ඒබ්‍රහමික ආගමික කතාවලට අනුව මෝසස් යනු ඊශ්‍රායල් ජාතික වහලුන් පිරිසක් රතු මුහුද දෙබෑ කර එතෙර කළ අයෙකි. කලු ජාතික වහලුන් වෙනුවෙන් වරෙක සොල්දාදුවෙක්, වරෙක ඔත්තුකරුවෙක්, සහ තවත් වරෙක හෙදියක වූ හැරියට් ටබ්මන්ව ඇයගේ මිනිසුන් විසින් හැඳින්වූයේ ද ඔවුන්ගේ මෝසස් ලෙස යි. එසේම හමුදාවේ සේවය කළ ප්‍රථම අප්‍රිකානු-ඇමෙරිකානු සම්භවයක් සහිත කාන්තාව ලෙස සැලකෙන්නේ ද ඇය යි.
හැරියට්ගේ උපන්දිනයක් පිළිබඳව නිශ්චිත සඳහනක් නැති නමුත්, 1820 සහ 1822 අතර කාලයේ දී ඇයගේ උපත මේරිලන්ඩ්හි සිදු වූ බවට සැලකේ. හැරියට් ග්‍රීන්ට සහ බෙන්ජමින් රොස්ට දාව උපන් ඇරමින්ටා රොස් කුඩා කාලයේ දී මින්ටි යන සුරතල් නාමයෙන් හැඳින්වුණා. පසුකාලීනව ඇරමින්ටා තම මවට ගෞරවයක් ලෙස තමන්ගේ නම ද ‘හැරියට්’ ලෙස වෙනස් කරගන්නවා. ඇයට වයස අවු.5 දී පමණ කුඩා ළමයින් බලා ගැනීම හැරියට්ගේ රාජකාරිය බවට පත්වූ අතර, ස්වාමියාගේ කුඩා දරුවා හඬන විට දී කස පහර කෑමට තරම් පුංචි හැරියට් අවාසනාවන්ත විය. වහල් සේවය සදහා යොදවන හැරියට්, අවුරුදු 12 දී පමණ ස්වාමියාගෙන් හිසට දැඩි පහරකට ලක් වූයේ ඇගේ ස්වාමියා වෙනත් වහලෙකුට පහර දෙන අවස්ථාවක, අසාධාරණයට ලක් වූ එම වහල් සේවකයා වෙනුවෙන් ගැටුම නවත්වන්නට ඉදිරිපත් වීම නිසාවෙනි. මේ හේතුව නිසා තම ජීවිත කාලය පුරාවට දැඩි හිසරදයකින් සහ ඒ ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නට හැරියට්ට සිදුවිය.
එකල වහලුන්ට විවාහ වීමට නීතියෙන් අවසර හිමි නොවුව ද, 1844 දී නිදහස් කලු ජාතික වහලෙකු වූ ජෝන් ටබ්මන් සමග හැරියට් විවාහ වූවා ය. නමුත් මෙම විවාහය එතරම් සාර්ථක නොවූයේ, හැරියට්ගේ වහල්හිමි ස්වාමියා ඇයව සහ ඇගේ සහෝදරයන් දෙදෙනාව නැවතත් වහලුන් ලෙස විකුණන බවට විවිධ අවස්ථාවන්වල තර්ජනය කළ බැවිනි.
මේරිලන්ඩ් සිට ඩෙලවෙයා, පෙන්සිල්වේනියා, මැසචුසෙට්ස්, සහ නිව්යෝක් (වහල් සේවය නීත්‍යානුකූල නොවූ උතුරුදිග ජනපද) හරහා කැනඩාව දක්වා විහිදී යන ‘උමං දුම්රිය මාර්ගයක්’ (මෙය සැබෑ උමං දුම්රිය මාර්ගයක් නොව, කලු වහලුන් නිදහස පතා පැන යන්නට භාවිතා කළ මාර්ගයට යෙදූ කේත නාමයකි) හැරියට් සහ අනෙකුත් වහලුන්ගේ නිදහස සොයා පැන යන ගමනට විශාල දායකත්වයක් ලබාදුනි. 1849 හැරියට් තම සහෝදරයන් දෙදෙනා සමග මෙම උමං දුම්රිය මාර්ගය ඔස්සේ පැන යන නමුත්, වහලෙකු නොවූ හැරියට්ගේ සැමියා ඔවුන් සමග එකතු වීම ප්‍රතික්ෂේප කළේ ය. ඇගේ සහෝදරයන් දෙදෙනා මඟක් ගොස් ආපසු හැරී යන අතර, නිදහස සොයන හැරියට් තනිවම සැතපුම් 90ක් පමණ ගෙවා පෙනිසිල්වේනියා බලා ගමන් කළා ය. ෆිලඩෙල්ෆියාවේ දී හැරියට් ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කරන නමුත්, ඇයට තවදුරටත් අවශ්‍ය වූයේ නිදහස සොයා යන අනෙකුත් කළු වහලුන්ට උදව් කිරීමට යි.
එනිසා නැවතත් දකුණු ප්‍රදේශයට යන හැරියට් උමං දුම්රිය මාර්ගය හරහා ඇගේ නෑදෑයන් පිරිසක් ද රැගෙන ආපසු ෆිලඩෙල්ෆියා බලා පැමිණියා ය. මේ අතරතුර කාලයේ දී ෆ්‍රෙඩ්රික් ඩග්ලස්, තෝමස් ගැරෙට්, සහ මාර්තා කොෆින් රයිට් යනාදී ක්‍රියාකාරීන් රැසක් සමග ගොඩනගාගත් සම්බන්ධතාවයන් හැරියට්ගේ අරමුණ සාර්ථක කර ගැනීමට මඟ පෑදිණි. 1850 සහ 1860 අතර කාලය තුළ ‘උමං දුම්රිය මාර්ගයේ කොන්දොස්තරවරියක’ ලෙස කටයුතු කරන හැරියට් 19 වරක් උතුරේ සිට දකුණට උමං දුම්රිය මාර්ගය හරහා ගමන් කරන අතර, ඒ ගමන්වල දී වහලුන් 300කට අධික පිරිසකට නිදහස ලබා දීම කටයුතු කළ බවට සඳහන් වේ.
1861 දී ඇරඹි ඇමරිකානු සිවිල් යුද්ධයේ දී හැරියට් වහලුන් වෙනුවෙන් සේවය කිරීමට තවත් අවස්ථාවක් සොයා ගත්තා ය. එම කාලයේ දී කෝකියෙකු මෙන්ම හෙදියක ලෙස ද කටයුතු කරන හැරියට් ඇය දත් දේශීය වෛද්‍ය ක්‍රමයන් භාවිත කරමින් රෝගීන් සුව කිරීමට කටයුතු කළා ය.
1869 දී හැරියට් නෙල්සන් ඩේවිස් නමැත්තෙකු සමග විවාහ වන අතර, ඔවුහු ගර්ටි නම් වූ කුඩා අනාථ දැරියක හදාවඩා ගැනීමට පටන්ගත්තෝ ය. තම වගාවන්වලින්, සත්ත්ව ගොවිපලෙන්, සහ දානපතියන්ගේ පරිත්‍යාගවලින්, අවශ්‍යතා ඇති පුද්ගලයන්ට පිහිට වීමට හැරියට් කටයුතු කළා ය. 1896 දී තම නිවසට යාබදව ඉඩමක් මිළ දී ගන්නා හැරියට් වයෝවෘද්ධ කලු ජාතිකයින් වෙනුවෙන් නිවසක් පිහිටවූවා ය.
ජීවිතයේ අවසන් කාලයේ ද කුඩා කල පහරකෑමෙන් ඇතිවූ හිසේ ආබාධයෙන් පීඩා විඳින්නට වූ හැරියට් 1913 මාර්තු 10 වන නියුමෝනියා රෝගය නිසා මියගියා ය.
වහලුන් වෙනුවෙන් අනුපමේය සේවයක් කළ හැරියට්ගේ රුව පසුකාලීනව ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් ඩොලර් 20 නෝට්ටුවේ මුද්‍රණය කරන්නට යෙදිනි. එය අප්‍රිකානු – ඇමෙරිකානු සම්භවයක් සහිත පුද්ගලයෙකුගේ රුවක් ඇමෙරිකානු මුදල් නෝට්ටුවක මුද්‍රණය කරන්නට යෙදුණු ප්‍රථම අවස්ථාව ද විය.
2019 වසරේ දී කැසි ලෙමන්ස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Harriet’ චිත්‍රපටය, හැරියට් ටබ්මන්ගේ ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය වූවකි. මෙහි ප්‍රධාන චරිතය වන හැරියට්ගේ චරිතය සම්මානනීය රංගන ශිල්පිනියක වන සින්තියා එරිවෝ විසින් රඟදැක්විණි. මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මානයන් දෙකක් සඳහා නිර්දේශ වූ අතර, තවත් සම්මානයන් 42කට නිර්දේශ වී තිබේ.
වහලියක ලෙස ඉපදුණත්, කුඩා කාලයේ සිට වහල් සේවයේ නිරත වුවත්, තමන්ට උරුම වී ඇති ඉරණම වෙනස් කිරීමට සිහින දුටු කාන්තාවකි හැරියට් ටබ්මන්. ඇය තමන්ගේ සිහිනය අතරමඟ දී බිඳ දමාගත්තේ නම්, අද වන විට ඇය අනෙකුන්ට ද උපකාර කළ අනුස්මරණීය චරිතයක් නොවන්නට තිබුනි. හැරියට්ගේ දිවිය ලොවට කියා දෙන්නේ සාර්ථක අරමුණක් වෙනුවෙන් සිය සිහින හඹා යා යුතු බව යි.