බ්‍රිතාන්‍ය කිරීටය හෙබ වූ රජවරුන් සහ රැජනන් පිළිබඳව වූ එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ කරුණු කිහිපයක් අන්තර්ගත ලිපි ද්විත්වයක් අප මීට පෙර ඔබ වෙත ගෙන ආවා. සියවස් ගණනාවක් පැරණි ඉතිහාසයකට උරුමකම් කියන බ්‍රිතාන්‍ය කිරීටය රජවරුන් සහ රැජනන් ගණනාවක් හෙබවූ වා.
මින් සමහරක් දෙනා ශ්‍රේෂ්ඨ පාලකයන් වෙද්දී තවත් සමහරක් දෙනා දුර්දාන්ත, දුර්වල මෙන් ම අසාමාන්‍ය ගති ලක්ෂණ තිබූ අය බවට ඉතිහාසයේ සඳහන් ව තිබෙනවා. මේ ලිපියෙනුත් අපි ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ තවත් එවැනි රජවරුන් සහ රැජනන් ගැන තොරතුරු යි.
අඩු බුද්ධියක් තිබූ සිවු වැනි විලියම් රජු
1830 වසරේ රාජ්‍යත්වයට පත්ව 1837 වසර දක්වා බ්‍රිතාන්‍යයේ රජකම් කළ සිවු වැනි විලියම් රජු බුද්ධි මට්ටමෙන් එතරම් උසස් නැති රජකු ලෙස හැඳින්වෙනවා. විශේෂයෙන් ඔහුට පසු රජකම හෙබවූ, ඔහුගේ නෑනා වන වික්ටෝරියා රැජනත්, ඔහුට පෙර රජකම් කළ ඔහුගේ සොයුරු සිව්වන ජෝර්ජ් රජුත් ඉහළ බුද්ධියකින් යුතු වීම නිසා ඔහුගේ මෙම අඩුපාඩුව කැපී පෙනුණා.
මිත්‍රශීලී ගති ලක්ෂණ තිබූ සිව්වන විලියම් රජු රාජ්‍ය පාලනය සඳහා එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. ඇත්තෙන් ම ඔහුට රජකම භාරගැනීමට වූයේ, ඔහුගේ වැඩිමහල් සොයුරු සිවු වන ජෝර්ජ් රජු හදිසියේ මිය යාම නිසා යි. ඔහුට දරුවන් නොසිටි අතර, මේ නිසා සිහසුනේ ආසන්නත ම උරුමකරු වශයෙන්, එම තනතුරට සිවු වන විලියම් රජු පත් වුණා. රාජකීය නාවුක හමුදාවේ සේවය කළ විලියම් ඇත්තෙන් ම රාජ්‍ය පාලනයට වඩා මුහුදු ගමන්වලට ප්‍රිය කළ කෙනෙක්. ඔහු රජකම භාර ගත්තේ අදිමදි කරමිනු යි. ඔහු රජකම භාර ගන්නා විට, ඔහුට පසු සිහසුනේ උරුමකාරිය වූ, ඔහුගේ නෑණන්ඩිය වන වික්ටෝරියා දහතුන් වියැති වුණා. මුහුදු ගමන්වලට ඔහු හට තිබූ උනන්දුව නිසා ඔහු හඳුන්වනු ලැබුවේ ‘ නාවික රජු’ ලෙස යි.
‘ නාවික රජු’
සිය තුරුණු විය පුරාවට ම විලියම් රජු හැඳින්වුණේ, එක් මතයක පිහිටන්නට නොහැකි, ඉක්මනින් කලබල වන, කිසිදු උපක්‍රමශීලී භාවයක් නොමැති, මුග්ධ අයකු ලෙස යි. 1830 වසරේ දී රාජ්‍යත්වයට පැමිණි පසු ඔහු බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රයට සිදුකරන්නට ගිය සමහර අමනෝඥ සංශෝධන නිසා උසස් නිලධාරීන් ඔහු හා උරණ වූ අතර, ‘මෝඩ, නුසුදුසු’ රජෙක් ලෙස ඔහු හඳුන්වන්නටත් වුණා. මේ නිසා ඔහු හට ‘සිලී බිලී’ යන නාමයකුත් පට බැඳුණා. මෙම නාමය අදටත් අතිශය මුග්ධ පුද්ගලයන් හැඳින්වීම සඳහා බ්‍රිතාන්‍යයේ භාවිත වෙනවා.
කථන අපහසුතාවක් තිබූ සයවන ජෝර්ජ් රජු
මෑතකදී මිය ගිය දෙවන එලිසබෙත් රැජනගේ පියා වන සයවන ජෝර්ජ් රජු පිළිබඳ ව අදටත් බ්‍රිතාන්‍ය වැසියන් සිහි කරන්නේ ඉතා ආඩම්බරයෙන් යුතුව යි. ඒ දෙවන ලෝක යුද සමයේදී ඔහු ඉතා නිර්භීත සහ නිවැරදි ලෙස බ්‍රිතාන්‍ය හමුදා හසුරුවා සිය රට ඉන් බේරා ගැනීමට ක්‍රියා කළ නිසා යි.
1895 වසරේ දී උපත ලද සයවන ජෝර්ජ් රජු හෙවත්, යෝර්ක් හි ඇල්බට් කුමරු කුඩා කල සිට ම, එතරම් කතා බහ නැති, ලජ්ජාශීලී දරුවෙක් වුණා. ඔහුට කථන අපහසුතාවක් තිබූ අතර, එය එක්තරා ආකාරයක ‘ගොතයක්’ ලෙස අර්ථ දක්වා තිබෙනවා. ඇත්තෙන් ම ඔහුගේ පියා වන පස්වන ජෝර්ජ් රජුගෙන් පසු බ්‍රිතාන්‍ය සිහසුනේ උරුමකරු වීමට සිටියේ ඔහු නොවේ, ඔහුගේ වැඩිමල් සොයුරා වන එඩ්වඩ් කුමරු යි. මේ නිසා ඔහුගේ මේ කථන අපහසුතාව ගැන කිසිවකුත් එතරම් අවදානයක් යොමු කළේ නැහැ. විවාහ වීමෙන් පසු එලිසබෙත් සහ මාග්‍රට් යනුවෙන් දියණියන් දෙදෙනෙක් ලද ඔහු ඉටාගෙන සිටියේ, යම් දිනෙක එඩ්වඩ් කුමරු රජ වූ පසු ඔහුට සහාය වෙමින්, නිස්කලංක ව ජීවිතය ගත කරන්නට යි.
සිහසුන හෝ වොලිස් යන දෙකෙන් එකක්
සියල්ල උඩු යටිකුරු වූයේ පස්වන ජෝර්ජ් රජු මිය ගොස් වසක් ඇවෑමෙනු යි. ඇල්බට් ගේ වැඩිමල් සොයුරු එඩ්වඩ්, අටවන එඩ්වඩ් ලෙස සිහසුන භාර ගත්තත්, ඔහුට ඉතා දැඩි විරෝධයක් එල්ල වූයේ, ඔහු වොලිස් සිම්ප්සන් නම්, පෙර විවාහ වී දික්කසාද වූ අමෙරිකානු කාන්තාවක් සමඟ සම්බන්ධ වී සිටි නිසා යි. මේ නිසා එඩ්වඩ් රජුට සිහසුන හෝ වොලිස් යන දෙකෙන් එකක් තෝරාගන්නට සිදු වූ අතර, අවසානයේ ඔහු සිහසුන අත්හැර වොලිස් සමඟ නික්ම ගියේ, ඇල්බට් කුමරු, සිහසුන දැරීමට ආසන්නත ම උරුමකරුවා බවට හදිසියේ ම පත්කරමිනු යි. ඇල්බට් රජකම භාර ගත් අතර, ඉක්මනින් ම සිය කථන අපහසුතාව සෑහෙන දුරකට මඟ හරවා ගැනීමට සමත් වුණා.
මෙලෙස ඇල්බට් කුමරුට හදිසි වාසනාවක් පහළ වීම නිසා, එලිසබෙත් කුමරිය ඔහුගෙන් පසු සිහසුනේ ආසන්නත ම උරුමකාරිය බවට එක් වර ම පත් වුණා.
17 වතාවක් ගර්භිණී වූ ඈන් රැජන
17 වන සියවසේ අග භාගයේ හා 18 වන සියවසෙහි මුල් භාගයේ බ්‍රිතාන්‍ය සිහසුන දැරූ ඈන් රැජන, සිය ජීවිත කාලය තුළ 17 වතාවක් ගර්භිණී බවට පත්වුව ද, ඒ සියලු අවස්ථාවන්හි දී ම එක්කෝ දරු ගැබ අතරමඟ දී ගබ්සා වුණා. එසේත් නැතිනම් ලැබුණු දරුවන් කුඩා කල ම මිය ගියා.
ඈන් රැජනට ප්‍රධාන සතුරෙක් සිටියා, සාරා චර්චිල් හෙවත් මල්බොරෝ හි ඩියුක්වරිය නම් වූ ඇය රට පුරා ප්‍රචාරණය කළේ ඈන් රැජන ගර්භිණී වීමට පමණක් දන්නා, නොසැලකිලිමත්, බියසුලු, කිසිදු වග විභාගයක් නැති තැනැත්තියක බව යි. ඇයට හිතෛෂී සමහරක් දෙනා එය පිළි ගත් අතර, මේ නිසා සමහර ඉතිහාස ග්‍රන්ථවල ඈන් රැජනගේ සමය කිසිදු වැදගත්කමක් නැති කාලයක් ලෙස හුවා දක්වා තිබෙනවා.
මහා බ්‍රිතාන්‍යය නමින් එක් කිරීටයක් යටතට
සමහර ඉතිහාස වාර්තාවල එලෙස සඳහන් ව තිබුණ ද, ඇත්තෙන් ම ඈන් රැජනගේ සමය ඉතා හොඳ සාමයක් සහ ආර්ථික ස්ථාවරත්වයක් බ්‍රිතාන්‍යයෙහි පැවතුණු සමයක් වුණා. එකල එරට හොඳ සංවර්ධනයක් ද සිදුවුණා. 18 වන සියවසෙහි බ්‍රිතාන්‍යය ලොව ඉහළ ම ආර්ථිකයක්, හමුදා බලයක් සහිත රටක් බවට පත් වීමේ මූලික අඩිතාලම වැටුණේ ද ඈන් රැජනගේ සමයේ යි. එංගලන්තය හා ස්කොට්ලන්තය එක්කාසු කරමින් මහා බ්‍රිතාන්‍යය නමින් එක් කිරීටයක් යටතට පත්කිරීම ඇගේ රාජ්‍ය සමයෙහි සිදු වූ අතර, මේ නිසා 18 වන සියවසේ බ්‍රිතාන්‍යයට උදා වූ රන්වන් යුගයෙහි පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ඈන් රැජින යි. කෙසේ නමුත් සාරා චර්චිල් ගේ ක්‍රියාකලාපය නිසා මේ සම්බන්ධ ව ඈන් රැජනට ලැබෙන්නට තිබූ ගෞරවයෙන් වැඩි කොටසක් ඇය වෙත ලැබී නැහැ.