බොහෝ ඓතිහාසික සටන් ආරම්භ වී තිබෙන්නේ ඉතා කුඩා පියවරකින්. කළු-සුදු පන්ති භේදය හමුවේ සියල්ලන් පීඩාවට පත් වී සිටි යුගයක; එනම් වර්ෂ 1913 පෙබරවාරි 04 වන දින ඇලබාමාවෙහි ටස්කිගීහි රෝසා පාර්ක්ස් නමින් දැරිවියක් උපත ලබනවා. ඇය දෙවෙනි වියට පා තබත්ම ඇගේ දෙමාපියන් එකිනෙකාගෙන් වෙන් වනවා. මේ සිදුවීමෙන් පසුව රෝසා පාර්ක්ස් ජීවත් වන්නේ ඇගේ මව සමග මවගේ දෙමාපියන්ගේ සෙවණේ. රෝසාගේ මිත්තණිය වූ රෝස් සහ මුත්තණුවන් වූ සිල්වෙස්ටර් එඩ්වර්ඩ්ස්, තරුණ අවධියේ දී වහල් භාවයට පත්ව සිටියා. ඒ හේතුවෙන්ම සුදු-කළු වර්ගවාදය පිළිබඳව ඔවුන් දෙදෙනා තුළ පැවතියේ දැඩි විරෝධතාවක්. කළු ජාතිකයන්ට දැඩිව එරෙහි වූ සුදු ජාතික වර්ගවාදී කණ්ඩායමක් වන කූ ක්ලක්ස් ක්ලෑන්හි සාමාජිකයන් පිරිසක් සිය නිවස අසල මාර්ගයෙන් ගමන් කරනු දකින රෝසාගේ මුත්තණුවන් වරක් තුවක්කුවක් අතැතිව සිය නිවස ඉදිරිපිටට වී සිටගෙන නිවැසියන් ආරක්ෂා කරනු දකින කුඩා රෝසා තමන් සුදු ජාතිකයන්ගෙන් අනාරක්ෂිත බව වටහා ගන්නවා. වියපත් සිල්වෙස්ටර් යුවල සිය ජීවිකාව සඳහා පවත්වාගෙන ගිය ගොවිපළ තුළ දීම, මෙවන් සිදුවීම් ගණනාවක් ඔස්සේ වර්ගවාදයට එරෙහිව අත්දැකීම් සහිත අධ්‍යාපනයක් කුඩා රෝසාට ලැබෙනවා.
ඇලබාමාවේ පයින් ලෙවල්හි පිහිටි, කළු ජාතික දරුවන්ට වෙන්වූ කොන්කර දමා තිබූ පාසලක් වෙත පයින්ම ගමන් කිරීමට පුංචි රෝසාට සිදු වුණා. ඒ, සුදු ජාතික දරුවන්ට අලුත් පාසැල් ගොඩනැගිලි සහ ප්‍රවාහන පහසුකම් රජය විසින් සපයා තිබෙන බව දකිමින්. වර්ෂ 1929 වන විට මොන්ට්ගොමරි නගරයේ කාන්තා කාර්මික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි අවුරුදු 16ක් වූ රෝසා ඇගේ මව සහ රෝගාතුර මිත්තණිය රැකබලා ගැනීමට නැවත පයින් ලෙවල් වෙත නික්ම යනවා.
වර්ෂ 1932 වන විට 19 හැවිරිදි වියට පා තබන රෝසා, රේමන්ඩ්ස් පාර්ක් නමැති කරණවෑමියා සමග විවාපත් වනවා. රෝසාගේ සැමියා වර්ගවාදයට එරෙහිව සිවිල් අයිතීන් උදෙසා හඬ නැගූ, එසේම කළු ජාතිකයන්ගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ National Association for the Advancement of Colored People (NAACP) නමැති සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වුණා. රේමන්ඩ්ගේ සහායෙන් උසස් පාසලෙන් උපාධිය ලබාගත් තරුණ රෝසා, වර්ෂ 1943 දී මොන්ට්ගෝමෙරිහි පිහිටි NAACP ශාඛාවේ තරුණ නායිකාවක ලෙස සේවයට බැඳෙනවා. ඉන්පසුව, එහි සභාපතිතුමන් වූ ඊ.ඩී. නික්සන්ගේ ලේකම්වරිය වශයෙන් ද පත්වීම් ලබන ඇය කළු ජාතිකයන්ගේ සිවිල් අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වර්ෂ 1957 දක්වා අඛණ්ඩව මෙහෙවරක යෙදෙනවා.
වර්ෂ 1955 දෙසැම්බර් මස 1 වන දින තමන්ගේ රාජකාරි කටයුත්තක් සඳහා මාර්ගයට අවතීර්ණ වූ රෝසා පාර්ක්ස් නැවත නිවසට පැමිණෙන්නේ නැහැ. සුදු ජාතිකයන්ට බස් රථයේ ඉදිරි ආසනත්, කළු ජාතිකයන්ට පසුපස ආසනත් වෙන් කිරීමේ නීතියක් ඒ අවධියේ දී බස් රථ විෂයෙහි ක්‍රියාත්මකව පැවතියා. එකී නීතිය බස් රථ රියදුරන් විසින් අකුරටම ක්‍රියාත්මක කළා. මෙම වර්ගවාදී බස්රථ නීතිය අනුව බස් රථයකට නගින කළු ජාතිකයන් බස් රථයේ ඉදිරි දොරෙන් නැග බස් ගාස්තු ගෙවා යළිත් බැස පසුපස දොරින් බස් රථයට නැග අසුන් ගත යුතුව තිබුණා.
රෝසා පාර්ක්ස් ගමන් ගත් බස් රථය සුළු මොහොතකින් මඟීන්ගෙන් පිරී ගියා. බස් රථය දෙස විමසිල්ලෙන් බැලූ රියදුරු දුටුවේ කළු ජාතිකයන් ඉඳගෙන සිටිය දී සුදු ජාතිකයන් කිහිප දෙනෙකු සිටගෙන ගමන් ගන්නා ආකාරය යි. ඒ අනුව තම අසුන්වලින් නැගිට සුදු ජාතිකයන්ට ආසන පිරිනමන ලෙස රියදුරු විසින් රෝසා ඇතුළු කළු ජාතිකයන් හතර දෙනෙකුට දන්වා සිටියා. වර්ණය කුමක් වුවත් ඉඳසිටි අසුන පිරිනැමීමට විධාන කිරීමට නගරයේ බස් ආඥා පනත යටතේ රියදුරන්ට බලයක් නොමැති වුවත්, යම් හෙයකින් කළු ජාතිකයෙකු සිය අසුන සුදු ජාතිකයෙකුට පිරිනැමීම ප්‍රතික්ෂේප කළහොත් බසය නවතා පොලීසිය කැඳවා අදාළ කළු ජාතිකයාව පොලීසියට භාර කිරීමට එකල රියදුරන් පුරුදු වී සිටියා. මේ බව දන්නා කළු ජාතිකයන් තිදෙනෙකු නැගිට සිය අසුන් සුදු ජාතිකයන්ට ලබා දුන්නත් රෝසා නොවෙයි සිය අසුනෙන් නැගී සිටියේ. රෝසාගේ විරෝධතාව දන්වා සිටි විට පොලීසිය පැමිණ ඇයව අත්අඩංගුවට ගෙන Montgomery City Codeහි 6 වන පරිච්ඡේදයේ 11 වන වගන්තිය යටතේ ඇයට එරෙහිව චෝදනා ගොනු කරනවා. පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් සිටිය දී එදින රාත්‍රියේ ඇප ලබා දී ඇයව පොලිස් භාරයෙන් මුදා ගැනීමට ඇගේ හිතවතුන් සමත් වනවා.
වර්ෂ 1955 දෙසැම්බර් මස 5 වන දින රෝසාගේ නඩු විභාගය දවසේ, ඇගේ අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් මොන්ට්ගොමරි බස් වර්ජනය කිරීමට අප්‍රිකානු ඇමරිකානුවන් තීරණය කරනවා. රාජකාරි සඳහා නොයෑමටත්, රැකියාවට යන්නේ නම් පයින් හෝ පෞද්ගලික රථයක යෑමටත්, දරුවන් පාසැල් නොයැවීමටත් තීරණය කළ කළු ජාතික ඇමරිකානුවන් මෙම මොන්ට්ගොමරි බස් වර්ජනය දින 381ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබනවා.
නඩු විභාගය දිනයේ සිය නීතීඥ ෆ්‍රෙඩ් ග්‍රේ සමග උසාවියට පැමිණෙන රෝසාගේ සහායට කළු ජාතියන් පන්සියයකට අධික පිරිසක් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටිනවා. පැය භාගයක නඩු විභාගයකින් අනතුරුව අධිකරණය තීරණය කරනවා රෝසාට එරෙහිව එල්ල වූ චෝදනාවට ඇය වැරදිකාරිය වන බව. ඒ අනුව ඇමරිකානු ඩොලර් දහයක දඩයකුත් ඇමරිකානු ඩෙලර් 4ක නඩු ගාස්තුවකුත් ගෙවීමට රෝසාට නියම කෙරෙනවා. එහි ප්‍රතිඵලය වූයේ මොන්ට්ගොමරි නගරයේ සියලු බස්රථ හිස් වී පාළුවට යාම යි. මොන්ට්ගෝමරි නගරයේ විසූ අප්‍රිකානු ඇමරිකානුවන් 40,000කට අධික පිරිසක් දෛනිකව පයින්ම රාජකාරී ස්ථාන සඳහා ගමන් කිරීම සිදුකළා. ඇතැම් පුද්ගලයන් සැතපුම් විස්සකට වඩා එසේ ඇවිද ගියා.
මෙසේ කළු ජාතිකයන් බස් රථ වර්ජනය කිරීම ආරම්භ කිරීමත් සමග බස්රථ හිමි සුදු ජාතිකයන් මුහුණ දීමට පටන් ගත් මූල්‍ය අර්බුදය කෙමෙන් කෙමෙන් වඩාත් උග්‍ර අතට හැරෙනවා. මෙම වර්ජනය අවසන් කිරීමේ අරමුණෙන් වර්ජනය මෙහෙයවූ කළු ජාතිකයන්ට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමටත්, කිං සහ ඊ.ඩී. නික්සන් වැනි නායකයන්ගේ නිවාස කඩා දැමීමටත් සුදු ජාතිකයන් ක්‍රියා කළත් වර්ජනය නැවැත්වීමේ ඔවුන්ගේ උත්සාහය එයිනුත් සඵල වන්නේ නැහැ.
බස්රථවල කළු සුදු භේදය දක්වමින් ආසන වෙන් කිරීමේ නීතියට එරෙහිව රෝසාගේ නීතීඥවරයා ඇලබාමා මධ්‍ය දිස්ත්‍රික්කයෙහි දිසා අධිකරණයේ නඩුවක් ගොනු කරනවා. වර්ෂ 1956 ජූනි මස එකී අධිකරණ තීන්දුව මඟින් දක්වාලන්නේ ජිම් ක්‍රෝ නීතිය (Jim Crow laws) ලෙස හඳුන්වන, වාර්ගික බෙදීම මත පදනම් වූ මෙකී නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. මොන්ට්ගොමරි පාලනය ඊට එරෙහිව අභියාචනයක් යොමු කළත් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ද දිසා අධිකරණ තීන්දුව අපරානුමත කරනවා. ඒ අනුව එකී නීතියෙහි බලාත්මකභාවය අහෝසි කරගැනීමට මොන්ට්ගොමරි පාලකයන්ට සිදුවනවා. එකී තීරණය මත වර්ෂ 1956 දෙසැම්බර් මස 20 වන දින අප්‍රිකානු ඇමරිකානුවන් විසින් මොන්ට්ගොමරි බස් වර්ජනය නිමාවට පත් කරනවා.
වර්ජනය අවධියේ රෝසාගේත් ඇගේ සැමියාගේත් රැකියාවන් අහිමිව යාමත් සමග ඔවුන් මොන්ට්ගොමරි නගරය අතහැර මිචිගන්හි ඩෙට්රියොට් වෙත නික්ම යනවා. එහිදී ඇය ජනතාවගේ සිවිල් අයිතීන් සුරක්ෂිත කිරීමේ අරමුණෙන් යුක්තව ආයතන ගණනාවක සේවයෙහි නිරත වනවා. අවුරුදු 92ක් ආයු වළඳා වර්ෂ 2005 ඔක්තෝම්බර් මස 24 වන දින ඇය මෙලොවින් නික්ම යන්නේ තමන් දිනා දුන් අයිතීන් කෝටි සංඛ්‍යාත කළු ජාතිකයන් විසින් භුක්ති විඳිනු සිය දෑසින් දකිමින්.