Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කුල පීඩිතයන්ගේ බලාපොරොත්තුව වූ, පූලාන් දේවි

කාන්තාවක පිරිමි සමූහයක් අතින් ලිංගික අඩත්තේට්ටමකට වෙනවා කියන්නේ විටෙක දී එම අත්දැකීම ඇයගේ ජීවිතය අඩාල කිරීමට තරම් හේතුවක් වෙන්න පුළුවන්. නමුත් පූලාන් දේවි කියන්නේ එවැනි අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණත් ජීවිතය දෙස වෙනස් කෝණයකින් බැලූ කාන්තාවක්.

ඉන්දියාව කුල භේදය, රදල වාදය දැඩි ලෙස පිළිගන්නා සහ බහුතරයක් කාන්තාවන්ට අනපේක්ෂිත ලෙස දුක්-කම්කටොළුවලට මුහුණ දීමට සිදුවන රටක්. ඉන්දීය මාධ්‍යවලින් “බැන්ඩිට් ක්වීන්” ලෙස හඳුන්වන පූලාන් දේවි, ඉන්දියානු කුලවතුන් විසින් බිහිකරන ලද ඔවුන්ගේ පහත් ක්‍රියාවන්ට එරෙහිව නැගී ආ ලොව පුරා දැඩි කතා බහට ලක් වූ චරිතයක්. නොමිනිසුන් අතින් පතිවත අහිමි වුව ද ජීවිතය පිළිබද බලාපොරොත්තු අහිමි කර නොගත් පූලාන්, 2001 වසරේ ජූලි 25 වන දින නාදුනන පුද්ගලයින් තිදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයෙන් මිය යනවා.

පූලාන් තරුණ වියේ දී

කුඩා කාලය

1963 අගෝස්තු 10 දින ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ‘ගොර්හා කා පූර්වා‘ නම් වූ කුඩා ගම්මානයේ පහත්යැ යි සම්මත ‘මල්ලාහ්‘ කුලයේ දැරියක ලෙස පූලාන් උපත ලබනවා. කිසිදිනෙක අධ්‍යාපනයක් නොලද, කුඩා කල සිටම මුරණ්ඩු ගතිපැවතුම් ඇත්තියක වන පූලාන් දේවි, තම ඥාතින් විසින් සිය පවුලට කරන අකටයුතුකම් නොඉවසන්නියක වුණා. ආච්චි සහ සීයා මිය යෑමෙන් පසුව තම වැඩිමල් ඥාති සහෝදරයා කළ  අසාධාරණකම්වලට එරෙහිව ඇය තදින්ම විරුද්ධ වුණා. මේ නිසාම ඇයට දඩුවම් විදීමට සිදු වූ වාර ද අනන්ත යි.

ජීවිතය වෙනස් කළ අමිහිරි අත්දැකීම

11 වන වියේ දී තමන්ට වඩා අවුරුදු ගණනාවකින් වැඩිමල් පුරුෂයෙකු සමග විවාහ වීමට සිදුවන පූලාන් දේවි, තම සැමියාගේ දරුණු වධහිංසා ඉවසාගත නොහැකිව ඔහු සමග ඇති කර ගත් ගැටුම් හේතුවෙන් කිහිපවතාවක්ම සැමියාගේ නිවසින් පලා යන නමුත්, ඒ සෑම අවස්ථාවකදී ම ඇයව යළි සැමියා වෙත යැවීමට පවුලේ ඥාතින් කටයුතු කළා. වයස අවුරුදු 18 දී පමණ තම ගම්මානයේ කුලවත්යැ යි කියන ප්‍රභූන් අතින් අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක්වන පූලාන් දේවි ඔවුන්ගෙන් පළිගැනීමට අවස්ථාවක් සොයාගනිමින් දාමරික කණ්ඩායමක් සමග එකතු වෙනවා.

කුලවතුන්ගෙන් පළිගැනීම

කණ්ඩායමේ නායක බාබු ගුජ්ජාර් නම් වූ දාමරික නායකයාගේ ආකර්ෂණය දිනාගන්නා පූලාන් දේවිට සමහර දිනවල දී ඔහුගේ අතවරවලට ලක්වීමට සිදුවෙනවා. කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු වූ වික්‍රම් මල්ලාහ් අතින් බාබු ගුජ්ජාර් ඝාතනයට ලක්වීමෙන් පසු වික්‍රම් මල්ලාහ් එම කණ්ඩායමේ නායකයා බවට පත් වෙනවා. පසුව පූලාන් දේවි සහ වික්‍රම් මල්ලාහ් එකිනෙකාට ආදරය කිරීමට පටන් ගන්නා අතර ඔවුන් දෙදෙනා එක්ව කණ්ඩායම මෙහෙයවීම අරඹනවා. තමන්ට මනුෂ්‍යයෙකුට ලෙස සැලකූ පළමු පුද්ගලයා ලෙස වික්‍රම් මල්ලාහ් පිළිබදව ඇය තම චරිතාපදානයේ සටහන් කරනවා. වෙනත් දාමරික කණ්ඩායමක් විසින් වික්‍රම් ඝාතනය කිරීමෙන් පසු එම කණ්ඩායමේ සාමාජිකයන් අතින් ද ලිංගික අතවරවලට ලක්වන පූලාන්ව ඇයගේ කණ්ඩායමේ සාමාජිකයන් විසින් ගලවා ගන්නවා. පසුව තම මැර කල්ලියේ නායකත්වය ගන්නා පූලාන් දේවි තමාට කෘර ලෙස සැලකූ පළමු විවාහයේ සැමියාගෙන් හා ඇයගේ ගම්මානයේ දී ඇයව දූෂණයට ලක් කළ සියලු දෙනාගෙන්ම ඉතා දරුණු ලෙස පළිගැනීමට අමතක කළේ නැහැ.

තම පළමු ස්වාමි පුරුෂයාගේ ගමට යන පූලාන් ඇතුළු කණ්ඩායම ඔහුගේ නිවසට කඩා වැදී ඔහුට මාරාන්තික තුවාල සිදුකරනවා. පසුව 1981 පෙබරවාරි මස 14 වන දා තමාව දූෂණය කිරීමේ පළිය ගැනීමේ අරමුණින් බෙහ්මායි ගම්මානයේ දී පූලාන් දේවි ඇතුළු මැර කල්ලිය විසින් රාජ්පුත්වරුන් 22 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරනවා. එදින ඔවුන් ගම්මානයට කඩා වැදෙන විට පූලාන් දූෂණය කළ කුලවතුන්ගෙන් කිහිපදෙනෙකු ගමේ සිටියේ නැහැ. නමුත් කුලීනයන්ගේ අමානුෂික ක්‍රියාකලාපය ගැන පූලාන්ගේ සිතේ තිබූ වෛරය නිසාම එදින විවාහ උත්සවයකට සහභාගී වීමට වෙනත් ගමකින් පැමිණ සිටි රාජ්පුත්වරුන් ද ඇතුළුව 22 දෙනෙකු ඝාතනය කරනවා.  එම සිද්ධියට පසුව පොලිසිය ඔවුන් පසුපස හඹා ආව ද දෙවසරකට පසුව එනම්, 1983 දී භාර වන තුරුම පොලිසියට ඔවුන් අල්ලාගැනීමට හැකි වූයේ නැහැ. ඇයට එරෙහිව අපරාධ චෝදනා 48ක් ගොනුකර තිබූ අතර වසර 11ක් තිස්සේ සිරබත් කෑමෙන් පසුව 1994 දී ඇය නිදහස ලබනවා.

පූලාන් සහ මැර කල්ලිය

පාර්ලිමේන්තුවට

කිසිදිනෙක නිසි අධ්‍යාපනයක් නොලද සහ දේශපාලනය පිළිබද කිසිදු අවබෝධයක් නැති පූලාන් දේවි නිදහස ලබා වසර දෙකකට පසුව එනම්, 1996 වසරේ දී ඇය වැනිම කුල පීඩිතයන්ගේ ඡන්දයෙන් උත්තර් ප්‍රදේශ් හි මිර්සාපුරයෙන් සමාජ්වාදී පක්ෂයෙන් තරග කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වෙනවා. 1998 වසරේ දී පාර්ලිමේන්තු අසුන පුලාන්ට අහිමි වන නමුත්, යළිත් 1999 දී එය ලබාගන්නවා. මේ කාලය අතරතුරේ දීත් තමා වැනි කුලහීනයන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට පූලාන්ට අමතක වුණේ නැහැ.

අවාසනාවන්ත මරණය

මන්ත්‍රීධුරය ලබාගැනීමෙන් පසුව ද ඇයගේ සතුරන් බොහෝ දෙනෙක් ඇයව හඹා එනවා. විටෙක දී ඔවුන් ඇයගේ පෞද්ගලික ආරක්ෂකයින් ලෙස ද කටයුතු කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 2001 වසරේ ජූලි 25 වන දින දිල්ලි නුවර දී අශෝකා පාරේ ඇයගේ නිවස ඉදිරිපිට දී පූලාන් දේවි නාදුනන වෙඩික්කරුවන් විසින් වෙඩි තබා ඝාතනය කෙරනවා. පූලාන් දේවිගේ මරණයෙන් වසර 13කට පසුව, 2014 දී ශිර් සිං රනා නමැත්තා මෙම ඝාතනයට වැරදිකරු වන අතර තවත් 10 දෙනෙකුට චෝදනා එල්ල වෙනවා. ඔහු පවසන පරිදි 1981 දී බෙහ්මාන් ගම්මානයේ දී කළ සමූල ඝාතනයට පළිගැනීමක් වශයෙන් මෙම වෙඩි තැබීම සිදුකරන්නේ.

පූලාන්ගේ ජීවිත කතාව චිත්‍රපටයකට

පූලාන් දේවිගේ ජීවිත කතාව පදනම් කරගනිමින් ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ශේකර් කපූර් විසින් 1994 දී Bandit Queen ලෙස චිත්‍රපටයක් නිර්මාණය කරන අතර, සීමා බිස්වාස් මෙහි පූලාන් දේවි ලෙස තම රංගනයෙන් දායකවෙනවා. මෙම චිත්‍රපටය 1995 දී සහ 1997 දී ෆිල්ම් ෆෙයාර් සම්මානයත්, 1996 දී හොඳම නිළියට හිමි සම්මානය සීමා බිස්වාස් විසින් ද හිමි කරගන්නවා. කෙසේ වෙතත්, බොහෝ දෙනා මෙය විවේචනය කරන්නේ සත්‍යය විකෘති කිරීමක් ලෙස යි.

කවරයේ පින්තූරය: සියලු වැරදිවලින් නිදොස් වූ පූලාන්

Related Articles