Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ට්‍රම්පට් වාදන ශිල්පියා – ලුවී ආම්ස්ට්‍රෝන්

ඉතා දිළිඳු පවුලක ඉපැදී ලෝකයේ බිහි වූ විශිෂ්ඨ ට්‍රම්පට් වාදකයෙකු බවට පත් වී, විසිවන සියවසේ ජෑස් සංගීතය නගා සිටුවීම සඳහා ප්‍රධාන මෙහෙවරක් ඉටුකළ ලුවී ආම්ස්ට්‍රෝන් පිළිබඳ ව ඔබ අසා තිබෙනවා ද?

ට්‍රම්පට් වාදනය සඳහා තම තොල්පෙති ද කැපුම් තලයකින් සූරා දැමූ ඔහු ගායකයෙක්, සංගීත තනු නිර්මාණකරුවෙක්, හා වාදකයෙක් ලෙස ලෝකය පුරා කැපී පෙනුණු පුද්ගලයෙක් ලෙස සඳහන් කළ හැකි යි.

බාලවයස්කාර මවකට දාව ඉපදුණු ලුවී ආම්ස්ට්‍රෝන්

VOA News

1901 අගෝස්තු 4 වන දා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුසියානා ප්‍රාන්තයේ නව ඔලියන්ස් (New Orleans) හි කළු ජාතික පවුලක උපත ලබන ලුවීගේ මව එවකට 16 හැවිරිදි වියේ පසු වුණා. මව හා පියා විවාහක ව නොසිටි අතර, ඔහුගේ පියා වීමට නියමිත ව සිටි මවගේ පෙම්වතා වූ විලියම් ආම්ස්ට්‍රෝන් ලුවී ඉපදී දින කිහිපයකින් අනතුරුව ඔවුන්ව හැර යනවා. මව ද බිළිඳු ලුවී ව ඔහුගේ අත්තම්මාට භාර කර පිටව යනවා.

ඉන්පසු තම ළමා කාලය ඔහු ගත කරන්නේ අත්තම්මාගේ භාරයේ යි. ඇය රැකියාව ලෙස කරන්නේ එම ප්‍රදේශයේ සිටි සුදු ජාතික ප්‍රභූන්ගේ රෙදි සේදීම යි. කුඩා ලුවීගේ ගත වැරහැලි රෙදිවලින් වැසුණු අතර, අව් රශ්මියට හා ශීතලට ඔරොත්තු නොදෙන නිරුවත් දෙපා තබා පල්ලි හා පාසැල වෙත යෑමට සිදුවෙනවා.

කෙතරම් අගහිඟකම් තිබුණත් මෙම කුඩා දරුවා ව පල්ලි යැවීමට හා පාසල් යැවීමට අත්තම්මා හැකි තරම් උත්සාහ කරනවා. වයස අවුරුදු හය වන විට නැවතත් ඔහුගේ මව ඔවුන්ව සොයාගෙන එනවා.

කාසි සෙවීමට ඇවිද ගිය වීදි දරුවා

Nicholas Payton

වයස අවුරුදු හත වන විට දරිද්‍රතාවයේ අන්තයට ගිලී සිටි බැවින් කුඩා ලුවී පාසල් යන අතර ම විටෙක වීදියේ පත්තර අලෙවි කිරීමෙන් හා තවත් විටෙක එළවළු විකුණමින් මුදල් සොයාගැනීමට උත්සාහ කරනවා. වීදි දරුවන් වූ අනෙකුත් යහළුවන් එකතු කරගෙන කුඩා සංගීත කණ්ඩායමක් පිහිටුවා ගන්නා අතර, ගී ගැයීමෙන් අමතර මුදලක් සොයාගැනීමට ඔහු උත්සාහ දරනවා.

ඉතිරි කරගත් මුදලෙන් කොනෙට් නම් සංගීත භාණ්ඩය (ට්‍රම්පට් එකට සමාන සංගීත භාණ්ඩයක්) මිල දී ගන්නා ලුවී, වයස අවුරුදු 11 වන විට පාසල් දිවියට ආයුබෝවන් කියන්නේ පවුලේ බර දැරීමට යි.

නගරයේ සිටි ට්‍රම්පට් වාදනයේ ප්‍රවීණයන් හා මිතුරු වෙන මේ කොලුගැටයා ට්‍රම්පට් වාදනයේ මූලික සිද්ධාන්ත ඔවුන්ගෙන් ඉගෙන ගන්නවා.

ජීවිතයේ හැරවුම් ලක්ෂය

NPR

ඔහු හා ඔහුගේ කල්ලිය විසින් එක්තරා අවස්ථාවක දී සිදුකළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ගැටවර වියේ සිටි ලුවී දින නියමකින් තොරව චරිත ශෝධනාගාරයට නියම වෙනවා.

එහි සිටිය දී ඔහුට සංගීතය ඉගෙන ගැනීමට හැකියාව ලැබෙන අතර පුනුරුත්තාපනාගාරයේ සංගීත කණ්ඩායමේ නායකත්වය ද ලුවීට හිමිවෙනවා.

ටික කාලයකින් අනතුරුව නිදහස ලබන ලුවී නැවත මව හා වාසය සඳහා පිටත්ව යනවා. තරුණ වයසට එළඹීමෙන් පසු ව ඈම්ස්ටර්ඩෑම් බලා යන ඔහු එහි හෝටල්වල හා ඇල මාර්ගයන්හි ධාවනය වන බෝට්ටුවල ගීත ගායනා කිරීම හා ට්‍රම්පට් වාදනය කිරීම තම ජීවිකාව කර ගන්නවා. ඒ අතරතුර සංගීතය පිළිබඳ ව වැඩි දුර හැදෑරීම සිදුකරනවා.

ප්‍රසිද්ධියට පත්වීම

nepr.net

මේ කාලය අතරතුර ට්‍රම්පට් වාදනයේ ප්‍රවීණයෙක් වූ කින්ග් ඔලිවර් චිකාගෝ වෙත පැමිණ තම සංගීත කණ්ඩායම හා එකතු වෙන ලෙස ලුවීගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව ඔහු චිකාගෝ නුවරට පැමිණෙන්නේ 1922 දී යි.

1924 දී නිව්යෝර්ක් නගරය වෙත යන ඔහු තවත් සංගීත කණ්ඩායමක ට්‍රම්පට් වාදන ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා. මෙම කාලය අතරතුර ට්‍රම්පට් වාදන ශිල්පියෙක් ලෙස ස්ථාවර වීමට ඔහුට හැකියාව ලැබෙනවා.

ඔහුගේ ආක්‍රමණශීලි ට්‍රම්පට් වාදනය හමුවේ දෙතොල් තුවාල වීම නිතරම පාහේ සිදු වූ අතර, එයට එක විසඳුමක් ලෙස තොල්වල කොටසක් තලයක ආධාරයෙන් සූරා ඉවත් කිරීම ඔහු විසින් ම සිදුකර ගන්නවා.

තවත් ටික කාලයකින් පසු ව චිත්‍රපටවල කුඩා චරිත නිරූපණය කිරීමට ඔහුට අවස්ථාව උදා වෙනවා. මේ වන විට ඇමෙරිකාව හා යුරෝපය පුරා ප්‍රසිද්ධ ව සිටි ලුවීට 1932 දී බ්‍රිතාන්‍යයේ 5 වන ජෝර්ජ් රජු ඉදිරියේ ට්‍රම්පට් වාදනය කරන්න අවස්ථාව හිමිවෙනවා.

දෙවන ලෝක යුද්ධ කාලය පුරාවට ම යුරෝපය හා ඇමෙරිකාව පුරා තම සංගීත කණ්ඩායම හා සැරිසරමින් යුද්ධයෙන් තුවාල ලැබ රෝහල් ගත ව සිටින හා ආබාධිත ව සිටින සෙබළ පිරිසගේ වින්දනය උදෙසා තම සංගීතය මෙහෙයවනවා.

ලුයිස් සමඟ ඕල් ස්ටාර්ස්

pinterest.com

“ලුයිස් ඇන්ඩ් ඕල් ස්ටාර්ස්” නමින් ලෝකය පුරා ප්‍රසිද්ධ වූ ජෑස් සංගීත කණ්ඩායම පිහිටුවා ගැනීමට ලුවී කටයුතු කරන්නේ 1940 වසරේ අග භාගයේ දී යි. මෙම සංගීත කණ්ඩායම ඔස්සේ ජෑස් සංගීතය ලෝකය පුරා ප්‍රසිද්ධ වෙනවා. නමුත් වර්ණ භේද කාල සමයේ දී ඔහු ද නොයෙකුත් අවස්ථාවල දී සුදු ජාතිකයන්ගේ විවේචනයට බඳුන් වෙනවා.

සංගීතය හේතුවෙන් ඉතාමත් කාර්ය බහුල වූ මෙම ට්‍රම්පට් වාදකයා ඇතුළු ඔහුගේ සංගීත කණ්ඩායම ලෝකය පුරා සංගීත චාරිකාවල නිරත වීම මෙම කාලය තුළ දී සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. අධික වෙහෙසකරභාවය හේතුවෙන් 1959 දී ඉතාලි සංචාරයක් අතරතුර ඔහු වේදනාත්මක හෘදයාබාධයකට ලක්වෙන අතර සුව වීමට මාස ගණනාවක් ගත වෙනවා.

හෘදයාබාධයෙන් පසු විවේක ගන්නා ලෙස වෛද්‍යවරු පැවසුවත්, සජීවී ප්‍රසංගවලට සහභාගී වීමට තිබු බැවින් එම උපදෙස් නොතකා නැවත වේදිකාව වෙත ඒමට ඔහු කටයුතු කරනවා.

1971 දී නැවත හටගත් හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියයන අතර, ඇමෙරිකානු රජය මේ අසහාය සංගීතවේදියාට උපහාරයක් පිණිස ඔහුගේ අදාහන උත්සවය සියලුම රූපවාහිනි නාලිකාවල විකාශනය වීමට සලස්වනවා.

කවරයේ පින්තූරය: Wikipedia

මූලාශ්‍රයයන්:

britannica.com/art/jazz#ref718892

allmusic.com/artist/louis-armstrong

thoughtco.com/louis-armstrong

udiscovermusic.com/louis-armstrong

 

Related Articles