Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මරණයේ වෛද්‍යවරයා- හැරල්ඩ් ෂිප්මන්

ඉතිහාසය පිරික්සීමේ දී මහා බ්‍රිතාන්‍යයෙන් බිහි වූ දාම ඝාතකයින් කිහිපදෙනෙකු පිළිබඳව අපට තොරතුරු හමුවනවා. මේ අතරින් වෛද්‍ය හැරල්ඩ් ෂිප්මන්ට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. මිනිසුන් මරණයෙන් මුදාගන්නා වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිය ද, අවසානයේ හෙළි වූයේ ඔහු විසින් දෙසියයකට අධික රෝගීන් ප්‍රමාණයක් මරණයේ දොරටුව වෙත හිතා මතා ම ගෙන ගොස් ඇති බව යි.

දිවියේ මුල් කාලය

හැරල්ඩ් ෂිප්මන් උප්පත්තිය ලැබුවේ 1946 වසරේ ජනවාරි මස 14 වන දා එංගලන්තයේ නොටිංහැම් හී දී යි. බොහෝ දාම ඝාතකයින්ගේ මෙන් නොව ඔහුට සැලකිය යුතු මට්ටමේ යහපත් ළමා කාලයක් හිමිව තිබුණා. කෙසේ නමුත්, ඔහු 17 වියැති වන විට යම් අවාසනාවක් ඔහුගේ පවුල වෙළා ගන්නවා. ඒ පෙනහළු පිළිකාවක් හේතුවෙන් ඔහුගේ මව මියයාම නිසා යි. දක්ෂ, යමක් ඉක්මණින්ම උකහාගත හැකි බුද්ධියක් තිබූ දරුවෙකු වූ හැරල්ඩ්ගේ සිතට මේ සිදුවීම තදින්ම කාවැදුණා. මවගේ අවසාන කාලයේ දී වේදනා නාශකයක් ලෙස ඇයට මෝෆීන් ලබාදීමට වෛද්‍යවරුන් තීරණය කර තිබූ අතර, පසුකාලීන ව හැරල්ඩ් සිදුකළ මනුෂ්‍ය ඝාතන රාශියක්ම ඔහු විසින් සිදුකර තිබුණේ රෝගීන්ට වේදනා නාශක අධිමාත්‍රා ශරීරගත කිරීමෙනුයි.

මවගේ අවෑමෙන් මානසිකව කඩාවැටුණ ද අධ්‍යාපනය හොඳින් සිදුකරන්නට හැරල්ඩ් සමත් වෙනවා. විසි වන වියෙහි දී ඔහු විවාහ දිවියට ඇතුළත් වන අතර, ඒ තදාසන්නව ම ඔහු ලීඩ්ස් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙනවා. 1970 වසරේ දී වෛද්‍යවරයෙකු හැටියට ඔහු පත්වීම් ලබනවා.

හැරල්ඩ් ෂිප්මන්- irishmirror.ie

වෛද්‍යවරයෙකු ලෙස

හැරල්ඩ් ෂිප්මන්ට 1974 වසරේ දී යෝක්ෂයරයේ වෛද්‍යවරයෙකු ලෙස ක්‍රියා කරන්නට අවස්ථාව ලැබෙනවා. එහි සේවයේ නියුක්ත වී වසරක් යන්නටත් මත්තෙන් ඔහුට පවුම් හයසියයක දඩයකට යටත් වන්නට සිදුවෙනවා. ඒ තමන්ගේ භාවිතය වෙනුවෙන් අනවශ්‍ය ලෙස වේදනා නාශක ඖෂධයක් නිර්දේශ කරගැනීම නිසාවෙනුයි. මේ හේතුවෙන් කෙටි කාලීනව ඔහුට පුනුරුත්ථාපනය වන්නටත් සිදුවුණා.

කෙටි කලෙකින් පුනුරුත්ථාපන වැඩසටහන අවසන් කළ හැරල්ඩ් ෂිප්මන්ට 1977 වසරේ දී නැවතත් වෛද්‍ය පත්වීමක් ලැබෙනවා. ඒ මැන්චෙස්ටර් නුවර තදාසන්න ‘හයිඩ්’ නම් ප්‍රදේශයට යි. එහි ඉතා සාර්ථක දහසය වසරක් ගත කළ ඔහු, 1993 වසරේ තමන්ගේ ම කියා වෛද්‍ය ආයතනයක් අරඹනවා.

මරණය ගෙන එන වෙදැදුරු

හැරල්ඩ් පස් වසරක් කිසිදු උපද්‍රවයකින් තොරව සිය වෛද්‍ය ආයතනය පවත්වාගෙන යනවා. කෙසේ නමුත්, සියල්ල උඩු යටිකුරු වන්නේ ප්‍රදේශයේ ජීවත් වූ තවත් වෛද්‍යවරයෙක් වෛද්‍ය හැරල්ඩ් ෂිප්මන් පිළිබඳව වූ යම් ‘අසාමාන්‍යතාවක් අධ්‍යයනය කිරීමත් සමග යි. ඔහුට වැටහී යන්නේ අනෙකුත් වෛද්‍යවරු හා සසඳන විට වෛද්‍ය ෂිප්මන් හමුවට පැමිණි රෝගීන් ඉතා වැඩි ප්‍රතිශතයක් මියගොස් ඇති බව යි. හුදු අහම්බයක් ‍යයි සිතිය නොහැකි තරම් එම අගය ඉහළ මට්ටමක තිබූ අතර, ඔහු හමුවට පැමිණි රෝගීන් අතරින් වැඩිමනක්ම මියගොස් ඇත්තේ වැඩිහිටි කාන්තාවන් බවත් ඔහුට පෙනී යනවා. ඔහු වහාම මේ පිළිබඳව පොලිසිය දැනුවත් කරන අතර, ඒ අනුව හැරල්ඩ්ට එරෙහිව පරීක්ෂණ ඇරඹීමට පොලිසිය තීරණය කරනවා. කෙසේ නමුත්, උක්ත සිද්ධීන් ස්වභාවිකව සිදු වූ මරණ වඩා වැඩි යමක් සහිත ඒවායැ යි හැඟවෙන කිසිදු හෝඩුවාවක් සොයාගන්නට පොලිසිය සමත් වන්නේ නැහැ.

තවත් කෙටි කාලයක් ගත වන අතර හැරල්ඩ් ෂිප්මන්ගෙන් ප්‍රතිකාර ගනිමින් සිටි තවත් රෝගීන් තිදෙනෙක් මේ කාලය තුළ මියයනවා. මේ අතරින් අවසානයට මියගිය අය වන්නේ කැතලීන් ග්‍රැන්ඩි නම් කාන්තාව යි. ඇගේ මරණය සමග මෙතෙක් හැරල්ඩ් විසින් ලොවට වසන් කර තිබූ ඔහුගේ නියම ස්වරූපය ලොවට හෙළිවන්නේ කිසිවෙකු අපේක්ෂා නොකළ වේලාවක යි.

හැරල්ඩ් ෂිප්මන්ගේ තහවුරු කරන ලද ගොදුරු- bizarrepedia.com

ග්‍රන්ඩි සිය නිවස තුළ ම මියගොස් සිටිය දී හමුවන්නේ 1998 වසරේ ජුනි මාසයේ දී යි. මැයගේ මරණය පිළිබඳව පවුලේ වෛද්‍යවරයා වූ හැරල්ඩ් ෂිප්මන්ට දන්වන ලදුව එය ‘ස්වභාවික හේතු’ නිසා සිදු වූ මරණයක් බවට ඔහු සහතික කරනවා. මේ සිදුවීමෙන් දින කිහිපයකට අනතුරුව ග්‍රන්ඩි මහත්මියගේ නීතීඥයා ඇගේ දියණිය හමුවට පැමිණෙන්නේ ඇයගේ අන්තිම කැමැත්තත් රැගෙන යි. අදහාගත නොහැකි ලෙස ග්‍රන්ඩි මහත්මිය ඇය සතු පවුම් 386,000ක දේපළ සියල්ල වෛද්‍ය හැරල්ඩ් ෂිප්මන්ගේ නමට ලියා තිබුණා.

වික්ෂිප්ත වූ ග්‍රන්ඩි මහත්මියගේ දියණිය මේ පිළිබඳව වහාම පොලිසිය දැනුවත් කළේ එය කිසි ලෙසකින් වත් සිදුවිය නොහැකි බැව් පවසමිනුයි. හැරල්ඩ්ට පෙර චෝදනාත් තිබූ නිසා ග්‍රන්ඩි මහත්මියගේ සිරුර නැවත ගොඩගෙන පරීක්ෂා කිරීමට නීතියෙන් අවසර ලැබුණු අතර, එහි දී අනාවරණය වන්නේ ඇගේ ශරීරයේ ඩයමෝෆීන් අධිමාත්‍රා අන්තර්ගතව තිබුණු බව යි. ශරීර වේදනා සමනය සඳහා මේ ආකාරයෙන් ඩයමෝෆීන් අධිමාත්‍රා ඉතා අසාධ්‍ය පිළිකා රෝගීන්ට ලබාදෙන මුත් ග්‍රන්ඩි මහත්මියට එවැනි තත්ත්වයක පිළිකාවක් තිබුණේ නැහැ. මෙවැනි ‘අනවශ්‍ය’ අධිමාත්‍රාවක් රෝගියාට මරණය ළඟා කර දිය හැකි නිසා, චේතනාත්මක මිනිමැරුමකට සැකපිට වෛද්‍ය හැරල්ඩ් ෂිප්මන් වහාම අත්අඩංගුවට ගැනෙනවා. ඒ 1998 වසරේ සැප්තැම්බර් මස 7 වන දා යි.

පරීක්ෂණ

හැරල්ඩ් ෂිප්මන් පිළිබඳව වැඩිදුර සොයා බැලීමේ දී ඉතා භයානක තොරතුරු රාශියක් අනාවරණය වෙනවා. ඔහු විසින් නිකුත් කරන ලද මරණ සහතික 15 සඳහා ම වැරදි තොරතුරු සපයා තිබූ බව අනාවරණය වන අතර, ඒ සියලු දෙනාටම ඩයමෝෆීන් අධිමාත්‍රා නිර්දේශ කර තිබුණා. වැරදි වෛද්‍ය වාර්තා සැකසීමේ දී ඉතා සූක්ෂමව රෝගියා මරණාසන්න බැව් හැඟවෙන ලෙස ඒවා සකසන්නට ඔහු ක්‍රියා කොට තිබූ අතර, ග්‍රන්ඩි මහත්මියගෙන් අවසන් මොහොතේ බලහත්කාරයෙන් දේපළ පිළිබඳව වූ ලියවිල්ලකට අත්සන් ද ගෙන තිබුණා. මේවා සියල්ල ගොනුකොට ඔහුට විරුද්ධව මිනිමැරුම් චෝදනා උසාවියට ඉදිරිපත් කරන්නට පොලිස් නිලධාරීන් පියවර ගත්තා.

Keywordhouse.com- නඩු විභාගය අතරතුර

හැරල්ඩ්ට එරෙහි නඩු විභාගය 1999 වසරේ ඔක්තෝබරයේ ඇරඹි අතර, 2000 වසරේ ජනවාරියේ දී ඔහු මිනිමැරුම් 15කට වරදකරු වුණා. ඔහුට ජීවිත කාලය මෙන් 15 වතාවක් දීර්ඝ සිර දඬුවමක් නියම වුණා.

සිරගත කිරීමෙන් අනතුරුවත් හැරල්ඩ්ගේ ඉතිහාසය පිළිබඳව වැඩිදුර සොයා බලන්නට පොලිස් නිලධාරීන් උත්සුක වුණා. එහි දී පෙනී ගියේ ඔහු විසින් දේපළ ලබාගැනීමේ අටියෙන් ඝාතනය කරන ලද පුද්ගලයින් ගණන 200කට අධික බව යි. මේ හේතු නිසා වහාම එංගලන්තයේ මරණ සහතික නිකුත් කරන ක්‍රමවේද හා ප්‍රතිකාර නියම කරන ක්‍රමවේද පවා වෙනස්වීම්වලට භාජනය කෙරුණා.

වසර කිහිපයක් සිරබත් කෑ හැරල්ඩ් සිය 58 වැනි උපන්දිනට පෙරදින හෙවත් 2004, ජනවාරි මස 13 වන දින ඔහු රඳවා සිටි සිර මැදිරියේ දී ගෙල වැළලා ගෙන සියදිවි නසාගත්තා.

Related Articles