Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවෙන් සමු ගන්නා හිටපු අගමැති ෂින්සෝ අබේ

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සො අබේ පසුගිය ජුලි මස 8 වැනි දින වෙඩි තබා ඝාතනය කෙරුණා. ජපානයේ නාරා හී දී රැලියක් අමතමින් සිටියදී ඔහු හට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර, ඉන් බරපතල තුවාල ලැබූ ඔහු කඩිනමින් රෝහල කරා යොමු කෙරුණත්, ඔහුගේ දිවි බේරා ගැනීමට හැකි වූයේ නැහැ.  මියයන විට ඔහු 67 වන වියෙහි පසු වුණා.

ෂින්සෝ අබේ සැලකෙන්නේ ජපානයේ පහළ වූ සුවිශේෂී අග්‍රාමාත්‍යවරයෙකු ලෙස යි. 2006 වසරේ සිට 2007 වසර දක්වා ත්  2012 වසරේ පටන් 2020 දක්වාත් ජපානයේ අග්‍රමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කළ අතර, එදා මෙදා තුර ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ පුද්ගලයා බවට ඔහු පත් වුණා. ඔහුගෙන් ජපානයට වූ සේවය අගයනු වස් ඔහු වෙනුවෙන් රාජ්‍ය මට්ටමේ අවමඟුල් උළෙලක් හෙට (27)  සංවිධානය කරන්නට ජපානය පියවර ගෙන තිබෙනවා.

 ෂින්සෝ අබේ- Shizuo Kambayashi

 

ෂින්සෝ අබේ දිවිසැරිය

ජපානයේ ටෝකියෝ හි (සමහර මූලාශ්‍ර වල යමගුචි ලෙස ද සඳහන් වේ) 1954 වසරේ සැප්තැම්බර් මස 21 වැනි දා උපන් ෂින්සෝ අබේ ජපානයේ දේශපාලනික පවුලකට නෑකම් කියන්නෙක්. ඔහුගේ පියා වන ෂින්ටාරො අබේ ජපානයේ විදෙස් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ අතර, 1991 වසරේ සිදු වූ ඔහුගේ අභාවයෙන් පසුව, ෂින්සෝ සිය පියාගෙන් හිස් වූ ඩයට් සභා ආසනයට 1993 වසරේදී තරග කොට ජයග්‍රහණය ලැබුවා. ෂින්සෝගේ මවගේ පියා ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන නොබුසුකේ කිසූ යි.

ෂින්සෝ අබේ දේශපාලනික විද්‍යාව පිළිබඳ උපාධිධරයෙක්. ජපානයේ සෙයිකි විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය සම්පූර්ණ කළ ඔහු, කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි වැඩි දුර අධ්‍යාපනය ලබා තිබෙනවා. දේශපාලනික දිවියේ පිමි කිහිපයක් ඉක්මනින් පිනූ ඔහු 2006 වසරේ දී ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ප්‍රථම වතාවට තේරී පත්වූයේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු එරට බිහි වූ ළාබාලත ම අග්‍රාමාත්‍යවරයා වෙමින්. කෙසේ නමුත් 2007 වසරේ දී ඔහු ඉන් ඉවත් වූයේ ශරීර සෞඛ්‍යය යම් පමණකට පිරිහීම නිසා යි. 

 ෂින්සෝ අබේ (දකුණේ) තුරුණු වියේදී- wsj.com

 

වසර කිහිපයක ඇවෑමෙන් ෂින්සෝ අබේ ගේ සෞඛ්‍ය තත්ත්වය නැවත යහපත් වූ බැවින්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඔහු 2012 වසරේ දී තරග වැදුණු අතර, එම වසරේ දී නැවත වතාවක් ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වෙනවා. 2017 වසර වෙනතුරු එරට අග්‍රාමාත්‍ය ධූරයෙහි කටයුතු කළ ඔහු, 2017 වසරේ දී තෙවන වතාවටත් එරට අග්‍රාමාත්‍ය ලෙස තේරී පත් වන්නේ, එලෙස තේරී පත් වූ එරට පළමු අග්‍රාමාත්‍යවරයා වෙමින්. ඔහුට 2021 වසර අවසන් වන තුරු බලයේ රැඳී සිටිය හැකි ව තිබූ මුත්, නැවත වාරයක් ශරීර සෞඛ්‍ය කරුණු හුවා දක්වමින් 2020 වසරේදී ඔහු ධූරයෙන් ඉල්ලා අස් වෙනවා. ඒ වන විට අඛණ්ඩව වසර 8 ක කාලයක් ඔහු ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කර තිබුණා.

අග්‍රාමාත්‍යවරයෙක් ලෙස වැදගත් මෙහෙයක්

අග්‍රාමාත්‍යවරයකු ලෙස ෂින්සෝ අබේ ජපානය වෙනුවෙන් වැදගත් මෙහෙවරක් ඉටු කළා. කෙසේ නමුත් ඔහුගේ පාලන කාලයේ කළ කී සමහර දෑ පිළිබඳ ව විවාදාත්මක තත්ත්වයක් ද ජපන් වැසියන් තුළ තිබෙනවා. විශේෂයෙන් ජපාන කාන්තා වෘත්තිකයන් වැඩි කරනු වස් ඔහු වැදගත් තීරණ රාශියක් ගත් අතර, අමෙරිකාව වැනි බටහිර බලවතුන් සමඟ හොඳ හිත පවත්වා ගැනීමටත් ඔහු උත්සාහ කළා. ෂින්සෝ අබේ 2012 වසරේ ජපානය අතට ගන්නා විට ඊට පෙර වසරේ එරට මුහුණ දුන් ප්‍රබල භූ චලනයෙන් හා සුනාමි තත්ත්වයෙන් ජපානය අගතියට පත් ව තිබූ අතර, සාධනීය වැඩපිළිවෙළක් මඟින් ඉක්මනින් එරට යථාවත් කරන්නට ඔහු සමත් වුණා. ඊට අමතර ව කවදත් ජපානයට අභියෝගයක් වූ චීනය මෙන් ම උතුරු කොරියාවත් අතේ දුරින් තබාගෙන කටයුතු කරන්නට ෂින්සෝ අබේ සමත් වුණා. ශ්‍රී ලංකාවට ද ෂින්සෝ අබේ පාලන සමයේ දී ආධාර රාශියක් ලැබුණා.

අභාවප්‍රාප්ත හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේ වෙනුවෙන් සමුගැනීමේ පණිවිඩයක් අතැති කාන්තාවක් – REUTERS/Issei Kato

 

ෂින්සෝ අබේගේ සමහර තීරණ ජපාන ප්‍රජාවගේ යම් දෝෂ දර්ශනයට ද ලක් වුණා. විශේෂයෙන් බදු වැඩි කිරීම් සහ අනෙකුත් දූෂණ චෝදනා කිහිපයක් නිසා ෂින්සෝ අබේ යම් පමණකින් ජපාන ජනතාව අතර අප්‍රසාදයට ද ලක් වුණා. සිය සෞඛ්‍ය තත්ත්වයත්, මේ ප්‍රවණතාත් නිසා 2020 වසරේ දී ඔහු සිය අස් වීමේ ලිපිය භාර දුන්නා. කෙසේ නමුත් ඔහු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවූ අතර, මියයන තුරු එහි නිරත වුණා.

ඝාතනය

2022 වසරේ ජූලි මස 8 වන දින ජපානයේ නාරා හී දී ෂින්සො අබේ පිරිසක් අමතමින් සිටියදී ටෙට්සුයා යමගාමි නම් 41 හැවිරිදි පුද්ගලයෙක් එක් වර ම ඔහු වෙත ගිනි අවියක් දිගු කොට වෙඩි තබනවා. වෙඩි පහර ඔහුගේ ගෙල පසාරු කර ගෙන යන අතර, එහි වූ පිරිස වහ වහා ෂින්සෝ අබේ රෝහල් ගත කරනවා. කෙසේ නමුත් වෙඩි පහරින් ඔහුගේ ගෙල පෙදෙසට දැඩි හානි සිදු ව තිබූ අතර, රෝහල් ගත කිරීමෙන් පැය කිහිපයකට පසු ඔහු මිය ගිය බැව් නිල වශයෙන් ප්‍රකාශ කෙරෙනවා.

 වෙඩි වැදුණු ෂින්සෝ අබේ බිම වැටී- AP/Kyodo News

 

ෂින්සෝ අබේ ඝාතනය කළ සැකකරු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරු ව, එම ඝාතනය පිළිබඳ ව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කෙරුණා. පොලිස් භාරයේ දී පාපොච්ඡාරණයක් කරමින් යමගාමි පවසා තිබුණේ, ෂින්සො අබේ ‘යුනිෆිකේෂන් චර්ච්’ නම් ආගමික කණ්ඩායමක් සමඟ සමීප ව කටයුතු කළ බවත්, එම ආගමික කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් සිය මව සම්පූර්ණයෙන් බංකොලොත් වූ බවත්, එහි ප්‍රබල ආධාරකරුවෙක් වන අබේගේ ක්‍රියාකලාපය නිසා වැඩි වැඩියෙන් ජපාන ජාතිකයන් එම කණ්ඩායම වෙත යොමු වී සිය දිවිය අගතියට පත් කරගැනීම වැලැක්වීම සඳහා මෙලෙස ඔහු ඝාතනය කළ බව යන කරුණු යි. කෙසේ නමුත් ඔහුගේ වචනය මත පමණක් නොපිහිටා මෙම ඝාතනයේ අක් මුල් සොයා බලන්නට මේ වන විටත් ජපාන බලධාරීන් මහත් පරිශ්‍රමයක් දරනවා.

ෂින්සෝ අබේ වෙනුවෙන් වූ ඉතා ඉහළ අවමංගල්‍ය උත්සවයක් පවත්වන්නට මේ වන විට ජපාන රජය සූදානම් වෙමින් පවතිනවා. එය හෙට ( 27) දින සිදු කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

කවරයේ ඡායාරූපය -  AP/File 

මූලාශ්‍ර:

Bbc.com

Biography.com

Washingtonpost.com 

Related Articles