Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලාංකීය ජනප්‍රිය සිනමාවට අත්වැල දුන් පාකිස්තානු ‘චොකලට් වීරයා’

‘හෝ හෝ තුෂාරා…. හෝ හෝ තුෂාරා..” එච්. ආර් ජෝතිපාලයන් විසින් තුෂාරා සිනමා පටයට ගායනා කරන ලද මෙම ගීතය කණ වැකුණු සැණින් බොහෝ දෙනාට සිහි වන්නේ ශ්‍රී ලාංකේය සිනමාවේ සිහින කුමරා විජය කුමාරතුංග මහතා වයි. එසේම එම කන්කළු ගීතයේ හින්දි ගීතය කුමක්දැයි සමහරු හොයන්නට ඇත. නමුත් මෙහි ආභාෂිත ගීතය හින්දි ගීයක් නොවේ. එය උර්දු හෙවත් පාකිස්ථානු ගීතයකි. “කෝ කෝ කොරීනා” නම් මෙම ගීතය 1966 වසරේ ලාහෝරයේ නිපැයුණු ‘අර්මාන්’ නම් චිත්‍රපටයට ගැයුණකි. මෙහි කතා නායකයා ලෙස පෙනී සිටින්නේ ඉතාම සියුම් රංග නිපුණතාවයක් දක්වන කඩවසම් තරුණයෙකි. අද ඔහු අපේද කතා නායකයායි.

ඉතා විචිත්‍රවත් ආරම්භයක් හා දුක්බර අවසානයක් සහිත වූ ඔහු නිකන්ම නිකම් නළුවකු නොවේ. බොලිවුඩය නැමති මහා පවුරේ සෙවනැල්ලෙන් වැසුණු ‘ඔහු සමස්ත දකුණු ආසියාවම ලද මහඟු සම්පතකි. බොහෝකොට බොලිවුඩ් හෙවත් ඉන්දියානු සිනමාව අනුසාරයෙන් ගොඩ නැඟුණු ලාංකේය ජනප්‍රිය සිනමාව ගොඩ නැඟීමෙහි ලා මොහුගෙන් ලැබුණු ආභාෂය බොලිවුඩය සමඟ කරට කර සිටින තරමේ එකක් යයි කීම අවිවාදිතය. කාලයත් සමඟ පකිස්ථානයටත් අමතක වී ඇති ඔහු නමින් වහීඩ් මුරාඩ් ය.

වහීඩ් මුරාඩ් ‘කෝ කෝ කොරීනා’ ගීතයේ රඟමින් (dailymotion.com)

සැපවත් ළමා කාලයක්

වහීඩ් මුරාඩ් උපත ලැබුවෙ 1938 ඔක්තෝබර් 2 වන දින කරච්චියේ ධනවත් ‘සර්දාර්’ පවුලකට අයත්වය. ඔහුගේ පියා නිසාර් මුරාඩ් නැමති චිත්‍රපට බෙදා හරින්නෙකි. බොහෝ කලාකරුවන්ට වඩා සැපවත් ළමා කාලයකට හිමිකම් කී මුරාඩ් සිය මූලික අධ්‍යාපනයෙන් වඩි කොටසක් හැදෑරුවේ කරච්චියේ ප්‍රධානම පාසලක් වන මාරි කොලැකෝ විද්‍යාලයෙනි. බොහෝ පවුල්වල මෙන්ම වහීඩ් වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරු වරයෙක් වෙනු දැකීම ඔහුගේ මවගේ සිහිනයක් වුවත් සිනමා කර්මාන්තයට සම්බන්ධව සිටි ඔහුගේ පියාටනම් ඔහු සිනමාව පැත්තට යොමු වීම සතුටක්ම වන්නට ඇත. එම නිසා ඔහු වහීඩ්ට බී. ඒ හා පශ්චාත්උපාධි ලබා ගන්නා තුරුම මූල්‍ය ප්‍රතිපාදන සැපයූයේ ය. වහීඩ් කලා විෂයයන්ගෙන් බී.ඒ උපාධියද, කරච්චි විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍ය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියද ලබා ඇත.

ගැටවර වියේ වහීඩ් (arynews.tv)

පාකිස්ථානු සිනමාවට ආගමනය

සිනමාව කෙරෙහි ලැදියාවත් ආශිර්වාදයත් ආභාෂත් ලැබුණු තරුණ වහීඩ් මුලින්ම සිය පියා සමඟ චිත්‍රපට බෙදා හැරීමට දායක විය. ඔහුට වයස අවුරුදු 20 දී පමණ ‘සාති‘ නම් චිත්‍රපටයක මෝටර් කාරමිකයෙකු ලෙස සුළු චරිතයක් ලැබීමෙන් රංගන ශිල්පියෙක් ලෙස අත්පොත් තැබීමට අවස්ථාව උදා විය. මේ පාකිස්තානු සිනමාවේ එක් පතාක යෝධයෙකුගේ ආගමනය යයි කියා එවකට කිසිවෙකුත් සිතන්නට නැතිව ඇති. 1959 වර්ෂයේදී ‘අවුලාද්‘ නැමති චිත්‍රපටයේ සැලකිය යුතු චරිතයක් ලැබෙන වහීඩ්ට සිනමා රංගනය හා නිෂ්පාදනය ගැන වහ වැටුණි. කොතරම් වහ වැටුනාද යත් 1960 වසරේදී සිය පියාගේ යෝජනාවකට අනුව ‘ෆිල්ම් ආර්ට්ස්‘ නමින් තමන්ගේම චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ආරම්භ කිරීමට යෙදුණි. මුල් කාලයේදී රංගන ශිල්පියෙක් වශයෙන් ඒ තරම් ජනප්‍රිය බවක් නැති නිසා ඔහුගේ පියාගෙන් උපදෙස් ලැබුණේ නිෂ්පාදනය කරන චිත්‍රපට වල ප්‍රධාන චරිත ජනප්‍රිය අයවලුන්ට ලබා දී තමන් සහය චරිත පණ පොවන ලෙසයි. ‘ඉන්සාන් බදල්තා හේ’ හා ‘ජබ් සේ දේඛා හේ තුම්හේ’ එසේ නිෂ්පාදනය කළ මුල්ම චිත්‍රපට දෙකයි.

තරුණ වහීඩ් සාති (1959) චිත්‍රපටයේ – (waheedmurad.weebly.com )

මේ අතර වහීඩ්ගේ කඩවසම් පෙනුමත් රංගනයේ දකින්නට ලැබුණු දක්ශතාවයත් නිසා ටිකෙන් ටික පාකිස්ථානයේ තරුණ පිරිස් අතර ඔහු ගැන කතා බහ වෙන්නට පටන් ගැණිනි. තරුණ කාන්තාවන් ඔහුට වශීකෘත වෙමින් පැවතිණි. මෙය වටහාගත් වහීඩ් හා ඔහුගේ පියා වහීඩ් චිත්‍රපට වල ප්‍රධාන චරිතය කරන්නට සුදුසු කාලය පැමිණ ඇතැයි තීරණය කළහ. ගත් තීරණය නිවැරදි බව ස්ථිර කරමින් ‘හීරා ඖර් පත්තර්‘ නැමති චිත්‍රපටය සාර්ථක විය. මෙහිදී හඳුන්වා දුන් සීබා-වහීඩ් සුසංයෝගය ලංකාවේ විජය-මාලිනී සුසංයෝගය මෙන් අති සාර්ථක විය.

 

වහීඩ්- සීබා සුසංයෝගය (DAWN)

රංගනයේ හිනිපෙත්තට

රංගනයට අමතරව වහීඩ්ට තවත් විශේෂ හකියාවක් තිබිණි. ඒ පිටපත් රචනයේ තිබුණු විශිෂ්ට දක්ෂතාවයයි. මේ කාරණය හැමවිටම රංගන ශිල්පියෙක් ලෙසද ඔහුව ඉදිරියෙන්ම තැබීය. ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වූ ඔහු අනික් නළුවන්ට වඩා ඉක්මනින් පිටපත් වල සියුම් තැන් තේරුම් ගෙන සාර්ථකව චරිතයට ප්‍රවිෂ්ඨ විය. ඔහු පිළිබඳ ඇගයීම් ගලා එන සමයක ‘අර්මාන්‘ නැමති සිනමා පිටපතක් ඔහු රචනා කළේය. ප්‍රධාන නළු භූමිකාවත් නිෂ්පාදනයත් යන කර්තව්‍ය දෙක රචනයට අමතරව ඈඳාගත් වහීඩ්ගේ මෙම චිත්‍රපටය සියලු පාකිස්ථාන සිනමා වාර්ථා බිඳ හෙළමින් අති සාර්ථක විය. වහීඩ් එක රැයින් සුපිරි තරුවක් වූ අතර වහීඩ් මුරාඩ් උන්මාදයක් පාකිස්ථානයේ තරුණියන් අතර පැතිර ගියේය. 1966 වසරේ තිරගත වුණු මේ ‘අර්මාන්’ චිත්‍රපටය පාකිස්ථාන ජනප්‍රිය සිනමාව වෘත්තීය මට්ටමකට ගෙන ආ අතර ප්‍රථම ‘ප්ලැටිනම් ජුබිලි‘ උර්දු චිත්‍රපටය විය. චිත්‍රපටයේ අන්තර්ගත වූ ‘කෝ කෝ කොරීනා’ ගීතය කොයි තරම් ජනප්‍රිය වූයේද යත් වසර 50ක් ගත වී ඇති නමුත් තවමත් පාකිස්ථානයේ ඇසෙන ගීයක් බවට පත් වී තිබේ.

අර්මාන් (1966) වහීඩ් එක රැයෙන් ජනප්‍රිය කරන ලදි (sharjeelahmad.wordpress.com)

වහීඩ් ගැන විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් වන්නේ ඔහු උන්මාදයක් බවට පත් වන්නේ කඩවසම් කම නිසා පමණක් නොවීමයි. රූපයට අමතරව සිදු කළ සියුම් භාව පූර්ණ රංගනය ඔහු පරිපූර්ණ නළුවෙක් බවට පත් කළේය. වරක් බොලිවුඩ් සුපිරි තරුවක් වන රාජේශ් ඛන්නා ප්‍රකාශ කලේ වහීඩ් මුරාඩ් තමන්ට අනුව ආසියාවේ හොඳම නලුවා බවයි. එසේම තමාට ඔහු තරම් රිද්මයානුකූලව රංගනය කළ නොහැකි බව හෙතෙම නිහතමානීව ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාව වැනි රට වල වහීඩ් මුරාඩ් ඍජුව ජනප්‍රිය නොවුණත් මෙහි සිනමා අධ්‍යක්ෂකවරු හා නළු නිළියන් ඔහුව අධ්‍යනය පමණක් නොව අනුගමනයද කර ඇති බව තහවුරු වෙන්නේ තුෂාරා වැනි චිත්‍රපට වල අනුවාදිත ගීත කීපයක්ම වහීඩ් මුරාඩ් රංගනයෙන් දායක වූ ගීත වීමෙනුයි.

වහීඩ් 70 දශකයේ මුල් භාගයේ (arynews.tv)

ජනප්‍රිය බවේ හිනිපෙත්තටම ගිය වහීඩ් මුරාඩ්ට විවිධ නම් පට බැඳී තිබිණි ශෘංගාරයේ රජු, කාන්තා ඝාතකයා, සුපිරි තරුව, චොකලට් වීරයා, සිනමා විශාරද ඉන් කීපයකි. ජනප්‍රිය බවේ සංකේතයක් ලෙස වීදි සංචාරයකින් පසුව ඔහුගේ කාරයේ වැදී තිබුණු තොල් ආලේපන සටහන් රාශියක් හේතු සපයන අතර රංගනයේ විශිෂ්ටත්වය කියාපාන්නක් ලෙස චිත්‍රපට 125ක් තුල ලැබුණු සම්මාන 32 සඳහන් වේ. අර්මාන්, අන්ජුමාන්, ෂබානා, ඉෂ්ක් මෙරා නා, ආවාzස් වැනි ඔහුගේ චිත්‍රපට අති සාර්ථක විය. රචනයේ නිසඟ හැකියාව නිසා විවිධ පරාස වල චරිත ඔහු තමන් වෙනුවෙන් රචනා කර ගත්තේ ය. ඔහු පාකිස්ථානයේ සංස්කෘතිකමය සලකුණක් හැටියට සමහරු සලකති.

විවාහය

1964 වසරේ දී වහීඩ් සල්මා නැමති ලඳක් සමඟ පෙමින් වෙලී සිට ඇයව විවාහ කරගත්තේය. දරුවන් තිදෙනෙක් ලද ඔවුන් දෙදෙනා (එක් දියණියක් ළදරු වියේදීම මිය ගියා ය) විවිධ හැල හැප්පීම් මැද වහීඩ්ගේ මරණය ආසන්නයක් වන තුරුම වෙන් නොවී සිටීම සැබවින්ම ආදර්ශමත් ය. අතිශය ජනප්‍රිය නළුවෙකු ලෙස කාන්තා ආකර්ශනය මැද  එය ඉවසා දරා සිටීමටත්, තම අන්තයේ යම් වැරදි සිදු වූ විට එය අමතක කර දමා සහයෝගයෙන් සිටීමටත් හැකි බිරිඳක් ලැබීමට තරම් වහීඩ් වාසනාවන්ත වී තිබිණි.

1964 දී සිදුවූ වහීඩ්-සල්මා විවාහය (DAWN)

පසුබැස්ම හා ජීවිතයේ අවසන් භාගය

කෙතරම් ජනප්‍රියව සිටියත් 1970 දශකයේ අග භාගය වන විට වහීඩ්ගේ ඉල්ලුම ක්‍රමයෙන් පහත වැටෙමින් තිබිණි. ඔහු අය කරන්නා වූ ව්ශාල මුදල ගෙවීමේ නොහැකියාවත්, නදීම් බෙග් වැනි දක්ශ තරුණ නළුවන්ගේ ආගමනයත්,සමහර නිලියන්ගේ සැමියන් ඔවුන් වහීඩ් සමඟ රඟනවාට අකමැත්ත දැක්වීමත් නිසා අධ්‍යක්ෂක වරුන් ඔහු කෙරෙන් දුරස් වෙමින් තිබිණි. මේ නිසා ඔහුගේ සිනමා නිෂ්පාදන ක්‍රියාවලියත් අඩපණ වෙමින් තීබිණි.. කෙමෙන් කෙමෙන් මානසික අසහනයට පත් ඔහු මත්පැන් වලට හා බුලත් විට වලට ඇබ්බැහි වීම නිසා මෙතෙක් කල් මහත් සහයෝගයක් වෙමින් සිටි සිය බිරිඳ සල්මා බැරිම තැන දරුවන්ද කැටුව ඇමරිකාවට යාම ඔහුට වැදුණු මරු පහරක් විය. වැරදි සෞඛ්‍ය පුරුදු නිසා බඩවැල් තුවාල වලට ලක් වී සැත්කමකට භාජනය වීමට සිදු වීමත් රිය අනතුරකට භාජනය වීමත් නිසා ඔහුගෙ පෙනුමත් ප්‍රතිහාවත් තව තවත් ඔහු වෙතින් ගිලිහුණි. 1983 වන විට වහීඩ් මුරාඩ් නැමති ඒ ලොවක් වසඟ කළ මහා රංගන ශිල්පියා ඉබාගාතේ යන චරිත යදින්නෙක් ගණනට පත් වී තිබිණි.

වහීඩ් මුරාඩ් (1983) සිය අවසන් රූපවාහිනී සාකච්ඡාවේදී (DAWN)

තවමත් අහිරහසක් වන මරණය

1983 අග භාගයෙදී වහීඩ් තවත් දරුණු රිය අනතුරකට මුහුණ පෑවේය. ඉන් ඔහුගේ හිසට හා මුහුණට තුවාල සිදු විය. මුහුණේ කැළැල් මකා ගන්නට 1983 නොවැම්බර් 24 වනදා දින දාගත් ඔහු ඊට කලින් දින රාත්‍රියේ සිය සහෝදරියකගේ නිවසේ නවතැන් ගෙන නින්දට ගියේ ය. 24 වන දින දහවල් වන තුරු ඔහුගේ කාමරයෙන් හාවක් හූවක් නොවූ නිසා දොර කඩා බැලූ විට බිම වැටී සිටි ඔහුගේ මෘත ශරීරය හමු විය. උගුරේ බුලත් කොලයක් වැනි යමක් සිර වී තිබිණි. මෙය හෘදයාබාදයක්ද, අනතුරක්ද, සිය දිවි නසා ගැනීමක්ද යන්න අදටත් අභිරහසකි. ලොවක් නැලවූ සිහින කුමාරයෙක් ලොවක් හඬවමින් එලෙස අවසන් ගමන් ගියේ ය.

වහීඩ් මුරාඩ් (newspakistan.tv)

වහීඩ් මුරාඩ්ගේ රංගන ශෛලිය අදටත් පාකිස්ථානයේ හා ඉන්දියාවේ රංගන පාසල් වල උගන්වයි. ඔහුගේ දක්ශතාවය හා ජීවිතය බොහෝ දෙනා එල්විස් ප්‍රෙස්ලි ට සමාන කරයි. ඔහුගේ ආභාෂය පැහැදිලිවම බොලිවුඩ් සිනමාවට එකතු වී ඇති බව පෙනේ. ඉතින් බොලිවුඩයෙන් පෝෂණය වී ඇති ලාංකීය ජනප්‍රිය සිනමාවට ඔහුගේ සෙවනැල්ල වැටී නැතැයි කිව හැක්කේ කාටද?

Cover Image: වහීඩ් මුරාඩ් (dailymotion.com)

මූලාශ්‍ර

raafay-awan.blogspot.com

pak101.com

Related Articles