මෑත කාලයේ දී බුදු දහමේ චිරස්ථිතිය උදෙසා අනුපමේය සේවාවක් කළ භික්ෂූන් වහන්සේලා රැසක් පිළිබඳ අපි අසා ඇත්තෙමු. ඒ අතරින් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට නතු ව පැවැති සමය තුළ බුදු දහම සහ බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා සුවිශාල සේවාවක් කළ අය අතර බම්බලපිටිය වජිරාරාමය මූලික කරගෙන වැඩ විසූ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් වේ. මේ ලිපිය ලියැවෙන්නේ බම්බලපිටිය වජිරාරාමයේ වැඩ විසූ, මෙරට පමණක් නොව මුළු ලෝකයේ ම ගෞරවාදරයට පාත්‍ර වූ ස්වාමීන් වහන්සේ නමක් වන නාරද හිමියන් පිළිබඳ ව යි.
උපත හා තරුණ කාලය
1898 වසරේ ජූලි මස 14 වැනි දින කොළඹ කොටහේනේ මධ්‍යම පාන්තික පවුලක කැලෝනිස් හා පබිලිනා ද සිල්වා මව්පියන්ට දාව සුමනපාල නාමයෙන් නාරද හිමියන් උපත ලැබී ය. කොළඹ කොටහේන යනු එවකට රෝමානු කතෝලික පිරිස් බහුල ප්‍රදේශයක් වූවත් සුමනපාල දරුවාගේ මව කොටහේන කරුණාතිලකාරාමයේ සැදැහැති දායිකාවක් වීම නිසාම කුඩා අවධියේ සිට බුද්ධ ධර්මය පිළිබඳ ව හා ප්‍රාචීන භාෂා පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීමට සුමනපාල දරුවාට හැකියාව ලැබුණේ ය.
කෙමෙන් තරුණ වියට පත් වන විට කොටහේන කරුණාතිලකාරාමයේ විහාරධිපති තංගල්ලේ පාලිත නාහිමියන්ගේ මිත්‍රවරයන් වහන්සේ නමක් සහ එකල ව්‍යක්ත ධර්මකථිකයන් වහන්සේ නමක් වූ පැලෑණේ සිරි වජිරඤාණ නාහිමියගේ ඇසුර සුමනපාලට ලැබිණි.
කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් අධ්‍යාපන ලැබූ සුමනපාල වඩ වඩාත් බුදු දහම කෙරෙහි නැඹුරු වීමක් දක්නට ලැබුණු අතර ඒ අනුව තම මවගෙන් පැවිදි විම සඳහා අවසර ඉල්ලා සිටියේ ය. මව පළමුවෙන් ම මේ පිළිබඳ අකැමැත්ත ප්‍රකාශ කළ ද, පසුව තංගල්ලේ පාලිත හිමියන්ගේ සහ පැළෑණේ සිරි වජිරඤාණ යන හිමිවරුන්ගේ කරුණු පැහැදිලි කිරීම්වලින් අනතුරුව ඊට කැමති වූවා ය. ඒ අනුව සුමනපාල තම පැවිදි දිවිය අරඹනු පිණිස බම්බලපිටිය වජිරාරාමය තෝරා ගත්තේ ය.
පැවිදි වීම හා මුල් කාලීන පැවිදි දිවිය
1916 ජූලි 16 වැනිදා වේරගම්පිට සිරි රේවත නාහිමියන්ගේ උපාධ්‍යාත්වයෙන් පැලෑණේ සිරි වජිරඤාණ මහ නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් සුමනපාල තරුණයා පැවිදි බිමට පත් වූ අතර එහි දී උන්වහන්සේ ලැබූ නාමය වන්නේ නාරද යන්න යි. පැවිද්දෙන් අනතුරු ව පැළෑණේ නාහිමියන් වෙතින් ත්‍රිපිටකය ධර්මය පිළිබඳව ද, අරංගල ශ්‍රී ධම්මනායක හිමියන්ගෙන් හා ලක්මිණි පහන කර්තෘ ධර්මරත්න පඬිතුමාගෙන් අභිධර්මය පිළිබඳව ද ඉගෙනීමට උන්වහන්සේ සමත් විය. 1918 වසරේ අගෝස්තු 20 වැනිදා උපසම්පදාව ලද උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයට බැඳී තර්ක විද්‍යාව, බටහිර දර්ශනය ආදි විෂයයන් ද හැදෑරූහ.
උන්වහන්සේගෙන් උගත් ප්‍රසිද්ධ නායකයෝ
ධර්ම ඥානය වර්ධනය කරගනිමින් සිටි නාරද හිමියෝ එකල කොළඹ දහම් පිපාසයෙන් සිටි තරුණ හා ළමා පරපුරට කෙමෙන් කෙමෙන් එහි අගය වටහා දීමට ද උත්සාහ කළහ. ඒ අනුව පැළෑණේ නාහිමියන් ඇරැඹූ ධර්ම පන්තිය නැතහොත් වජිරාරාම දහම් පාසල මුල් කොට ගෙන සිය ශාසනික මෙහෙවර සිදු කිරීමට නාරද හිමියන් සමත් විය.
පසුකාලීනව මෙරට දේශපාලනයේ කැපීපෙනෙන චරිත බවට පත් වූ ඩඩ්ලි සේනානයක, ජේ.ආර්.ජයවර්ධන, බර්නාඩ් සොයිසා, සී.පී ද සිල්වා, නිශ්ශංක විජේරත්න, ලලිත් ඇතුලත්මුදලි, අනුර බණ්ඩාරණායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ ආදීන් උන්වහන්සේගෙන් ධර්මය උගත් අය අතර වෙති.
විදෙස් ධර්මදූත සේවාවට යොමු වීම
නාරද හිමියන්ගේ ප්‍රථම ධර්මදූත ගමන ලෙස 1927 දී ඉන්දියාවේ නව මූලගන්ධකුටි විහාරය විවෘත කිරීමේ උළෙල බලා වැඩම කිරීම හැඳින්විය හැකි ය. එම උත්සවයෙහි ප්‍රධාන දේශනය එවකට විද්‍යෝදය පරිවෙණාධිපති කහවේ රතනසාර හිමියන් සිදු කළ අතර එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන කොට දේශනා කිරීම නාරද හිමියන් අතින් ඉටු විය. පාසල් සමයේ සිට ඉංග්‍රීසි භාෂාව මැනවින් හැදෑරීම හේතුවෙන් උන්වහන්සේට එම අවස්ථාව උදා වූ බව පෙනෙයි.
ඉන් ආරම්භ වූ උන්වහන්සේගේ ධර්මදූත සේවාව කාම්‌බෝජය, සිංගප්පූරුව, චීනය, සහ වියට්නාමය වැනි පෙරදිග රටවලටත් ප්‍රංශය, එංගලන්තය සහ අමෙරිකා එක්සත් ජනපදය වැනි බටහිර රටවලටත් ව්‍යාප්ත විය. දකුණු අප්‍රිකාව, ස්කොට්ලන්තය, ස්වීඩනය, ඕලන්දය, ඩෙන්මාර්කය, බෙල්ජියම, ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රේලියාව, චීනය, ජපානය සහ ලාඕසය වැනි රටවලට ප්‍රථමයෙන් ම වැඩම කළ ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ වූයේ ද උන්වහන්සේ ය.
ඉහත කරුණු පදනම් කරගෙන බොහෝ විද්වතුන් පවසන්නේ ලෝකයේ මහද්වීප පහ ම ආවරණය වන පරිදි එකවර ධර්මදූත කටයුතු සිදු කළ ශ්‍රී ලාංකික ධර්මදූතයන් වහන්සේ වීමේ ගෞරවය නාරද හිමියන්ට හිමි වන බව යි. මේ ධර්මදූත ගමන්වලදී ධර්මදේශනා සහ සාකච්ජා සිදු කිරීමට අමතරව බෞද්ධ සමිති සහ ආරාම ඇති කිරීම ද උන්වහන්සේ සිදු කළ මෙහෙවරකි.
විදෙස් රටවල් වෙනුවෙන් සිදු කළ සේවාව
නේපාල රජු 1946 වසරේ දී එරට භික්ෂූන් වහන්සේලා රටින් නෙරපා දැමූ අවස්ථාවේ දූත පිරිසක් ද සමඟින් නේපාලයට වැඩම කළ නාරද හිමියන් රජුට කරුණු පැහැදිලි කර දී එම අදූරදර්ශී ක්‍රියාව නතර කරන ලෙසට උපදෙස් ද දී ඇත. ඉන් නොනැවතුනු උන්වහන්සේ එහි දාගබක් ද ඉදි කරවීමට අනුශාසනා කොට එය ලංකා චෛත්‍ය යනුවෙන් නම් කර ඇත. උන්වහන්සේගේ මැදිහත්වීමේ තවත් ප්‍රතිඵලයක් ලෙස වෙසක් පොහෝ දිනය නේපාලයේ රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත් කිරීමට ද හැකි විය.
වියට්නාමයට වැඩම කළ නාරද හිමියෝ එරට දාගබක් ද බඳවා සීමා සම්මත විනය කර්මයක් ද සිදු කළ හ. 1956 වසරේ දී අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී “බුදුන් වහන්සේ හා බෞද්ධ දර්ශනය” නමින් කළ දේශනය ශ්‍රවණය කිරීමට අමෙරිකානුවන් අතුරු සිදුරු නොමැතිව එහි රැස්ව සිටි අතර එම දේශනයෙන් අනතුරුව එරට තුළ විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති විය.
සිංගප්පූරුවේ වර්තමානය වන විට බෞද්ධ කේන්ද්‍රස්ථානයක් බවට පත් ව ඇති ශ්‍රී ලංකාරාමය ආරම්භ කිරීමට ද නාරද හිමියන් මුලිකත්වය ගෙන කටයුතු කර ඇත. බදු පදනම මත ඉඩමක් වෙන් කරවාගෙන එහි තුන් මහල් ගොඩනැගිල්ලක් ද ඉදි කළ උන්වහන්සේ එය සංවර්ධනයකොට විහාරස්ථානයක් බවට පත් කිරීම සඳහා විශාල මෙහෙවරක් සිදු කළහ.
ඉන්දුනීසියාවේ බුදු දහම යළි ප්‍රවර්ධනය කරනු ලැබුවේ ද නාරද හිමියන්ගේ මැදිහත් වීමෙනි. උන්වහන්සේ 1934 වසරේ මාර්තු මාසයේ ඉන්දුනීසියාවේ නොයෙකුත් පළාත්වලට වැඩම කරමින් ධර්මදේශනා සංවිධානය කළ අතර ඒ අනුව ඉන්දුනීසියාවේ බෞද්ධ සංවිධාන ආරම්භ රැසක් ආරම්භ විය. ඉන් අනතුරුව තායිලන්ත, බුරුම හා චීන භික්ෂූන් වහන්සේලාට ඉන්දුනීසියාවට වැඩම කිරීමට අවස්ථාව සලසා දුන්හ.
ලාඕසයේ බෞද්ධයන් අදටත් නාරද හිමියන් සිහි කරන්නේ ඉමහත් ගෞරවයෙනි. ඒ නිසා වරෙක එරට සංඝරාජහිමියන් එරට රජුගේ අනුමැතියෙන් නාරද හිමියන් සුවඳ පැනින් නහවා ‘සාධු මහා’ යන ගෞරව නාමයෙන් පිදී ය. චීනයට වැඩම කළ දූත ගමනේ දී චීන තරුණයන් පස් දෙනෙක් ලංකාවට කැඳවා ගෙන විත් පස්වග මහණුන්ගේ නම් ලබා දී 1936 වසරේ දී මහණ උපසම්පදා කොට චීනයේ ථෙරවාදී බුද්ධ ශාසනය නැවතත් පිහිටුවීමට උන්වහන්සේ කටයුතු කළහ.
ලන්ඩන් බෞද්ධ විහාරය නැවැත නඟා සිටුවීම
අනගාරික ධර්මපාලතුමන් 1925 වසරේ දී යුරෝපයේ ප්‍රථම බෞද්ධ විහාරය ලෙස ආරම්භ කොට තිබූ ලන්ඩන් බෞද්ධ විහාරය පසුකාලීන ව විවිධ හේතු නිසා අභාවයට ගොස් තිබිණි. එය දෙවැනි ලෝක යුද සමයෙන් පසු නැවැත නඟාසිටුවීම ද නාරද හිමියන්ගෙන් සිදු වු තවත් එක් සේවාවකි.
සේවා හා රචිත ග්‍රන්ථ
1983 දී හටගත් වාර්ගික කලබල අවස්ථාවේ දී බම්බලපිටිය ප්‍රදේශයේ 300 අධික දෙමළ ජනතාව වජිරාරාමයට කැඳවා ගනිමින් ඔවුන්ට දින තුනක් තිස්සේ සියලු පහසුකම් ලබා දී ආරක්ෂාව දීම තුළ උන්වහන්සේ තුළ තිබුනු මෛත්‍රී සහගත බව පිළිබිඹු වේ.
1955 වසරේ දී බම්බලපිටිය වජිරාරාමයේ විහාරාධිපති ධූරයට පත් වූ උන්වහන්සේ වජිරාරාමයෙහි දාගබ් වහන්සේ හා දෙමහල් ධර්මශාලාව ගොඩනඟා එම විහාරස්ථානය චිත්තාකර්ශනීය විහාරස්ථානයක් බවට පත් කළහ. උන්වහන්සේ අල්පේච්ඡ හා අනතිමානී ගුණය පෙන්වා දිය හැකි හොඳ ම අවස්ථාවක් ලෙස තමන්ගේ නාමය යම් තැනක සඳහන් කරන විට එය හුදෙක් ‘වජිරාරාමවාසී නාරද ස්ථවිර’ ලෙස පමණක් යෙදීම දැක්විය හැකි ය.
තමන්ගේ ගුරුහිමියන් වූ පැළෑණේ සිරි වජිරඤාණ නාහිමියන් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්‍රථම ධර්මදේශකයන් වහන්සේ වීම නිසා එයින් පන්නරයක් ලබා ගත් නාරද හිමියන් මෙරට ප්‍රකට ධර්මදේශකයන් වහන්සේ නමක් විය. උන්වහන්සේ ස්වකීය ජීවිත කාළය තුළ ධර්මදේශනා සදහා වැඩම නොකළ ග්‍රාමයක් ශ්‍රී ලංකාව තුළ නොවූ තරම්ය .
උන්වහන්සේ ලියූ ග්‍රන්ථ ලෙස සිංහල ඛුද්දක පාඨ, දම්පියා පහන, පිරිසිදු සිත, අවිහිංසාව, පුනුරුත්පත්තිය, දස පාරමී, නිර්වාණය, ධර්ම සංග්‍රහය, සදහම් මග, The Buddha And His Teachings, Manual of Buddhism, Buddhism in natshel, Pali Coures, Manual of Abhidhamma, Life of the Saripuththa, Life of the Buddha යන ග්‍රන්ථ හදුන්වා දිය හැකි ය. මෙම ඇතැම් ග්‍රන්ථ ප්‍රංශ, ජර්මන්, පෘතුගීසි, කාම්‌බෝජ සහ චීන භාෂා වලට ද පරිවර්තනය විය.
අවසන් කාලය හා අපවත් වීම
මෙසේ වසර 70කට ආසන්න කාලයක් ලෝක ශාසනය උදෙසා විශාල සේවාවක් සිදු කළ උන්වහන්සේ කෙමෙන් වයෝවෘද්ධ තත්ත්වයට පත් වුවත් සිය ජීවිතයේ අවසාන කාලයේ දී පවා වජිරාරාම දහම් පාසලේ දරුවන්ට ඔවදන් දීමට රෝද පුටුවකින් වැඩි සේක. ඒ සෑම අවස්ථාවකදී ම දක්ෂ දරුවන් තෝරා ඔවුන්ට තිළිණ දීමට ද උන්වහන්සේ අමතක නොකළ සේක. 1983 අගෝස්තු මාසයේ දී රෝහල් ගත වූ උන්වහන්සේ 1983 ඔක්තෝම්බර් මස 02 දා අපවත් වි වදාළ සේක.