Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හදවත ලෙඩ කළ පාපන්දු විශිෂ්ටයා: සර්ජියෝ ඇගුවේරෝ

ක්‍රීඩා කරද්දී විවිධාකාරයේ ගැටලුවලට මුහුණ පෑමට ක්‍රීඩකයන්ට  සිදුවෙයි. විවිධ ආබාධ නිසා සති මාස ගණන් නොව අවුරුදු ගණන් ක්‍රීඩාවෙන් ඉවත් වී සිටීමට සිදු වන ක්‍රීඩකයන් අපි දැක ඇත්තෙමු. සමහර ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවිය ම මේ හේතුව නිසාවෙන් නිමාවට පත් කිරීමට සිදු වෙයි. සමහර ක්‍රීඩකයන් දීර්ඝ කාලීන ආබාධ වලින් අනතුරු ව කලින් සිටි දක්ෂයා ලෙසින් පිටියට නැවත පිවිසෙන්නේ නැත. මේ කතාව මෑත කාලීන පාපන්දු පිටියේ සිටි අති දක්ෂයකු වූ ආර්ජන්ටිනා ජාතික පාපන්දු ක්‍රීඩක සර්ජියෝ ඇගුවේරෝ පිළිබඳ යි. ඔහුට නම් තම ක්‍රීඩා ජීවිත කතාව නිමා කරන්නට සිදු වූයේ අවාසනාවන්ත හෘද රෝග තත්ත්වයක් නිසා ය. 

සුවිශේෂී දක්ෂතාවක්

ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස් හී දි 1988 වර්ෂයේ ජූනි මස 2 වනදා ඇගුවේරෝ උපත ලැබී ය. කුඩා කල සිට පාපන්දු ක්‍රීඩාවට යොමු වන ඔහු පාපන්දු ක්‍රීඩාව සඳහා අත්පොත් තබන්නේ ලෝමා ඇලෙග්රේ පාපන්දු ක්‍රීඩා සමාජයෙනි. ඉන් පසුව ඇගුවේරෝ ආර්ජන්ටිනාවේ ප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජයක් වන ඉන්ඩිපෙන්ඩන්ටේ ක්‍රීඩා සමාජය හා 1997 වර්ෂයේ දී  එක්විය. එහිදී 2003 වසර දක්වා එම ක්‍රීඩා සමාජයේ මූලික වයස් කාණ්ඩවල ක්‍රීඩා කළ කුඩා ඇගුවේරෝට සුවිශේෂී දක්ෂතාවක් පවතින බවට එම ක්‍රීඩා සමාජයේ පුහුණුකරුවෝ වටහා ගත්හ. මේ නිසා ඇගුවේරෝ මුලින් ම පළමු පෙළ ලීගයේ පාපන්දු තරගයක් ක්‍රීඩා කරන්නේ 2003 වර්ෂයේ දී ය.

ඉන්ඩිපෙන්ඩෙන්ටේ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ඇගුවේරෝ
ඉන්ඩිපෙන්ඩෙන්ටේ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ඇගුවේරෝ
 eurosports.co.uk

ඒ වන විට සර්ජියෝ ඇගුවේරෝ ගේ වයස සටහන් වී තිබුණේ අවුරුදු 15යි දින 35ක් ලෙසට ය. මෙය සටහන් වූයේ වසර 27 කට පසුව බිඳ වැටුණ වාර්තාවක් ලෙසින් ය. ඒ ආර්ජන්ටිනා පාපන්දු ලීගයේ පළමු පෙළ නියෝජනය කළ ළාබාලත ම ක්‍රීඩකයා යන වාර්තාව යි. මීට ප්‍රථම එම වාර්තාවේ හිමිකරු වූයේ වෙන කවුරුන්වත් නොව දියාගෝ මැරඩෝනා යි. 2003 වසරේ සිට 2006 වසර දක්වා ඉන්ඩිපෙන්ඩන්ටේ ක්‍රීඩා සමාජයත් සමඟින් තරග 56ක් තුළ ඇගුවේරෝ ගෝල 23ක් වාර්තා කළේය. මේ දක්ෂතා නිසා යුරෝපීය පාපන්දු ක්‍රීඩා සමාජයක දොරටු ඔහුට ඉක්මනින් ම විවර වන බවට ඉඟි පළ වෙමින් තිබිණි. 2006 වසරේ දී ස්පාඤ්ඤයේ ප්‍රකට ඇට්ලෙටිකෝ මැඩ්රීඩ් ක්‍රීඩා සමාජය ඔහු යුරෝ මිලියන 23 ක මුදලකට මිලට ගත්තේ ය.

ඇට්ලෙටිකෝ සමඟින් අති සාර්ථක ගමනක්

ඇට්ලෙටිකෝ සමඟින් අති සාර්ථක ගමනක් ආරම්භ කරන ඔහු නැඟී එන පාපන්දු ක්‍රීඩකයන් සඳහා වන සම්මාන කිහිපයක් ම දිනා ගැනීමටද සමත් විය. තරුණ පාපන්දු ක්‍රීඩකයකුගේ සිහිනය වන Golden Boy සම්මානය මෙන් ම World Soccer Youth Player of the year සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබී ය. ඇට්ලෙටිකෝ සමඟින් රැඳී සිටින කාලයේ දී UEFA Europa League ශූරතාව මෙන් ම UEFA Super Cup ජයග්‍රහණය ද ලබා ගැනීමට ඔහු විශාල දායකත්වයක් සැපයී ය.

ඒ වන විට යුරෝපය මෙන් ම ලොව පුරා ම සර්ජියෝ ඇගුවේරෝ යන නාමය ප්‍රහාරක ක්‍රීඩකයකු ලෙසින් වඩාත් ප්‍රකට ව තිබිණි. ඇට්ලෙටිකෝ සමඟින් තරග වාර 5ක් ක්‍රීඩා කරන ඇගුවේරෝ එහි දී තරග 234ක් නියෝජනය කරමින් ගෝල 101ක් වාර්තා කරන්නට සමත් විය. ඇට්ලෙටිකෝ මැඩ්රීඩ් කණ්ඩායමෙන් 2011 වර්ෂයේ දී  ඉවත් වන ඔහු යුරෝ මිලියන 35 ක මුදලකට එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය සමඟින් එක් විය.

ඇගුවේරෝ ඇට්ලෙටිකෝ මැඩ්රීඩ් සමගින් යුරෝපා ලීග් ශූරතාවය දිනා
ඇගුවේරෝ ඇට්ලෙටිකෝ මැඩ්රීඩ් සමඟින් යුරෝපා ලීග් ශූරතාව දිනා – trendsmap.com

එය ඇගුවේරෝ ගේ සිහින චාරිකාවක ආරම්භය ලෙසින් ප්‍රකාශ කිරීම ද වරදක් නැත. ඔහු මැන්චෙස්ටර් සිටි සමඟින් එක් වන පළමු තරග වාරයේ දී ම වසර 44 කට පසුව එංගලන්ත පාපන්දු ලීගය දිනා ගැනීමට විශාල දායකත්වයක් ලබා දීමට හැකි විය. එහිදී ශූරතාව දිනා ගැනීම සඳහා අවසන් ලීග් තරගයේ අවසන් මොහොතේ දී ජයග්‍රාහී ගෝලය ද වාර්තා කළේ ඇගුවේරෝ ය. එය අදටත් පාපන්දු ඉතිහාසයේ සුවිශේෂ ම මොහොතක් ලෙසින් බොහෝ දෙනා හඳුන්වයි. මැන්චෙස්ටර් සිටි වෙනුවෙන් 2011/12 තරග වාරයේ දී තරග 48ක් තුළ ගෝල 30ක් රැස් කිරීමට ද ඔහු සමත් විය. ඉන් අනතුරු ව ඔහු මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය සමගින් රැඳී සිටි කාලය වසර 10කි.

තරග 390ක් – ගෝල 260ක්

එම වසර 10 තුළ දී මැන්චෙස්ටර් සිටි සමඟින් තරග 390ක් ක්‍රීඩා කරමින් ඔහු ගෝල 260ක් වාර්තා කරන්නට සමත් විය. ඔහු නමින් වාර්තා ගොන්නක් ම එංගලන්ත පාපන්දු ලීගය සතු ව පවතී. එම වාර්තා දෙස බැලීමෙන් ම ඇගුවේරෝ යනු කෙතරම් විශිෂ්ටයෙක් ද යන්න පැහැදිලි වේ. ඔහු එංගලන්ත ලීගය තුළ පමණක් ගෝල 184ක් රැස් කළ අතර එය සටහන් වන්නේ එංගලන්ත නොවන ක්‍රීඩකයකු ලීගයේ රැස් කළ වැඩි ම ගෝල අතරේ සිව්වැන්න ලෙසට ය. එංගලන්ත ප්‍රිමියර් ලීගය තුළ වැඩි ම හැට්‍රික් ගෝල ලබා ගත් වාර්තාව ද ඔහු සතු ය. ඒ හැට්ට්‍රික් 12ක් වාර්තා කරමිනි. තරග වාරයක වැඩි ම ගෝල ලාභියා ලෙසින් එංගලන්ත ප්‍රිමියර් ලීග් රන් පාවහන සම්මානය 2014/15 තරග  වාරයේදී දිනා ගැනීමට ද ඔහු සමත් විය.

වසර 44 කට පසුව එංගලන්ත පාපන්දු ලීගයේ ශූරයන් වීමේ ජයග්‍රාහී ගෝලය මැන්චෙස්ටර් සිටි වෙනුවෙන් වාර්තා කළ මොහොත
වසර 44 කට පසුව එංගලන්ත පාපන්දු ලීගයේ ශූරයන් වීමේ ජයග්‍රාහී ගෝලය මැන්චෙස්ටර් සිටි වෙනුවෙන් වාර්තා කළ මොහොත –  www.manchestereveningnews.co.uk 

මෙම කාලය තුළ දී එංගලන්ත පාපන්දු ලීගය මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය සමඟින් 5 වතාවක් ජයග්‍රහණය කිරීමට ඇගුවේරෝ සමත් විය. මීට අමතර ව ඔහු EFL කුසලාන 6ක්, FA කුසලාන 1ක් සහ Community Shield ජයග්‍රහණයන් 3ක් ද වාර්තා කරගෙන ඇත. මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය සහභාගී වූ එක ම UEFA Champions League අවසන් තරගය වූ 2020/21 තරග වාරයේ ද ඇගුවේරෝ කණ්ඩායම නියෝජනය කළේ ය. කෙසේ වෙතත් ඔවුන් අවසන් මහා තරඟය පරාජයට පත් විය. ඉන් අනතුරුව ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජය සමඟින් එක් වන සර්ජියෝ ඇගුවේරෝ තරග 5ක් තුළ එක් ගෝලයක් රැස් කර තිබිණි. මැන්චෙස්ටර් සිටි පාපන්දු ක්‍රීඩා සමාජය තුළ සිටි විශිෂ්ටත ම ක්‍රීඩකයා සර්ජියෝ ඇගුවේරෝ බවට එම ක්‍රීඩා සමාජයේ බොහෝ දෙනා මෙන් ම පාපන්දු රසිකයන් ද පිළිගන්නා කාරණයකි.

ආර්ජන්ටිනා ජාතික කණ්ඩායම නියෝජනය

ආර්ජන්ටිනා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සර්ජියෝ ඇගුවේරෝ මුළින්ම වයස 20න් පහළ ලෝක කුසලාන ද්විත්වයක් ජයග්‍රහණය කිරීමට 2005 සහ 2007 වසරවල දී සමත් විය. 2008 වසරේ දී බෙයිජිං ඔලිම්පික් තරගාවලියේ රන් පදක්කම දිනා ගත් ආර්ජන්ටිනා කණ්ඩායමේ ද සාමාජිකයෙක් ලෙසින් ඔහු කටයුතු කළේ ය. ලියොනල් මෙසීගේ සමකාලීනයෙක් වන ඇගුවේරෝ ඔහුගේ හොඳම මිතුරකු ලෙසින් ද ප්‍රකට ය. ආර්ජන්ටිනාව 2014 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙද්දී ඇගුවේරෝ එහි ද සාමාජිකයෙක් විය. වසර 24 කට පසුව ආර්ජන්ටිනාව පිවිසි එකී අවසන් මහා තරගය ඔවුන් අවාසනාවන්ත ලෙසින් ජර්මනිය හමුවේ පරාජයට පත් විය.

ඉන් අනතුරුව 2015 සහ 2016 වසරවලදී පිට පිටම දෙවරක් කොපා ඇමරිකා අනුශූරතාවයෙන් ආර්ජන්ටිනාව සෑහීමකට පත් ෙවද්දී ඇගුවේරෝට ජාතික කණ්ඩායම සමගින් තවදුරටත් ප්‍රධාන පෙළේ ශූරතාවලියක් තිබුණේ නැත. එම ශූරතා සහ අවාසනාවන්ත අවසන් මහා තරග පරාජයන්ට තිත තබමින් 2021 වර්ෂයේ කොපා ඇමරිකා ශූරතාව ජයග්‍රහණය කිරීමට ආර්ජන්ටිනාවට හැකි විය. එවර ද 1993 වර්ෂයෙන් පසුව වසර 28 කින් ආර්ජන්ටිනාව ජයග්‍රහණය කළ පළමු ප්‍රධාන පෙළේ පාපන්දු ශූරතාව දිනූ කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසින් ඔහු කටයුතු කළේ ය.

වසර ගණනාවක් පුරා ආර්ජන්ටිනා කණ්ඩායම නියෝජනය කළ තම සඟයන් සමගින් 2021 කොපා ඇමරිකා ජයග්‍රහණය සමරමින් (වමේ සිට - නිකලස් ඔටමෙන්ඩි, ලියොනල් මෙස්සි, සර්ජියෝ ඇගුවේරෝ, ඈන්හෙල් ඩි මරියා)
වසර ගණනාවක් පුරා ආර්ජන්ටිනා කණ්ඩායම නියෝජනය කළ තම සඟයන් සමගින් 2021 කොපා ඇමරිකා ජයග්‍රහණය සමරමින් (වමේ සිට – නිකලස් ඔටමෙන්ඩි, ලියොනල් මෙසී, සර්ජියෝ ඇගුවේරෝ, ඈන්හෙල් ඩි මරියා) – vnexpress.com

ආර්ජන්ටිනාව සමඟින් තරඟ 101ක් ක්‍රීඩා කරමින් සර්ජියෝ ඇගුවේරෝ ගෝල 41ක් රැස් කර ගෙන ඇත. 2007 වසරේ නොවැම්බර් මස 17 වන දින බොලිවියාවට එරෙහි ව තම පළමු ගෝලය රැස්කරගත් ඔහු 2019 නොවැම්බර් මස 18 වන දින උරුගුවේට එරෙහි ව තම අවසන් ගෝලය රැස් කළේ ය. 2021 වසරේ බාසිලෝනා ක්‍රීඩා සමාජයට එක් වීමෙන් අනතුරු ව ඔහු ඔක්තෝබර් මස 31 වන දින දෙපොර්තිවෝ අලවෙස් සමඟින් පැවති තරගයේ දී යම් රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කරන්නට විය. මේ නිසා ඇගුවේරෝ ව රෝහල් ගත කළ අතරම පරීක්ෂණ කිහිපයකට ද භාජනය කර තිබිණි.

හෘද රෝග තත්ත්වයක්

එහිදී අනාවරණය වූයේ සර්ජියෝ ඇගුවේරෝට හෘද රෝග තත්ත්වයක් හටගෙන ඇති බවත් මේ නිසා තවදුරටත් වෙහෙස වීම සුදුසු නොවන බවත් ය. මේ නිසා අකමැත්තෙන් වුව ද ඔහුට පාපන්දු පිටියෙන් සමු ගැනීමට සිදු විය. තවමත් 33 හැවිරිදි වියේ පසුවන ඔහුට මෙම අසනීප තත්ත්වය නොවන්නට තවත් වසර කිහිපයක් පාපන්දු ක්‍රීඩා කිරීමට අවස්ථාව ද තිබිණි. පසුගිය දෙසැම්බර් මස 15 වනදා සර්ජියෝ ඇගුවේරෝ තම පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කළේ කඳුළු අතරිනි. ඔහුට මේ වන විට මැන්චෙස්ටර් සිටි පාපන්දු ක්‍රීඩා සමාජය වෙනුවෙන් කළ සේවය හේතු කර ගෙන එම ක්‍රීඩා සමාජයේ සන්නාම තානාපති තනතුරක් ලබා දීමට කටයුතු කෙරෙමින් පවතියි. අවාසනාවන්ත ලෙසින් තම ක්‍රීඩා දිවිය නිමා කිරීමට සිදු වුවත් සර්ජියෝ ඇගුවේරෝ යන නාමය පාපන්දු ලොව නොමියෙන නාමයක් ලෙසින් සනිටුහන් කරමින් සමු ගැනීමට ඔහුට හැකි විය.

කවරයේ ඡායාරූපය - සර්ජියෝ ඇගුවේරෝ - The Sun.co.uk
මූලාශ්‍ර :

www.mancity.com

 www.transfermarkt.com

www.premierleague.com 

 bleacherreport.com 

Related Articles