
කොළඹ ජාතික ඇස් රෝහල අසලින් ඩීන්ස් පාර දෙසට යන විට පාර අයිනේ මල් සැරසිලිකරුවන් ගේ ව්‍යාපාරික ස්ථාන රැසක් හමුවෙයි. දමිත කුමාරසිංහ (64) සහ නිහාල් හඳගම (67) පවත්වාගෙන යන ‘ඔරෙල් ෆ්ලෝරා’ එම වෙළෙඳසල් රැසක් අතර ඇති එකකි.
“අපි විවාහ වෙලා දැනට අවුරුදු 28ක් වෙනවා” නිහාල් කියයි.
“අපි මල් ව්‍යාපාරයේ නිරත වෙලා දැනට වසර 15ක් වෙනවා. මගේ සහකාරිය සමඟ මේ ව්‍යාපාරය ආරම්භ කළ එක මං ගත්තු හොඳම තීරණයක්. අපි මේක පටන් ගත්ත දවසේ ඉඳන් ම මගේ බිරිය තමයි මගේ සහයිකාව. ඇය මට ව්‍යාපාරය කර ගෙන යන්න උදව් කරලා පවුල කළමනාකරණය කරන්නත් පුදුම කැපකිරීමක් කරනවා. ඉස්සර මේ තැන සිල්ලර කඩයක්. අපේ මල් ව්‍යාපාරය හොඳට ගියා.කොවිඩ්-19 කාලෙත් අපි ඒකට මුහුණ දුන්නා. අපේ ව්‍යාපාරෙත් බේරුණා. අපගේ සහායට හිටපු දෙන්නකුට තාවකාලික ව රස්සාව නැති වුණත් මණ්ඩලයට යාමට සිදු වුණත් දැන් ඒ දෙන්නම අපිත් එක්ක ආයෙ දැන් වැඩ.’’
නුවරඑළියෙන්, බදුල්ලෙන්, බණ්ඩාරවෙලින් නිහාල්ට සහ දමිතට සෑම සතියක ම මල් තොග ලැබේ.
“එහෙ වර්තමාන තත්ත්වයත් එක්ක මල් තවාන්වලට දුෂ්කර ම කාලයක් උදා වෙලා” ඔහු පැවසී ය.
ඉන්ධන හා ප්‍රවාහන වියදම් වැඩිවීම සහ පොහොර ප්‍රශ්න නිසා ගොවීන් මෙන් ම බෙදාහරින්නන් ද දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති.
‘’මේක අපිටත් බලපානවා. සමහර වෙලාවට ඇණවුම් ප්‍රමාද වෙනවා. සමහර විට ඉල්ලන ප්‍රමාණය ලැබෙන්නෙ නෑ’’
“පෙර තිබූ ඉල්ලුමට සාපේක්ෂ ව මල් අලෙවිය දැන් පහත වැටිලා. මිනිස්සු තමන්ගේ වියදම් සීමා කරලා. උත්සවවලට මල් මල් සැකසුම් සඳහා මල් ගන්න එන පාරිභෝගිකයන් අඩු වියදමකින් ඒක කර ගන්නයි එන්නේ. කුරියර් ගාස්තු වැඩි කිරීමත් එක්ක මේ දුෂ්කරතා තවත් වැඩිවෙලා.’’
“වසර 15ක් තිස්සේ මල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට හැකිවීම මේ වයසේ ඉන්න අපි ලබපු ජයග්‍රහණයක්. දැන් අපට ලැබෙන ඕනෑම දෙයක් අපි සතුටෙන් බාර ගන්නවා. ඒත් රටේ පවතින වත්මන් ප්‍රශ්නත් එක්ක අපේ ව්‍යාපාරයේ අනාගතයත් අනපේක්ෂිතයි.”
කතාව හා ඡායාරූප: හරිනි දිසානායකගෙනි






