Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හදවතිත් ම අරගල කරන ගෝඨාගෝගම ‘ජීන් ආන්ටි’ 

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයෙහි සහ පාලකයන් මෙරට ඇති කළ ගැටලුවලට හා ඔවුනගේ නොහැකියාවට විරුද්ධව, ක්‍රමයේ වෙනසක් ඉල්ලා ආරම්භ කෙරුණු මහජන අරගලයට දින 100ත් ඉක්මවා තිබෙනවා. දහස් ගණන් ජනතාව ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ට එක් රැස් වී සාමකාමී උද්ඝෝෂණ රැල්ලක නිරත වන අතර, එම අරගල බිමේ නිතිපතා දැකිය හැකි මුහුණු රාශියක් මේ වන විට හඳුනාගත හැකි යි. ඒ මුහුණුවලට අදාළ වන බහුතරයක් වූ තරුණ මුහුණු අතරේ, තමන්ගෙන් පසු පරම්පරාවලට දීප්තිමත් රටක් හා අනාගතයක් උදාකරනු වස්, සටනට බට වැඩිමහල් ප්‍රජාවක් ද දැකගත හැකි වනවා. 

ඒ පිරිස අතර නිතර ම දැකගත හැකි, කතාබහට ලක් වූ එක් චරිතයක් වෙනවා. සම්පූර්ණයෙන් පැසුණු, කෙටි කෙස් වැටියක් සහිත, බොහෝ සෙයින් වයෝවෘද්ධ ඇයගේ වාග් විලාසය සහ, නොපැකිළ ව, ආවේගශීලී ව සිදුකරන අදහස් ප්‍රකාශ කිරීම නිසා මෙරට ප්‍රසිද්ධියට පත් වූ ඇය, කා අතරත් ජනප්‍රියව ඇත්තේ ‘ජීන් ආන්ටි’ නමිනු යි. අරගලයේ තරුණ ප්‍රජාව අතර, නිතිපතා, තරුණ ජවය හා සම සම ව ගැටෙමින් ගෝඨාගෝගම පරිශ්‍රයේ රැඳුණු ඇය මේ වන විට සමාජ මාධ්‍යවල පමණක් නොව, අනෙකුත් දේශීය මෙන් ම ජාත්‍යන්තර මාධ්‍යවලත් නිතර ම කතාබහට ලක් වෙන කාන්තාවක් බවට පත්ව සිටිනවා.

 ජීන් ප්‍රිම්‍රෝස් නතානියෙල්ස්- thewire.in/ Bhavya Dore

 

පසුගිය දා හට ගත් සිදුවීම

පසුගිය බදාදා හෙවත්, 2022.07.20 දින අලුයම් කාලයේ පැය කිහිපය තුළ, ගෝඨාගෝගම පරිශ්‍රය සහ ඒ අවට මෙහෙයුමක් සිදුකෙරුණා. එම පරිශ්‍රය සහ ජනාධිපති ලේකම් කාර්යාලය වටා හමුදා ඛණ්ඩ අනුයුක්ත කෙරුණු අතර, අරගලකරුවන් රැඳී සිටි ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන් වෙතින් අත්පත් කරගැනීම එහි අරමුණ වී තිබුණා. මෙහිදී නොසන්සුන් තත්ත්වයක් ඇති වූ අතර, කිහිපදෙනෙක් අත් අඩංගුවට ද ගැනුණා.

මෙම මෙහෙයුම් සිදු කළ සන්නද්ධ භටයන් සහ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ නොසතුටට පත් ‘ජීන් ආන්ටි’ හෙවත් ජීන් ප්‍රිම්‍රෝස් නතානියෙල්ස්, එදින උදෑසන, භටකණ්ඩ වෙත සිය දෑත් දිගුකරමින් සිය අදහස් ආවේගශීලී ලෙස නොබිය ව පිට කරන්නට වුණා. ඇය අරගල භූමියට ඇතුළු වීමට උත්සාහ කරන විට,එය අවහිර කර, මෙම භට කණ්ඩ ඇගේ ගමන වලක්වාලීම ඊට ප්‍රමුඛ හේතුවක් වුණා.

 පොලිස් නිලධාරීන් වෙත සිය අදහස් ප්‍රකාශ කරන ජීන් – facebook.com

 

” අරගල කරුවන් අත අඩුම ගණනේ ගල් කැටයක් වත් තිබුණේ නැහැ.” ඇය ආවේගශීලී ව සිය ඇඟිල්ල හමුදා භටයන් වෙත දිගු කරමින්, උස් හඬින් ප්‍රකාශ කළා. එහි රූපවාහිනී වාර්තාකරුවන් ද වූ අතර, ඇගේ මේ හැසිරීම යුහුසුළුව ග්‍රහණය කරගන්නට ඔවුන් උනන්දු වුණා.

 “ඔවුන් අහිංසක සාමාන්‍ය ජනතාව මේ ආකාරයෙන් පෙළන විට, සාමාන්‍ය ජනතාව වන අපට කේන්ති නොගෙන සිටීමට හැකි ද?” ඇය තව දුරටත් ප්‍රකාශ කළා.

නිර්භීත ජීන්

“අරගලයේ ඇතුළාන්ත අභිප්‍රායය වන්නේ දුර්දාන්ත පාලන ක්‍රමයෙන් රට මුදා ගෙන, අපේ නිදහස අප වෙත නැවත ලබා ගැනීමයි ” ඇය පැවසුවා. මෙහිදී ඇය ඉතාමත් උණුසුම් සහ ආවේගශීලී වාග් විලාසයක් දක්වමින්, අලුතෙන් පත් වූ ජනපතිවරයාට එරෙහි ව සිය මතය ප්‍රකාශ කළා. ඒ ඔහුට කිසිදු ජනවරමක් නැති බැව් පවසමිනු යි. ඇගේ මේ වාග් විලාශය තුළ යම් නොසරුප් වදන් ගැබ් ව තිබුණ ද, ඉන් අරගලයට ජීවයක් ලැබෙන බැව් බොහෝ දෙනාගේ මතය යි. 

මුණුබුරු මිණිබිරියන් 13 ක් ද, ඊටත් පහළ පරම්පරාවේ දරුවන් දෙදෙනෙකුගේ සුරතල් ද බැලීමට තරම් වාසනාවන්ත වූ මිත්තණියක වන ජීන් මාධ්‍ය හමුවේ සිය නිසි වයස ප්‍රකාශ නොකළ ද, තමන් ඉතාමත් වයෝවෘද්ධ පුරවැසියෙක් බැව් පැවසුවා. නව නායකත්වය හැඳින්වීමට රළු, කටුක වදන් භාවිත කළ ඇය, සිය නිදහස් අදහස් රිසි සේ වා තලයට මුසු කළේ, ඇය අවට ඇති ගිනි අවි, එක බිඳක් හෝ මායිම් නොකරමිනු යි.

 “මා සටන් කරන්නේ රට වෙනුවෙනු යි”  – thewire.in/ Bhavya Dore

 

ජීන් පසුගිය අප්‍රේල් මස 9 වන දින ප්‍රබල ව ක්‍රියාත්මක වූ ගෝඨාගෝගම අරගල භූමිය වෙත, ආරම්භයේ සිට නිතිපතා පැමිණෙනවා. වත්තල ජීවත් වන ඇය දුම්රියෙහි නැගී කොළඹට පැමිණ ගාලු මුවදොරට එන ඇය එහි රැඳී සිටින්නේ සමහර විටෙක ඇය වැනි මහලු, දුබල අයකුට ඉතා අපහසු වන පාරිසරික සාධක රාශියක් දරාගෙන යි.

 “මා සටන් කරන්නේ රට වෙනුවෙනු යි.” ඇය පැවසුවා “මා වැනි මහලු කාන්තාවකට නිතිපතා රට වෙනුවෙන් වන අරගලයට පැමිණිය හැකි නම්, තරුණ ප්‍රජාවට එසේ කරන්නට නොහැකි මන් ද?” යි ඇය විමසනවා.

ජූලි මස මුල දී පොලිසිය අරගල භූමිය ආසන්නයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන විට ජීන් ද එතැන සිට තිබුණා. ඇය දෙවරක් ම කඳුළු ගෑස් ප්‍රහාරවලට ගොදුරු වුණා. කඳුළු බේරෙන දෑස් වලින් යුක්ත ව ඇය ප්‍රකාශ කර සිටියේ “අප සටන් කරන්නේ අපේ මානව අයිතිවාසිකම් සඳහා” බව යි. “දුප්පත් ජනතාව කබලෙන් ළිපට වැටී තිබෙනවා. ඒ නිසා අපි සටන් කළ යුතු යි “

2022 ජූලි 9 වන දින ජනතාව ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගත් මොහොත- lankaxpress.com

 

සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ වූ චරිතය

වර්තමානය වන විට ‘ජීන් ආන්ටි’ සමාජ මාධ්‍ය තුළ ඉතා සුප්‍රසිද්ධ චරිතයක් බවට පත් වී තිබෙනවා. විශේෂයෙන් ඇගේ වාග්ප්‍රහාර පිළිබඳ ව තරුණ ජනතාවගේ උනන්දුව සහ ප්‍රියතාව වැඩි වෙමින් පවතිනවා. ඇගේ ශක්තිය සහ කැපවීම පිළිබඳ ව බොහෝ දෙනා අගයනවා. අරගලයේ ඉදිරියෙන් ම සිටින අයගේ මතය වන්නේ ඇය ‘හදවනිත් ම අරගල කරන, ඉතාමත් සුවිශේෂී පෞරුෂයක් ඇති’ කාන්තාවක් බව යි. ඇයට අනුව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය තනතුර හැර ගියා සේ ම වර්තමාන ජනපති රනිල් වික්‍රමසිංහත් එම ධූරය හැර යා යුතුය’ යන විශ්වාසයෙන් ඇය දිගට ම සටන් කරන බැව් ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

“හෙටත් මං විරෝධතා දක්වන්න ගෝඨාගෝගමට එනවා ” යි ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස් කියයි. “අරගලය පවතින තාක් කල්, මාත් ඒ එක්ක ඉදිරියට යනවා.”

කවරයේ ඡායාරූපය- thewire.in/ Bhavya Dore

මූලාශ්‍ර:

Thewire.in

Srilankabrief.org

bbc.com

Related Articles