දෙවන ලෝක යුද්ධයෙන් පසු යුගෝස්ලාවියාවේ නායකයා ලෙස මතු වූ ජොසිප් බ්‍රොස් හෙවත් මාර්ෂල් ටිටෝ, බෝල්කන් අර්ධද්වීපයේ පහසුවෙන් සිදු නොවන යමක් කළා. ඒ, විවිධ ජනවර්ගවලට අයත් වූ පිරිස් එක් රටක් තුළ එක්සත්ව තබා ගැනීම යි. එමෙන්ම ඔහු දේශීයව සහ විදේශීයව විවිධ නව අදහස් ක්‍රියාත්මක කළ අයෙක්.
ටිටෝගේ ජීවිත කාලය සිද්ධීන්ගෙන් බහුල යි. ඔහු යුගෝස්ලාවියාවේ නයකයා බවට පත් වීමට පෙර ද, හමුදා සහ දේශපාලන කටයුතු හේතුවෙන් යුරෝපය පුරා කරක් ගැසූවෙක්. සිද්ධීන් රැසකට ඍජුව හෝ වක්‍රව හෝ දායක වූවෙක්. ඔහුගේ උපන් නාමය යොසිප් බ්‍රොස් වුව ද ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ ඔහුගේ ආරූඪ නාමයෙන්.
හමුදා සේවය
ටිටෝ උපන්නේ 1892 මැයි 7 වන දා යි. ඒ වර්තමාන ක්‍රොයේෂියාවේ ස්ලොවීනියා දේශසීමාව ආසන්නයේ පිහිටි කුම්රොවෙට්ස් නම් ගම්මානයේ යි. ටිටෝගේ පියා ක්‍රොයේෂියානුවකු වූ අතර මව ස්ලොවීනියානු කාන්තාවක වුණා. එකල මෙම ප්‍රදේශය අයත් වූයේ ඔස්ට්‍රියා-හන්ගේරියානු අධිරාජ්‍යයට යි.
ටිටෝ පාසැල් ගියේ වසර හතරක් පමණ යි. 1907 සිට ඔහු විවිධ රැකියාවන් සඳහා ගමෙන් පිට වුණා. එකල ඔහු සමාජවාදී අදහස් සඳහා ද නිරාවරණය වුණා. ඔහු මීළඟ වසර කිහිපයේදී රැකියාවන් සඳහා සග්‍රෙබ් නගරයේ මෙන්ම බොහිමීයාවේ සහ ජර්මනියට අයත් බැවේරියාවේ ද ජීවත් වුණා.
1913 දී ඔහු හමුදා සේවයට ඇතුලත් වුණා. මේ අනුව පළමු ලෝක යුද්ධය ඇරඹෙන අවස්ථාව වන විට ඔහු සිටියේ යුධ හමුදාවේ යි. නමුත් යුද්ධය ඇරඹුණ සමයේ ඔහු රාජ්‍යද්‍රෝහී චෝදනාවකට පැටළුණා. එම චෝදනාවන් ගෙන් නිදහස ලද පසු ඔහු නැගෙනහිර පෙරමුණේ සටන් සඳහා යවනු ලැබුණා. 1915 මාර්තු මාසයේ දී තුවාල ලද ඔහු රුසියානු අත්අඩංගුවට පත් වුණා.
තුවාල සුව වන තුරු ඔහුව කසාන් නගරය ආසන්නයේ ආරාමයක නවත්වා තිබුණ අතර පසුව යූරල් කඳුකරය ආශ්‍රිත ප්‍රදේශයේ කඳවුරක ද කලක් රඳවා තිබුණා.
1917 පෙබරවාරි විප්ලවයෙන් පසු ඔහුට පෙත්‍රොග්‍රාදයට යාමට අවශ්‍ය වුණා. ඒ අනුව ජූනි මාසයේ දි ඔහු එහි ගිය අතර ජූලි දිනවල දී, එනම් ජූලි මාසයේ ඇති වූ කලබල අතරතුර දී, ඔහුව අත්අඩංගුවට පත් වුණා. කලක් ඔහු තමා සිවිල් වැසියකුයැ යි ප්‍රකාශ කළ නමුත් පසුව තමා යුධ සිරකරුවකු බව පිළිගත්තා. ඔහුව නැවත යූරල් ප්‍රදේශයට යවන ලද අතර ඔහු නැවත පළා ගියා. පසුව ඔහු ඔම්ස්ක් නගරය දෙසට පළා ගියා.
බෝල්ශවික්වරුන් පෙත්‍රොග්‍රාදයේ බලය අල්ලා ගත්තේ ටිටෝ ඔම්ස්ක් වෙත ළඟා වූ දිනවලම යි. නමුත් වැඩි දිනක් නොගොස් එහි බෝල්ශවික් විරෝධීන් බලය තහවුරු කරගත් අතර ටිටෝ ඇතුළු පිරිස සැඟවුණා. රුසියානු තරුණියකගේ උපකාරයෙන් ඔහු නගරයෙන් පළා ගියා. ඔහුගේ පළමු බිරිඳ බවට පත් වූයේ ද ඇය යි. 1919 දී ප්‍රදේශයේ බලය රතු හමුදා අතට පත් වුණා. ටිටෝ සහ ඔහුගේ බිරිඳ 1920 දී ඔහුගේ උපන් ගමට පැමිණියා. ඒ වෙද්දී එම රට සර්බ්, ක්‍රොඇට් සහ ස්ලොවීන්වරුන්ගේ රාජධානිය බවට පත්ව තිබුණා. මෙම රාජ්‍යය 1929 දී යුගෝස්ලාවියාව ලෙස නම් කරනු ලැබුණා.
කොමියුනිස්ට් දේශපාලන කටයුතු
ආපසු සිය රට පැමිණි ටිටෝ කොමියුනිස්ට් පක්ෂයේ කටයුතුවල නිරත වුණා. 1921 දී පක්ෂය තහනම් කෙරුණ අතර මේ අනුව ඔහුට කටයුතු කිරීමට සිදු වූයේ අත්අඩංගුවට ගැනීමේ අවදානම ද සහිතව යි.
මුල් කාලීනව විවිධ රැකියාවන් හි නිරත වූ ඔහු පසුව පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වීමට පටන් ගත්තා. 1927 දී ඔහු වරක් අත්අඩංගුවට ගනු ලැබුණ අතර සිව් මසකට බන්ධනාගාරගත කෙරුණා. ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කෙරෙන අතරතුර ඔහු සැඟවුණා.
නැවත වතාවක් 1928 නොවැම්බරයේ දී අත්අඩංගුවට පත් වූ ඔහු වසර පහක කාලයක් සඳහා සිරගත කරනු ලැබුණා. ඔහු නිදහස් කරන ලද්දේ කාලින් මාස හතර ද ගෙවුණු පසුව යි.
ටිටෝ යළි නිදහස ලබන සමය වන විට යුරෝපයේ ෆැසිස්ට්වාදී කඳවුර ශක්තිමත් වී තිබුණා. මෙම අවස්ථාවේ ටිටෝ සග්‍රෙබ්, ලුබ්යානා සහ වියානා ආදී නගරවල රහසිගත දේශපාලන කටයුතුවල නිරත වුණා. ඔහු සිය ආරූඪ නාමය ලෙස “ටිටෝ” යන්න මුලින්ම භාවිතා කළේ ද මෙම සමයේ යි. මේ අතර ඔහුව කොමියුනිස්ට් ජාත්‍යන්තරය සඳහා නම් කෙරුණ අතර ඔහු එහි කටයුතු සඳහා මොස්කව් වෙත ගියා.
මෙකල ස්ටාලින් විසින් කොමියුනිස්ට් පක්ෂ කණ්ඩායම් මර්ධනය කරමින් සිටි සමය යි. විදෙස් කොමියුනිස්ට්වාදීන් කෙරෙහි ඔහුගේ විශේෂ සැකයක් යොමුව තිබුණා. එහෙයින් ටිටෝ එම සැකයන්ට භාජනය නොවීම පිළිබඳ ඇතැම් විචාරකයන් සැක පළ කරනවා. ටිටෝ මේ පිළිබඳව සඳහන් කරන්නේ අනවශ්‍ය කාරණාවලට මැදිහත් නොවීමෙන් තමා කරදරයක නොවැටී ගැලවුණ බව යි.
පාටිසාන් නායකයා
1941 අප්‍රේල් මාසයේ දී නට්සි ජර්මනිය විසින් යුගෝස්ලාවියාව ආක්‍රමණය කරනු ලැබ අල්ලා ගැනුණා. ඉන්පසු එය කොටස් කිහිපයකට බෙදනු ලැබුණා. ඇතැම් ප්‍රදේශ ජර්මන් හමුදා පාලනය යටතේ පැවති අතර තවත් ප්‍රදේශ ජර්මනියට, ඉතාලියට, බල්ගේරියාවට සහ හන්ගේරියාවට ඈඳාගනු ලැබුණා. ක්‍රොයේෂියාව ෆැසිස්ට් රූකඩ රාජ්‍යයක් බවට පත් වුණා.
යුගෝස්ලාවියාවේ ප්‍රධාන ෆැසිස්ට් විරෝධී කණ්ඩායම් දෙකක් මෙම විවිධ ෆැසිස්ට් පාලනයන්ට එරෙහිව සටන් වැදුණා. එයින් එකක් රාජාණ්ඩුවාදී චෙට්නික්වරුන් වූ අතර අනෙක් පිරිස කොමියුනිස්ට්වාදීන් වුණා. ජර්මන්, ඉතාලි ආදී ෆැසිස්ට් හමුද සහ ක්‍රොයේෂියානු උස්තාෂේ සංවිධානය ඔවුන්ට වූ සතුරන් වුණා. මේ අතර චෙට්නික් සහ කොමියුනිස්ට්වාදීන් අතර ද විවිධ ගැටුම් තිබුණා.
ජර්මන් සේනාංක අවස්ථා කිහිපයක දීම ටිටෝගේ පර්ටිසාන්වරුන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාරයන් දියත් කළා. නමුත් ඒවායෙන් ටිටෝ කොටු කරගැනීමට හෝ පාටිසාන් ව්‍යාපාරය යටපත් කිරීමට ෆැසිස්ට් කඳවුර අපොහොසත් වුණා.
මුල් කාලීනව මිත්‍ර පාක්ෂික රටවල් ආධාර කළේ චෙට්නික් ව්‍යාපාරයට යි. මේ අතර සෝවියට් දේශය නාමිකව ටිටෝ වෙත සහය දුන්නත් ඔහුට වැදගත් ආධාරයක් කිරීමට එම රට අපොහොසත් වුණා. කෙසේ නමුත් ටිටෝගේ පාටිසාන්වරුන් සිය බලය වර්ධනය කරගත්තා. මිත්‍ර පාක්ෂික බටහිර රටවල සහය ද ලබා ගැනීමට ටිටෝ සමත් වුණා. නමුත් සෝවියට් දේශයෙන් තවමත් විශේෂ සහයක් ලැබුණේ නැහැ.
1944 සැප්තැම්බරයේදී සෝවියට් රතු හමුදාව යුගෝස්ලාවියාවට ඇතුළු වුණ අතර ඔක්තෝබර් මැද දී ඔවුන් ද පාටිසාන්වරුන් ද, බල්ගේරියානු මහජන හමුදාව ද එක්ව කළ සටනකින් පසු බෙල්ග්‍රේඩ් අගනුවර අල්ලා ගැනුණා.
යුගෝස්ලාවියාව ඒ වන විට ද රාජාණ්ඩුවක් වුණා. නමුත් පාටිසාන්වරුන්ගේ ජයග්‍රහණය ද සමග රාජාණ්ඩුව සඳහා වූ සහය අඩු වී තිබුණා. 1945 නොවැම්බර් 29 වන දා නිල වශයෙන් රාජාණ්ඩුව අහෝසි කරනු ලදුව, යුගෝස්ලාව් ෆෙඩරල් මහජන ජනරජය පිහිටුවනු ලැබුණා.
ටිටෝ – ස්ටාලින් භේදය
අනෙකුත් නැගෙනහිර යුරෝපා රාජ්‍යයන් මෙන් නොව යුගෝස්ලාවියාව ෆැසිස්ට් පාලනයෙන් මිදුණේ සෝවියට් දේශයේ ඉතාම අඩු සහයෝගයක් ඇතිව යි. මේ හේතුවෙන් යුද්ධයෙන් පසු සෝවියට් හමුදා යුගෝස්ලාවියාවේ රැඳීමට හෝ සෝවියට් නායක ජෝසප් ස්ටාලින් අනවශ්‍ය ලෙස තම කටයුතුවලට ඇඟිලි ගැසීමට හෝ ඉඩ දීමට ටිටෝ සූදානම් වූයේ නැහැ. මේ අකාරයෙන් ස්ටාලින් සහ ටිටෝ අතර මතභේදයන් වර්ධනය වුණා.
ග්‍රීක කොමියුනිස්ට් කැරැල්ල පිළිබඳව මෙම නායකයන් දැක්වූ වෙනස් මතයන් ද මෙම බෙදීමට හේතු වුණා. ස්ටාලින් ඊට ක්‍රියාකාරී ලෙස සහය දැක්වූයේ නැහැ. නමුත් ටිටෝ එම අරගලයට පැහැදිලි ලෙස සහය දුන්නා.
ටිටෝ තමන්ගෙන් ස්වාධීන මතවාදයක් දැරීම පිළිබඳව ස්ටාලින් සතුටින් පසු වූයේ නැහැ. ඔහු ඇතුළු ස්ටාලින්වාදී කොමියුනිස්ට් කඳවුර විසින් ටිටෝ ප්‍රතිසංස්කරණවාදියකු ලෙස කොන් කළා. ඔහු ඝාතනය කිරීමට ද සෝවියට් බලධාරීන් සැලසුම් කළා.
මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ටිටෝ බටහිර වෙත නැඹුරු වුණා. 1948 දී ටිටෝ-ස්ටාලින් භේදය සම්පූර්ණ ලෙස තහවුරු වූ අතර ටිටෝ ඇමරිකානු ආධාර ඉල්ලා සිටියා. ඇමරිකානු රජය ඔහුට ආධාර ලබා දීමට එකඟ වුණා.
ටිටෝ තම දේශීය ප්‍රතිපත්තිවල දී ස්ටාලින්වාදී ක්‍රමවේදයන්ට වඩා ලිබරල්වාදී වුණා. ඒ අනුව ආගමික නිදහස පිළිබඳව ද සෝවියට් දේශයට සාපේක්ෂව නිදහසක් ලබා දුන්නා. මේ අතර රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයන්ට වඩා වැඩි නිදහසක් ද, ලාභාංශ බෙදීමක් ද සිදුකරමින් සමූපකාර ක්‍රමයට සමීප ක්‍රමයක් ක්‍රියාවට නැංවූවා.
විවිධ ජාතීන් එක් කර යුගෝස්ලාවියාව පවත්වාගෙන යාම කිසිදු අයකුට පහසු කටයුත්තක් වූයේ නැහැ. රටේ ජනගහනයෙන් සියයට 35ක් පමණ සර්බ්වරුන් වූ අතර අනෙක් කොටස ක්‍රොඇට්, බොස්නියැක් මුස්ලිම්, ඇල්බේනියන්, ස්ලොවීනියන් ආදී විවිධ කණ්ඩායම් වුණා. දෙවන ලෝක යුද්ධයට පෙර සර්බ් පාලන අධිකාරිය එහි අනෙකුත් කණ්ඩායම් යටපත් කරගත් ෆැසිස්ට් පාලනයක් නිර්මාණය කළා. නමුත් එහි ප්‍රතිඵලය වුණේ 1934 දී එවකට රජු වූ ඇලෙක්සැන්ඩර් ක්‍රොඇට් ජාතිකවාදීන් අතින් ඝාතනය වීම යි.
ටිටෝ විසින් යුගෝස්ලාවියාව ෆෙඩරල් සමූහාණ්ඩු හයක එකතුවක් ලෙස සංවිධානය කළා. ඒ අනුව සර්බියාව, ක්‍රොයේෂියාව, බොස්නියා හර්සගොවිනාව, මැසඩෝනියාව, ස්ලොවීනියාව සහ මොන්ටිනේග්‍රෝ නම් සමූහාණ්ඩු හය බිහි වුණා.
නොබැඳි ව්‍යාපාරය
ජාත්‍යන්තර දේශපාලනය කෙරෙහි ටිටෝගේ ප්‍රධානම දායකත්වය වූයේ නොබැඳි ව්‍යාපාරය යි. ඉන්දියාවේ නේරු, ඝානාවේ ක්වාමේ න්කෲමා, ඊජිප්තුවේ ගමාල් අබ්දෙල් නසාර් සහ ඉන්දුනීසියාවේ අහමඩ් සුකර්ණෝ වැනි අය මුල දී ටිටෝ සමග මෙම ව්‍යාපාරයේ ප්‍රබලයින් ලෙස මතු වුණා.
නොබැඳි ව්‍යාපාරය තුලින් ටිටෝ උත්සාහ කළේ ධනවාදී සහ සමාජවාදී කඳවුරු දෙකටම සම්බන්ධ නොවෙමින් මැදහත්ව කටයුතු කිරීම යි. මුල් කාලීනව ශක්තිමත් ජාත්‍යන්තර ව්‍යාපාරයක් වූ එය පසු කාලීනව දුර්වල වුණා. විශේෂයෙන්ම සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු එහි වැදගත්කමක් නොමැති තත්ත්වයට පත් වුණා.
ටිටෝ 1980 මැයි 4 වන දා මරණයට පත්වුණා. විවිධ හේතූන් මත ඔහුගෙන් පසු කාලයේ දී යුගෝස්ලාවියාවෙහි විවිධ ජාතීන් අතර ගැටුම් වර්ධනය වුණා. මෙම ගැටුම් පුපුරා ගියේ 1991දී යි. ටිටෝ විසින් ආයාසයෙන් එක් කරගෙන ගැටගසාගෙන තිබුණු රාජ්‍යය සී සී කඩ වුණා. එය වෙනමම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්.